මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ.ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම නිසා අපට යතාර්ථය අවබෝධ කර ගත හැකිවේ. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයා නිරතුරුවම මුළාවෙන් මුළාවට පත් වූ ජීවිතයක් ගත කරයි .මේ පිළිබඳව ඉතා පුළුල් විග්‍රහයක් සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයට අයත් අන්ධභූත සූත්‍රයෙන් අපට ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගත හැකිය.
මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ. ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ( චක්ඛුං භික්ඛවේ අන්ධභූතං) රූප මුළාවෙන් මුළාවට පත් වී තිබේ .(රූපා අන්ධභූතා) ඇසේ විඤ්ඤාණය විඤ්ඤාණ අන්ධභූතං) එනම් ඇසේ පවතින සිතයි ඇසේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත්ව තිබේ. (චක්ඛු සම්ඵස්සෝ අන්ධභූතෝ) ඇසේ ස්පර්ශය යනු ඇසත්, රූපත් ඇසේ විඤ්ඤාණයත් එකට එකතුවීමයි.එමෙන්ම ඇසේ ස්පර්ශයෙන් උපදින සැප, දුක් හෝ දුක් සැප රහිත යම් විඳීමක් තිබේ නම් එය මුළාවෙන් මුළාවට පත් වී තිබේ ( යම් පිදං චක්ඛු සම්ඵස්ස පච්චයා උප්ජ්ජති සුඛං දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම් පි අන්ධභූත) මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? (තේන අන්ධභූතං) ඉපදීමෙන් ජරා මරණයෙන් මුළාවට පත් වී තිබේ.
(අන්ධභූතං ජාතියා, ජරා මරණේන) එමෙන්ම සෝකයෙන්, වැළැපීමෙන් දුක් දොම්නස්වලින් , සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. (සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි )
මේ ආකාරයෙන්ම කනෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනට ඇසෙන ශබ්දත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනේ ස්පර්ශය, ඒ කනත් , ශබ්දත්, විඤ්ඤාණයත් එකට එකතුවීමත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. එමෙන්ම කනේ ස්පර්ශයෙන් උපදින සැප, දුක් හෝ දුක් සැප රහිත වේදනාවන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත්වී තිබෙන්නේ මොන දෙයකින්ද? ඉපදීමෙන් , ජරා මරණයෙන් මුළාවට පත් වී තිබේ. ශෝක, වැළැපීම් වලින් දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
ඉන් අනතුරුව අප භාග්‍යවතුන් වහන්සේ නාසය මුළාවෙන් මුළාවට පත් වී තිබෙන ආකාරය විස්තර කරයි. නාසයට දැනෙන ගඳ සුවඳ මුළාවෙන් මුළාවට පත්වී තිබේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. නාසයයි ගඳ සුවදයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් නාසයේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හෝ දුක් සැප රහිත වේදනාවක් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ඉපදීමෙන්, ජරා ,මරණයෙන් මුළාවෙන් මුළාවට පත්වී තිබේ. ශෝක වළැපීම්වලින් දුක්, දොම්නස් වලින් සුසුම් හෙළීම්වලින්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන්ම දිව පිළිබඳව විග්‍රහ කරනු ලැබේ. ඒ අනුව දිවත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවට දැනෙන රසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ඇතිවන ස්පර්ශයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත වේදනාවත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන් , මරණයෙන්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින් , වැළැපීම්වලින් දුක්, දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
එමෙන්ම මේ කයත් මුළාවෙන් මුළාවට පත් වී තිබෙන ආකාරය තවදුරටත් විස්තරවේ. කයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයට දැනෙන පහසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් කයේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත විඳීම් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන්, මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින්, වැළැපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
එමෙන්ම මේ මනසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසට ඇතිවන අරමුණුත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසේ ඇතිවන විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනස අරමුණුයි. විඤ්ඤාණයයි එකට එකතුවීම මනසේ ස්පර්ශයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත වේදනා මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන්, මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින්, වැළැපීම්වලින්, දුක් වේදනාවලින් , සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
මේ ආකාරයෙන් පුද්ගලයා ඇස , කන, නාසය, දිව, කය හා මනස මුල් කරගෙන මුළාවෙන් මුළාවට පත් වී සිටින ආකාරය අපට ඉතාමත් මැනවින් අවබෝධ කරගත හැකිවේ. මේ ආයතන දෙස පෘතග්ජන මනසකින් බැලූ විට මේ අවබෝධය ඇති නොවේ. මේ මුළාවෙන් මුළාවට පත්වීම නැති කරගත හැකි වන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට පමණි. සාමාන්‍ය මනස මුළාවීම දකින ආකාරයත් භාග්‍යවතුන් වහන්සේගේ තියුණූ ප්‍රඥාවට මේ මුළාව හසුවන ආකාරයත් කොතරම් වෙනස්ද? මුළාවීම සිදු වන්නේ ඉපදීමෙනුයි. එමෙන්ම වයසට යාම තුළිනුයි. මරණයට පත්වීමෙනුයි. ශෝක වැළැපීම්,දුක්, දොම්නස් හා සුසුම් හෙළීමෙනුයි. මේ මුළාවීම නම් ලෙහෙසි පහසු කෙනෙකුට හඳුනා ගන්නට නොහැකි බව දැන් අපට පසක් කරගත හැකි වනවාට කිසිදු සැකයක් නැත.
මේ අයුරින් මේ ආයතන හා තිබෙන මුළාවෙන් මුළාවට පත්වීම දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇස කෙරෙහි කලකිරීමට පත්වේ.රූප කෙරෙහිත් කලකිරීමට පත්වේ.ඇසේ විඤ්ඤාණය කෙරෙහිත් කලකිරීමට පත්වේ. ඇසේ ස්පර්ශය නිසා උපදින සැප, දුක් හා දුක් සැප රහිත විඳීම ගැනත් කලකිරීමට පත්වේ. මේ අයුරින් කන සම්බන්ධයෙන්ද, නාසය සම්බන්ධයෙන්ද දිව සම්බන්ධයෙන්ද කය සම්බන්ධයෙන්ද මනස සම්බන්ධයෙන්ද කලකිරීමට පත්වේ. කලකිරීම නිසා ඒ ආයතනවලට ඇති ඇල්ම දුරු වී යයි.ඇල්ම නැති වීම නිසා ආයතන හයෙන් නිදහස් වී යයි. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඥානය ඇතිවේ. ඉපදීම නැති විය. බඹසර වාසය සම්පූර්ණ කරන ලදී. නිවන අවබෝධය පිණිස කළයුතු සියල්ල සිදු කරන ලදී. එවිට ඒ ආර්ය ශ්‍රාවකයාට නැවත ඉපදීමක් නැති බව අවබෝධ වේ. එබැවින් අප සියලු දෙනාද මේ ආයතන හයේ යථා ස්වභාවය තේරුම් ගෙන ආයතන ගැන කලකිරී උතුම් නිවන් මග සාක්ෂාත් කර ගනිමු.
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
ජනවාරි 01 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment