Labels

Sunday, August 23, 2015

කාය වාග් සංවරය



“ස්වාමීනි , ඔබ වහන්සේ අනුන් ඇසීමට අපි‍්‍රය අමනාප වචන ප්‍රකාශ කරන්නේද? රාජකුමාරය, එයට එක එල්ලේම පිළිතුරක් දිය නොහේ, කිවයුතු තැනදී කියමි. නොකිය යුතු තැනදි නොකියමි”
(අභයරාජ කුමාර සූත්‍රය – මජ්ක්‍ධිම නිකාය 52)
සියලු කායික ක්‍රියා අතර පුද්ගලයෙකුගේ මුවින් පිටකරනු ලබන වචනයෙහි ශක්තිය හා බලය අතිමහත්ය. පි‍්‍රයවූත්, මනාපවූත් වචනය අසන්නාගේ සිත ප්‍රබෝධමත් කරයි. සන්තෘප්ත කරයි. සිතෙහි අසීමිත පී‍්‍රතියක් ජවයක් උත්පාදනයෙහි සමත්වෙයි. අපි‍්‍රය අමනාප වචනය නිසා හටගන්නේ එයට ප්‍රතිවිරුද්ධ ඵලයකි. එවැනි වචන අසන්නාගේ සිත හකුළුවාලයි. කෝප සිතිවිලි ජනිත කරයි. හිංසනය වැනි කායික ක්‍රියාවන්ට පුද්ගලයා පොළඹවයි. අපි‍්‍රය අමනාප වචනය එය කියන්නාට මෙන්ම අසන්නාටද අයහපත්වූත්, අවැඩදායකවුත් ප්‍රතිඵල අත්කර දෙයි.

 
පි‍්‍රය වචනය සතු බලය අසීමිත බව ප්‍රකට කරන ප්‍රවෘත්තියක් පන්සියපනස් ජාතක පොතෙහි නන්දිවිසාල ජාතකය හෙළිකරයි. සැරපරුෂ,අකාරුණික වචනයෙන් අමතනු ලැබු නන්දිවිසාල ගවයා තම ස්වාමියාගේ අණට කීකරු නොවීය. එයින් ගව හිමියාට අත්වූයේ මහත් පරාජයකි. පාඩුවකි. ලජ්ජාවකි. කාරුණික පි‍්‍රයමනාප වචනයෙන් අමතනු ලැබූ විට නන්දිවිසාල ගවයා තමාගේ කාර්යය නිසිලෙස ඉටුකරමින් තම ස්වාමියාට මහත් සතුටක් මෙන්ම ධන සම්භාරයක්ද අත්කරදීමට සමත්විය. තිරිසන් සතුන් පවා ආදරණීය වචනයට අවනත වන බව මනාප වන බව සහ යහපත් ප්‍රතිඵල අත්කරදීමට උපකාර කරන බවට මනා උදාහරණයක් එම ජාතක කතාවෙන් හෙළි කෙරේ. එසේනම් මනසින් උසස් වූ මිනිසුන් වන අපි දෛනික ජීවිතයේදි අප හා සමීපව ඇසුරු කරන්නන්ට වැඩදායක වූ පි‍්‍රයවචන කතා කිරීමටත් අවැඩදායි අපි‍්‍රය වචනයෙන් වැළකී සිටීමටත් පුහුණු කළ යුතු නොවෙමුද?
ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා අතර අභය රාජ කුමාරයාගේ කතා වස්තුව වචන භාවිතය පිළිබඳ මාහැඟි උපදෙස් ඇතුලත් දේශනාවකි. අභය රාජකුමාරයා රජගහනුවර වැසි බිම්බිසාර රජුගේ පුත්‍රයෙකි. ඔහු නිගන්ඨනාථපුත්‍ර අනුගාමිකයෙකි. බුදුන් වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කළ බොහෝ ගිහි පිරිස් බෞද්ධ ප්‍රතිපදාවෙහි පිහිටා බුදුන් වහන්සේගේ අනුගාමිකයන් බවට පත්වීම පිළිබඳව නිගන්ඨනාථපුත්‍ර පසුවූයේ මහත් කනස්සල්ලෙනි. වැරදා රෝපණයෙන් බුදුන් වහන්සේ පරාජයට පත්කොට අනුගාමික පිරිස් තමන් වෙත රඳවා ගැනීමට ඔහු විවිධ උපාය මාර්ග යෙදීය. දිනක් ඔහු අභය රාජකුමාරයා කැඳවා බුදුන් වහන්සේ පරාජය කිරීමට සමත් උභතෝකෝටික ප්‍රශ්නයක් උගන්වා ඔහු බුදුන් හා විවාදයට යැවීමට සැලසුම් කළේය. එම ප්‍රශ්නයට අදාළ ප්‍රස්තුතය වූයේ වචනයෙහි පි‍්‍රයමනාප බව සහ අපි‍්‍රය අමනාප බවයි. අදාළ ප්‍රශ්නය හා ඊට පිළිතුර ලෙස සඳහන් වන්නේ.
“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුන් ඇසීමට අපි‍්‍රය අමනාප වචන ප්‍රකාශ කරනවාද? යි අසන්න. රාජ කුමාරය එසේ කියන්නෙමි” යි පිළිතුරු දුනහොත් එසේනම් ඔබ වහන්සේ හා නූගත් ගැමියෙකු අතර කිසිදු වෙනසක් නැතැයි පිළිතුරු දෙන්න.
“රාජකුමාරයා” මම අනුන්ට අපි‍්‍රය අමනාප වචන නොකියන්නෙමියි පිළිතුරු දුනහොත්,ඇයි ස්වාමීනි, ඔබ වහන්සේ දේවදත්ත තෙරුන් හට “මේ දේවදත්තයා අපායේ උපදී. කල්පයක් එහි දුක්විඳී” යනුවෙන් ඔහු ඇසීමට අපි‍්‍රය අමනාප වචන ප්‍රකාශ කළේ නොවේදැයි අසන්න.
මෙම උභතෝකෝටික ප්‍රශ්නයෙන් බුදුන් වහන්සේ පරාජයට පත්කළ හැකිවේ. ගිලින්නටත් වමාරන්නටත් බැරිවයි උගුරේ හිරවුනු කටුවක් ඇත්තෙකු මෙන් බුදුන් වහන්සේ මහත් ලජ්ජාවට හා අපහසුතාවයට පත්වේ. එවිට අනුගාමික පිරිස් තමන් වෙත රඳවා ගැනීමට තවදුරටත් බුදුන් වහන්සේට හැකියාවක් නොලැබෙන්නේය.
බුදුන් වහන්සේ මෙම උභතෝකෝටික ප්‍රශ්නයට මුහුණ දුන් ආකරය පිළිබඳ විග්‍රහය ගැඹුරින් සොයාබැලීම වර්තමාන සමාජයේ වෙසෙන අපටද බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
යම් වචනයක් ප්‍රකාශ කිරීමේදි නුවණැත්තන් විසින් එහි පලවිපාක පිළිබඳව නිසි අවධානය යොමු කිරීමෙන් තමාට හෝ තමාගේ පවුලේ සාමාජිකයින්ට හෝ පොදුවේ සමාජයට හෝ සිදුවන යහපත හෝ අයහපත පිළිබඳව පරික්ෂාකාරි විය යුතු බව බුදුදහමෙහි ඇතුලත් සුත්‍ර රාශියකින් ඉගැන්වේ.අභය රාජකුමාර සූත්‍රයෙහි යම් වචනයක් හෝ ප්‍රකාශයක් පිළිබද තක්සේරු කිරීම පස් ආකාරයකින් සිදුකළ යුතු බව සඳහන් වේ. එනම්

1.තමා කරන ප්‍රකාශය සත්‍ය වශයෙන් සිදුවූවක්ද, සිදුනොවූවක්ද,
2. සාවද්‍ය දෙයක්ද, නිරවද්‍ය දෙයක්ද,
3. අසන්නාට වැඩදායක දෙයක්ද ,අවැඩදායක දෙයක්ද,
4. අසන්නා පි‍්‍රයමනාප දෙයක්ද.අපි‍්‍රය අමනාප දෙයක්ද,
5. අසන්නා පිළිගැනීමට කැමති දෙයක්ද, පිළිගැනීමට නොකමැති දෙයක්ද,

ඉහත නිර්ණායකයන් අනුව සලකා බැලීමෙන් පසුව පමණක් යම් ප්‍රකාශයක් කිය යුතුද, නොකිය යුතුද, යන්න පිළිබඳව තීරණයට එළඹීම සුදුසු බව බුදුන් වහන්සේගේ උපදේශයයි. ඒ අනුව සැලකීමේදී පුද්ගලයෙකු විසින් යම් කරුණක් පිළිබඳව ප්‍රකාශ කිරීමේදි හය ආකාරයකට ඒ පිළිබඳව සලකා බැලීම සුදුසු බව මෙම සූත්‍රයෙන් පෙන්වා තිබේ. එනම්

1. අසත්‍ය, වූ වැරදි සහගත වූ ,අවැඩදායි, එමෙන්ම අසන්නාට අපි‍්‍රය අමනාප දේ ප්‍රකාශ නොකිරීම
2. සත්‍ය වු නිවැරදි වූ එහෙත් අවැඩදායි එමෙන්ම අසන්නා අපි‍්‍රය අමනාප දේ ප්‍රකාශ නොකිරීම
3. අසත්‍ය වූ වැරදි සහගත වූ අවැඩදායි වූ එහෙත් අසන්නා පි‍්‍රය හා මනාපදේ ප්‍රකාශ නොකිරීම
4. සත්‍ය වූත් නිවැරදි වූත් සමාජයට අවැඩදායක එහෙත් අසන්නා පි‍්‍රය මනාප දේ ප්‍රකාශ නොකිරීම
5. සත්‍ය වුත්, නිවැරදි වූත් සමාජයට වැඩදායක වූත් එහෙත් අසන්නා අපි‍්‍රය අමනාප නම් සුදුසු අවස්ථාවේදි පමණක් ප්‍රකාශ කිරීම
6. සත්‍ය වූත් නිවැරදි වූත් සමාජයට වැඩදායක වූත් යමක් අසන්නා පි‍්‍රය මනාප වුවත් එය සුදුසු අවස්ථාවේදි පමණක් ප්‍රකාශ කිරීම

ත්‍රිපිටකයෙහි සඳහන් සූත්‍ර අතර සිඟාලෝවාද සූත්‍රයෙහි සමාජයේ විවිධ පුද්ගල කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය වශයෙන් පවත්වා ගත යුතු යුතුකම් හා වගකීම් පිළිබඳ පැහැදිලි විස්තරයක් ඇතුලත් වේ. විශේෂයෙන් දෛනික ජීවිතයේදි පුද්ගලයෙකු විසින් ඉටුකරන ක්‍රියාකාරකම් අතර වචනයට හිමිවන්නේ ඉතා ප්‍රබල ස්ථානයකි. එම වචන නිරන්තරයෙන්ම පි‍්‍රය වචන බවට පුද්ගලයෙකු විසින් තහවුරු කරගැනීම සඳහා තමාගේ වචන පිළිබඳව සුපරික්ෂාකාරීවීම අත්‍යවශ්‍යය. කාය වාග් සංවරය ලෙස බෞද්ධ ශික්ෂණ ප්‍රතිපදාවෙහි සඳහන් වන්නේ එයයි. පි‍්‍රය වචන පිළිබඳව ත්‍රිපිටකයේ බොහෝ සූත්‍රවලට අනුව සඳහන් වන්නේ සත්‍ය වූ කනට මිහිරි වූ සුවදායක වූ හදවත පිනායන්නාවු බොහෝ දෙනාගේ සිත් පහදවන්නා වූ සහ බොහෝ දෙනාගේ සිත් අලවන්නා වු (නේලා ,කණ්ණ, සුඛා, පේමනීයා, හදයංගමා, පොරී, බහුජනකන්තා, බහුජනමනාපා) වැනි ලක්ෂණවලින් සමන්විත වන වචන හෝ ප්‍රකාශයි.
නිවසක සාමාජිකයින් විසින් වචන භාවිතය පිළිබඳ ඉගැන්වීමට අදාළ වූ මෙම කරුණු පිළිබඳව නිරන්තරයෙන් සුපරික්ෂාකාරිවීමෙන් බුදු දහමෙහි ඉගැන්වෙන මෙලොවදීම ලැබිය හැකි යහපත් ප්‍රතිඵල අත්පත් කරගැනීමට ඉඩ සලසන බව සිහි කටයුතුයි. පවුලක සාමාජිකයින් අතර කාය වාග් සංවරය පිළිබද නොසැලකිල්ල නිසා මතුවන විරසක, සිත්තැවුල් මෙන්ම මහත් ව්‍යසනකාරි ප්‍රතිඵලවලින් වැළකී සිටීමට එය මහත්සේ උපකාරිවේ. බෞද්ධ ප්‍රතිපදාවෙහි භාවනාව ලෙස ඉගැන්වෙනුයේ කාය, වාග්, සංවරය හෙවත් තමා මුවින් පිටවන හෝ පිටකරන වචන පිළිබඳව සිහිසැලකිල්ලෙන් හා අවධානයෙන් ජීවත්වීමයි.
කාය , වාග් සංවරය ඔස්සේ දෛනික ජීවිතයේදි භාවනාව ප්‍රගුණ කිරීමට අභය රාජකුමාර සූත්‍රයෙන් ගිහියාට දෙනු ලබන අත්වැල ගිහි ජීවිතයේ සතුට සඳහා භාවිතයට ගත හැකි ප්‍රධාන මෙවලමක් බව සටහන් කළ යුතුය.


 ආචාර්ය
මල්ලිකා කරුණාරත්න



ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 22 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment