Labels

Tuesday, August 25, 2015

ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය



පුල් විලක, පියුම් විලක තියන මල් වර්ග තුනක් ගැන අපි කලින් කතා කළා. ඒත් සමාජය නමැති විලේ ජීවත්වන සත්ත්වයන්ගෙ ස්වභාවය බුදුහාමුදුරුවො දකින්නේ ආකාර දහයකට. සත්ත්වයා කියන්නෙ මොන අර්ථයෙන් ද? “සත්ත” කියන පාලි වචනෙ ඇලුණු,පැටලුණු කියන තේරුමයි තියෙන්නෙ. ඒ අනුව රූප,වේදනා,සඤ්ඤා,සංඛාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධයෙහි ඇලුණු කෙනාට තමයි සත්ත්වයා කියන්නෙ.

සද්ධා,විරිය, සති, සමාධි,පඤ්ඤා කියල ඉන්ද්‍රිය පහක් තියනව. යම් කෙනෙකුගෙ මේ ඉන්ද්‍රිය උසස් තත්ත්වයක තියනව නම් වැඩි තත්ත්වයක තියනව නම් ‘පර’ කියනව. පහත් තත්ත්වයක අඩු තත්ත්වයක තියනව නම් ‘අපර’ කියනව. මේ පර – අපර වචන දෙක එකතු වුණාම පරෝපර කියල හැදෙනව. බුදුරජාණන් වහන්සේට සත්ත්වයන්ගෙ මේ ඉන්ද්‍රිය උසස් තත්ත්වයක තියනවද පහත් තත්ත්වයක තියනවද කියල බලන්න පුළුවන් ඤාණයක් තියනව. ඒ ඤාණයට කියන්නෙ “ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය” කියල.
මේ ඤාණයෙන් බුදුහාමුදුරුවො සත්ත්වයන්ගෙ ස්වභාවය ආකාර දහයකට දකිනව. මේ දහය පර-අපර වශයෙන් යුගල පහකට බෙදෙනව

1.අප්ප රජක්ඛ:රාගාදී කෙලෙස් අඩු සත්ත්වයන්
මහා රජක්ඛ: රාගාදී කෙලෙස් වැඩි සත්ත්වයන්
2.තික්ඛින්ද්‍රිය: ශ්‍රද්ධා දී, ඉන්ද්‍රියයන් තියුණු,බලවත් අය
මුදින්ද්‍රිය: ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් මෘදු, දුබල අය
3.ස්වාකාර : ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් සුන්දර, යහපත් ආකාරයට ඇති අය
ද්වාකාර: ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් පිළිකුල් සහගත ලෙස ඇති අය
4.සුවිඤ්ඤාපය: දේශනා කරන ධර්මය පහසුවෙන් අවබෝධ කරගත හැකි අය
දුවිඤ්ඤාපය : දේශනා කරන ධර්මය පහසුවෙන් අවබෝධ කරගත නොහැකි අය
5.පරලෝක - වජ්ජ භය දස්සාවිනෝ: පරලොව ගැනත් රාගාදී වැරදි ගැනත් බියෙන් දකින අය
න පරලෝක - වජ්ජ භය දස්සාවිනෝ: පරලොව ගැනත් රාගාදී වැරදි ගැනත් බියෙන් නොදකින අය.

කෙලෙස් අඩු නිසා අප්ප-රජක්ඛ කියන අයගෙ ශ්‍රද්ධා,විරිය, සති,සමාධි, පඤ්ඤා උසස් තත්ත්වයක තියනවා. කෙලෙස් වැඩි නිසා මහා -රජක්ඛ කියන අයගෙ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා තියෙන්නෙ පහත් තත්ත්වයක.
බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ එක එක ඉන්ද්‍රිය උසස් අයුරින් තියෙන අය ගැන පස් ආකාරයකින් දකින්න. ඒවගෙම පහත් අයුරින් තියන අය ගැනත් පස් ආකාරයකින් දකින්න. ඒ අනුව උසස් අයුරින් දැකීම විසිපස් ආකාරයක් වෙනවා. පහත් අයුරින් දැකීමත් විසිපස් ආකාරයක් වෙනවා. මේ විදියට ඉන්ද්‍රිය ධර්ම මුල්කරගෙන සත්ත්වයන් ගැන පනස් ආකාරයකින් දකින්න බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියනවා. ඒ පනහ ලැබෙන්නෙ මෙහෙමයි.
පළමුව

ශ්‍රද්ධාව ඇති පුද්ගලයගෙ

1.කෙලෙස් අඩුයි
2.ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්
3.ශ්‍රද්ධා ඉන්ද්‍රිය සුන්දරයි,
4.දේශනා කරන ධර්මය පහසුවෙන් අවබෝධ කර ගන්නව
5.පරලොව හා රාගාදී වැරදි ගැන බියෙන් දකිනව

ශ්‍රද්ධාව නැති පුද්ගලයගෙ

1.කෙලෙස් වැඩියි
2.ශ්‍රද්ධා ඉන්ද්‍රිය දුර්වලයි
3.ශ්‍රද්ධා ඉන්ද්‍රිය සුන්දර නැහැ
4.දේශනා කරන ධර්මය පහසුවෙන් අවබෝධ කරගන්නෙ නෑ.
5.පරලොව හා රාගාදී වැරදි ගැන බියෙන් දකින්නෙ නෑ

දෙවනුව මේ විදියට වීරිය ඇති පුද්ගලයටත් වීරිය නැති කුසීත පුද්ගලයටත් කරුණු පහ, පහ බැගින් දහයක් ලැබෙනවා.
තෙවනුව එළඹ සිටි සිහිය ඇති පුද්ගලයටත් මුළා වූ සිහිය ඇති පුද්ගලයටත් කරුණු පහ, පහ බැගින් දහයක් ලැබෙනවා
සිවුවෙනුව එකඟ වූ සිත් ඇති පුද්ගලයාටත් එකඟ නොවූ සිත් ඇති පුද්ගලයාටත් කරුණු පහ, පහ බැගින් දහයක් ලැබෙනවා.
පස්වෙනුවනුවණ ඇති පුද්ගලයටත් නුවණ නැති පුද්ගලයටත් කරුණු පහ, පහ බැගින් දහයක් ලැබෙනවා.
මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරන කොට බෝධිසත්ත්ව කාලෙ සිදුවීමක් සිහියට නැගෙනවා. අපේ බෝසත්තුමා අරූපාවචර තුන්වන ධ්‍යානය වන ආකිඤ්චඤ් - ඤායතනය ලබාගෙන හිටිය ආලාර කාලාම තාපසතුමා ඡ්ඟට ගියා. බෝසත් තුමා කල්පනා කරනව ආලාර කාලාමට විතරක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙන්නෙ මටත් ශ්‍රද්ධාව තියනව කියල. ඒ විදියටම විරිය, සති, සමාධි , පඤ්ඤා ගැනත් කල්පනා කළා.
නේව - සඤ්ඤා - නාසඤ්ඤා - යතනය කියන අරූපාවචර හතරවන ධ්‍යානය ලබාගෙන හිටියේ උද්දක රාමතාපස තුමා. එතුමාගෙ පුතාට කියන්නෙ උද්දක රාම පුත්ත කියල. මේ රාම පුත්ත තාපස තුමා ළඟට ගිය අපේ බෝසත් තුමා කල්පනා කළා. ඒ උද්දකරාමට ශ්‍රද්ධාව තිබුණ මටත් තියනවා කියල. විරිය, සති, සමාධි, පඤ්ඤා ගැනත් එහෙම කල්පනා කළා. මේ අනුව අපට පැහැදිලි වෙන්නෙ ආලාරකාලාම, උද්දකරාම, උද්දකරාමපුත්ත කියන තාපසවරු තුන්දෙනාම දීර්ඝ කාලයක ඉඳල රාගාදී කෙලෙස් දූවිලි, රජස් අඩු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් හොඳ තත්ත්වයක තිබුණු අය කියල.

 2014 ජුනි මස 04 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment