Labels

Saturday, August 29, 2015

ලෞකික සිතිවිලි තුළ ලෝකෝත්තරය දැකීම


 බුදුපියාණන් වහන්සේ අපට වදාරනු ලබන්නේ, ලෞකික සිතිවිලි බැහැර කිරීමට නොවෙයි, ලෞකික සිතිවිල්ලේ ගමන් කරමින් එහි නො ඇලී, නොගැටී ඇතුළට කිඳා බැසීමටයි. එනිසා ලෞකික සිතිවිලි වැරැදි බව ප්‍රකාශ කරන්නේ නැත. එම ලෞකික සිතිවිලි විඳගත හැකි ඇත්ත වුවද
, අලෙවි කළ හැකි බව ඇත්ත වූවද, එය ඇඳ පැළඳගත් විට සුව පහසුව දැනෙන බව සත්‍ය වූවද මෙහි නොඇලී නොගැටී ඇතත් ඇතුළට ග්‍රහණය කළ යුතුයි. එනිසා උඩ සිට පහළට සිත ගලාගෙන ගලාගෙන පහතට එනතෙක් ඇවිත් ලෞකික ලක්ෂයේ නවත්වන්නේ නැතිව ලෞකික ලක්ෂය කරා සිතිවිල්ල ගමන් කරන එක නවත්වන්නේත් නැතිව ගලාගෙන ඒමට ඉඩ හැර එම ලෞකික ලක්ෂයයෙන් ඇතුළට කෙසේ හෝ කිඳා බැස්සවිය හැකියි. මල පිළිබඳව “වණ්න ගන්ධ ගුණෝ පේතං” යනුවෙන් පටන් ගන්නෙම එම නිසාමයි. මල පිපෙන විටම ලස්සනයි. සුවඳයි, සියුමැළියි යනුවෙන් දිගට දිගට සිතිවිලි ජාලයක් එක දිගට ගමන්කිරීම වරදක් නොවේ’

ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ සිතිවිලි ගලාගෙන යන ක්‍රම දෙකක් තිබෙනවා. ලෝකෝත්තර සිතිවිලි හා ලෞකික සිතිවිලි වශයෙන් යම්කිසි පුද්ගලයකුට ලෝකෝත්තර සිතිවිලි දක්වා සිතිවිල්ල කිඳා බැස්සවීමට හැකි නම් පමණයි නිවන හඳුනා ගැනීමට හෝ හැකිවන්නේ.

 එනිසාම පළමු කොටම අවශ්‍ය වන්නේ සිතිවිල්ල ගලාගෙන යන ආකාරය යන සිතිවිල්ල සැරිසරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම හෙවත් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට සාමාන්‍යයෙන් තෘප්තිමත් ආස්වාදජනක වන්නේ ලෞකික සිතිවිලි වන නිසාම වැඩියෙන්ම කැමැතිවන්නේ එබඳු ලෞකික සිතිවිලි තුළ සැරිසැරීමටයි. නිදසුන් කිහිපයක් යොදාගෙන මේ පිළිබඳව අධ්‍යයනයක යෙදී පුංචි අවබෝධයක් ලබාගනිමු. අපි හිතමු කිසියම් ඇඳුමක් පිළිබඳව යම් අයෙකු කල්පනා කරන විට, එම ඇඳුමේ වටිනාකම ගණනය කරමින් එය ආනයනික ඇඳුමක් නිසාම තවදුරටත් එහි වටිනාකම ඉහළ යන බව සිතමින් එම ඇඳුම තුළ තිබෙන කැටයම්වල ස්වභාවය දකිමින් ඒ පිළිබඳව සිත යොමු කරන්නේ නම් එම සිතිවිල්ල සැරිසරන්නේ ලෞකික ක්ෂේත්‍රයේයි. ඒ සමඟම තවත් අයෙකු එම ඇඳුම පිළිබඳව සිතමින් එම ඇඳුම නිර්මාණය කොට තිබෙන්නේ අසවල් රෙද්දෙන් එම නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ මෙබඳු ක්‍රමයකට, එකී නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නා වූ යාන්ත්‍රණය තුළ පවතින යාන්ත්‍රික ස්වභාවය මෙයයි කියල යම් පුද්ගලයකු එකී තාක්ෂණික පැත්ත කල්පනා කරනවා නම්, එයත් ලෞකිකයි. සත්‍ය වශයෙන්ම සාමාන්‍යයෙන් තෘප්තිමත් සිතිවිල්ලක ගැඹුරු අවබෝධයක් කරා නොයන සරල සිතිවිලි ප්‍රදේශයක මෙම සිතිවිලි හැසිරෙනු ලබයි.

 ඇඳුම පිළිබඳව කතා කරන මෙම ලෞකික සිතිවිලිවල අවසාන විග්‍රහයේදි මූල්‍යමය වශයෙන්, සමාජමය වශයෙන්, වෙනත් මෝස්තරමය වශයෙන්, සිතිවිල්ල රඳා පැවතිලා ගිහින්, මෙම අඳුම පිළිබඳව හෝ ඇඳුම නිදසුන් කොට ගනිමින් යථාව ග්‍රහණය කරගැනීම වෙනුවට ලෞකික වපසරියක සිත සිරවී සිතිවිලි ගමන් කරයි. සිතිවිලි හඹායන්නේ, සිතිවිලි වහනයවන්නේ, සිතිවිල්ල ඇවිදින්නේ ලෞකික ක්ෂේත්‍රයක ලෞකික වපසරියක. ලෞකික ආකෘතියක පමණයි. මෙම ඇඳුමට නිදර්ශනය කොට ගනිමින් අවශ්‍යම නම් යම් පුද්ගලයකුට මෙම සිතිවිල්ල හරහා මෙයට වඩා ගැඹුරු අවබෝධයක් වෙත යාමට සිතිවිලි තුළ සිත කිඳා බැස්සවිය හැකියි. මෙය අපට දැනෙන්නේ උඩ සිට ද පහළට සිතාගෙන සිතාගෙන පහළට යන විට කිසියම්ම වූ ලෞකික මධ්‍ය ලක්ෂයක සිත නැවතිනි. මෙම ලෞකික ලක්ෂයක නවත්වන්නේ නැතිව එතැනින් පහළට ඇතුළට කිඳා බසින අවස්ථාව ලෝකෝත්තර අන්තයක් කරා ගමන් කරන සිතිවිල්ලකි. මෙම ඇඳුම පිළිබඳවම මෙයට වඩා වෙනස් ආකාරයකට කල්පනා කළ හැකියි. මෙම ඇඳුම නිමකොට ඇත්තේ රෙද්දකින් බවත්, මෙය දිරාපත් වන බවත්, මෙම ඇඳුම මෙයට අවුරුදු දෙසියකට පෙර නොතිබුණ බවත්, මෙම ඇඳුම සැබවින්ම අලුතෙන් නිපදවන ලද ඇඳුමක් බවත්, මෙම ඇඳුම හෙට දවස වන විට මේ ආකාරයෙන්ම නොතිබෙන බවත්, තවදුරටත් කාලය ගතවීමත් සමඟ තව තවත් වෙනස්වන බවත්, එකම ආකාරයෙන් නොපවතින බවත්, අවසානයේදී මෙම ඇඳුම කුමන හේතුවක් නිසාවත් නොදිරා පවතින්නේ නැති බවත්ය. අවසානම විග්‍රහයේදි මෙය දිරාපත් වී ගොස් ඇඳුම නැතිවම යන ස්වභාවයටම පත්වෙයි. එය ලෞකික වපසරියක හෙවත් ලෞකික ක්ෂේත්‍රයක හඹාගෙන යන සිතිවිල්ලක් නොවන එයට වඩා ගැඹුරු සිතිවිල්ලකි. ඇඳුම පිළිබඳව සිතමින් ලෞකික සිතිවිල්ලෙහි අන්ත ලක්ෂය කරා ගොස් ලෞකික සිතිවිලි තුළ සිත සැරිසරන විට ඉතාම ආස්වාදනීයයි. ඉතාමත් වින්දනීයයි. තෘප්තිමත් මෙන්ම ලෞකිකයි. එයට එම ස්ථානයේ සිට ඇතුළට කිඳාබැහැල ඇතුළට ගොස් බැලූවිට එහි ලස්සනභාවය, මනස්කාන්ත භාවය, සිත් පැහැරගන්නා සුළුභාවය, ආස්වාදනීය භාවය, වෙනුවට යථාව ග්‍රහණය කරගත හැකියි. 

බුදුපියාණන් වහන්සේ අපට වදාරනු ලබන්නේ, ලෞකික සිතිවිලි බැහැර කිරීමට නොවෙයි, ලෞකික සිතිවිල්ලේ ගමන් කරමින් එහි නො ඇලී, නොගැටී ඇතුළට කිඳා බැසීමටයි. එනිසා ලෞකික සිතිවිලි වැරැදි බව ප්‍රකාශ කරන්නේ නැත. එම ලෞකික සිතිවිලි විඳගත හැකි. ඇත්ත වුවද, අලෙවි කළ හැකි බව ඇත්ත වූවද, එය ඇඳ පැළඳගත් විට සුව පහසුව දැනෙන බව සත්‍ය වූවද මෙහි නොඇලී නොගැටී ඇතත් ඇතුළට ග්‍රහණය කළ යුතුයි. එනිසා උඩ සිට පහළට සිත ගලාගෙන ගලාගෙන පහතට එනතෙක් ඇවිත් ලෞකික ලක්ෂයේ නවත්වන්නේ නැතිව ලෞකික ලක්ෂය කරා සිතිවිල්ල ගමන් කරන එක නවත්වන්නේත් නැතිව ගලාගෙන ඒමට ඉඩ හැර එම ලෞකික ලක්ෂයයෙන් ඇතුළට කෙසේ හෝ කිඳා බැස්සවිය හැකියි.
මල පිළිබඳව “වණ්න ගන්ධ ගුණෝ පේතං” යනුවෙන් පටන් ගන්නෙම එම නිසාමයි. මල පිපෙන විටම ලස්සනයි. සුවඳයි, සියුමැළියි යනුවෙන් දිගට දිගට සිතිවිලි ජාලයක් එක දිගට ගමන්කිරීම වරදක් නොවේ’. මෙම ලෞකික වපසරිය හෙවත් ලෞකික ක්ෂේත්‍රයෙහි ලෞකික සීමාවෙහි සිත හඹාගෙන යයි. යම් පුද්ගලයකුට මල හරිම ලස්නනයි. මල හරිම සුවඳයි. මල හරිම මටසිළුටුයි යනුවෙන් ඒ පිළිබඳව සිතමින් ඒ තුළ ජීවත් විය හැකියි. තවත් පුද්ගලයකුට මෙම මල් වගාකරන පිළිවෙළ, එම මල් සඳහා යොදන පොහොර, එම මල්වල කෘෂිකාර්මික වටිනාකම මේ ආකාරය යනුවෙන් මල් පිළිබඳව මල් වගාකරුවෙකුට වෙනත් ආකාරයකටම සිතිය හැකියි. තවත් අයෙකුට මේ මල වටිනාකම පිළිබඳව සිතමින් ආර්ථිකය පිළිබඳව ලෞකික සිතිවිල්ලක සිත රඳවාගත හැකියි. තවත් අයෙකුට මෙම මල පිළිබඳව කල්පනා කරලා මේ මල පිළිබඳව උද්භිද විද්‍යාත්මක වටිනාකම සිතමින් ලෞකික සිතිවිල්ලක සිත හඹාගෙන ගොස් ලෞකික සිතිවිල්ලක සැරිසරමින් සිත රඳවාගත හැකියි. මෙම ලෞකික තලය සිදුරු කරමින් එහි අභ්‍යන්තරයට කිඳබැස්සවීමේ හැකියාව කාටත් තියෙනවා.

“පුප්පං මිලායාති යථා ඉදම්මේ”
කායෝ කථා යාති විනාස භාවං” 

 
මල් වගාකරවකුවටද මල් අලෙවිකරුවකුට ද උද්භිද විද්‍යාඥයකුට ද මල පිළිබඳව මෙසේ සිතිය හැකියි. මේ මල මීට අවුරුදු දෙක තුනකට පෙර තිබුණේ නැහැ. මේ මල පවතින්නේ ටික කාලයයි. මේ මල පරවෙලා යනවා. ඊට පසුව මල නටුවෙන් ගිලිහී ගොස් අවසානයේ මල නැතිව යනවා.

එය නිදර්ශනයක් කරගනිමින් වෙනත් දෙයක් පිළිබඳව අපට යථාව ග්‍රහණය කර ගැනීමට උපකාරි වන තවත් එක් නිදර්ශනයක් පමණයි, කියල සිතමින් ලෞකික වපසරිය තුළ සැරිසරන සිත ලෝකෝත්තරය කරා සිදුරකින් කිඳා බස්සවා සිත ලෝකෝත්තරයේ ගමන් කරවීමයි. ඒ තුළින් නිවන ස්පර්ෂ කර ගත හැකියි. ලෞකික සිතිවිලි තුළ ගමන් කිරීම වරදක් නොවන අතරම එම ලෞකිකය සිදුරුකරමින් ලෝකෝත්තරය කරා ගමන් කරමින් යථාව ග්‍රහණය කරගත යුතුයි.
බුදුපියාණන් වහන්සේ මහා වනාන්තරයකට ගිහිල්ල “රමණීයානි අරඤ්ඤාණී” “කියමින් මෙම අරණ මනරම්ය” කියමින් එම අරණෙහි මනරම් බව සිතට ගත්තා. “වීතරාගා රමිස්සතී” ඒ පිළිබඳ නොඇලි සතුටු වෙයි. මෙම වනාන්තරය හරිම ලස්සනයි. පිළිවෙළකට වවා තියෙනවා. මල් පිපී සුවඳ හමනවා. සිත අලවන්න හරිම හොඳයි සිත් ඇදගන්නා සුළුයි යනුවෙන් සිත ඇදගන්නා සුළු දේශනාවක්ද කරමින් එහි නොඇලි නොගැටී බුදුපියාණන් වහන්සේ එම වනාන්තරයෙහි ඇත්ත ඇති සැටියෙන් දකිනවා.
මෙම ගසෙහි අත්තෙහි තිබුණ කොළය දැන් කහ පැහැගැන්වී ඇත. එම කොළය ඉදී වැටෙන්නට ආසන්නව පවතී. මීට පෙර මෙම කොළය කොල පැහැගැන්වී තිබුණි. එහි කොළ පැහැගැන්වුණ පත්‍රය ඊළඟට කහ පැහැගැන්වී අවසානයේදී එය ඉදී නටුවෙන් ගිලිහී බිමට වැටේවි.
ඊට පසුව එම කොළය දිරපාත්වී ගොස් නැති වී යයි. මෙම පත්‍රය මීට පෙරද තිබුණේ නැත. පසුව තිබෙන්නේද නැත. අතර මැද ටික කලකට පමණක් ඇතිවි නැතිවී යන තෙක් එවැනි ආකාරයට සිතමින් “රමණීයානි අරඤ්ඤාණී” යන ස්ථානයට පමණක් යන්නේ නැතිව ඊට වඩා පහළට බැස ඇතුළට කිඳා බස්නා ගැඹුරු සිතිවිල්ලකට යාම ලෞකිකයේ සැරිසරන සිත ලෝකෝත්තර දක්වා කිඳාබස්සවන නියාමයයි.


 කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 29 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment