අප ජීවත් වන මේ සමාජයෙහි සිදුවන යාග හෝම, බලිබිලි, පුදපූජා පිළිබඳ අදත් අපට අහන්ට ලැබෙනවා වගේම ඒ පිළිබඳ විවිධ මතත් පළ වෙනවා. බුදුදහමෙන් නිරන්තරයෙන්ම පූජා විධි ප්‍රතික්ෂේප වන්නේ පුද පූජාවෙන් පමණක් බුදු දහමෙහි උගන්වන පරම විමුක්තිය වූ නිර්වාණය සඵල කර ගත නොහැකි වන නිසාය.
බුදුදහම අනුව පූජාව වුවද යොදා ගත යුත්තේ ආධ්‍යාත්මයෙහි හට ගන්නා විවිධ කෙලෙස්වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නා වූ කුසල සිතිවිලි ඇති කර ගැනීම පිණිසයි. නිදසුනක් වශයෙන් ගත්විට දානය යන්න එක් වරම ආමිෂ හෙවත් පූජා ගණයට වැටෙන්නකි. එහෙත් බෞද්ධ ඉගැන්වීම් තුළ දානයෙන් හෙවත් පරිත්‍යාගයෙන් අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන් ආධ්‍යාත්මයෙහි හට ගන්නා ලෝභය හෙවත් තෘෂ්ණාව යටපත් කර ගැනීම හෙවත් ක්ෂය වීමට අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීමයි. ඒ සමඟම අනෙකුත් කෙලෙස් සිතිවිලි වන ද්වේශය හෙවත් පටිඝය හා මෝහය හෙවත් මුළාව යටපත් කර ගැනීමයි.
කෙසේ වුවද වර්තමානයෙහි මිනිසාගේ විවිධ භෞතිකමය ප්‍රාර්ථනා ඉටුකරගනු පිණිස විවිධ බලි බිලි පූජා පවත්වනු අප අසා තිබෙනවා. දැක තිබෙනවා ඒ හැම ප්‍රාර්ථනාවක්ම සත්‍ය වශයෙන්ම නොයෙක් භෞතිකමය ලාභ අරමුණු පරමාර්ථ සපුරාගනු පිණිසය. සමහර ආගමික පිරිස් විසින් ද මෙවැනි යාග බලි බිලි පූජා පවත්වනවා. මෙහි තවත් අනර්ථකාරි හිංසාකාරී පැත්තක් නම් අද වුවද ඇතැම් ආගමිකයන් විසින් සිය ගණන් සතුන්ගේ ජීවිත විනාශ කරමින් මෙවැනි පුද පූජා පැවැත්වීමයි.
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ක්‍රි.පූ. 6 වන සියවසේ ඉන්දියාවේ පැවැතියේ මීටත් වඩා අන්තගාමී වූ අනර්ථකාරී වූ හිංසක යාගහෝම පුද පූජා විධින් ය. එකල විසූ එවැනි පුද පූජා පවත්වමින් සිටි උග්ගතසරිර නම් බමුණා ද එවැන්නෙකි. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි තමන් සතු භවභෝග නිසා ද ශරීරයෙන් උස්මහත් බවට පැමිණි නිසා ද උග්ගතශරීර යන්න ඔහුට අන්වර්ථ නාමයක්ම වුණා. මේ බමුණා විසින් තම යාගය සඳහා හැමවිටම අවම වශයෙන් පන්සියය බැගින් සිවුපා සතුන් ඝාතනය කරනවා. ඒ අනුව පන්සියයක් හරකුන්ද, පන්සියයක් තරුණ වස්සන්ද, පන්සියයක් තරුණ වැස්සියන් ද, පන්සියයක් එළුවන් ද, පන්සියයක් එළිච්චියන්ද, මෙසේ යාගය සඳහා ඝාතනය කරනවා. මේ බමුණාට දවසක් මෙබඳු සිතක් පහළ වූවා. මෙපමණ මා මහත් පරිශ්‍රමයක් දරමින් මෙන්ම සතුන් සඳහා වියහියදම් ද දරා කරන මේ යාගයේ ආනිශංස හෝ හොඳ නරක කියා දීමට මේ දවස්වල අපේ මේ සැවැත් නුවර ප්‍රසිද්ධියක් ලබා තිබෙන ශ්‍රමණ භවත් ගෞතමයන් හමුවුණොත් දැනගන්නට පුළුවන් වෙයි. මොකද? උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයෙකු ලෙස දැන් මේ දඹදිව මහත් ප්‍රසිද්ධියක් ලබා තිබෙන නිසා, මෙසේ සිතු උග්ගතසරීර බමුණා බුදුරජාණන් වහන්සේ හමුවීමට ජේතවනාරාමයට ගියා. එහෙම ගිහින් බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා පැත්තකට වෙලා හිඳ ගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. “ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, මම අසා තිබෙනවා යාගය සඳහා ගිනි දැල්වීමත්, ජීවිත දානය සඳහා එම ගිනි ඇවිලෙන යාගස්ථම්භය සිටුවීමත් මහත් ආනිශංසදායක මහත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බව. එය එහෙම ද ස්වාමීනි” කියා බුදුරජාණන් වහන්සේගෙන් අහන මේ බමුණාට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ “එය එසේය, බමුණ මා විසිනුත් ඒ ආකාරයෙන්ම ගිනි දැල්වීමත් යාග කණුව හෙවත් යාගස්ථම්භය යාග කණු සිටුවීමත් මහත් ප්‍රයෝජනයි. මහත් ප්‍රතිඵලදායකයි කියා මා දැනගෙන තිබෙනවා” යනුවෙනි. දෙවන හා තෙවන වරටත් උග්ගතසරීර බමුණා අසන විට දෙවන හා තෙවන වරටත් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර එයම වුණා. බමුණා දැන් සිතනවා එහෙම නම් මගේ මේ යාග පූජාවේත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලත් වෙනසක් නැහැ. සමානයි කියා. මේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ බමුණාට පවසනවා “බමුණ ඔය කාරණය බුදුරජාණන් වහන්සේගෙන් ඇසිය යුත්තේ ඔහොම නොවේ. ඔබ ඇසිය යුත්තේ බුදුරජාණන් වහන්ස, මම යාග ගිනි දල්වන්නට කැමැතියි. යාග කණුව සිටුවන්නටත් කැමැතියි ඒ සඳහා සතුන් යොදා ගෙන එම පූජාව කරන්නත් කැමැතියි. ඉතින් බොහෝ කාලයක් මගේ සිත සැප පිණිස ඒ සඳහා මට අවවාද අනුශාසනා කරන්නයි” යනුවෙනි. ඒ අවස්්ථාවේ දී බමුණා ආනන්ද හිමියන් පැවසූ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට බුදුරජාණන් වහන්සේ එය සිදු කරන ආකාරය පැහැදිලි කර දුන්නා.
යාග ආයුධ තුනකි
ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යාග ගිනි දල්වන්නාත් යාග කණුව සිටුවන්නාත් සතුන් යාගයට යොදවන්නාත් යාගයට පෙර ආයුධ තුනක් ඔසවන බවත්, ඒ ආයුධ තුන ලෙස මනඞ ආයුධය, වාග් ආයුධය, කාය ආයුධය වශයෙන් තුනක් ඔසවනවා. පළමුව යාග ගිනි දල්වනු කැමැති, යාග කණුව සිටුවනු කැමැති බමුණා මෙපමණ හරක් එළුවන්, වස්සන්, වැස්සියන්, එළිච්චියන් මෙම යාගයේදී ගිනි ගසා ඝාතනය කර යාග පූජාව කරනවා කියා සිතින් මෙනෙහි කරනවා. එය මනඞ ආයුධය එසවීමයි. එයින් පින් එක්රැස් කර ගන්නවා කියා සිතුවත් පව් එක්රැස් කර ගන්නවා. දෙවනුව යාගයට පෙර මෙපමණ මෙපමණ ගොනුන්, වස්සන්, වැස්සියන්, එළුවන්, එළිච්චියන් යාග පූජාවට යොදාගන්නවා. ඔවුන් මරණවා කියා වචන පැවැසීමෙන් වාග් ආයුධය ඔසවා වචනයෙනුත් පින් එක්රැස් කරනවා කියා සිතුවත් පව් කර ගන්නවා. තෙවනුව යාග ගිනි දල්වා, යාග කණුව සිටුවා, සතුන් ඝාතනය කර යාගය පැවැත්වීමෙන් කාය ආයුධය ඔසවා පින් එක්රැස් කරනවා කියා සිතා ඊටත් වඩා බරපතළ පව් එකතු කර ගන්නවා. අවසානයේදී මනස, වචනය හා කය යන ආයුධ හෙවත් දොරටු තුනෙන්ම පින් කියා එකතු වී ඇත්තේ මහා පව් ගොඩක්. මේ නිසා යාග ගිනි දල්වන, යාග පූජාව පවත්වන අය කර තිබෙන්නේ මෙලොවත් පරලොවත් දුක් විපාක දෙන මෙලොවට හා පරලොවට අවැඩදායක පරලොව දී ඒකාන්ත වශයෙන්ම දුගතියෙහි උත්පත්තිය ගෙන දෙන කර්ම රැසක් එකතු කර ගැනීමයි.
කුසල සිතිවිලි තුනකි
බුදුරජාණන් වහන්සේ මෙහිදී ගිනි තුනක් පෙන්වා දෙනවා. මුලින් සඳහන් කළ ආකාරයෙන්ම රාග ගින්න, දෝස ගින්න හා මෝහ ගින්න. රාග ගින්න ඇති තැනැත්තා, දෝස ගින්න ඇති තැනැත්තා මෙන්ම මෝහ ගින්න ඇති තැනැත්තා කයින්, වචනයෙන් මෙන්ම මනසින් පව් එකතු කරනවා. මෙම තුන් ගින්නම නිමා දැමීමයි, නැවත නොදැල්වෙන ලෙස ක්‍රියා කිරීම තමා බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. මේ ගිනි තුන වෙන් වෙන්ව පවතින විට ඇති දැවිල්ල මෙන්ම මේ එක් ගින්නක් නොවේ ගිනි තුනම එක් වූ විට සිය දහස් ගුණයකින් සත්වයා දවන විනාශ මුඛයට ඇද දමන විනාශකාරී තත්ත්වයක් ඇති කරනවා. මේ අනුව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව මේ ගිනි තුන අවම කර සම්පූර්ණයෙන් නිවා දැමීම තුළ සැබෑ යාග ගින්න දල්වන බවයි අදහස් කරන්නේ. එවිට අලෝභ, අදෝස හා අමෝහ යන කුසල සිතිවිලි ඇති වෙනවා. පින් එක්රැස් වෙනවා. යාග ගින්න කුසලයක් හා ඒ මඟින් පිනක් බවට සැප විපාක ගෙන දෙන්නක් බවට පත් වන්නේ එවිටයි. එසේ නම් ඒ ගිනි තුන වෙනුවට අප යොදා ගතයුතු ගිනි තුනක් බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා. ඒ වෙනුවට වෙනත් ගිනි තුනක් තිබෙනවා.
ගිනි වර්ග තුනකි
ආහුණෙය්‍ය ගින්න, ගහපති ගින්න හා දක්ඛිණෙය්‍ය ගින්න වශයෙන් ගිනි තුනක් වෙනවා. ආහුණෙය්‍ය ගින්න මේ නම් දරුවන් හට ගන්නේ දෙමාපියන් වෙතින් එසේත් නැති නම් මේ ලෝකයට දරුවන් ගෙනහැර පෑම හෙවත් බිහි කිරීම සිදු වන්නේ මව්පිය දෙපල එක්වීමෙනුයි’ ඒ අය එසේ ගෙනහැර පාන දරුවන් ආරක්ෂා කරමින් පෝෂණය කරනවා. එහෙම නම් මේ ආහුණෙය්‍ය ගින්න වන දෙමාපියන් දරුවන් විසින්ද මනාව පෝෂණය කළයුතු වෙනවා. දෙමාපියන්ට සත්කාර සම්මාන කළ යුතු වෙනවා. ඒ නිසාම එය මනා වූ ගිනි පූජාවක් බවට පත්වෙනවා. එය තමා පින් රැස් කෙරෙන පූජාව. එය ආහුණෙය්‍ය ගින්න කියා ධර්මයට අනුව විස්තර වෙනවා. ඊළඟට තව ගින්නක් තිබෙනවා. එයට කියනවා ගහපති ගින්න කියා. කුමක්ද? මේ ගහපති ගින්න. මේ ලෝකයේ අපි ජීවත් වනවිට විශේෂයෙන් ගිහි ගෙවල්වල දරුවෝ ඉන්නවා. භාර්යාව ඉන්නවා. එසේ නොමැති නම් ස්වාමි පුරුෂයා ඉන්නවා. ඒ අතර දාස දාසියෝ ඉන්නවා. අපට සේවාවන් සපයන සේවකයෝ, කම්කරුවෝ ආදි නොයෙක් දෙනා ඉන්නවා. මේ සියල්ල එකට ගත්විට එයට කියනවා ගහපති ගින්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ සමාජ පැවැත්මේ ස්වභාවයයි. ඉතින් මේ පිරිස් සමඟ අප ජීවත් වනවිට ඔවුනොවුන් තමතමන්ගේ යුතුකම් මැනවින් ඉටු කළේ නැතිනම් එය සමාජයේ යහපැවැත්මට අතිශයින් අහිතකර වෙනවා.
නිදසුනක් වශයෙන් ගතහොත් ස්වාමියා සේවකයාගෙන් පමණට වඩා වැඩ අරගෙන ඔහුට නියමිත වැටුප නොදී ඔහුගේ ශ්‍රමය සූරාකන ලෙස සේවය ගත්තොත් කුමක්ද? සිදු වන්නේ. එයින් සමාජයේ මහත් දෙදරීමක් සිදුවෙනවා. අසමඟිය දියුණු වෙනවා. සේවක වර්ජන, තර්ජන, ගර්ජන උත්සන්න වෙනවා. වෛරි සමාජයක් නිර්මාණය වෙනවා. එතකොට මේ ගින්න මනාව පරිහරණය කිරීම තමා ගෘහපති ගින්න පුදනවා යන්නෙන් අදහස් කරන්නේ.
ඒ විදියටම දෙමාපිය දරුවන්, පාලක පාලිතයන්, ගුරු ශිෂ්‍යයන්, ස්වාමි භාර්යාවන් ආදි හැම දෙනාම ඔවුනොවුන්ගේ යුතුකම් මැනවින් දැන හඳුනාගෙන ඒවා ඉටු කරමින් කිරීමයි. ඊළඟ ගින්න දක්ඛිණෙය්‍ය ගින්න යි. දක්ෂිනාර්හ උත්තමයන් නමැති ගින්න යි. ඒ උතුමන්ගේ ස්වභාවය කෙබඳුද? උන්වහන්සේලා රාගාදි සියලුම අනිටු විපාක දෙන සසර දිග් කරන මදයන්ගෙන්, දූෂ්‍ය කරගත් සිත්වලින් සම්පූර්ණයෙන්ම දුරුවෙලයි වැඩ ඉන්නේ. සිත සන්සුන් කර ගෙන ඉවසීම ප්‍රගුණ කර ගෙන සිත දමනය කර ගෙන තිබෙනවා. පිරිනිවීම අවසන්කොට ඇති සිත් ඇතිව වාසය කරනවා. ඒ නිසාම එවැනි උතුමන්ගේ නැවත උපතක් ඇතිවන්නේ ද නැත. උන්වහන්සේලා හැම අතින්ම දක්ෂිණාර්හ උත්තමයන් වන නිසයි එවැනි උතුමන්ට දක්ඛිණෙන්‍ය ගින්න යන ව්‍යවහාරය යෙදෙන්නේ. එවැනි ගින්න පිදීම යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේලාට ගරු කිරීම, ආවතේවා සත්කාර සම්මාන කිරීම, පුදපූජා පැවැත්වීම හා කල්‍යාණ මිත්‍රයන් සේ සලකා මැනවින් ඇසුරු නිසුරු කරමින් සේවනය කිරීමයි. මේ ගින්න කලින් කල දැල්විය යුතු වෙනවා. මේ ගින්න ආරක්‍ෂා කළ යුතු වෙනවා. මේ කියන ගින්න නොනිවෙන පරිදි පැවැතීමයි වැදගත් වන්නේ. අනෙකුත් සසර දිගු කරන ගිනි ඉවත් කිරීමයි කළයුතු වන්නේ.
නිවීම
එසේ නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ආහුණෙය්‍ය ගින්නත්, ගහපති ගින්නත්, දක්ඛිණෙය්‍ය ගින්නත් මිනිසා විසින් පරිහරණය කිරීමේ වැදගත්කම වගේම මුලින් කී පරිදි ගිනි දල්වා යාග කණුව සිටුවා, අහිංසක සතුන් සිය ගණනින්, දහස් ගණනින් ඝාතනය කරමින් මිත්‍යා පුද පූජා පැවැත් වීම සසර දිගු කරන අතිශය අනර්ථකාරි, හිංසාකාරි පාප ක්‍රියාවන් බවයි. එසේ නම් පින් සිදු කරගන්නවා කියා එවැනි අය සිදු කරන්නේ පව් රැස් කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේගේ මේ කරුණු දැක්වීමෙන් පසු උග්ගතසරීර බමුණා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රසාදයට පත් වුණා. එමෙන්ම යාගය සඳහා ගෙනවුත් සිටි ගවයන්, වස්සන්, වැස්සියන්, එළුවන් ආදි සියගණන් සතුන්ට අභය දානය දුන්නා. බමුණා බුද්ධ ධම්ම හා සංඝ යන තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත්වුණා. එමෙන්ම ඒ සතුන්ට නිදහසේ කෑමට නිල් තණ කොළ ආදියත් වතුර පානය කිරීමටත් සියලු අවකාශ සලසා දුන්නා. බමුණා තෙරුවන් සරණ ගිය සැදැහැති බෞද්ධ උපාසකයෙකු බවට පත් වුණා.
බුදුරජාණන් වහන්සේ අපට මේ කරුණු පැහැදිලි කර දී තිබෙන්නේ මහායඤ්ඤ සූත්‍රයෙනුයි. මේ සූත්‍රදේ්ශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ, මෙම දේශනාව මගින් ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමා අප විසින් කරන හැම කාර්යයක්ම අපේ සිතිවිලි හා බැඳී පවතින බව. ඒ සියල්ලම උග්ගතසරීර බමුණා තෙරුවන් සරණ යාමට පෙර අනුගමනය කළ අධාර්මික පුද පූජා ගණයට ඇතුළත් වෙනවා. බමුණා එදා මහායාගයෙන් සසර දිගු කරන මහා පව්කන්දරාවකුයි එක්රැස් කරගෙන තිබෙන්නේ. ඒ නිසා අප කවුරුත් කෙලෙස් නිවීම අරමුණු කර ගෙන පරිස්සමෙන්ම පින්කම් කරන්නට කල්පනා කළයුතු වෙනවා.
දෙවැනි කරුණ වන්නේ ලෞකික සමාජයේ චිර පැවැත්මට වගේම සාමකාමි සහජීවනයට අවශ්‍ය ධාර්මික සමාජ පරිසරයක් බිහි කරගෙන ආහුණෙය්‍ය ගින්න, හා ගහපති ගින්න යන මේ ගිනි දෙක දැල්වීමෙන්, පිදීමෙන් හෙවත් සේවනයෙන් විශාල වශයෙන් ධාර්මික වූ ලෞකික දියුණුවක් ඇති වෙනවා. වර්තමානයේ ගෘහ ජීවිත ගත කරන බොහෝ දෙනා මුහුණ දෙන පවුල් අවුල් අඬදබර අඩු වී සමාජයේ රැවුම්, ගැරහුම්, වෛරය, ක්‍රෝධය දුරුවී හැම පුරුෂයෙක්ම, කාන්තාවක්ම වඩාත් ආරක්ෂාකාරී ජීවිත ගත කිරීමට භාග්‍යය ළඟා කරගන්නවා. එමෙන්ම දක්ඛිණෙය්‍ය ගින්න සේවනය කිරීමෙන්, අභ්‍යාස කිරීමෙන් සිත්සතන් දමනය වීමෙන්, සිත සමාධි ගත කිරීමෙන් සියලු දැවීම්, තැවීම් නැති, දුක් බිය කිසිත් නැති සදාකාලික නිවීම හෙවත් නිර්වාණයට පිවිසීමේ ශක්තියත් ඇති කර ගන්නවා. මේ අනුව මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ලෞකික වශයෙන් හා ලෝකෝත්තර වශයෙන් බෞද්ධ ජීවන මාර්ගය සකස් විය යුතු අයුරු උග්ගතසරීර බමුණාට පැහැදිලි කර දී තිබෙනවා. එය අද දවසේ ජීවත් වන අප හැම දෙනාගේම ජීවිත මෙලොව හා පරලොව වශයෙන් වැඩ දායක වන බෞද්ධ ඉගැන්වීමක් බව පැහැදිලි කර දීමට පුළුවන.
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
උපකුලපති මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
අප්‍රේල් 14 වන සඳුදා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment