Labels

Thursday, August 27, 2015

ආත්ම සංවරයෙන් සුරැකෙන සමාජ සදාචාරය


ආචාර විද්‍යාත්මක පසුබිමක් ඇති, සමානාත්මතාවට ඉඩ ලැබෙන, අතිධාවනකාරිත්වයෙන් මිදී යන සමාජ දර්ශනයක් ලෙසින් බුදුදහම ඉදිරිපත් කර ඇත. සමාජයක පවතින සංවරශීලීබව සමාජ ප්‍රගමනයේ එක් මූල සාධකයක් වේ. සන්සුන් මනැසක් හා සන්සුන් කාය – වාග් ක්‍රියාකාරිත්වයක් සමාජයෙහි වෙසෙන්නන් තුළ ඇති කල්හි සමාජයෙහි නිර්මාණය වන දහසකුත් ප්‍රශ්න අවමකර ගැනීමට එය මහත් රුකුලක් වන බව පැහැදිලි ය.

සෑම ජීවිතයකම පදනම වනුයේ තමා විසින් තිදොරින් කරනු ලබන ක්‍රියාවන්ය. එම ක්‍රියා හොඳ-නරක හෝ කුසල්- අකුසල් යැයි ප්‍රධාන වශයෙන් වර්ග කළ හැකිය. අකුසලය ගැන ඇති දැනීම කුසලය වැඩීමට රුකුලක් වේ. එමෙන්ම කුසලය හා එහි ඵල විපාක පිළිබඳ ඇති දැනීම අකුසල් නොකිරීමට හේතු වේ. කුසලාකුසල විනිශ්චයක් කිරීමට නම් පුද්ගලයකුගේ සිත දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අපගේ සිත සැම ක්‍රියාවකටම මූලය වේ. සිත සිතුවිලි මත ක්‍රියාත්මක වේ. එසේ ඇතිවන සිත් ද කුසල්, අකුසල් යැයි වර්ග කළ හැකි අතර ම එබඳු සිත් හා බැඳෙන සිතුවිලි ද කුසල්, අකුසල් යැයි දෙපාර්ශවයකට බෙදේ. එසේ ඇතිවන සිතුවිලි මත ත්‍රිවිධ ද්වාරය මඟින් කුසල්, අකුසල් ක්‍රියාවෝ ක්‍රියාත්මක වෙති.

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි, “ රාහුලය, තමන් කයෙන් යම් කර්මයක් කරනු කැමැත්තේ ද තමාගේ මේ කාය කර්මය තමාට දුක් පිණිස පවත්නේය, අනුන්ට දුක් පිණිස පවත්නේය, උභය පක්ෂයට ම දුක් පිණිස පවත්නේ ය, මෙම කාය කර්මය අකුසල කාය කර්මය වේ. එය දුක් වඩන්නේය. දුක් විපාක ඇත. එමෙන්ම යම් වූ කාය කර්මයක් තමාට දුක් පිණිස නොපවතී ද අනුනට දුක් පිණිස නො පවතී ද උභය පක්ෂයට ම දුක් පිණිස නොපවතී ද මෙම කාය කර්මය කුසල් ය. සැප පිණිස පවතින්නේය. එහි සුඛ විපාකයක් ඇත “ යනාදී වශයෙන් විමසා බලා ක්‍රියා පැවැත්විය යුතුය.

සිතින් සිතා කායිකව හා වාචසිකව සිදුකරනු ලබන ක්‍රියා ( චෙතෙත්වා කායෙන වාචා මනසා ) බුදුදහමේ කර්මය යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. සිතින් සිතා ගතින් හා වචනයෙන් කරනු ලබන ක්‍රියා ඵල සහිතය. කම්ම-ඵල යනු එම ක්‍රියා හා එහි විපාක වේ. වචනය රැක ගත යුතුය. සිත සංවර කර ගෙන තැන්පත් කර ගත යුතුය. අකුසල් නොකළ යුතුය. (වාචානුරක්ඛි මනසා සුසංවුතො කායෙන ච අකුසලං න කයිරා ) සිත නිරතුරුව පාපයට බරය. එබැවින් සිත නිවැරැදි මාවතට යොමු කර ගැනීම අපහසුය. නිවැරැදි සිතට නිවැරැදි චින්තනයක් ඇති කර ගත හැකිය. එබැවින් ඇතුළතින් හා පිටතින් මුරකාවල් යොදා පිටිසර නගරයක් ආරක්ෂා කරන්නාක් මෙන් (නගරං යථා පච්චත්තං ගුත්තංසන්තර බාහිරං ) තම සිත ද නිරතුරුව රැකගත යුතු බව (එවං ගොපෙත අත්තානං) බුදු පියාණන් වහන්සේ දේශනා කොට තිබේ.

සිත නිවැරැදිව භාවිත කරන විට අකුසලය නැති කරන්නට, කුසලය කරා ගත, සිත යෙදීමට අදාළ පසුබිම සකස් කර ගත හැකිය. එසේම සිත සන්සුන් කරන්නට, සමාධිගත කරන්නට මෙන්ම සිත හා බැඳුණු ක්ලේශයන්හි මුල් එකිනෙක උදුරා දැමීමට ද අදාළ මානසික ස්ථාවරත්වය සකසා ගත හැකි ය. ශීලය යනුවෙන් පෙන්වා දෙනුයේ මෙම ආත්ම ශික්ෂණ මාර්ගයේ පළමුවැනි පියවර වේ.

පස් පවෙන් මිදෙමින් හික්මවා ගන්නා ජීවිතය සෑම විටෙකම තමාගේ මෙන්ම අන් ජීවිතවල ද අගය වටහා ගනී. සත්‍ය ගරුකව, සිහි ඇතිව, නිවැරැදි ව කාරණා කාරණා පිළිබඳ අගැයීමක් කළ හැකිවන අතර කළ යුතු හා නොකළ යුතු දැය මැනැවින් වටහාගන්නා අර්ථපූර්ණ ජීවිතයක් ගත කිරීමට තමා හා ගිවිසුමක් ඇති කර ගනී. තමා විසින් තමා දමනය කර ගනු ලබමින් තිදොර සංවරත්වයකට නතු කර ගැනීමට ස්වයං උත්සාහයක නිරත විමක් ඉන් අදහස් කෙරේ. නීතියෙන් ඇති කරන ව්‍යවස්ථාපිත රැකවරණයට වඩා මිනිසා විසින් මිනිසා තුළ ඇති කර ගනු ලබන හික්මීම ඉතා වැදගත් ය. එම සංවරයේ මුල් පදනම සේ පන්සිල් ආරක්ෂා කිරීම පෙන්වා දිය හැකි වේ.

බුදු දහම පුද්ගලයාගේ විමුක්ති මඟ පෙන්වා දී ඇති අතර එම විමුක්ති මඟෙහි නිසි පරිදි ක්‍රියාත්මක මට්ටමෙන් ඉදිරියට යෑමට අවශ්‍ය පළමු වැනි පියවර වනුයේ ද දැඩි අදිටනින් තමා තුළ සංවරයක් ඇති කර ගැනීමය. අසංවර වූ මනැසට, අසංවර වූ කයකට, අසංවර වූ වචනයට හසුවනුයේ සුචරිතයේ මිරිඟුවක් පමණි. සංවර සිතකට දැහැමි මාවත පිළිබඳත් ජීවිතය හා සසර ගැනත් අවබෝධ කොට ගත හැකි වේ. අසංවරව, දුසිල්වත්ව වසර සියයක් ජීවත්වනවාට වඩා (යොච වස්ස සතං ජීවෙ දුස්සිලෝ අසමාහිතො ) සුසිල්වත්ව එක් දිනක් ජීවත්වීම උතුම් බව (ඒකාහං ජීවිතා සෙය්‍යො සීලවන්තස්ස ඣායිනො) දේශනා කරමින් දැහැමි දිවියේ හා සංවරයේ ඇති වැදගත්කම බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. සියවසක අදැහැමි හා අසංවර හැසිරීමට වඩා සුසිල්වත් එක් දිනක ජීවිතය තමාට මෙන් තමා ජීවත්වන සමාජයට ද ඇති කරන ශාන්තිය හා සැනසීම කවරාකාර ද යන්න මෙමඟින් අනාවරණය වේ.

එබැවින් බෞද්ධ සමාජ මූලධර්ම පද්ධතියේ ප්‍රමුඛත්වයක් ගන්නා පන්සිල් රැක්ම පුද්ගල අපේක්ෂා හා සමාජ අරමුණු තෘප්ත කිරීමෙහි ලා කෙතරම් දායකත්වයක් ලබා දේ ද යන්න සලකා බැලිය යුතුය.
සමාජයක ජීවත්වන පුද්ගලයා පළමුවෙන් තමා හා ජීවත්වන සෙසු පුද්ගලයන්ගේ ද මුළු මහත් සමාජයේ ද අගය, වටිනාකම දැනගත යුතුය. තමා හා සමගාමීව එම පරිසරය තුළ ජීවත්වන සෑම සත්වයකුටම තමාට මෙන්ම ජීවත්වීමේ අයිතියක් ඇති බව දැන ගත යුතු අතර ජීවත් වීමේ වටිනාකම අවබෝධ කරගත යුතුය. සමාජයක ජීවත්වන පුද්ගලයකුගේ මූලික වැටහීමක් විය යුත්තේ ද මෙම කරුණය. එසේ නොවන විට අන් කිසිම කරුණක් පිළිබඳ ඔහුට සිතීමට අවකාශයක් ඇති වේ යැයි කිව නොහැකිය. බුදුදහම මෙම කරුණ ඉතාමත් පැහැදිලිව පෙන්වා ඇත. නිරතුරුව තමා උපමා කොට අන් ජීවිත දෙස බලන්න (අත්තානං උපමං කත්වා ) යැයි උපදෙස් ලබා දෙයි. තමා තමාම නසා ගන්නට හෝ අන් කෙනකුගෙන් නැසීමකට ලක්වීමට අකැමැතිය. එය බිය ගෙන දෙන, ත්‍රාසය ජනිත වන ක්‍රියාවකි. ඒ ආකාරයෙන්ම ජීවත්වන සෑම සත්වයකුම තම පණ නැනෙසවාට කැමැති නැති බව වටහා ගත යුතු වේ.

ද්වේශය, වෛරය, ලෝභය, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමීත්වය හා තද ආශාව වැනි නරක සිතුවිලිවලින් යුත් පුද්ගලයකුට අන් ජීවිතයක් නැසීම බරපතළ කරුණක් ලෙසින් නොපෙනේ. එබඳු සිතුවිලිවලින් වෙළෙන තැනැත්තා පළමුවෙන් නසා ගන්නේ තමාගේ ජීවිතයම බව නොසිතයි. තම සිතට එබඳු සිතුවිලි ගලා එන විට ඉන් මිරිකී පීඩනයට පත්ව එහිම අන්ධයකු බවට පත්වී එම සිතුවිලිවලට යට විමේ ඵලයක් ලෙසින් පුද්ගලයකු තව ජීවිතයක් විනාශ කිරීමට ඉදිරිපත් වේ. ඒ සමඟම ඔහු තමාගේ සිතට වහලකු වී තමාගේම විනාශය ඇති කොට ගෙන තව ජීවිතයක් ද විනාශ කරයි. මෙබඳු පුද්ගලයන් සමාජයට හානියකි.
සමාජයේ අන් පුද්ගලයන්ගේ ජීවිතවල වටිනාකම නොදක්නා පුද්ගලයාගෙන් සමාජයට වැඩදායි යමක් සිදුවේ ද යන්න විමසා බැලිය යුතුය. බුදුරදුන් වේළුද්වාර සංයුත්තයේ දී මේ හා සම්බන්ධ ඉතා වැදගත් දේශනයක් කර ඇත. එනම් “ තමන් ජීවත් වීමට කැමැතිය, මරණයට අකැමැතිය, සැපතට කැමැතිය, දුකට අකැමැතිය. එසේ ජීවත්වීමට කැමැති, මරණයට හා දුකට අකැමැති තමන්ගේ ජීවිතයට කිසිවකු යම් හානියක් කරද්ද හිංසා කරද්ද එයට තමන් කැමැති නොවේ. තමා මෙන්ම අනෙක් අය ද ජීවත්වීමට කැමැතිය. ඉදින් එබඳු වූ අන් අයගේ ප්‍රාණයට හානි කිරීමට තමන් ඉදිරිපත් වේ ද එය ඉතා නුසුදුසුය. එසේ සිතා තමා ද අන්‍යයන්ගේ ප්‍රාණයට හානි කිරීමෙන් වළකියි. අන් අය ලවා එසේ කරවීමෙන් ද වළකියි. එමෙන්ම ප්‍රාණයට හානි කිරීමෙන් වැළැකී සිටීමේ වැදගත්කම ද අනුන්ට ප්‍රකාශ කරයි. මේ නිසා ඔහුගේ කාය කර්මය තුන් ආකාරයකින් පිරිසුදු වේ” යන්නයි. මෙම සූත්‍රයෙන් ද පැහැදිලි කරනුයේ පුද්ගල පාරිශුද්ධියට ආත්ම දමනයත් අන් ජීවිතවල වටිනාකම අවබෝධ කර ගැනීමත් අතිශයින්ම වැදගත්වන බවයි. සීලයේ පළමුවැනි අංගය ලෙසින් පරපණ නැසීමෙන් වැළැකීම දැක්වීමට හේතුවක් වනුයේ ද අන් කුසල මූලයනට ද මෛත්‍රී සහගත සිතුවිල්ල මුල්වන නිසාය. අන් පුද්ගලයන්ගේ සැපත අගයන්නාට ඇතිවන සිතුවිලි මෛත්‍රි සහගතය. මධ්‍යස්ථවූ සිතුවිලි ඇති එබඳු තැනැත්තාට අවබෝධාත්මක ඥානය වහා දියුණු කර ගැනීමට ඇති අවකාශය වැඩිය.

එමෙන්ම සමාජයක් තැති ගන්වන, බියක් ගෙන දෙන ජීවිත නැසීම නම් වූ පාප කර්මයෙන් තොර පරිසරය සත්වයාට කෙතරම් සැනසිලිදායක ද ? තමාට පමණක් නොව අන් අයගේ සිත්වලට ද මේ තුළින් ඇතිවන සහනය අපමණය. සැමදෙනට ආදරය කරන, සැමදෙන අගයන සමාජයක දැහැමි සිතුවිලි වර්ධනයට ඇති අවකාශය වැඩිය. ඒනිසා ආත්ම සංයමයට අදාළව පරපණ නැසීමෙන් වෙන්වීම පළමුවෙන් හුවා දක්වන අතර සමාජමය වශයෙන් එහි වටිනාකම ද ඉතාමත් ඉහළය.

සමාජයෙහි අන්‍යෝන්‍ය සුහදත්වය මෙන්ම මිත්‍රත්වය ද ඉස්මතු වීමට සෘජුව බලපාන කරුණක් වනුයේ එකිනෙකා කෙරෙහි ඇතිකරගනු ලබන ප්‍රියත්වයයි. ප්‍රියශීලි බව නැති තැන අපරාධයට ඇති ඉඩ කඩ වැඩිවන අතරම ජීවිතයක ඇති වටිනාකම සැහැල්ලුවීම ද නොවැළැක්විය හැකිවේ. ත්‍රාසය, භීතිය ඉහළ යනවිට සාදාචාරාත්මක බව ගිළිහෙන සමාජ පසුබිමක් නිර්මාණය වේ. පටු ආකල්පයන්ගෙන් සමාජය ආකූල වනවිට සදාචාරාත්මක බව පිරිහී වෛරය හා ක්‍රෝධය රජයන, පස්පව් දස අකුසලයනට නැඹුරුවන පරිසරයක් නිර්මාණය වේ. එබැවින් ආත්ම සංවරයත්, ජීවිතවල අගය වටහා ගැනීමත් සදාචාරාත්මක බව වඩාත් වර්ධනය කර ගැනීම උදෙසා අතිශයින්ම වැදගත්වන බව කිව යුතුය.


 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ අප්‍රේල් 25 වන බ්‍රහස්පතින්දා  දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment