සාමාන්‍යයෙන් හොඳ වැඩ සහ නරක වැඩ කියලා වර්ග දෙකක් මිනිසුන් විසින් බෙදා ගනු ලබනවා. හොඳ වැඩ කළ විට හොඳයි, නරක වැඩ කළ විට නරකයි කියලා, තීන්දුවලට, තීරණවලට එළඹෙන්න පුළුවන්කම තිබෙනවා. එහිදී සමහර වෙලාවට හොඳ වැඩ නරක හිතින් කරන්නත්, නරක වැඩ හොඳ හිතින් කරන්නත්, පුළුවන්කම තිබෙනවා. එහෙම කරන්න පුළුවන් වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමී” යන ප්‍රකාශයත් එක්ක යම්කිසි ක්‍රියාවක් කළවිට එය පින් සිදුවෙන ක්‍රියාවක් ද ? පින් සිදු නොවන ක්‍රියාවක් ද? පව් සිද්ධ වෙන ක්‍රියාවක් ද පව් සිද්ධ නොවන ක්‍රියාවක් ද? යන්න තීරණය කරන්නේ ඒ ක්‍රියාවේ හැටියට නොවෙයි, ක්‍රියාවේ ප්‍රමාණයේ හැටියටත් නෙමෙයි.
උදාහරණයක් වශයෙන් ගත්තොත්, මම රෝගියෙක් බැලීම සඳහා රෝහලකට ගියා යැයි සිතන්න. මගේ දකුණු පස රෝගියා කිසියම් හේතුවක් නිසා කපා කොටා බෙහෙත් දමා වෙළුම් පටිවලින් වෙලා ඉන්නවා. මගේ වම් පස රෝගියෙක් කපල වෙළුම් පටිවලින් වෙලා ඉන්නවා. මේ දෙන්නම තියුණු ආයුධ වලින් කැපුම් තුවාල සහිතව රෝහල්ගතව සිටින අයයි. දකුණු පස රෝගියා අඟල් 1 1/2ක පමණ ප්‍රමාණයක් තියුණු ආයුධයකින් කපා ඇති අතර, අසාධ්‍ය තත්ත්වයකින් පසුවන අතර වම් පස රෝගියා ඉතාම තියුණු ආයුධයකින් කිසියම් පුද්ගලයකු විසින් අඩියක ප්‍රමාණයක් කපා ඇත. එම රෝගියාගේ විශාල වශයෙන් රුධිරය ද වහනය වී ඇත. මේ දෙදෙනාටම කපාපු අයගෙන් කවර තැනැත්තා ද වැඩියෙන් තදට කපල තියෙන්නෙ ? සහ කවර පුද්ගලයා ද අඩුවෙන් කපල තියෙන්නේ? නැතහොත් මේ දෙදෙනාගෙන් වැඩිය ම නරක පුද්ගලයා කවුදැයි ඇසුවොත් පිළිතුරු දෙන්න වෙන්නේ අඟල් 1 1/2ක් කපාපු පුද්ගලයාට වඩා අඩියක් කපාපු තැනැත්තා නරකයි කියන පිළිතුරයි. ඒ අනුව මෙම මිනිස් ශරීරයක් කපාපු දෙන්නාගෙන් එක්කෙනෙක් වත්, අපරාධකාරයෝ නොවෙයි කියන නිගමනයට එන්න බැහැ. මිනිස් ශරීරයක ලේ හොලවපු තැනැත්තෙක් හොඳයි කියන තීරණයකට අපට එළඹිය නොහැකියි. එසේ එළඹිය නොහැකි වන්නේ මෙම තැනැත්තන් දෙන්නාගේම සිද්ධිය පමණක් අධ්‍යනය කිරීමෙන්, අපට පෙනෙන්නේ මේ දෙදෙනාම අපරාධකාරයන් ලෙසයි. නමුත් අඟල් 1 1/2ක පමණ මිනිස් සිරුරක් කපා ඇත්තේ දාමරිකයකු විසින් වුවත්, අඩියක පමණ කැපුම් තුවාලයක් කපා ඇත්තේ ශෛල්‍ය වෛද්‍යවරයකු විසින් නම් අප තීරණගත යුත්තේ කෙසේද ?
මේ දෙදෙනාම අපරාධ කාරයන් ලෙස හිතාගෙන හිටියත් එක් කෙනෙක් ඉතාම සද්භාවයෙන් ලේ හොලවල තියෙන්නේ. ක්‍රියාව අනුව තීන්දු ගන්න බැහැ. මිනිස් ශරීරයක් අඩියක් කපල ලේ හොලවන්න පුළුවන් සද්භාවයෙන්. අඟල් 1 1/2ක් කැපුම් තුවාල සහිත පුද්ගලයා තමා කපාපු තැනැත්තාට එරෙහිව කටයුතු කරද්දී, අඩියක් කැපුම් තුවාල සහිත රෝගියා තමා කපාපු තැනැත්තාට වැඳ නමස්කාර කරනවා වෙන්න පුළුවන්. කර්මය හා විපාකය පිළිබඳව තීන්දුව දෙන්නේ වැඩය හෙවත් ක්‍රියාව අනුව නොවෙයි. ඉතාම යහපත් හිතින් නරක වැඩ කරන්න පුළුවන්. ඉතාම නරක හිතින් හොඳ වැඩ කරන්න පුළුවන්. ආදරණීය භාර්යාව නවදැලි හේනක දාගිය වැඳිරියක් බවට පත්කොට කල්පිත අප්සරාවක් මවා පෙන්වා නන්ද කුමාරයාට ඇත්තම නොකියූ තථාගතයන් වහන්සේගේ ක්‍රියාව තීන්දු කරන්න වෙන්නේ පෙර කියන ලද දෘෂ්ටියෙන් යුතුවයි. තථාගතයන් වහන්සේ නන්ද කුමාරයාට කිව්වේ ඇත්තක් ද ?
බොරුවක් ද ? යන වග යම් කෙනෙකුට පසුකාලීනව තර්ක කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ එම කාරණාව නොවෙයි. අප පුංචි දරුවන්ට ඕන තරම් බොරු කියලා රවට්ටනවා. ඇතැම්විට කෑම කවන්න, බෙහෙත් පොවාගන්න බොරු කියනවා. එන්නත් කරද්දී පොඩි දරුවන් අඬවනවා. දරුවකුට රිදවන එක ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට කෙනෙකුට තර්ක කළ හැකියි. අපට එම කාරණාව වැදගත් නැහැ. වැරැදි පැත්තකින් අල්ලගත්ත ළමා අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් කියල කියන වචන ලැයිස්තුවේ බොරුවක් තියෙන බවට අවධාරණය කළ යුතුයි. ගුරුවරයෙක් දරුවකුට දඬුවමක් කරන්නේ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා නොවෙයි. ළමා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහායි. සමස්ත සමාජයම එකතු වෙලා, දරුවා නොමගට යවන ක්‍රියාපටිපාටියක යෙදී සිටී නම්, ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම එයයි. ඉන් මුදවා ගැනීම සඳහා ගුරුවරයා ළමයකුට පහර දෙනවා නම්, දඬුවම් කරනවා නම්, ගුරුවරයා කරන්නේ ළමා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා ක්‍රියාමාර්‍ගගයක් ගැනීමයි. එනිසා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා පහරදිය හැකි අයිතිවාසිකම් ආරක්‍ෂා කරගැනීම සඳහා යුද්ධ කරන ලෝකයක් මේක සමස්ත මානව ප්‍රජාවගේ යහපත උදෙසා මිනී මරමින් යුද්ධ කරපු, ඉතිහාසයේ තොරතුරු අපට තියෙනවා. ප්‍රංශ විප්ලවය හා රුසියානු විප්ලවය ගත්තත් මේවා විප්ලව හැටියට නගා සිටවන කොට කාට හරි රිදෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම අරගලයක්, විප්ලවයක් එකපාරටම වේවා මිනිස් ඝාතන නොවේදැයි කියන තර්කය ගේන්න කලින් ඇයි ඒවා එහෙම වෙන්නේ කියන කාරණය කතා කළ යුතුය. එනිසා ජිනීවා මානව හිමිකම් කොමිසමටත් උත්තරයක් දිය හැකි පිළිතුරක් මේ තුළ තියෙනවා. පාසල් ගුරුවරු විදුහල්පතිවරු සමහර දෙමාපියන්, සමහර වැඩිහිටියන්, නින්දා අපහාස විඳිනවා පමණක් නොව ළමයින්ට පහර දුන්නාය කියල සිරබත් කන අවස්ථාත් තියෙනවා. සමහර කෙනෙකුගේ පහර දීම සද්භාවයෙන් නොවුණා වෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙකුගේ පහර දීම දරුවන් සහ ආයතනය රැක ගැනීම උදෙසා වෙන්න පුළුවන්. පාසලේ විනය හා පාසල රැක ගැනීම උදෙසා පාසලට එරෙහිව කටයුතු කරන කිසියම් දරුවකුට තර්ජනය කිරීම, එකපාරටම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ය කියලා කොහොමද එක වචනයෙන් නිශ්චය කරන්නේ. එනිසා හොඳ වැඩ නරක අදහසකින් ද, නරක වැඩ හොඳ අදහසකින් ද කළ හැකි යි.
හොඳ අදහසකින් හොරකම් කළ හැකියි. ගෙදරක තිබෙන කිණිස්සක්, කඩුවක් හෝ ගංජා පැකට්ටුවක් ගෙදර කෙනෙක් පරිහරණය කරනවා නම්, එම ගෙදර සිටින අම්මා එය හොරකම් කළා විය හැකියි. එය හොරකම් කරල විනාශ කළා හෝ වෙනත් ස්ථානයක සඟවා තැබිය හැකියි. මෙය හොර කමක් ද ? එම හොරකම නොකළ යුතුද ? එනිසා සද්භාවයෙන් හොරකම් කළ හැකියි. ඇල්කොහොල් ඖෂධ හැදීම සඳහා ද පාවිච්චි කරනවා. අරිෂ්ටයක් තුළත් ඇල්කොහොල් තිබිය හැකියි. ඇල්කොහොල් පාවිච්චි කළා ද ? නැද්ද ? කියන කාරණාව නොවෙයි වැදගත් වන්නේ. කුමකට ද පාවිච්චි කළේ කියන කාරණාවයි. එනිසා ක්‍රියාව නොවෙයි වැදගත්. ක්‍රියාවට හේතුවුණ හේතුවයි වැදගත්.
නරක ඇදහසින් කරන හොඳ වැඩත් තියෙනවා. පන්සලකට උදව්වක් කිරීමට කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා. එය කරන්නේ හොරකම් කරන ලද මුදලකින් විය හැකියි.
සමහර ගෙදරක සෑමදාම රාත්‍රියට පිරිත් හා කවි බණ අහනවා විය හැකියි. එය නරක වැඩක් කියා කිසිවකුටත් කිව නොහැකියි. ක්‍රියාව පමණක් හුදකලාව අරගෙන ක්‍රියාව භාවිතාව ගැන කල්පනා නොකර තීන්දුවකට එනවිට කවි බණ අහන එක නරකය කියලා කෙසේවත් තර්ක කළ නොහැකියි. නමුත් මේ අය කවි බණ අහන්නේ අල්ලපු ගෙදර ළමයා පාඩම් කරන වෙලාවටයි. එවැනි නරක හිතින් කරන හොඳ වැඩත් තියෙනවා.
භාවය ප්‍රශ්න නොකර කිසිම වැඩක හොඳ නරක බව තීන්දු කළ නොහැකියි. භාවය සද් හා අසද් වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. සද් භාවයයි අසද් භාවයයි අතර මිසක්, පින් පව් හෝ කර්මය තීන්දු වෙන්නේ ක්‍රියාව මත නොවෙයි. සමහරවිට නරක සිතින් ආශිර්වාදම කළ හැකියි. යම් පුද්ගලයෙක් හාමුදුරුවරු සිය නමකට අටපිරිකර සහිත දානයක් පිරිනමනවා විය හැකියි. අවුරුදු 70 ක පමණ වියපත් පුද්ගලයෙක් පොදු ස්ථානයක අඹ ඇටයක් සිටුවනවා විය හැකියි. මෙම වියපත් තැනැත්තාට එම ක්‍රියාව සඳහා වියදමක් නොයන අතර අටපිරිකර සහිත විශාල දානයක් පිරිනමන තැනැත්තාට විශාල වියදමක් යනවා වගේම ඔහු මෙවර මැතිවරණයකට ඉදිරිපත් වෙනවා විය හැකියි. තැවරිලා හරි ඒ තුළ ඇත්තේ ආත්මාර්ථය මිසක් පරාර්ථය නොවෙයි. වියපත් පුද්ගලයා අඹ ඇටයක් පොදු ස්ථානයක රෝපණය කරන්නේ තමන්ට, කන්න බොන්න බැරි බව පැහැදිලිවම දැනගෙන, කවදහරි, කාට හරි, කොහේදි හරි, කොහොම හරි යහපතක් විමේ අර්ථයෙන් පමණයි. මේ දෙකේ අගය අප මැනිය යුත්තේ වියදම් කරන ප්‍රමාණය අනුව නෙමෙයි. රජයක් සහ බුද්ධාගම අතර තිබෙන ප්‍රධාන වෙනස තමයි රජයක් ව්‍යාපෘතියක් අගය කරන්නේ ව්‍යාපෘතියට වියදම් කළ ප්‍රතිපාදන මත. බුදුසමය ව්‍යාපෘතියක් අගය කරන්නේ ව්‍යාපෘතිය සඳහා වියදම් කළ ප්‍රතිපාදන මත නෙමෙයි ප්‍රයෝජනය මතයි. එක ගමක මිනිසුන් 200 ක් ජීවත්වන අතර අනෙක් ගමේත් මිනිසුන් 200 ක් ජීවත් වෙනවා විය හැකියි. මෙම ගම්දෙකට ගමන් කිරීම සඳහා ඇල මාර්‍ගයක් හරහා පොල් කොට දෙකක් යොදමින් ඒ දණ්ඩක් නිර්මාණය කළා විය හැකියි. තවත් ව්‍යාපෘතියක් කරනවා එහා පැත්තක සිටින පවුලක පිරිසකටත් මෙහා පැත්තක සිටින පවුලක පිරිසකටත් ගමන් කිරීම සඳහා ගඟක් හරහා මිළියන 200 ක වියදමින් පාලමක් දැමිය හැකියි. මෙම ව්‍යාපෘති දෙකෙන් වැඩි ප්‍රයෝජනයක් ඉටුවන්නේ පොල් කොටන් ව්‍යාපෘතියෙන් නිසා එය අර්ථ සම්පන්න ව්‍යාපෘතියක් ලෙස බුදුසමය දකී. කරන, කියන හැම දෙයකම එහි ඝනත්වය මැනීම සඳහා භාවය වැදගත් වේ. වැදගත් නැති දේ වැදගත් කිරීම සහ නොවැදගත් දේ වැදගත් කිරීම සඳහා භාවය ඉතාම වැදගත්.
අධ්‍යයන අංශයේ අංශාධිපති
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ
අප්‍රේල් 25 වන බ්‍රහස්පතින්දා
බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment