Labels

Thursday, August 27, 2015

තරුණ වියේදීම සුසිරිතෙහි යෙදෙන්න



ප්‍රශ්නය  - සමහර ගිහි පැවිදි වැඩිහිටියන්ගේ මතයක් වශයෙන් අද ඇතැම් තරුණ පිරිස් පන්සලට ඇති නැඹුරුවීම් මඳ යැයි කීවොත් ...

පිළිතුර-එසේ වන්නේ නම් ඊට ඒ තරුණ ඇත්තන්ගෙ ආශ්‍රය ප්‍රධාන සාධකයක් ලෙස බලපා හැකියි. පරිසරයට හා ආශ්‍රයට වැඩි දෙනා ගුණ දහමට නැඹුරු අයම ආශ්‍රය කරන්නේ නම් එසේ වීමට ඉඩක් නෑ.
නවීන තාලයට යුරෝපයෙන් බෝවී ගිය සමහර දේ නිසා ධර්මය ඉගෙන ගන්න ඒ අය අකැමැති ඇති. කොයිතරම් සතුටින් විනෝදයෙන් ඒ තරුණ කාලය ගත කළ යුතුව ඇත්දැයි යනුවෙන් සමහර විටෙක ඒ තරුණ අය සිතනවා වෙන්නත් පුළුවන්. ඒ කොයි තරම් සතුටින් විනෝදයෙන් කාලය ගත කළත් ඒ තරුණ මදයෙන් මත් වූ කාලයේදී පමණක් විය හැකියි.
ජීවිතයේ ප්‍රශ්නවලට කරදරවලට ගැටලුවලට මුහුණ දෙන විට කොයිතරම් දහමෙන් ඈත්වී සිටි අයකුට වුවත් පන්සලට නො ගොසින් දහමට නැඹුරු නොවී සිටීමට අපහසු වෙනවා.
ඉතින් විශේෂයෙන් වයසට යන විට ආගම හැර වෙන පිහිටක් නෑ කියන තත්ත්වයට පත්වන්නෙත් අර තරුණ පිරිස්මයි.
තරුණ මදයෙන් ඈත්ව පුළුවන් වෙලාවට ජීවිතයේ කරදර එකින් එක වැඩි වීමට පෙර තරුණ කාලයේදීම ගුණ දහමට නැඹුරු වුණොත් අර වයසට ගොස් ලබන පසුතැවිල්ලට වඩා හොඳ වේවි. නරක වැඩ වලට දුසිරිතට පෙළඹෙනවාට වඩා දහමට නැඹුරු වී ශක්තිය තිබෙන කාලයේදී ජීවිතයෙන් ධාර්මික සතුටක් ලබන්න මහන්සි වෙනවා නම් වඩා හොඳයි.


ප්‍රශ්නය - මෛත්‍රී භාවනාවෙන් සහ ආනාපානසති භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල දෙආකාර වන්නේ ඇයි ?

පිළිතුර - සමථ යනු ධ්‍යාන වැඩීමයි. විදර්ශනා භාවනාව යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සැළකීමයි.
මෛත්‍රී භාවනාව දියුණු කිරීමෙන් ධ්‍යාන ලබන්න පුළුවන්. ආනාපාන සතියෙන් සමථයත්, විදර්ශනාවටත් හුරු කරගන්නත් පුළුවන්.
සමථ භාවනාව වැඩීමේදී ප්‍රවේශම් නොවුණහොත් ඉන් පිරිහෙනවා.
අහසින් යන සාමණේර හාමුදුරු නමක් ඇල්කෙතක් රකින ළඳුන් කියූ ගීතයක් ඇහිල එතැනට ආවා.
ලෞකික ධ්‍යාන වලින් සෘද්ධි ලැබූවන් ප්‍රවේශම් නොවුණහොත් පිරිහෙන්න පුළුවන්. සමථවලින් ලබන ධ්‍යානයෙන් වුවත් ධ්‍යානාංගවල අනිත්‍ය දුක්ඛ ස්වභාවය මෙනෙහි කිරීමෙන් විපස්සනාව වඩන්න පු‍්‍රළුවන්. ධ්‍යාන පාදක විපස්සනාව කියන්නෙ එයයි.


ප්‍රශ්නය – බුද්ධෝත්පාද කාලයක් තුළ නැතිනම් එක් යුගයක් තුළ පහළ වන්නෙ එක බුදුවරයකු පමණ ද ?

පිළිතුර – එක් කාලයකදි එක් බුදුවරයකු පමණයි පහළ වන්නෙ. බුදුවරු දෙනමක් එක කාලය තුළ පහළ වන්නේ නෑ.


ප්‍රශ්නය – මහනායක හාමුදුරුවනේ සතර සතිපට්ඨානය හඳුන්වා දෙනවා නම් ...

පිළිතුර - සති යනු එළඹ සිටි සිහියයි. හොඳට සිතේ ඇති කර ගන්නා සෝදිසිමත් කමයි. ඊට යෝනිසෝ මනසිකාරය කියලත් කියනවා.

එසේ සිතේ සෝදිසියෙන් බැලිය යුතු කරුණු හතරට තමයි සතර සතිපට්ඨානය කියන්නෙ. පළමුව මේ කය නැතිනම් මේ ශරීරයේ හැටි සිහියෙන් බලන්න ඕනෑ. මේ ශරීරය හැදිල තියෙන්නෙ මොනවායින් ද ? අඩංගු වී තිබෙන්නෙ මොනවාද යනුවෙන් සිහියෙන් බැලීමයි කායානු පස්සනාව කියන්නෙ.
එවිට හිසකෙස්, ලොම්, නිය, දත් ආදි දෙතිස් කුණුපයෝ සිතට පෙනෙන්න වෙනවා. මේ ආදී වශයෙන් එළඹ සිටි සිහියෙන් බලන විට ශරීරයේ ස්වභාවය නොයෙක් අයුරින් පෙනෙන්නට පටන් ගන්නවා. හුස්ම ගැනීම හුස්ම පිටකිරීමත් ඊට අයිති වෙනවා. ඒ ගැන බැලිය යුත්තේ සිහියෙන්.
කය ඔස්සේ සිත යවා පරීක්ෂා කිරීම කායානුපස්සනාවයි. එය හොඳට සිත දියුණු කරමින් බලමින් බලන්නට ඕනෑ.
ඒ ඒ වෙලාවට සිතේ ඇති වන සතුට අසතුට මධ්‍යස්ථ ගතිය හෙවත් උපෙක්ෂාව බලන්න ඕනෑ.

 බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මැයි 2 වන බ්‍රහස්පතින්දා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment