Labels

Sunday, August 30, 2015

අකුසලෙන් මිදී කුසල්හි යෙදීම




නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ආයු ආරෝගියං වණ්ණං
සග්ගං උච්චා කුලීන තං රතියෝ පන්ථයන්තේන
උධාරේ අපරාපරේ
අප්පමාදං පසංසන්ති - පුඤ්ඤකිරියාසු පණ්ඩිතා
අප්පමත්තෝ උහෝ අන්ථෙ - අධි ගණ්හාති පණ්ඩිතො
දිට්ෙඨිව ධම්මේ යෝඅත්ථෝ - යො වත්ථෝ සම්පරායිකෝ
අත්ථාභිසමයා ධීරො - පණ්ඩිතෝති පවුච්චතිති



පින්වන්ති,


ධර්මය අහන්න අහන්න ධර්ම රසය දැනෙනවා. ධර්මය සියලු රසයන්ට වඩා උතුම් වන්නේ ඒ නිසයි. ඇස, කන, ආදි ඉඳුරන්ගෙන් විඳින හැම රසයකටම වඩා ධර්මය දැන ගැනීමෙන් මනසින් විඳීන ධර්ම රසය ප්‍රධානයි. බුදුවරු ලොවට පහළ වුණේ මේ දහම් රසය බෙදා දෙන්නයි.
දහම්පාසල්වල අවසාන ශ්‍රේණි විභාගය ආදි ඉහළ පන්තිවල හොඳට ඉගෙන ගන්නා ළමයි දන්නවා ධර්මය ඉගෙනගන්න ඉගෙනගන්න තරමට ධර්ම රසය, ධර්ම රතිය ලැබෙන බව , යස කුල පුත්‍රයා උපතිස්ස පිරිවැජියා මේ විදියට ධර්මය අවබෝධ කළා. දහම් රසය වින්දා, එය සඳහන් වන්නේ මෙහෙමයි. දිට්ඨ ධම්මෝ පත්ත ධම්මෝ! විදිත ධම්මෝ විරියේගාළ්හ ධම්මෝ!
දිට්ඨ ධම්මෝ - ධර්මය ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කළා.
පත්ත ධම්මෝ :- ධර්මයට ඇතුළත් වුණා. පැමිණුනා. සෝවාන් ආදි මාර්ග ඵල අවබෝධ කළා.
විදිත ධම්මෝ :– බුදුදහම නියම හැටියට, හරිහැටියට අවබෝධ කරගත්තා.
පරියෝ ගාළ්හ ධම්මෝ :- ධර්මයට බැසගන්නා වූ දැනුම
ධර්මය අවබෝධ කළ සෝවාන් පුද්ගලයා සතර අපායේ උපදින්නේ නැහැ. වැඩීම වුනොත් සසර උපදින්නේ හත් වතාවයි.සසරින් එතරව නිවන් දකිනවා. අන්න එයයි බණ ඇසීමේ නියම ප්‍රයෝජනය.
සැරියුත් හාමුදුරුවෝ උපතිස්ස පරිබ්‍රාජක කාලයේ තම යහළුවා වන කෝලිත සමග කථා කරගත් පරිදි ධර්මය සොයමින් ඇවිදින විටයි පස්වග තවුසන් අතර පස් වැනියා වූ අස්සජි රහතන් වහන්සේ හමුවුණෙ. බණ කියන්න කියලා කළ ඉල්ලීම නිසා “යෙ ධම්මාහෙතුප්පභවා -තේසං හේතුං තථාගතො ආහ” යන ගාථාර්ථය දේශනා කරණවාත් සමගම සෝවාන් ඵලයෙහි පිහිටියා.මේ ගැඹුරු බණක්, බුදුහාමුදුරුවන් ළඟට ප්‍රඥාවන්තයා සේ සැරියුත් හාමුදුරුවෝ වහාම ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා බණ ඇසිය යුත්තේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම බව සිතට ගන්න.

ආදීම් හි සීලං දස්සෙය්‍ය
මජ්ඣෙ මග්ගං විභාවයේ
පරයෝ සා නම්හි නිබ්බාණං
ඒසා කථික සණ්ඨති


පළමුවෙන්ම ශීලය පිළිබඳව දැක්විය යුතුය. ඊළඟට ලෞකික වශයෙන් සිතේ දියුණුව ඇතිකර ගැනීම හා ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය එනම් නිවන් මග පැහැදිලි කළ යුතුය.අවසානයේ නිවන විස්තර කරදීම ධර්ම කථිකයාගේ පිළිවෙළ වන්නේය. මේ ධර්ම කථික ලීලාවෙන් හැ¼ගවෙන්නේ ශීල සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවයි.
ශීල යනු චරිත ශුද්ධියයි. සමාධිය යනු චිත්ත විශුද්ධියයි. ප්‍රඥාව නම පිරිසුදු නුවණයි.
කයින් හා වචනයෙන් කෙරෙණ පව් නොකර සිල්වත්ව පිළිවෙත් ගරුකව, අනුන්ගෙන් එන චෝදනාදියට ඉඩ නොතබා අවංකව පිරිසුදු චරිතයකින් ජීවිතය උසස් තත්ත්වයට පත් කරගත යුතුයි. බණ දේශනා කළ යුත්තේ එය පහදා දීමටයි. ශීලය ඒකාන්තයෙන්ම සුගති සම්පත් ලබාදෙයි.
සිල්වත් පුද්ගලයාට අනතුරුව සිත දියුණු කිරීමෙන් ධ්‍යානාදිය ලබාගත හැකි අයුරු පෙන්වා දිය යුතුයි. සිතේ බලපවත්වන ආශාවන් ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය, මෝහය, නරක ගති ඉස්මතු වීමෙන් සිත නොසන්සුන් වී ඇනුම් බැණුම් කලකෝලාහල මිනීමෑරුම්වලට පවා සිදු කරවයි. භාවනා මගින් සිත එකග කරවා ගෙන මේ නරක ගති මැඩ පවත්වා ධ්‍යානාදිය මගින් සිත සමාධිගත කරගත හැකියි.

අන්ධකාරෙණ වො නද්ධා
පදීපං න ගවෙස්සථ 

 
අඳුරෙහි ගිලී සිටින ඔබ පහනක් සොයන්නේ නැද්ද? සිත තුළ ඥාන ප්‍රදීපය දල්වා ප්‍රඥාලෝකය පතුරුවා ලෞකික ලෝකෝත්තර සැපතගත යුතු බවයි ඉන් අදහස් වන්නෙ. ධර්ම දේශනා කිරීම යනු සිනාසීමට විහිලු කිරීමක් නොවේ. නිතර බණ අසන සැදැහැතියන් මෙය හොඳීන් දන්නවා.
දැන් මාතෘකා කළ ගාථාවේ එන පළමු කරුණ විමසා බලමු.

1.ආයු :- ආයුෂය හෙවත් ප්‍රාණය යනු ජීවිතින්ද්‍රිය නොසිඳී දිගටම පැවතීමයි. ‘පාණෝ නාම ජීවිතින්ද්‍රියං පණ නම් ජීවිතින්ද්‍රියයි. එනම් අරූප ජීවිතන්ද්‍රියයි. ජීවිතින්ද්‍රියස්ස උපච්ජේදෝ මරණං ජීවිතෙන්ද්‍රිය අවසන් වීම මරණයයි. කර්මජ චිත්තජ,ඍතුවී ආහාරජ යනුවෙන් රූපකලාප හතරක් පවතිනවා.
කර්මජ :– පෙර ජාතියේ පූර්ව කර්ම ශක්තිය නිසා මේ ජාතියේ පැවැත්මට අවශ්‍ය කොටස් කර්මජ රූපයි.
චිත්තජ –උපන්නාට පසු ඇතිවන රූපය
ඍතුජ - සීතල උණුසුම ආදිය නිසා ඇතිවන රූපය
ආහාරජ ආහාර නිසා ඇති වන රූපය
මේවායින් ප්‍රාණය හෙවත් ජීවි අයත්වන්නේ කර්මජ රූප කලාපයටයි.
ෂට් ශාස්තෘන්ට අයත් නිගණ්ඨනාථපුත්ත ගස්වැල්වලට ද පණ ඇතැයි උගැන්වුවත් කර්මජ , චිත්තජ රූප ඒවාට නැති නැති නිසා බුදුහාමුදුරුවෝ එය බැහැර කළා. වතුර පෝර යනාදිය නිසා ගස් ආහාරජ ඍතුජ රූප නිසයි පවතින්නේ.
දීර්ඝායු විඳීම යනු ජීවිතින්ද්‍රිය දිගටම පවත්වා ගැනීමයි. අප කවදා හෝ කොතැනදි මැරෙනවා. නමුත් කවුරුත් කැමැති වැඩිකලක් ජීවත්වෙන්නයි.
නිරෝගි සැපත

ආරෝග්‍ය හෙවත් නිරෝගි සැපත අවශ්‍යයි. අසනීප වී පිනක් දහමක් හෝ වෙන වැඩක් කිරීමට නොහැකිව ඇඳට වී ඉන්නට වුනොත් ඇති ඵලය කුමක්ද? එම නිසා අප සැමට ආයුෂ වගේම නිරෝගි සැපත අවශ්‍යය
.
වර්ණ සම්පත්තිය

පෙර පින ඇති අයගෙ ඇස ආදියට පි‍්‍රය දුටුවන් පහදවන පෙර පින ඇති අයගෙ පින් පාටින් යුතු මුහුණ හා සෙසු අගපසඟ වර්ණ සම්පත්තියයි. සබන් පුයර විලවුන් ආදියෙන් ඇති කළ කෘත්‍රිම වර්ණය නොවේ. එබඳු රූපයක් දැකීමෙන් ඇතිවන සතුට දෙපරිදියි. නිරාමිස සතුට සාමිස සතුට යනුයි.
දක්ෂ කලාකරුවකු විසින් නෙළූ අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව වැනි පිළිමයක් දකින ශ්‍රද්ධාවන්තයාට ඇතිවන සතුට නිරාමිස සතුටට නිදසුනක් එය ශ්‍රද්ධාව -සොම්නස දියණු කරවයි.
කිසියම් රූපයක්, රාගයෙන් ප්‍රේමයෙන්, ආශාවෙන් බැලීමෙන් නැවත නැවතත් බැලීමෙන් ඇති වන සතුට, සාමිස සතුටක්, එය කාමාශාව තණ්හාව උපදවන පව් සිතිවිලි ඇති කරවන්නක්. මාළුවා ඇම ගිලගත්විට ජීවිතයක් විනාශ වෙනවා වගේ සාමිස පී‍්‍රතිය සසර දුක් රැසකට මුලපුරයි.
සාමිස වූ සැප වේදනාවක් විඳීමේ දී ඒ බව සිහි කළ යුතුයි. එවිට පව් සිතිවිලි පහළවීම වළක්වාගත හැකියි.
ඇස ආදි ඉඳුරන් පිනවීමටයි කවුරුත් කැමැති නමුත් බෞද්ධ ඉඳුරන් ජයගැනීමට කටයුතු කළ යුතුයි. අසහනය නැතිවෙන්නේ එවිටයි. තරුණ අයටත් ගිහි පැවිදි කාටත් මෙය ඉතාම අවශ්‍යයි. සිරි සඟබෝ කුමරුට මයිලණුවන් වන නන්ද හාමුදුරුවන් අවවාද කළ අයුරු. එලුඅත්තනගලු වංශයේ සඳහන් වෙනවා ලස්සනට. එය තරුණ අයට හැදෙන අයට ඉතාම ප්‍රයෝජනවත්.
ඉන්ද්‍රිය විවිධ හෙවත් ඉඳුරන් ජයගැනීමට අවශ්‍ය කරුණු දෙකක් සඳහන් වෙනවා.ඒවා නම් ගුරු දෙගුරු ළඟින් ඇසුරු කිරීම, ගුරු දෙගුරු අවවාද පිළිපැදීමයි.
අද මවුපිය ගුරුවරුන්ගේ අවවාද නුරුස්සන බව පේනවා. සමහරු හිතන්නේ තමන් තරම් මවුපියන් දන්නේ නැහැ කියායි. ඇත්තෙන්ම මව්පියන් බුදුවරු වගේ කරුණාවෙන් හොඳට හදාගන්න අදහසිනුයි මග පෙන්වන්නේ.
බුද්ධ වචනය අනුව ගරු බුහුමන් කළ යුතු හතර දෙනෙක් සිටිනවා. එනම් මව, පියා වැඩිමල් සහෝදරයා සහ ගුරුවරයායි.
පැවිදි අය හැදුනේත් ගුරුහාමුදුරුවරුන්ගේ අවවාද අනුශාසනා පිළිපැද්ද නිසයි. හිස මුඩු කිරීම,පිටින්, එන ආරාධනා පිළිගැනීම ගමන් යාම ආදි හැම දෙයක්ම කළේ නිසි පරිදි අවසර ලබාගෙනය. ගුරුහාමුදුරුවන් මවුපියන් හා සමානයි. වෙනසක් නැතිව දරුවන් වගේ ආදරයෙන් ශිෂ්‍යයන් රැකබලා ගන්නේ. එම නිසා ශිෂ්‍යයනුත් ගුරුවරුන්ට මවුපියන්ට වගේ සැලකිය යුතුය.මේ ශාසනය පවතින්නේ ඒ සබඳතාවය අනුවයි. නැතිනම් ශාසනය අතරමග නතරවේවි.
සතර අපායට වැටී දුක් නොවිඳ මිනිස්ලොව හා සදෙව්ලොව යන සුගතියේ උපත ලැබීමට නුවණැති අය කැමැතිය. ඒ සඳහා අවශ්‍ය ගුණදම් මෙලොවදී රැකිය යුතුයි.
මහජනතාවගේ ගරුබුහුමන් ලබා උසස් කුල ගෙයක උපත ලැබීමද නුවණැත්තන්ගේ එක් පැතුමකි.
ප්‍රමාදය හා අප්‍රමාදය යනු කුමක්ද? ප්‍රමාදය යනු වෙලාව පරක්කුවීම නොවේ. සිහිනුවණින් තොරව කටයුතු කිරීමය. එබන්දා පස් පව් දස අකුසල කොට දුක් රැසක් ලබයි. බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාදය “අප්පමාදෙන සම්පාදෙථ” යන්නයි. සිහිනුවණින් යුතුව කුසලයන්හි යෙදෙමින් අකුසල් දුරු කරමින් සීල සමාධි ප්‍රඥාවන් වැඩීමයි. මින් අදහස් කරන්නේ. ඇස ආදි පසිදුරන්ගෙන් වැරදි ප්‍රයෝජන නොගෙන කටයුතු කිරීමය. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පාරමිතා පිරූ පරිද්දෙන් ප්‍රඥාව මුල්කොටගත් බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කිරීමයි. පණ්ඩිතයා, ධීරයා යනාදි වචනවලින් හඳුන්වන්නේ මෙතෙක් විස්තර කළ දීර්ඝායුෂද් ආදි සම්පත් ලබා ගැනීම ම හේතුවන අප්‍රමාදි පුද්ගලයායි.
පින්වත
ඔබද අකුසලයෙන් දුරුව කුසලයෙහි අප්‍රමාදීව යෙදී උතුම් නිවන් සැපත සාදා ගන්න



  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දරව වැඩ විසූ රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නා හිමියන්ගේ 105 වන ජන්ම දිනය මෙම මස 12 වනදාට යෙදී ඇත. 1994.04.25 වනදා බුදුසරණ පුවත්පතෙහි පළවූ මෙම ලිපිය උන්වහන්සේට උපහාර පිණිස නැවත පළ කරන ලදී




 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජනවාරි 08 වන බදාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment