චිත්ත චෛතසික ඇති නොවීම සම්පූර්ණයෙන් ම නතර වුණු අවස්ථාව තමයි නිරෝධ සමාපත්තිය කියන්නෙ. එය විස්තර කරන්නේ මෙසේයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේත් ධ්‍යානයක් නො ලැබූ මිනිසාගේත් සිත කාම වස්තු කෙරෙහි ගැටී පවතින්නේ රූපයත්, ශබ්දයත්, ගඳත්, සුවඳත්, රසයත් ගැනය. යම්කිසි අරමුණක ඒවා ගැටිලා කාම ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත් ඇතිවේවි යන්නෙ. අරමුණක් නැතිව සිත හැදෙන්නෙ නෑ. අරමුණ කියන්නෙ සිත එල්ලෙන දේ. රූපයක නැතිනම් ශබ්දයක ඒ විධියට සිත ඇලෙනවා. ඉතින් එහෙම හැදෙන සිත්වලට අප කියනවා කාමාවචර සිත් කියලා
ප්‍රශ්නය – මහනායක හාමුදුරුවනේ නිරෝධ සමාපත්තිය පිළිබඳ විස්තර කරනවා නම්, ...
පිළිතුර – චිත්ත චෛතසික ඇති නොවීම සම්පූර්ණයෙන් ම නතර වුණු අවස්ථාව තමයි නිරෝධ සමාපත්තිය කියන්නෙ. එය විස්තර කරන්නේ මෙසේයි.
සාමාන්‍ය මනුෂ්‍යයාගේත් ධ්‍යානයක් නො ලැබූ මිනිසාගේත් සිත කාම වස්තු කෙරෙහි ගැටී පවතින්නේ රූපයත්, ශබ්දයත්, ගඳත්, සුවඳත්, රසයත් ගැනය.
යම්කිසි අරමුණක ඒවා ගැටිලා කාම ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත් ඇතිවේවි යන්නෙ. අරමුණක් නැතිව සිත හැදෙන්නෙ නෑ. අරමුණ කියන්නෙ සිත එල්ලෙන දේ. රූපයක නැතිනම් ශබ්දයක ඒ විධියට සිත ඇලෙනවා.
ඉතින් එහෙම හැදෙන සිත්වලට අප කියනවා කාමාවචර සිත් කියලා.
කෙනෙක් ධ්‍යාන භාවනා කරනවා නම් සිත බැඳී තිබෙන කාම වස්තූන්ගෙන් ඉවත් කිරීමේ බලාපොරොත්තුවෙන්.
උදාහරණයක් වශයෙන් කියතොත් සිත එකඟ කරන භාවනා ක්‍රම හතළිහක් තිබේ. ඒවායින් සෑදූ භාවනාව පුරුදු කරන තැනැත්තා මැටිවලින් සෑදූ සටහනක් එහෙම නැත්නම් ජලය පුරවන ලද කට පළල් භාජනයක් දෙස හෝ එහෙමත් නැත්නම් එළියක් දිහා බලමින් සිත එකඟ කරනවා. එහෙම වුණාම අනික් සියලු ම දේ අත්හැරලා සිතට පේන එම ද්‍රව්‍ය කෙරෙහි සිත ඇළිලා පවතිනවා. ඉතින් මේ ක්‍රමය පුරුදු කරාම එහිම සිත රැඳෙනවා. අන්තිමේදී ඒක සිතට පෙනෙන්ට වෙනවා. ඊට පස්සේ ඒ සිත එකඟ කිරීමට යොදා ගත් දේ අතහැරල යොදා ගත් සටහන දිහා සිතෙන් බලනවා.
දැන් මෙතෙන්දි සළකන්න ඕන, මුලින්ම සාමාන්‍ය මිනිහෙක් දිහා බලන දේවලට වඩා මේ ධ්‍යාන භාවනාවලට ගත් අරමුණට නැමුණු සිත ගොරෝසු කමින් අඩුයි. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්න කොට ඒකේ සටහන සිතට පෙනෙන්න වුණාම සිතට පෙනෙන අරමුණ නැවත සිතින් බලමින් ඇතිවන සිත අර සියලුම සිත්වලට වැඩිය සියුම් අර මුලින් ඇති වූ ගොරෝසු ගතිය එහි නෑ. දැන් ඉතින් අර හරියට පෙනෙන අරමුණ දිහා සිතින්ම බලමින් ඒ අරමුණෙහිම සිත පිහිටුවමින් ඒ පිළිබඳව ම සිත එකඟ කරමින් ටික කලක් ඉන්න විටදි රාගාදී කිසිම ක්ලේශයක් නැති නිසා ඒ සිත බොහෝ දුරට පිරිසිදු වෙලා ඒ නිසාම සිතට පෙනෙන අරමුණත් එළියත් පෙනෙන්න වෙනවා. දැන් සිතට පෙනෙන එළිය කෙරෙහි තදින් සිත බඳිනවා. අන් සියල්ලම අමතක කරල එහිම සිත බැඳලා පැය ගණන් ඉන්නට ඔහු පුරුදු වෙනවා.
ඒ තත්ත්වයෙන් ඉන්න විට ඔහුට වට පිටාවේ කිසිම දෙයක් ඇහෙන්නේ දැනෙන්නෙ පේන්නෙ නෑ. ඔහුගේ සිත අර ආලෝකයේ බැඳිලා ඒ දිහාම බලමින් ඉන්න නිසා වෙන කිසිම ක්ලේශයකට බැඳෙන්න ඉඩක් නෑ. මොකද අරමුණ අර එළියෙහි බැඳිල තියෙන නිසා.
දැන් ඒ සිතට පේන එළිය ටික ටික ලොකු වෙන්න කියල සිතා ගන්නවා. එහෙම සිතාගෙන ඒ තැනම සිත බැඳල පවත්වන කොට ආලෝකය විශාල වී පේන්න පටන් ගන්නවා.
එතැන එන්නේ එළියක් ලොකුවීමක් නොවේ. සිතේ පරිකල්පනයක්. ඒ ප්‍රමාණයට මහත් වූ එළියෙහි සිත තදින් බැඳලා බොහෝ වෙලා ඒකෙහිම සිත නතර කරවන්න ඔහු උත්සාහ කරනවා.
මම නිදර්ශනයක් කියන්නම් ලීයකට ඇණයක් ගැහුවොත් තදින් ඒ ඇණය ලීයෙහි කාගෙන හෙල්ලෙන්නෙ නැතිව තදින් පවතිනවා.
අන්න ඒ වගේ අර සිතට පේන එළියෙහි සිත කාගෙන ගොහින් සිත බැඳිලා හෙල්ලෙන්නෙ නැතුව එළිය දෙස බලමින් සිත පවතිනවා. සිතට පේන එළිය වට්ටියක් කුල්ලක් ප්‍රමාණයට ලොකු වුණාම කලින්ට වඩා එහි සිත තදින් බැඳී පවතිනවා. ඔහු කැමති ඒ විදියට තවත් විශාල කරගන්න පුළුවන්.
යම් තරම් දුරට සිතේ එකඟකම දියුණු වුණාම සිතේ කාමාදී කෙලෙස් බොහොම ඈත් වී යනවා. විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන ප්‍රධාන අංග පහ සිතේ තදින් වැඩ කරනවා. ඔය අංග පහෙන් යුක්ත වෙන කොට ක්ලේශයන් බොහෝම යටපත් වෙනවා.
මේ අවස්ථාවට අපි කියනවා පළමුවන රූපධ්‍යාන අවස්ථාව කියල. මේ අවස්ථාවේදී සිත කලින් හටගත් සිතිවිලිවලට වඩා හුඟාක් සියුම්. කලක් අරමුණෙහි සිත හොඳට පුරුදු කරන කොට අර විතර්ක නමැති සිතේ අරමුණු ඕනකමක් නන්වන අවස්ථාව නැතිව ඕනෑම විවේකයකදි මතක් වනවිට ආලෝකයට ගැටිල සිත ඇතිවෙන්න පටන් ගන්නවා. මේකට කියනවා පළමුවන රූපධ්‍යාන අවස්ථාව කියල. තවදුරටත් ඒක හොඳට සිතට පුරුදු වුණාම අර විතර්ක කියන අංගය විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතා නැති අනිත් අංග අතරින් සිත ඇතිවෙනවා. සිතේ එළිය නැවත නැවත පිහිටුවමින් එය උත්සාහ කරන කොට අර විචාරයක් නැතිව ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනෙනුත් සිත ඇතිවෙනවා. ඒ සිතින් එළිය දිහා බලමින් කලක් ඉන්න කොට ප්‍රීතිය නැතිව සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකින් යුක්තව සිත ඇති වෙන්න පටන් ගන්නවා.
ඔය ක්‍රමයට සිත එකඟ කරන කොට සුඛ වේදනාව නැතිව ඒ වෙනුවට උපේක්ඛා ( මධ්‍යස්ථ බව ) ඇතිව සිත ඇතිවෙන්න පටන් ගන්නවා. එය එකඟකමේ ඉහළට ගිය පස්වැනි අවස්ථාවයි. ඒ තත්ත්වයෙන් පවත්නා සිත කලින්ට වඩා බොහෝම සියුම්. සිතේ ගොරෝසු ගති අඩුවෙලා. පංචමධ්‍යාන සිත යනුවෙන් එය හඳුන්වනවා.
එම තත්ත්වයෙන් ඉන්න තැනැත්තා මගේ සිත එළියක් කෙරෙහි බැඳිල පවතින්නෙ මේකත් ගොරෝසුයි. මීට වඩා සිත සියුම් කළ යුතුයි කියා සිතනවා. එහෙම සිතල හිතට පෙනෙන මනෝමය ආකාසයෙහි හැමතැනම පැතිරෙන්න කියල
මෙසේ ටික දවසක් උත්සාහ කරන විට තමාගේ බලාපොරොත්තුව හරි යනවා. මනෝමය ආකාසේ එළිය හැම තැනම පැතිරිලා පේන්න වෙනවා. තමා ඇතුළතත් තමාගේ පිටතත් දැන් ඇත්තේ එළිය. ඒ අයුරින් ඔහුට පේන්නෙ. දැන් ඉතින් එයා අධිෂ්ඨාන කරනවා මේ අනන්තව පැතිර ඇති කසිනාලෝකය අතුරුදහන් වේවා කියා නොපෙනී හිස් අහස පමණක් පෙනේවා කියල. මෙසේ ටික දිනක් උත්සාහ කරන කොට ඒ අදහස හරි යනවා.
සිතට අර එළිය නොපෙනී හිස් අනන්ත ආකාසය විතරක් පේන්න වෙනවා. කලින් තිබූ කසින එළියෙන් ඉවත් කිරීමෙන් පෙනෙන්නාවූ අහසයි ඒ. දැන් අනන්තවූ හිස් අහස ඉතාම සියුම් අරමුණක්. ඒ අරමුණෙහි බැඳුණු සිත් අනිත් සිත්වලට වඩා සියුම්. දැන් අරමුණ සියුම් වෙන්න වෙන්න සිතත් සියුම් වෙනවා. මේ අනන්ත ආකාසයෙහි බැඳී පවත්නා සිතට ආකාස අනන්තායතන හිත යනුවෙන් නම් කැරෙනවා.
ඒ ආකාස අනන්තායතන සිතට අරමුණු වෙන්නෙ අනන්තවූ මනෝමය ආකාසයෙහි ඒ කිසි ද්‍රව්‍යයක් සිතට පේන හිස්කම. එය අරමුණු කරන හිත ඊට කලින් ඇති වූ සියලුම සිත්වලට වඩා සියුම්.
මේ තත්ත්වය ලැබූ තැනැත්තා ඒ මනෝමය අහසෙහි සිත පිහිටුවමින් නැවත නැවත ඉන් නැගිටිමින් හොඳට එය සිතට පුරුදු කර ගන්නවා. හොඳට පුරුදු කර ගත්තාට පසු අනන්ත අහසෙහි සිත පිහිටුවා යම් විටෙක ඉන් නැගී සිට සිහි කරනවා. ඒ තමා නැඟී සිටීමට පෙර හිතේ හැටි. ඒ සිත නම් අනන්ත අහසෙහි අවසාන කරපු නිසාම අනන්ත වු විඥානයයි.
ඒ ගත වූ සිත වර්තමාන සිතින් මෙනෙහි කරමින් එහිම සිත බඳිමින් ඉන්න පුරුදු කරනවා. එවිට සිත බඳිමින් ඉන්න පුරුදු කරනවා. එවිට ඇතිවන හිත විඥානක අනන්තායතන සිතයි. හෙවත් අනන්ත විඥානයෙහි බැඳී පවත්නා සිතයි.
මෙසේ කලින් කියූ සිත දැන් අරමුණු කිරීමේදී අරමුණ ඉතා සියුම් නිසා අරමුණු කරන ඒ සිත ඉතා සියුම්. එය විඤ්ඤාණංචායතන සිත එයට සමවැද හෙවත් ඒ සිතින් අරමුණු කරමින් සිතෙහි පිහිටුවමින් බොහෝ වෙලා ඉන්නවා. නැගිටිනවා. නැවත නැවත මේ විදිහට එකඟත්වය හොඳට පුරුදු කර ගන්නවා. කැමැති විටෙක ඉන් නැගී සිටින්න. සිත කැමැති වෙලාවක් ඒ තත්ත්වයේ ඉන්න. කැමැති තැනදි එය ඇති කැර ගන්නවා. ඒ ශක්තිය විඤ්ඤාණංචායතන ධ්‍යාන සිතයි. මෙම ධ්‍යානය හොඳට පුරුදු කළ පසු ඔහු ධ්‍යානයෙන් නැගිට හෙවත් හිත ඉවත් කර ගෙන සළකා බලනවා. කලින් තිබූ ආකාසඤ්ඤායතන සිතේ නැති බව. ඒ ධ්‍යාන සිතේ දැන් මේ මොහොතේ කිසිදෙයක් නැති බව අරමුණු කරනවා. බොහෝ උත්සාහයෙන් මෙය කිරීමේදී ඔහුට පුළුවන් අර නැති බවෙහි හිත පිහිටුවන්න. ( නැති බව අරමුණු කර සිත එහි පිහිටුවන්න. ) ඒ සිතට අප ආකංචඤ්ඤායතන සිත ඔහුට ලැබී ඇතැයි කියනවා.
ආකිංචඤ්ඤායතන යනු කලින් ඇතිවූ සිතේ නැති බවයි. ඒක අරමුණු කරන සිතයි. දැන් ඔය නැතිවූ මේ නැති බව අරමුණු කරන හිත අතිශයින් සියුම්. සූක්ෂමයි. මේ ලැබූ ධ්‍යාන තත්ත්වයෙහි බොහෝ වේලා ඉන්න පුරුදු කරනවා. ඉන් නැගිටින්න කැමැති විධියට පුරුදු කරනවා. එය හොඳට පුරුදු වූවායින් පසු ඒ ධ්‍යාන තත්ත්වයෙන් නැගී සිටිනවා.
එසේ නැගී සිට තමාට ඇතිවූ ආකිංඤ්ඤායතන ධ්‍යාන සිතේ ආකාරය සිහි කරනවා. ඒ ඉතා සියුම් වූ ධ්‍යාන සිතේ ආකාරය මතක් කරගෙන ඒ පිළිබඳව හිත බඳිනවා. එය අරමුණු කරන්න පටන් ගන්නවා. ඒ අරමුණේ සිත ස්ථිරව කැමැති තාක් කල් පවත්වන්න ඔහුට පුළුවන් වුණාම ඒ අරමුණු කරමින් සිතක් ඇතිවෙනවා. ඒ සිත මේ තාක් ඇතිවුණාවූ සියලුම සිත්වලට වඩා සියුම්. සංඥාවක් ඇත්තෙත් නැත. නැත්තෙත් නැහැයි කියන තරමට සිතක් ඇත්තෙත් නැත. නැත්තෙත් නැහැයි කියන තරමට ඒ සිත සියුම්. ඊට දී තිබෙන නම නේවසඤ්ඤා නාසඤ්ඤායතන සිත කියලයි. ඊට නේවචිත්ත නාචින්තායතන කියන්නත් පුළුවනි. නේව වේදනා හා වේදනා තිබ්බත් වරදක් නෑ. ඒ සිතේ සියුම්කම කොයි තරම් ද කියතොත් ඒ ධ්‍යානයෙන් නැගී සිට ඒ දිහා බලා ඉන්න විට හිතත් ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ කියන තරමටම සියුම් බව පේනවා. එහි තත්ත්වය පැහැදිලි කිරීමට නිදර්ශනයක් කියන්නම්. අපි හිතමු බෝතලේක තිබෙන තෙල් බේතක් බෝතලේකට වත්කරලා කියලා. දැන් අප කියන්නෙ අර පළමු බෝතලේ තෙල් නෑ කියල. නමුත් ඇඟිල්ල ගාල බැලුවොත් අර පළමු බෝතලේ තිබෙන තෙල් ඒ ඇඟිල්ලේ ගෑවෙනවා. තෙල් මායම තිබෙනවා. යාන්තම් තෙල් තිබෙනවා. ඔන්න ඔය වගේ සිතත් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන තරමට සිතක් තමයි නිරෝධය ඇතිවන්නේ. ඔය තත්ත්වයට සිත දියුණු කරාම නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. ධ්‍යානයක් පදනම් කරගෙන විපස්සනාව වඩල රහත් වූ කෙනෙකුටත් අනාගාමී වූ කෙනකුටත් මේ කියූ අන්දමට රූප ධ්‍යානයේ පටන් ධ්‍යානවලට සම වැදී සිත සියුම් කරගෙන ඇවිත් අන්තිමට නේවසඤ්ඤා නාසඤ්ඤායතන තත්ත්වයට සිත පමුණුවලා ඒ කියන්නේ සිතත් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන තත්ත්වය පමුණුවා ඊළඟට සිතේ හටගැන්ම නවත්වන්න පුළුවන්. සිතීම හෙවත් අරමුණු ගැනීමේ ක්‍රියාව සම්පූර්ණයෙන් නවත්වන්න පුළුවන්. ඒ තත්ත්වය තමයි නිරෝධය කියන්නෙ.
ඒ තත්ත්වයට පැමිණි තැනැත්තා වැඩිම ගණනේ සතියක් ඒ තත්ත්වයෙන් ඉන්නවා. කිසිම අරමුණක් නොගෙන කිසිම සිතීමක් නොගෙන. ඒක තමයි නිරෝධ සමාපත්තියට සමවැදීම කියන්නෙ. මෙසේම සතියකින් පසු ඒ තැනැත්තා ඉන් නැගී සිට නැවත සිතීමේ ක්‍රියාව කරන්න පටන් ගන්නවා. ඒ තත්ත්වයෙන් නැගී සිටින තැනැත්තා එදාම යම් ආහාරයක් ලැබිය යුතුයි. ඒ සතියක් නිරාහාරව සිටි නිසයි. ආහාරයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙනවා. එබැවින් එදා එතුªමාට දෙන දානය මහත්ඵල මහානිශංස එකක් වෙනවා.
ඉතින් නිරෝධ සමාපත්තිය කියන්නෙ ශරීරයක් තුළ ඉඳගෙන මේ ලෝකය තුළදීම නිර්වාණ තත්ත්වයට පත්වීමයි
. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ
අප්‍රේල් 25 වන බ්‍රහස්පතින්දා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment