මේ සසර ජීවත්වන සත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගෙන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුණොත් එදාට අපට මේ සසර නිම වීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීප වීමේ හැකියාව ලැබෙනව.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං
පින්වත්නි,
අටලෝ දහම උපතින් පොදි බැඳගත් මිනිසා අවසානයේ ගමන් කරන්නෙ මරණය වෙතය. එය සංසාර ගමනේ එක් අවස්ථාවක් පමණයි. මියගිය සත්ත්වයා එතැනින් තවත් ස්ථානයක උපත ලබනව. එතැනදීද මේ අටලෝදහමට මුහුණ දෙනවා. කෙළවරක් නැති මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ගමන්කරනව. මේ ගමනේ උපත කොතනද? අවසානය කොතනද? කියල කිසි කෙනෙක් දන්නේ නැහැ. බුදු, පසේබුදු මහරහතන් වහන්සේ මේ ගමනේ අවසානය දුටුවා.
දිනක් භික්‍ෂූන් වහන්සේ පිරිවරා වනයක් මැදින් වඩින බුදුපියාණන් වහන්සේ එම වනයෙන් කොළ කීපයක් අහුලා අතටගෙන භික්‍ෂූන් වහන්සේගෙන් මෙලෙස විචාලා මහණෙනි! මගේ අත තිබෙන දෙය පෙනෙනව නේද? එසේය ස්වාමීනි! කොළ ස්වල්පයක් යයි භික්‍ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
බුදු පියාණන් වහන්සේ නැවත අහනව ඇවැත්නි! මේ මගේ අතේ තිබෙන කොළද වනයේ තිබෙන කොළද වැඩි කියල. භික්‍ෂූන් වහන්සේ පිළිතුරු දෙනව ස්වාමීනි! ඔබ වහන්සේ අත ඇත්තේ ඉතාම සුළු කොළ ප්‍රමාණයක්.
වනයේ තිබෙන කොළ තමයි වැඩි යනුවෙන්, බුදු පියාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේ අමතා මෙසේ දේශනා කළා. ඇවැත්නි, මා අවබෝධ කළ ධර්‍මය මේ වනයේ තිබෙන කොළවලට සමානයි. ඔබලාට දේශනා කර ඇත්තේ මා අතේ තිබෙන කොළවලට සමාන ප්‍රමාණයක්. ඔබලාගේ ඒකායන බලාපොරොත්තුව මා අවබෝධ කළ ධර්‍මය අනුගමනය කර මේ සසර දුකින් මිදීමටයි.
එයට අවශ්‍ය ධර්ම මාර්‍ගය විනා වෙනත් දෙයක් ඔබට අවශ්‍ය නැහැ. වෛද්‍යවරයා රෝගියාට ප්‍රතිකාර කරන්නේ ඔහුට වැළඳී ඇති රෝගයේ නිධානය සොයා එයට අවශ්‍ය ඖෂධ දීමෙන්. මාද ඔබලාට කියා දෙන්නේ මේ සසර ගමනින් එතරවීමට අවශ්‍ය ධර්ම මාර්‍ගය පමණයි.
මා ඔබලාට කියා දෙන්නෙ කාරණා දෙකයි. ඒ කාරණා දෙකනම් දුක සහ දුක නැති කිරීමයි. මේ කාරණා දෙක පමණක් මා කියා දෙන්නේ මේ ලෝකයේ දුක් විඳින සත්ත්වයාට දුකින් මිදීමට ඔය කරුණු දෙක අවශ්‍ය හෙයින්. මම දුක කුමක්ද? කියල ඔබලාට කියා දෙනව.
දුකෙහි අනෙක් පැත්ත සැපය. සැපය ලබන්නෙ කොහොමද කියල කියා දෙනව. අනෙක් දේවල් දැනගත්තට මේ සසර දුකින් නිදහස් වන්න බැහැ. බුදු පියාණන් වහන්සේ මේ කරුණු දෙක නැවත කරුණු හතරක් වශයෙන් විස්තර කරනව. දුක කියල එකක් තියනව. එහෙමනම් ඔය දුක හටගන්න හේතුවක් තියෙන්න ඕනනේ. දුක දිගින් දිගටම දුකටම පත්කරමින් සසර පුරා ගෙන යන හේතුව හොයන්න ඕන.
හේතුව සොයාගත්තට මදි. එහෙමනම් ඒ දුක නැතිකරගන්න ඕන. දුක නැති කරගන්නනම් එයටත් මාර්ගයක් තියෙන්න ඕන. ඒ දුක නැති කරන මාර්‍ගයත් සොයා ගන්න ඕන.
එම භික්‍ෂූන් වහන්සේලාට සසරින් ගැලවීමට කාරණා හතරයි දේශණා කළේ. ඒ කාරනා හතර නැවත කියනවනම්, සසර දුකයි “දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ” දුක මත ලෝකය පිහිටා තියෙන්නෙ. එහෙම නම් ඒ දුක නැතිකරගන්න ඕන.
දුකක් ඇතිවුනානම් එයට හේතුවක් තියෙන්න ඕන. ඒ හේතුව සොයාගන්න ඕන. දුක නැති කරන්න නම් දුක නැති කරන මාර්‍ගයකුත් තියෙන්න ඕන. ඒ මාර්‍ගයත් සොයාගන්න ඕන.
අපි මෙයට කියනව සත්‍ය හතර කියල. නැත්නම් චතුරාර්ය සත්‍ය කියල. ඔය කාරණා හතර ඔබ හරිහැටි ප්‍රත්‍යක්‍ෂකර ගතහොත් මේ සසර දුකින් මිදීමේ ඔබේ අභිමතාර්ථය සම්පූර්‍ණකර ගන්න පුලුවන්.
පින්වත්නි, මේ සසර ජීවත්වන සත්ත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. මනුෂ්‍ය සත්ත්වයා මව් කෙනෙක් වෙන්න පිය කෙනෙක් වෙන්න දරුසුරතල් බලන්න හරිම කැමතියි. දරුවා ලැබුණට පසුව ඒ මව් පිය දෙපල අනන්ත දුක් විඳිනවා.
දරුවාගේ කැත කුණු අදින්න පාසල් යවන්න, රැකියා ලබාදෙන්න අනන්ත දුක් විඳිනව. දරුවාට ලෙඩක් දුකක් හැදුනාම අනන්ත දුකක් විඳිනව. සැපත කියා සිතුවත් මේ සැම දෙයක්ම දුක්ගොඩක්මත ජනිතවෙලා තියෙන්නෙ.
”ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං නලභති දුක්ඛං, සංඛිතෙත්න පඤචුපාදානක්ඛන්ධා දුක්ඛා” ස්කන්ධයන්ගේ පහලවීමයි කියන ලද ජාතිය නොහොත් ඉපදීම දුකයි. අංගප්‍රත්‍යයන්ගේ වෙනස්වීම යෞවනභාවය නැතිව යාම, නම්වූ මහලු බවට පත්වීම, ජරාපිදුක්ඛය.
ජීවිතය විනාශකිරීමට තරම් හේතුවන එක් එක් ලෙඩ රෝග සෑදීම ව්‍යාධිපි දුක්ඛය. ජීවිතයේ විනාශවීම මරණංපි දුක්ඛය. අප්‍රිය පුද්ගලයින් ඇසුරට ලැබීමත් දුකක්. ඔහුගෙන් තමන්ට නිතරම වන්නේ විපතක්. එය අප්පියේහි සම්පයෝගෝ දුක්ඛය. ප්‍රියවූ අයගෙන් වෙන්වීමත් දුකක්. මව්පිය, දූදරුවන්, සහෝදරයින්, තමන්ගේ ප්‍රියමිත්‍රයින් වියෝවීමත් දුකක්. එයට කියනව පියේහි විපයෝගෝ දුක්ඛය කියල. තමන් අභිමතාර්ථ යම් දෙයක් නොලැබුණත් එයත් තමන්ට දුකක්. යම් පිච්චංනලභති දුක්ඛං කීවේ එයට.
කොටින්ම කියනවනම් පඤ්චුපාදානක්ඛන්ධයම දුකයි.
පින්වත්නි, අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුනොත් එදාට අපට මේ සසර සැරිසැරීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීපවීමේ හැකියාව ලැබෙනව. මේ දුක්ගොන්න බැඳල තියෙන්නෙ පටිච්ච සමුප්පාදයෙන් අවිද්‍යා, තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයන් හොඳීන් හැදිනාගන්නාතුරු නිවනට පැමිනෙන්න බැහැ.
පටිච්චසමුප්පාදය නොදත් තැනැත්තාට ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට නොහැකිබව බුදුපියාණන් වහන්සේ ආනද ස්වාමීන් වහන්සේට එදා වදාළහ.
“ඒතස්ස ආනන්ද ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලක ජාතා ගුලාගුණ්ඨික ජාතා මුඤ්ඡබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති”
”ආනන්දය, මේ පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීම නිසා, අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිවේධ නොකිරීමනිසා මේ සත්ත්වයෝ අවුල්වූවාවූ නූල් පන්දුවක්සේ, අවුල්වූවාවූ මුඤ්ඡබබ්බඡ නම් තණවලින් ඇඹරූ දිරා කැඩීගිය කඹයක තණකෙඳීමෙන් අවුල්වූවාවූ සැපයෙන් පහවූ දුක්ඛයාගේ පැවැත්ම ඇත්තාවූ අපාය හා සංසාරය නොඉක්මවත්”
සකල දුක්ඛස්කන්ධයාගේ පහලවීමට හේතුවන පටිච්චසමුප්පාදය අවිද්‍යාව නොහොත් නොදැනීම නැතොත් මෝහය නිසාම හට ගන්නව.
අවිද්‍යාව නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගන්නව.
සංස්කාරනිසා විඥානය හටගනී
විඥානය නිසා නාමරූප හටගනී
නාමරූප නිසා ෂඩායතන හටගනී
ෂඩායතන නිසා ස්පර්ශය හටගනී
ස්පර්ශය නිසා වේදනාව හටගනී
වේදනාව නිසා තෘෂ්ණාව හටගනී
තෘෂ්ණාව නිසා උපාදානය හටගනී
උපාදානය නිසා භවය හටගනී
භවය නිසා ජාතිය හටගනී
ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනී.
මේ සියලු හටගැනීම් සඳහා උත්පත්ති ස්ථානය අවිද්‍යාවයි.
එසේනම් මාතෘකා කළ ගාථාව අනුව සියලු පව් නොකිරීමද ලොව්තුරා කුසල් වැඩීමද, සිත නීවරණයන්ගෙන් පිරිසුදු කරගැනීමද යන මෙය සියලු බුදුවරයින්ගේ අනුශාසනය බැවින් එම බුදුමඟ ගමන් කිරීමෙන් සසර දුකින් නිවී අනන්ත සැනසීම ඇති නිර්වාණ ධාතුව අවබෝධකර ගැනීමට අධිෂ්ඨාන කරගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි
හබරණ වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණ ධම්ම හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ දෙසැම්බර් මස 15 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment