කල්ප ගණනකින් මෙලොවට පහළවන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද උදාරතම පුණ්‍ය කර්‍මයකි දානමය පුණ්‍ය කර්‍මය. ඒ සඳහා තමාගේ සිත තුළ තිබෙන ලෝභ, චේතනාව දුරු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳව අප තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවකදී දේශනා කොට තිබේ. මසුරු බව දුරුකොට දිව්‍යමය තත්ත්වයේත් ඉහළම පදවිය වන ශක්‍ර පදවිය පවා ලබා ගන්නට දානය උපයෝගී කරගත් ආකාරය ‘දේවාසත්තවන පද’ සූත්‍රයේදී මැනවින් විස්තර වෙයි.
එහි දී සක් දෙවිඳුන් ගිහි ගෙදර වාසය කරන්නෙ දිවි ඇති තුරාවට මසුරු මල දුරු කරපු සිතින් යුක්තවයි. එමෙන්ම දන් දෙන්ට හිතාගෙනම අත්හරින කෙනෙක් වෙයි.
දන් දීමට සිතාගෙනම දෑත් සෝදාගත්තු කෙනෙක් වෙයි දන්දීමටම කැමති කෙනෙක් වෙයි අනුන් විසින් ඉල්ලාගෙන තමන් ළඟට එනවාට කැමති කෙනෙක් වෙයි දන් බෙදීමට කැමති කෙනෙක් වෙයි.
මේ පිළිබඳව අපට වඩාත් විස්තරාත්මකව ඉගෙන ගත හැකි උතුම් කරුණු රාශියක් සංයුක්ත නිකායේ ප්‍රථම කොටස හෙවත් සගාථ වර්ගයේ මච්ඡරී සූත්‍රයේදී දැක ගැනීමට ලැබේ. අප භාග්‍යවතුන් වහන්සේ සමඟ එවකට බොහෝ දෙවිවරු විවිධ ධර්‍ම කරුණු ඉගෙන ගැනීමට පැමිණියා මෙන්ම විවිධ අදහස් ඉදිරිපත් කිරීමට පැමිණියහ.
එදා බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවේ රැය පහන්වනවිට බොහෝ සතුල්ලපකායික දෙවිවරු මුළු ජේතවනාරාමයම ඒකාලෝක කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියහ. ඉන්පසුව ඒ ඒ දේවතාවරු බුදුරජාණන් වහන්සේට ගාථාවලින් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලදී.
එහිදී එක් දේවතාවෙක් ඉදිරිපත් කරන ලද අදහස වූයේ කෙනෙක් දානයක්, මානයක් වත් නොදෙන්නේ මසුරු බවත් ප්‍රමාදයත් නිසා බවයි. එබැවින් පින් කැමති කෙනා එහි ආනිසංශ දැනගෙන දන් දිය යුතු බවයි. එකල සිටි දෙවිවරු ඉතා වැදගත් අදහස් ඇතිව වාසය කළ බව මේ කරුණු වලින් තහවුරු කරගත හැකිය.
ඉන් අනතුරුව තවත් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් ඉදිරිපත් කරන ලද අදහස මෙයයි. මසුරු පුද්ගලයා යම් කරුණකට බිය නිසා දන් නොදෙයි. නමුත් දන් නොදෙන ඔහුට ඒ කාරණය නිසාම බිය ඇති වෙයි. මසුරු පුද්ගලයා බිය වන්නේ බඩගින්නත් පිපාසයත් යන දෙකටයි. ඒ නිසා ඒ කරුණින්ම අඥාන පුද්ගලයාට මෙලොව පරලොව දෙකේම තැවීමට ලක් වේ.
ඒ නිසා මසුරුකම නමැති මලකඩ මැඩගෙන දන් දිය යුතුයි. පරලොව දී සත්ත්වයින්ට පිහිට වෙන්නෙ පිනයි. මේ අදහස් දෙවිවරු ඉදිරිපත් කළත් මේවායේ තිබෙන වටිනාකම ඉතාමත් උත්කෘෂ්ඨය.
ඉන් අනතුරුව තවත් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයේ මේ අදහස් ඉදිරිපත් කරන ලදී. යම් කෙනෙක් තමන් සමඟ මහ මඟ යන උදවිය සමඟ සුළු දෙයක් වුවත් බෙදා හදා ගන්නේ නම් ඔවුන් මළවුන් අතර නොමැරෙයි. මෙය සනාතන ධර්මයකි. සමහරු ටිකක් තියෙන කොටත් දන් දෙති. සමහරු ගොඩක් සම්පත් තියාගෙනත් දන් නොදෙති. ටිකක් තියෙද්දි දෙන ලද දානය ගොඩක් තියාගෙන දෙන දානයට වඩා දහස් ගුණයක් වටී.
එවිට තවත් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ මේ අදහස් ගාථාවකින් ඉදිරිපත් කරන ලදී. සත් පුරුෂයන් දුෂ්කර අවස්ථාවලත් දන් දෙයි. දුෂ්කර අවස්ථාවලත් යහපත් දේ කරයි. එහෙත් අසත්පුරුෂයා ඒ අයුරින් කටයුතු කරන්නේ නැත.
ඔවුන්ට සත්පුරුෂ ධර්මය බොහෝ දුරස්ථය. ඒ නිසා සත් පුරුෂයාත් අසත් පුරුෂයාත් මෙලොවින් පරලොව යාමේදී එකිනෙකාට වෙනස් වෙයි. අසත් පුරුෂයෝ නිරයට යන අතර සත් පුරුෂයා සවර්ගයට හෙවත් සුගතියට යයි.
ඉහත සඳහන් ආකාරයෙන් සතුල්ලපකායික දෙවිවරු ඉතාම දක්‍ෂ ලෙස අර්‍ථාන්විත ලෙස ඉහත අදහස් මසුරුබව දුරු කිරීම පිණිස උපකාරීවන අයුරින් බුදුරජාණන් වහන්සේට දක්වා සිටින ලදී. ඉන් අනතුරුව එක් දෙවියෙක් උන්වහන්සේගෙන් විමසා සිටියේ කවුරුන් විසින් ඉතාම හොඳට අදහස් ඉදිරිපත් කළාද යන්නයි.
එවිට අප භාග්‍යවත් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියල්ලම දන්නා උත්තමයා ලෙස දේශනා කොට වදාළේ ඒ සියලු දෙවිවරුන්ගේ අදහස් යහපත් බවයි. එසේ වුවත් ඒ පිළිබඳවු භාග්‍යවතුන් වහන්සේගේ අදහස ශ්‍රවණය කරන ලෙස උන්වහන්සේ පෙන්වා දුන් සේක. ධර්මයේ හැසිරෙන කෙනෙක් දුකසේ ජීවත් වී අඹුදරුවන්වත් පෝෂණය කරගෙන සුළු දෙයක් තියෙද්දිත් දන් දෙනවනම් ඒ දානය දහස් ගණන් වියදම් කොට කරන යාග ලක්‍ෂයකට වඩා වටින බවයි. එතකොට තවත් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ අයුරින් විමසා සිටින ලදී.
මහා වියදම් කරල මහා ලොකුවට දෙන දානය අර ටිකක් තියෙන කෙනෙකු දෙන දානය තරම් වටින්නෙ නැත්තෙ ඇයිද යන්නත් දහස් ගණන් වියදම් කොට දෙන දාන ලක්‍ෂයක් දිළින්දෙකු දෙන දානයේ සීයට එකක් තරම් වත් වටින්නෙ නැතිවෙන්නෙ කෙසේද යන්නත්ය. එවිට අප තිලෝගුරු අමාමෑණී බුදු රජාණන් වහන්සේ ඒ දෙවියාට මේ ආකාරයෙන් පිළිතුරු දී වදාළ සේක. සමහරු වැරදි ක්‍රමේක පිහිටල දන් දෙති. එනම් සතුන් මරල, වද දීල, ශෝකී කරවල දන් දෙති. කඳුලු වැකුණු මුහුණු ඇතිව, දඬු මුගුරු ඇතිව දෙන ඒ දානය දිළින්දාගෙ දානය තරම් වටින්නේ නැති බවත් එබඳු දාන දහස් ගණන් වියදම් කොට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් සිදු කළත් දිලින්දාගෙ දානෙන් සීයට එකක් තරම්වත් වටින්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.
මේ අනුව දන් දීමේදී මසුරු බව දුරුකොට නිවැරදි ක්‍රමයටම ධාර්මිකව දන්දිය යුතු බව අප ඉගෙන ගෙන ඒ අනුව දානමය පුණ්‍ය කර්මය පුරුදු කරගෙන සසර කතරින් එතෙරවීමට අධිෂ්ඨාන කර ගනිමු.
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 09 වන බ්‍රහස්පතින්දා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment