Labels

Thursday, August 27, 2015

සැබෑ අවබෝධය


තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධානුසාරී ආර්ය ශ්‍රාවකයා මෙම ආයතන පිළිබඳව සැබෑම අවබෝධයට පත්වීම නිසා ඇස පිළිබඳවත්, කන පිළිබඳවත්, නාසය, දිව, කය, මනස පිළිබඳවත් අවබෝධයෙන්ම කළ කිරෙයි. (චක්ඛුස්මිම්පි.... මනස්මිම්පි නිබ්බින්දති) කළකිරීම නිසා එම ආයතනවලට නොඇලෙයි. (නිබ්බින්දං විරජ්ජති) නොඇලීම නිසා නිදහස් වෙයි. (විරාගා විමුච්චති) එම ආයතනවලින් නිදහස් වූ පසු තමා දැන් නිදහස්ය යන අවබෝධයට පත් වෙයි


යතාර්ථය හෙළි කිරීම පිණිස දහම් දෙසූ උතුම්ම ශාස්තෘන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. සත්ත්වයාට සසර දුකින් නිදහස් වීම පිණිස ඉලක්ක කර ගනිමින් ඒ භාග්‍යවතුන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කර වදාළ සේක. ආයතන පිළිබඳව උන්වහන්සේ ඉදිරිපත් කරන දේශනය අති විශිෂ්ටය.
අභ්‍යන්තර ආයතන හා බාහිර ආයතන වශයෙන් ආයතන කොටස් දෙකකින් යුක්ත වේ. ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ අභ්‍යන්තර ආයතනයන්ට ගෝචර වන බාහිර අරමුණු වන්නේ රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු යන බාහිර ආයතනයන් ය. යමෙක් මේ ආයතන පිළිබඳව නිවැරැදිව අවබෝධයක්, වැටහීමක් ඇති කර ගතහොත් එය ඒ පුද්ගලයාට සසර දුකින් නිදහස් වීම පිණිසම උපකාරී වෙයි.
නූතන සමාජය දෙස බලන විට මේ ආයතන නිවැරැදිව සංවර කර නොගැනීම නිසාත් ආයතනවල යථා ස්වභාවය නොදැන ගැනීම නිසාත් විශාල ඛේදවාචකයකට ලක්වී තිබේ. සමස්ත සමාජයේම දක්නට ලැබෙන අර්බුදය පැන නැගී තිබෙන්නේ මේ ආයතන නිසියාකාරව පාලනය නොකිරීම නිසයි. එබැවින් අප භාග්‍යවතුන් වහන්සේ මේ ආයතන පිළිබඳව යතාර්ථවාදීව අවබෝධ කර ගැනීම පිණිස උදාරතර දේශනා රාශියක්ම විවිධ අවස්ථාවලදී විවිධ අය මූලික කරගෙන දේශනා කර තිබේ

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස නම් වූ ආයතනය කන නම් වූ ආයතනය, නාසය නම් වූ ආයතනය, දිව නම් වූ ආයතනය, කය නම් වූ ආයතනය, මනස නම් වූ ආයතනය අනිත්‍ය බවයි. දුක් සහිත බවයි. අනාත්ම බවයි. එමෙන්ම ඒ භාග්‍යවතුන් දේශනා කරන්නේ ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට ඇතිවන අරමුණු සියල්ල අනිත්‍ය බවයි. දුක් බවයි. අනාත්ම බවයි.

අනිත්‍ය යනුවෙන් අදහස් කරන්නේ වෙනස් වීමයි. ඔබ මොහොතකට ඇසේ අනිත්‍ය ස්වභාවය සිතා බලන්න. ඉතාමත් හොඳට පෙනෙන ඇස කලකදී නොපෙනී යයි. බොහෝ දෙනෙකුට ඇස් කණ්ණාඩි පාවිච්චි කිරීමට සිදු වී තිබෙන්නේ ඇසෙහි ඇති අනිත්‍ය ස්වභාවය නිසයි. (චක්ඛුං භික්ඛවේ අනිච්චං) යමක් අනිත්‍ය නම් එය දුකක් බව අප බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව පෙන්වා දුන් සේක. (යදිනිච්චං තං දුක්ඛං) කෙනෙකුගේ ඇස නොපෙනී යන විට ඒ තැනැත්තාට ඒ තුළින් විශාල වේදනාවක්, දුකක් හට ගනී. මේ ඇස හොඳින් පෙනෙන විට කෙනෙකුට එහි අගයක් නැත. එහෙත් යම් දවසක ක්‍රමක්‍රමයෙන් මේ ඇසෙහි පෙනීම දුබල වන විට හා සම්පූර්ණයෙන්ම නොපෙනී යන විට පුදුමාකාර දුකක්, වේදනාවක්, විඳීමට ඕනෑම පුද්ගලයෙකුට සිදුවේ. නොපෙනී යන විට පෙනීම පවත්වාගෙන යාම සඳහා විවිධ උපක්‍රම යොදාගනු ලැබේ. කාච දැමීම, ඇසේ සුද ඉවත් කිරීම, ඇසට විවිධ ශල්‍ය කර්ම කිරීම ඒ අතර ප්‍රධාන වෙයි. සාමාන්‍ය එදිනෙදා ජීවිතය ගත කරන සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කතාවෙන් ඇතිවන ප්‍රතිඵලයක් වැදගත් බවක් නැත. එයට හේතුව ඔහු, ඇය තවම මේ දුක් ස්වභාවයට පත් නොවී තිබීමයි. එහෙත් යම් දිනක පුද්ගලයාට මේ තත්ත්වයට මුහුණදීමට සිදුවේ. එදිනට සමහරුන්ට මුළු ජීවිතයම එපා වෙයි. සමහරු ඒ දුක දරා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගැනීමට පවා පෙළඹේ. අප තථාගතයන් වහන්සේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් ද දැකිය යුතු බව අපට දේශනා කර වදාළේ ඒ නිසා ය. එමෙන්ම දුක, දුක වශයෙන් අවබෝධ කර ගත යුතු බව අපට දේශනා කර වදාළේ ඒ හේතුවෙනි. වර්තමානයේ දී ඇස් හොඳින් පෙනෙනෙ කෙනා කිසිදු ගණනකින් තොරව එදිනෙදා අක්‍ෂි සායන මධ්‍යස්ථාන පසුකර ගමන් ගනු ඇත. එහෙත් යම් දවසක ඇසට ආබාධයන් ඇති වූ විට දුක සේ එම ස්ථානයට හෝ වෙනත් එවැනි ස්ථානවලට ගොස් ප්‍රතිකාර ලබා ගනු ඇත.

ඇසට ආබාධයක් වෙනතුරුම සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයා සිදු කරන්නේ ඇසින් රූප බලමින් එහි, ඇලී ගැලී වාසය කිරීමයි. එය ඇසේ තිබෙන ආශ්වාදයයි. මෙම ආශ්වාද පැත්ත පමණක් දකින අඳබාල පෘතග්ජන පුද්ගලයා දිගින් දිගටම ඇස පිනවමින් කාලය ගත කරයි. එබැවින් ඔහුට ඇසේ ආදීනව දැක ගැනීමට නොලැබේ. ඒ නිසා ඔහුට හෝ ඇයට ඇසින් වෙන්වීමට හෙවත් ඇසට තිබෙන තෘෂ්ණාව දුරුකර ගැනීමට හෙවත් නිස්සරණයට අවස්ථාවක් නැත.

අනාත්ම ස්වභාවය පිළිබඳවත් අප වටහා ගත යුතු ය. අනාත්ම යනු අපගේ වසඟයේ පැවැත්වීමට නොහැකියාවයි. එබැවින් මේ ඇස, කන, නාසය, දිව, කය, මන යන කිසිවක් මගේ කියා හෝ (නේතං මම) මම කියා හෝ (නේසෝ හමස්මි) මගේ ආත්මය කියා හෝ (න මේ සෝ අත්තානි) ගත නොහැකි බව සියල්ල දන්නා වූ දක්නා වූ අප බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක. එබැවින් ඇසේ පෙනීම නැතිවන විට එය වෙනස් කර ගැනීමට අපට නොහැකිය. කනේ ඇසීම නැතිවන විට එය වෙනස් කර ගැනීමට අපට නොහැකිය. නාසයේ ගඳ, සුවඳ නොදැනෙන තත්ත්වයට පත්වන විට එය වෙනස් කර ගැනීමට අපට නොහැකි ය. කය දුබල වන විට එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට නොහැකිය. 

මේ මනස අපට ඕනෑ විදියට හසුරුවාලීමට නොහැකිය. එය විවිධ අරමුණු ඔස්සේ දිවයයි. මේ අනුව මේ ආයතන වල ක්‍රියාකාරීත්වය අපට හිතු මනාපේ වෙනස් කිරීමේ හැකියාවක් නැත. අසනීපයක් වූ විට ප්‍රතිකාර කර ගත හැකි වුවත් දත් වැටෙන ස්වභාවය නතර කිරීමට අපට හැකියාවක් නැත. කෙස් පැහෙන ස්වභාවය නතර කිරීමට අපට හැකියාවක් නැත. කොන්ද කුදු වීම නැවත්වීමට අපට හැකියාවක් නැත. මේ අනුව මේ අභ්‍යන්තර ආයතනවලත් එමෙන්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු යන බාහිර ආයතනවලත් අනාත්ම ස්වභාවය අපට තේරුම් ගත හැකි ය.

මේ අනුව තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධානුසාරී ආර්ය ශ්‍රාවකයා මෙම ආයතන පිළිබඳව සැබෑම අවබෝධයට පත්වීම නිසා ඇස පිළිබඳවත්, කන පිළිබඳවත්, නාසය, දිව, කය, මනස පිළිබඳවත් අවබෝධයෙන්ම කළ කිරෙයි. (චක්ඛුස්ම්ම්පි.... මනස්මිම්පි නිබ්බින්දති) කළකිරීම නිසා එම ආයතනවලට නොඇලෙයි. (නිබ්බින්දං විරජ්ජති) නොඇලීම නිසා නිදහස් වෙයි. (විරාගා විමුච්චති) එම ආයතනවලින් නිදහස් වූ පසු තමා දැන් නිදහස්ය යන අවබෝධයට පත් වෙයි. (විමුක්තස්ටිං විමුත්තමිනි ඥානං හෝති) එවිට ඒ පුද්ගලයාගේ ඉපදීම නැති වෙයි. (ඛීණා ජාති) බ්‍රහ්මචාරී ජීවිතය ගත කර අවසන් බව වැටහෙයි. (වුසිතං බ්‍රහ්මචරියං) නිවන් මඟ වෙනුවෙන් කළයුතු සියල්ල සිදුකළ බවත් නැවත කිරීමට කිසිවක් ඉතිරි වී නැති බවත් වැටහෙයි. (කතං කරණීයං, නා පරං ඉත්ථත්ථායාති පජානාති) සෑම දෙනාටම මේ ආයතනවල සැබෑම ස්වරූපය අවබෝධ වී උතුම් නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට හැකිවේවා!


 පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ අප්‍රේල් 25 වන බ්‍රහස්පතින්දා  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment