Labels

Sunday, August 30, 2015

විවේකි සිතක් සකස් කර ගැනීම

 

තම සිතට යම් වූ ගැටලුවක් පැන නැඟි විට ඒ හැම දෙයක්ම බුදුන් වහන්සේ වෙත පැමිණ විසඳා ගැනීමට කොසොල් රජතුමා ක්‍රියා කළේය. එයින් එතුමා මානසික පීඩාවන් දුරුකර ගත්තේය. ලිහිල්භාවයට පත් විය. ශාසනික දායාදය මැනැවින් ඇතිකර ගත්තේය.


ලොව පහළවන්නාවූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ නිසා, අසරණ සත්වයන්ට අත්වන ශාන්තිය මෙපමණැයි කියා විස්තර කළ නොහැකිය. අඳුරෙන් වැසී ඇති ලෝකය ආලෝකය කරා ගෙනයෑමට සමස්ත සත්වයාටම වාසනාව, භාග්‍ය තථාගතයන් වහන්සේගේ දර්ශනය තුළින්ම සැලසෙන්නේය. කෙලෙස් ගින්නේ ආතුර වූ අහිංසක ප්‍රජාවට ලොව යථාර්ථය අවබෝධ කරගෙන කෙලෙස් ගිනි සදහටම නිවාගෙන ශාන්ත සුන්දර අමාමහ නිවන් සුවය අත්පත් කරගැනීමට භාග්‍ය උදාවන්නේය.

මෙලොව සත්වයෝ විවිධාකාර වූ දර්ශන සඳහා ඇලුම්, මනාප ඇතිකර ගනිති. ඒවා නැවත නැවත අභිරමණය කරති. ඒ සෑම සිතිවිල්ලක්ම කෙලෙස් ප්‍රහාණය පිණිසත්, දුකින් මිදීම පිණිසත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් එතෙරවීම පිණිසත්, හේතු නොවන්නේය. එයින්ම විවේකය, නිදහස වැනසී යන්නේය .මේ ගැන පුහුදුන් ලෝකයාට අවබෝධයක් නොමැත. ඒතාක් දිගු සසරට වැටී දුක් විඳීන්නේය. ලබාගත් දුර්ලභ වූ මිනිසත් බව, කල්‍යාණ දහමට එනම් කලණ මිතුරන්ගේ ඇසුරටත්, සීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්මයන්ගේ වෙපුල්ලත්වය පිණිසත්, සැනසිල්ල සඳහාත්, හේතු කර නොගන්නේය. ඒ තරමට කාමාදි දර්ශනයන්ගෙන් මත්වී මුළාවට වැටී මරු තුරුලටම වැටෙන්නේය. මෙලොව පරලොව දෙලොව සැනසිල්ල විනාශ කරගෙන අපායාදී දුර්ගතියට නැවත වැටෙන්නේය.

තථාගතයන් වහන්සේ සහ ශ්‍රාවකයන් වහන්සේගේ නිරන්තර දර්ශනය ලද, එයින් ධර්මාවබෝධය කරගත් ආර්ය ශ්‍රාවකයෝ පවා ලොව්තුරා බුදුන් වහන්සේ ඇතුළු ශ්‍රාවක මහ සඟරුවන සැවැත්නුවර ජේතවනාරාමයෙහි වස් වැස පවාරණය කර දක්‍ෂිණාගිරියට චාරිකාවෙහි යෑමට සූදානම් වන විට එම ගමන වැළැක්වීමට උත්සහ ගත්හ. ඒ තරමට තමන්ගේ හදවත්වල නොසැලෙන නොබිඳෙන බලශක්තියක් පැහැදීමක් සැනසීමක් ඔවුන් අත්පත්කරගෙන තිබුණි.
අනාථ පිණ්ඩික සිටුතුමා, විශාඛා මහා උපාසිකාව, පසේනදී කොසොල් රජතුමා ඇතුළු බොහෝ ජනයා මේ පිරිස අතර වූහ. තථාගතයන් වහන්සේ ඇතුළු ශ්‍රාවක මහ සඟරුවන සැමදා අභිවන්දනා කරමින් කටයුතු කළත් එපා වීමක් වූයේ නැත. වත්මන් සමාජයට මෙම කරුණු පරමාදර්ශයක් කරගැනීමට හැකිය. එසේ ප්‍රකාශ කරන්නේ බොහෝ දෙනා මුලින් දැඩි කැමැත්තෙන් උත්සහයෙන් කුසල් සිත වැඩීමට කැප වී වෑයම් කළද පසුවට එය අඩාල කරගන්නා නිසයි. ඔවුහු හීන භාවයට පැමිණෙති. ගරුතර මහ සගරුවන වැඩ ඉන්නවද කියා අමතක වෙයි. සිව්පස සංග්‍රහයද අමතක වී යයි.තම යුතුකම්ද වගකීම්ද බැහැර වී යන්නේ, එයින්ම පන්සල්, සෙනසුන්, කුටි, ආවාස, සක්මන් මළු, බුද්ධ මන්දිර, චෛත්‍ය, බෝමළු, කැලෑවට වැසී යනු ඇත. වතාවත් කිරීම්, බණ ඇසීම්, දුරස්ථ වී ගොස් අධිවේගී ජීවන රටාවක් ඇතිකරගෙන පීඩා විඳින්නට සිදුවේ.

එහෙත් එදා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට තථාගත ශාසනය මහත් විවේකයක් විය.සැනසුම් සුසුමක්ම විය. පසේනදි කොසොල් රජතුමා ප්‍රාන්ත රාජ්‍යයන් යටපත් කරගෙන, දින කිහිපයක් තථාගතයන් වහන්සේ බැහැ නොදැක සිටීමෙන් මහත් පාළුවක් සිතට දැනිණ. එම වැඩ කොටස් නිම වූ වහාම ලොව්තුරා බුදුන් වහන්සේගේ දර්ශනයට පැමිණීම එතුමාට මහත් සතුටක් සැනසීමක් සන්සිඳීමක් විය. බුදුරජාණන් වහන්සේ දකින්නට යෑම එතුමාගේ දෛනික ජීවිතයේ අංගයක්ම විය. සෝවාන් ආදි මග ඵල නිවනට පත්නොවුණත් තථාගතයන් වහන්සේ කෙරෙහි, ශ්‍රාවක මහ සඟරුවන කෙරෙහි මහත් වූ කැපකිරීමක්, පැහැදීමක් විශ්වාසයක් හදවත තුළ නිර්මාණය කරගෙන තිබුණි.
ශාසනික කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහයද ලබා දුන්නේය. යම් හෝ කරදරයක් විපතක් සිදුවෙන්නට කරුණු යෙදී තිබුණූ විට ඒ හැම ප්‍රශ්නයකටම මැදිහත් වී කටයුතු කළේය. ශාසනයෙන් බැහැරව එන විවිධ අර්බුදවලදී ද ලොව්තුරා බුදුන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගෙන ශාසනික දියුණුව සඳහා මහත් කැපවීමත් සිදුකළේය. රාජ්‍ය අනුග්‍රහයෙන් මැදිහත්ව කටයුතු කරමින් ආරක්‍ෂක විධි විධාන සලසා දුන්නේය. දාන සංවිධාන කටයුතු තම අග මෙහෙසුන් කෝසල මල්ලිකා දේවිය සමඟ එක්වන්ව සිදුකළේය.
තම සිතට යම් වූ ගැටලුවක් පැන නැඟි විට ඒ හැම දෙයක්ම බුදුන් වහන්සේ වෙත පැමිණ විසඳාගැනීමට කොසොල් රජතුමා ක්‍රියා කළේය. එයින් එතුමා මානසික පීඩාවන් දුරුකරගත්තේය. ලිහිල්භාවයට පත්විය. ශාසනික දායාදය මැනැවින් ඇතිකරගත්තේය. සසර ගමනට මේ හැම දෙයක්ම පිහිට පිණිස වෙයි.
ඇතැම් අවස්ථාවලදි ගැඹුරු ප්‍රශ්න ද සාකච්ඡා කර තිබුණි. දිනක් ලොව්තුරා බුදුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන විට පසේනදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට පැමිණියේය. ඉතා ගෞරවාකාරයෙන් වැඳ එකත් පසෙක සිට දහම් කාරණා පිළිබඳ විමසයි. එම දහම් කරුණු පිළිබඳ ඔබත් මැනැවින් අවධානය යොමු කර බැලිය යුතුවෙයි. දහසක් ප්‍රශ්න ගැටලු ඇතිකරගෙන ඇති ඔබටත් සිත තුළ විවේකය, විරාගය, සැනසිල්ල මතු කර ගැනීමට මෙය උපකාර වෙයි.
“භාග්‍යවතුන් වහන්ස, කෙතෙක් ලෝක ධර්මයන් අහිත පිණිස, දුක් පිණිස, අපහසු විහරණය පිණිස උපදීද?”

මහරජ, ලොව දහම් තුනක් අහිත පිණිස, දුක් පිණිස, නොපහසු විහරණය පිණිසම උපදින්නේ වෙයි. එම දහම් තුන කවරේද? ලෝභ සංඛ්‍යාත ලෝක ධර්මය උපදින්නේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස පවතින්නක් වෙයි. ද්වේශ සංඛ්‍යාත ලෝක ධර්මය අහිත පිණිස දුක් පිණිස අපහසු විහරණය පිණිස උපදින්නේ වෙයි. මෝහ සංඛ්‍යාත ලෝක ධර්මය අහිත පිණස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදින්නේ වෙයි. යම් කෙනෙක් තුළ මෙම දහම් තුන නිරතුරු උපදින්නේ පවිටු සිත් ඇති හෙතෙම දෙලොව පිරිහෙන්නේ වෙයි. තම සිත පෙළීමට පත්කරගත්තේ වෙයි.
ජන සමාජයම හරයක් යැයි සිතා නිරතුරුව වඩන්නේ මෙම දහම් තුනයි. කුඩා දරුවගේ සිට මරණාසන්න මොහොත දක්වාම මිනිස් සිතේ මුල් බැසගෙන ඇත්තේ මෙම ලාමක අකුසල් තුනය. ඒ බව නොදත් බාලතෙම ඒ දෙසට සිත යොමුකරයි. අකුසල් වර්ධනය කරගනී. එම අරමුණම නැවත නැවත පෝෂණය කරයි. එයින් ඇතිවන මහත් වූ අනර්ථය විපත සලකා බලන්නේ නැත. එම නිසා ජන සමාජයම තුළ මහත් වූ විනාශයක් බියකරුභාවයක් ගොඩනැ‍ෙගන අතර ත්‍රාසජනක සිදුවීම් එන්න එන්නම වර්ධනය වෙයි. සාමාන්‍ය ජනතාව දුක් සුසුම් හෙළමින් පීඩාවට පත්වී තිබෙන බව මෙවැනි සිද්ධීන් තුළින් මැනැවින් ප්‍රකටව දැක ගැනීමට තිබේ.
මේ සියල්ලටම මුල්වූයේ තම සිත තුළ හටගන්නා වූ සතුරන් හඳුනා නොගැනීමය. ලෝභය, ද්වේශය, මෝහය තරම් දරුණූ විෂ ඇති (ඝෝර විෂ) බලැති ගඩුවක්, හුලත්, කටුවක් තවත් ඇත්තේ නැත. මෙය හටගන්නේ නුනුවණින් මෙනෙහි කරන නිසයි. නුනුවණින් මෙනෙහි කරන තාක් තමාට විවේකය, සතුට, සන්සිඳීම ඇතිනොවන අතර කෙලෙස් ප්‍රහීණවීමක් නිරෝධයක්, ආර්යභාවයට පත්වීමක් සසර කතරින් එතෙරවීමක්, නිවීමක් බලාපොරොත්තුවිය නොහැකිය. කොටින් කියතොත් අත්හැරීමෙන් ලබන උතුම් මානසික ශාන්තිය සලසා ගැනීමට හැකියාවක් නැත්තේමය.
සත්වයන්ගේ විමුක්ති සුවය නසලෝභ, ද්වේශ, මෝහ තරම් තවත් ලෝක ධර්මයක් නැත. ලෝභය නපුරකි, අඳුරකි. ගොඩ ඒමට ඉතා අසීරුය. ද්වේශය විෂකි. නපුරකි. පෙළීමකි. අඳුරකි. මෝහය මහත්වූ දැලකි. අඳුරකි. විනාශයකි. මකුළුවා තමා සාදාගත් දැලෙහිම මරු වසඟයට යන්නාසේ, මෙම තුන් දහම බහුල කිරීම, බහුලව භාවිතා කිරීම, ලෞකික ලෝකෝත්තර උභය සැනසිල්ල විනාශකර සතර අපාදි දුකට සත්වයා පමුණුවාලීමට හේතු කාරක වෙයි.


 වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ජනවාරි 24 වන සිකුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment