Labels

Sunday, August 30, 2015

ගයන ගැයුම් නටන නැටුම් ගෙන දේවි ද ශෝක සුසුම් !

 
නළුතෙම රඟමැද නැටුම් මැද ද්වේශය වැඩිවීම පිණිස කරුණු කාරණා දක්වයිද, ඔවුන්ට ද්වේශ ගින්නම වැඩිවීම පිණිස හේතුවිය. පෙර සත්ත්වයෝ පහනොවූ මෝහ ඇතියහ. මෝහන්ධාකාරයෙන් ම බැඳුණාහ. ඔවුන්ට නළුකම රඟමැද නැටුම් මැද මෝහයට කරුණු කාරණා දන්වැයි ඔවුන්ගෙ මෝහය බෙහෙවින්ම වර්ධනය විය. මෝහ සහිත විය. මෙසේ නළුකමද මත්වී ප්‍රමාදයෙහි යෙදී අන්අයද මත් කරවා, ප්‍රමාද කොට මරණින් මතු පහාස නම් නිරයක් ඇත. එහි උපදිනු ලැබේ

ලොව උපන් සත්වයාට ජීවත්වීමේ ජීවනෝ
පායක් අවශ්‍ය වේ. ඒ සඳහා විවිධ ශිල්පීය ක්‍රම සහ තාක්‍ෂණය උපයෝගී කර ගනු ලැබේ. සමස්ත සමාජය දෙස බලන විට ජීවත්වීමේ ක්‍රමවේද දෙකක් අනුගමනය කරන බව පෙනේ. එක් ක්‍රමවේදයක් වන්නේ මිථ්‍යා ආජීවය සහ සම්‍යග් ආජීවය වේ. මෙ ක්‍රම දෙකෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දේ සම්‍යග් ආජීවය නම් ධාර්මික දිවි පැවැත්මයි. සම්‍යග් ආජීවය ද දෙවදෑරුම් වේ. උපධිවිපාක උපදවන සම්‍යග් ජීවිකාව සහ ආර්ය වූ අනාසුව වූ ලෝකෝත්තර මාර්ගඵල නිවන පිණිස හේතුවන සම්‍යග් ආජීවය නම් දැහැමි ජීවිකාව වේ.
මස්පිණිස සතුන් ඇතිකිරීම, වසවිෂ වෙළෙඳාම, සත්ත්ව වෙළෙඳාම, ආයුධ වෙළෙඳාම, වහල් වෙළෙඳාම ආදී අධාර්මික ජීවිකාව මිථ්‍යා ආජීවය නම් වේ. එමඟින් මෙලොව පරලොව දෙලොව පිරිහීමට පත්කර සතර අපාදී දුක්ඛයට සත්වයා පමුණුවයි. කිසිදු විවේක සුවයක් සිතට ඇති නොවෙයි. තමාද තවයි. අනුන් ද තවයි. බාලතෙම මෙම අකුසල් නිරන්තරයෙන් කරමින් පව් විපාක නොදේ යැයි ද එසේ විපාක දේ නම් අපට විපාක දිය යුතුයි යැයි කර්මඵල විශ්වාස නොකෙරේ. එහෙත් කරන ලද අකුසල් විපාක දෙන විට කඳුළු වගුරුවමින් විලාප තියමින් දුක් වෙයි. ශෝක කරයි. මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගත කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක් අනුමත නොකෙරේ.
මෙලොව ජීවත් වන ලෝකයා විවිධ ආකාරයෙන් තම ජීවිකාව කරගෙන යනු ලැබේ. ඇතැමෙක් කෘෂිකර්මාන්තය තෝරා ගනීති. එයද සම්‍යක් ආජීවයෙන් ද මිථ්‍යා ආජීවයෙන් ද සිදු කරයි. වෙළෙඳාම මැණික් කර්මාන්තය, ඇඳුම් මැසීම (පේෂ කර්මාන්තය) මැටි කර්මාන්තය (ගෘහ භාණ්ඩ නිෂ්පාදනය) ලිපිකාර සේවය, ගෘහ සේවය, ගුරු වෘත්තිය, වෛද්‍ය සේවාව, නීතිඥ වෘත්තිය, කලා ශිල්පය, සංගීතය, ආරක්‍ෂක සේවාව, අයකැම් සේවාව, ඉංජිනේරු සේවාව, රාජ්‍ය සේවාවන් වල යෙදීමත් පෞද්ගලික සේවාවන් ඇතුළු කුදුමහත් සේවාවන් සිදුකරයි

මෙහැම සේවාවක්ම කරනු ලබන්නේ යම්කිසි පුහුණුවක් ලබාගෙන හෝ නොලබා විය හැකිය. මුදල් මත රැකියාවක නිරත වෙමින් සුවය වින්දනය සඳහා දිවා රාත්‍රි වෙහෙසේ. කොපමණ හරිහම්බ කලත් සිතෙහි ඇතිවීමක් හටගන්නේ නැත. තව තවත් අධාර්මිකව හෝ රැස්කිරීමට සිත පෙලෙඹෙයි. එවිට සිතෙහි ලෝභ, ද්වේෂ, මෝහ ගිනි හටගනියි. තණ්හා, දිට්ඨ, මාන, ක්ලේෂ උපදියි. ඒවා වැඩිදියුණු වෙයි. දාස භාවයට පත් වෙයි. දේව නිර්මාණයන්ට දෘෂ්ටිගත වෙයි.
මිථ්‍යා ඇදහිලි ගස්ගල් පර්වත යාගහෝම ආදී විවිධ ඇදහිලි තුළින් සැප බලාපොරොත්තු වේ. ලොව සත්ත්වයෝ මෙසේ ශිල්පයෙහි නිමග්නව තණ්හාවට වහල්වෙමින් ජීවිත ගත කරති. කලහ විවාද ඇතිකරගනිති. ඇතැම්විට ඉඩ කඩම් දේපළ ධනය සඳහා ඇන කොට ගනිති. අකල් මරණයෙන් අවසානයේ ජීවිතද අහිමිකර ගනියි. මෙසේ සිප්සතර කොපමණ හොඳින් හැදෑරුවත් ජීවිත අවබෝධය එයින් අත්පත් වන්නේ නැත. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාර රැස්කර ගනියි.කාමාදි ක්ලේශයන්ගෙන් දහනයට පත්වෙමින් නැවැත නැවත ජරා, ව්‍යාධි, මරණ කරාම පැමිණෙති. දුකින් නොමිදේ.
කහවනු වැස්සක් වැස්සත් ලෝකයා තෘප්තිමත් නොවන බව (මදිය මදිය කියා ගන්නා බව) තථාගතයන් වහන්සේ විසින් දේශනා කර තිබේ. එම නිසා ලෞකික වශයෙන් යම් සිප්සතරක අගතැන්පත් වූවත්, ඔවුන් ලෝකෝත්තර සුවයට ප්‍රවේශ වී නැති බව ඉහත කරුණු වලින් මනාව පැහැදිලි වේ. එම දැනුම සසර කලකිරීම පිණිස, විරාගය පිණිස යථා අවබෝධය වන (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) ත්‍රිලක්‍ෂණය පිණිස, නිවන පිණිස, විවේකය පිණිස, අජර අමර පිණිස හේතු සාධක නොවන්නේ ය. පුහුදුන් සත්වයා කෙලෙස් වසඟයට පත් වී ලබන සාමිස සුවය ඔවුන්ගේ සියලු දුක් නැසීමට (ශෝක, පරිදේව සත්‍ය, දෝමනස්ස, රාග, දියත්, මෝහ, ජාති, ජරා, මරණ ආදී එකොළොස්ගිනි) හේතු නො වන්නේ ය
.
තවදුරටත් සාමිස වින්දනය තුළ ලබන සුවයේ ආදීනවය සසර බියකරුභාවය තේරුම්කර ගනිමු. කවදත් ලෝකයාගේ ස්වභාවය වින්දනය සෙවීමයි. එයින් මත් වීමයි. එම නිසාමයි ලෝකය යනුවෙන් අර්ථය ගෙන දෙන්නේ. පුහුදුන් සත්වයන් කලාවට පි‍්‍රයභාවයක් ඇලුම් භාවයක් ඇති කරනවා. එහි සීමාවන් ඉක්මවා යෑම අතිශය බිය කරුණක් වෙනවා.
සංගීත ශිල්පය හැදෑරීමට බොහෝ දෙනා තුළ රුචියක් තිබෙනවා. සංගීතය අසන්නට ද සත්ත්වයා වැඩි කැමැත්තක් දක්වනවා. සියලු කටයුතු පසක තබා හෝ දිවා, රාත්‍රී, අව්, වැසි කායික පීඩා කොපමණ බහුලව තිබුණත් සාමාන්‍ය ලෝකයා සංගීතය, නැටුම වාදනයට සිත යොමු කරනවා. එය ලෝකයේ කවදාත් පවතින ග්‍රාම්‍ය තත්ත්වය වේ.

තාලපුට නටගාමිණි නම් නළුවෙක් විය. එදවස තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසක සිට මෙසේ ප්‍රකාශ කරන ලදී. භාග්‍යවතුන් වහන්ස, යම් වූ නළුවෙක් රඟමැද (රඟහල) නැටුමෙන් ගැයුමෙන්, ඇත්තෙනුත් බොරුවෙනුත් (සත්‍ය අසත්‍ය) ජනයා සතුටු කරනවාද, ඇලුම් පි‍්‍රයමනාප කරනවාද, හෙතෙම මරණින් මතු (කය බිඳීයාමෙන්, මරණයට පත්වීමෙන්) පහාස නම් දේව සභාවට උප්පත්ති වශයෙන් පැමිණෙන බව මා විසින් අසා ඇත. එය කියන ලද්දේ මාගේ ආචාර්යභවතුන් විසිනි. විශාරද වූ ප්‍රවීණ වූ පෙර විසූ දක්‍ෂතා ඇති අය ප්‍රකාශ කරන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ කුමක්දැයි දැන ගැනීමට කැමැත්තෙමි. එසේ සිදුවෙනවාද?
තුන්වතාවක් (තෙවරක්) මෙසේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ඉදිරියේ තාලපුට නටගාමිණි අසන ලදී. නිහඬව සිටි භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. ගාමිණි එසේ වෙයිද? විසඳාදෙන්නම් තොපට. මම එම කාරණය විසඳන්නෙමි. තොපට වැටහේවා. පෙර සත්වයෝ රාගය ඇත්තෝ ය.
රාගය ප්‍රහාණය කළේ නැත. රාග බන්ධයෙන් බැඳුනාහ. එවන් ප්‍රමාද වූ අයට නළුවන් රඟමැද, නැටුම් මැද රංගන දක්වන විට, ඔවුන් බෙහෙවින්ම (සත්‍යවශයෙන්ම) රාගය වැඩිවීම පිණිසම එළවා දක්වයි. මත් කරවයි. තවද පෙර සත්ත්වයෝ ද්වේශ බන්ධනයෙන් වෙළී ඇත්තාහ. එය තර කොටම වඩති. ද්වේශය ප්‍රහාණය නොකරන ලදී. එවන් අයට නළුතෙම රඟමැද නැටුම් මැද ද්වේශය වැඩිවීම පිණිස කරුණු කාරණා දක්වයිද, ඔවුන්ට ද්වේශ ගින්නම වැඩිවීම පිණිස හේතුවිය. පෙර සත්ත්වයෝ පහනොවූ මෝහ ඇතියහ. මෝහන්ධාකාරයෙන් ම බැඳුණාහ. ඔවුන්ට නළුකම රඟමැද නැටුම් මැද මෝහයට කරුණු කාරණා දන්වැයි ඔවුන්ගෙ මෝහය බෙහෙවින්ම වර්ධනය විය. මෝහ සහිත විය.
මෙසේ නළුකමද මත් වී (සොම්නස්ස) ප්‍රමාදයෙහි යෙදී අන්අයද (මෙරමා) මත් කරවා, ප්‍රමාද කොට මරණින් මතු පහාස නම් නිරයක් ඇත. එහි උපදිනු ලැබේ. මෙසේ යම් වූ නළුවෙක්, ඔබට රඟමැද, නැටුම් මැද සැබැවෙනුත්, මුසාවෙනුත් ජනයා කුල්මත් කොට සිනා ගන්වා ඇලුම් කරවා ද තමාත් ප්‍රමාදයෙදි මත්වී අනුන්ද ප්‍රමාදයේ යොදවා මත් කරවා, හෙතෙමෙ කාබුන් (කය බිඳීයාමෙන්) මරණින් මතු පහාස නම් දෙවියන්ගේ සභාවට පැමිණේය’ යි කියන්නේ නම් එම මතය දැක්ම මිථ්‍යා දෘෂ්ටියක්ම වන්නේ ය. මෙවැනි මිසදිටුවන්ට නිරය හෝ තිරිසන් යන දෙගතියෙන් එක්තරා ගතියකට පැමිණෙන බව මම කියමි.
මෙසේ වදාළ කල්හි තාලපුට නටගාමිණි හඬා වැළපුනේ ය. කඳුළු වගුරුවා තැතිගැනීමෙන් යුක්ත විය. පසුව ගාමිණි මෙසේ ප්‍රකාශ කරන ලදී. භාග්‍යවතුන් වහන්ස මාගේ පෙර විසූ ආචාර්ය පරම්පරාව දිගුකාලයක් පටන් වැරදි දෘෂ්ටිය ගෙන මාව මුලාකරන ලදී. රවටන ලදී. වරද්දවන ලදී. ඔබවහන්සේ පමණයි මට මෙහි මුළාවත් වැරදි දෘෂ්ටියත් ප්‍රකාශ කරන ලද්දේ.

භාග්‍යවතුන් වහන්ස, ඉතා මැනවි ඉතාමැනවි. යටකුරු වූවක් උඩුකුරු කරන්නේ ද, වැසුණු යම්දෙයක් වැසුම් හරින්නේ ද, මං මුළා වූවකුට මඟ කියන්නේ යම්වේද, අඳුරක් ඇති තැනට පහනක් දැල් වූ විට ඇස් පෙනෙන්නෝ රූප දකින්නේ යම්සේද, ඔබවහන්සේ විසින් සත්‍ය දහම මට හෙළි කරන ලදී.
මට පැවිද්ද දෙන සේක්වා! පසුව භාග්‍යවතුන් වහන්සේ පැවිදි කරන ලදී. උපසම්පදාවෙහිද පිහිටුවන ලදී. තාලපුටනට ගාමිණි හුදකලාව කෙළෙස් තවන වැර ඇතිව මනා සිහිනුවණින් යුතුව කයෙහි අසාරය මෙනෙහි කොට පස්කෙඳහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණ මෙනෙහිකොට නොබෝ කලකින්ම සව් කෙළෙස් නසා රහත්ඵලයට පත් වූහ. (සසර බිය දකින ඇත්තෝ මේ කතාව ආදර්ශයට ගෙන ප්‍රමාද නොවී විමුක්ති රසය ලබන්නට වීර්යය කරත්වා.

 පොල්ගහවෙල මිතභාණි හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජනවාරි 01 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment