මිනිසාට ලෝකයේ ලැබෙන උතුම් ප්‍රතිලාභය නිරෝගී බව (ආරොග්‍ය පරමා ලාභා) යැයි දේශනා කළ බුදුරදුන් නීරෝගී බව නිරතුරුව රැක ගැනීම පිණිස අපගේ පැවැත්ම කෙසේ සකස් කර ගත යුතු ද යන කරුණ සිය දේ්ශනා මඟින් ලෝකයාට අවධාරණය කළ සේක. ඒ නිසා ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා ය යන අරුත් ඇති ‘මහාභිසක්ක’ යන්නෙන් බුදුරදුන් හැඳින්වේ.
ව්‍යාධිය වනාහි දුක්ඛ මූලයක් (ව්‍යාධිපි දුක්ඛා) බව පළමුවැනි ධර්ම දේශනාවේ දීම බුදුරදුන් පැහැදිලි කළ අතර ව්‍යාධින් වූපසමනමයට අදාළ වන බෙහෙත් පරිෂ්කාරය ද සිවුපයට ඇතුළත් කරමින් නීරෝගි බව රැක ගැනීම ගැන විශේෂ අවධානය නිරතුරුව තිබිය යුතු කරුණක් බව ද උන්වහන්සේ විසින් අනාවරණය කළ සේක. සෞඛ්‍ය රැක ගැනීම හා ඊට අදාළ දේශනා බොහෝ විට භික්ෂුන් වෙත දේශනා කළ බව විනය පිටකයෙන් පැහැදිලිය. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ සමීපයේ වැඩ විසූ ශ්‍රාවක පිරිස වූයේ භික්ෂු පිරිස වීමත් උන්වහන්සේලා හුදකලාව ජීවත්වීමත් මීට පසුබිම් විය. සිය සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීම හා කායික ස්ථතිකත්වය නිරතුරුව රැක ගැනීම සඳහා කුමක් කළ යුතු ද යන්න විනය තුළ ප්‍රඥප්තීන් ලෙසින්ම පෙන්වා දී ඇත. භික්ෂු පිරිස් මුල් කොට එම දේශනාවන් පවත්වා ඇති මුත් සියලු මානව වර්ගයාගේ නීරෝගී බවට හේතුවන පොදු ක්‍රමවේදයක් බවට තොරතුරු වලින් පැහැදිලිය.
අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේ දී මිනිසාට වැළදෙන ප්‍රධාන රෝග දෙකක් ගැන සඳහන් වේ. එනම් කායික රෝග හා මානසික වශයෙනි. දෙතිස් කුණපයන් ගෙන් යුත් රූප කලාපයක් ඇති ශරීරයකට වැළදෙන අට අනුවක් ව්‍යාධින් අතුරින් ප්‍රධාන රෝග තිස්හතරක් ගැන බුදුරජාණන් වහන්සේ විසින් නාමිකවම ගිරිමානන්ද සූත්‍රයේ දී සඳහන් කොට තිබේ. ඇසේ (චක්ඛු) රෝග, කණේ (සොත) රෝග, නාසේ (ඝාණ) රෝග, දිවේ (ජිව්හා) රෝග, හිසේ (සීස) රෝග, කටේ (මුඛ) රෝග, දතේ (දන්ත) රෝග, කුසේ (කුච්ඡි) රෝග, කාසය (කාස), ස්වසන රෝග, පීනස, දාහය, හුණය, මූසය, රක්තාතිසාරය, ශුලය, විසුචිකාවය, කුෂ්ට, ගඩු, කිලාසය, සොසය, අපස්මාරය, දද, කණ්ඩුතිය, නියෙන් කැසූ විට ඇතිවන රෝග, විචර්කාවය, මධුමේහ, අංසභාග රෝගය, පිළිකාව, භගන්දරාව වශයෙනි. මීට අමතරව මහාවග්ග පාලියේ දී හන්දි රුදාව, ඇග රිදුම, බඩපිපුම, පාණ්ඩුව, කකුල් පැලීම, සර්පයන් දෂ්ට කිරීම, ඉණා බෙහෙත් කෑමෙන් වනරෝග ආදි රෝග ගණනාවක් ගැන හා ප්‍රතිකාර ක්‍රම ද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. එමෙන්ම රෝගයන් හට ගැනෙන හේතු අටක් ගැනද ගිරිමානන්ද සූත්‍රය එළි දක්වයි. එනම් ශරීරයේ පිත අධික වීමෙන් (පිත්ත සමුට්ඨානා), හට ගැනෙන රෝගාබාධ, සෙම අධික වීමෙන් (සෙම්භ සමුට්ඨානා), වාතය අධික වීමෙන් (වාත සමුට්ඨානා), සන්නිපාත තත්ත්වයෙන් (සන්නිපාතිකා), ඍතු විපර්යාසයෙන් (උතු පරිනාමජා) වැරැදි දිවි පැවැත්වීමෙන් හා වැරැදි ක්‍රියා නිසා, ශීතලය, උෂ්ණය, කුසගින්න, පිපාසය මල-මුත්‍ර නිසා ඇතිවන ආබාධ ලෙසය.
මිනිසා කායික රෝගවලින් මෙන්ම මානසික රෝගයන් ගෙන් ද පෙළෙන අතර එම රෝගය කායික රෝගයනට වඩා බරපතළය. පරමාර්ථිත බවින් තොර දිවි පැවැතීම, අතෘප්තිකර ආශාව හා අනාරක්ෂිතව කටයුතු කිරීම, තරඟකාරිත්වය, භිතිය, අපේක්ෂා භංගත්වය, යන කරුණු මෙන්ම සිය හැඟීම් පාලනය නොකර ගැනීම ද යන හේතුන් මානසික රෝගවලට හේතුවේ. මේ හා බැඳෙන අභිධ්‍යාව, විෂම ලෝභය, ව්‍යාපාදය, උපනාහය (බද්ධ වෛරය) මක්ඛය (ගුණමකු බව), ඊර්ෂ්‍යාව, මසුරුබව, මායාව, කපටිබව, ථම්භය (තදබව), සාරම්භව (එකට වැඩියෙන් එකක් කිරීම), මානය අතිමානය, මදය හා ප්‍රමාදය ද සිත කිලිටි කරන සිත හා සබැඳි රෝගකාරයෝ වෙති. යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් සඳහා සිය පඤ්ච ඉන්ද්‍රියම පාලනය කර ගැනීම කළ යුතු බව බුදුදහම පෙන්වාදෙයි. මහා රාහුලෝවාද සූත්‍රයේ දී මනසේ ඇතිවන ක්‍රෝධය, හිංසාව, ඊර්ෂ්‍යාව හා උද්ධච්චය යන මානසික රෝග මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව වැඩිමෙන් සුව කර ගත යුතු බව රාහුල හිමියනට පැහැදිලි කර දෙයි. චිතක්ක ගණ්ඨාන සූත්‍රයේ දී එලෙසින් සිතට එන ආවේග පාලනය කළ යුතුªබවත් එම සිතිවිලි අරමුණුවලින් බැහැර කරලීම තුළින් නැතහොත් වෙනත් ආරම්මණයක් වෙත සිත යොමු කිරීම තුළින් (තස්ස කම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං) මානසික රෝග සුව කර ගැනීමට හැකිවෙන බව පෙන්වා දී ඇත. කායික, මානසික සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වා ගැනීමට අදාළ උපදේශනය බුදුදහමින් අවධාරිතය. ඒ අනුව සතර සතිපට්ටානය, සතර සම්පජඤ්ඤය, සතර ඍද්ධිපාදය, පඤ්චබලය, සප්ත බොජ්ක්‍ධංග හා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ජනිත මානසික ප්‍රමෝදය තුළින් කායික, මානසික රෝග පමණක් නොව සසර බිය උපදවන සියලු රෝග සුවකිරීමට මඟ එළිකර දී තිබේ. ධර්මය හා සමාන ඖෂධයක් නැත. (ධම්මොසදං සමං නÀථි එවං පිබථ භික්ඛවො) එය පානය කළ යුතු යැයි දේශනාවේ දැක්වේ.
කුසගින්න වනාහි බරපතළම රෝගය (ජීගච්ඡා පරමා රෝගා) ලෙසින් ද සෑම සත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද (සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) වේදනාව නැති කර ගැනීමට ද පහසුවිහරණයට ද ආහාරය අවශ්‍ය බව ද බුදුදහමින් ;පන්වා දෙයි. කායික රෝගයන්හි මූලික කාරකයන් වන්නේ ද ආහාරයන්ය. ආහාරය නිරතුරුව අප ලෙඩ කරයි. ආයුවඩ්ඩන සූත්‍රයේ දී පෙන්වා දෙන අතර සිහි කල්පනාවෙන් යුතුව (සතිමතො) පමණ දැන ආහාර (මත්තා ජානතො) ගන්නා පුද්ගලයාගේ දුක් වේදනා නැතිවේ. වැළඳු ආහාරය ද දිරවයි. (සානිකං ජීරති). ආයුෂය ද වැඩෙයි (ආයු පාලයන්ති). ආහාරයේ තුළිත බව හා යෝග්‍යත්වය ගැන විශේෂ සැලකිල්ලක් දක්වා ඇති අතර රෝග නිවාරණ පාර්ශ්වයක් ලෙසින් ද ආහාරය පෙන්වා දෙයි.
ආහාර ගැනීම පිළිබඳ භික්ෂුනට උපදෙස් දෙන බුදුරදුන් පිණ්ඩපාතය ලබා ගැනීම ගැන නිරතුරුව සාකච්ඡා කරමින් ආහාරයේ ගිජුකම වළකා දිවිය පවත්වාගෙන යාමේ අරමුණට එහි අගය යොමු කෙරේ. ආහාරය නිසි ලෙස ලබා ගැනීම හා පමණ දැන අනුභව කිරීමෙන් ලබන අනුසස් ගැන ද දේශනාවේ දැක්වේ. නිදසුනක් ලෙසින් සරල ආහාරයක් වන කැඳ බීමේ ආනිසංස දහයක් දක්වයි. එනම් ආයුෂය වැඩෙයි. වර්ණය වැඩෙයි. සුවය වැඩෙයි. බලය වැඩෙයි. ධාරණ ශක්තිය වැඩෙයි. කුසගිනි වැඩි වෙයි. වාතය නැසෙයි. පිපාසය නැතිවෙයි’ මලබද්ධය නැතිවෙයි. නොපැසුණු ආහාර පැසවයි ආදි වශයෙනි. ඉර අවරට ගිය පසු පෝෂණ ගුණයෙන් යුතු සැහැල්ලු යුෂ පාලන අනුදැන වදාරා ඇත. චතුමධුර පානයට අවසර ලබා දී තිබේ. අප මුඛයෙන් ගන්නා ආහාර සතරාකාරයකින් යුතු බව අටුවාවේ දැක්වේ. අනුභව කරන (අසිත), බොන (පීත), උරන (ඛායත), රසවිඳින (ඝායිත) ආදි ලෙසය. අප ජීවත්විය යුත්තේ ආහාර සඳහා නොවේ. ආහාරගත යුත්තේ ජීවත්වීම පිණිසය. ආහාර ගැනීමේ දී පමණ හා ගුණය දැන අනුභව කළ යුතුය. තුවාලයකට බෙහෙත් ගල්වන්නාක් මෙන් ආහාරගත යුතු බව පෙන්වා දීමෙන් අදහස් කරනුයේ ආහාරයෙන් වන රෝග නිවාරණයකට මඟ එළිකරදීමය.
විවිධ ආබාධයනට ලක්ව දුක් විඳින පිරිස් විෂයෙහි කළ යුතු ප්‍රතිකාර රැසක් ගැන තොරතුරු ද භෙසජ්ජඛන්ධකයේ දී බුදුරදුන් විසින් අවධාරණය කර තිබේ. වුරුණුතෙල් වර්ග, බෙහෙත්, කහට බෙහෙත්, කොළ බෙහෙත්, පල බෙහෙත්, මැලියම් බෙහෙත්, ලුණු බෙහෙත්, කුඩුවර්ග, අඳුන්වර්ග, නස්න ක්‍රම, දහඩිය පිටකරවීම, ලේ පිටකරවීම, වස්ති, විරේක, ශල්‍ය කර්ම ද වැනි රෝග නිවාරණ ක්‍රම ඇතැම් කායික රෝග සංසිඳවීමට හේතුවන බව භෙසජ්ජක්ඛන්ධකයේ දී මෙන්ම තිකිච්ඡක හා වමන යන සූත්‍රයන්හි දී ද උන්වහන්සේ විසින් පෙන්වා දී තිබේ.
එමෙන්ම රෝග හා රෝග ප්‍රතිකාර මෙන්ම නිවාරණයට හේතුවන කරුණු බුදුදහම තුළ දක්වා තිබේ. රෝග උද්පාදනයට බඳුන්වන පාරිසරිකත්වයේ සැකැස්ම හා පවිත්‍රත්වය ගැන සැලකිලිමත්වීම රෝග නීවාරණයේදී අතිශයින්ම වැදගත් බව බුදුදහමින් අවධාරිතය.
තමා ජීවත්වන පරිසරය නිසි කළමණාකාරිත්වයක් යටතේ නොපවත් වන්නේ නම් එම පසුබිම රෝග කාරකයනට මෙන්ම රෝග වාහකයනට සුදුසු භූමියක්වීම නොවැළැක්විය හැකිය. එබැවින් ජීවත්වන පරිසර රටාව පවත්වාගෙන යා යුතුවනුයේ කෙසේ ද යන්න පැහැදිලිව බුදුරදුන් විසින් දේශනා කොට ඇත.
එසේම පරිසරය සංරක්ෂණය කර ගත යුතුය යන මූල ධර්මය මත බුද්ධ අනුශාසනය පිහිටා ඇති බව පනවා ඇති විනය ශික්ෂාපදවලින් මෙන්ම දේශනාවන් ගෙන් ද එළිවන කරුණකි. එමෙන්ම සේඛියාවලදී ද සිය ශාරීරික පාරිශුද්ධත්වය රැක ගත යුත්තේ කෙසේ ද යන්න උන්වහන්සේ පෙන්වා දෙති. නිදසුන් ලෙසින් දත් මැදීම කෙසේ කළ යුතු ද ඉන් ශරීර සෞඛ්‍ය රැක ගැනීමට ලැබෙන ප්‍රතිලාභ කවරේ ද යන්න දක්වා තිබීම මුඛ ශුද්ධත්වයට හා මුඛය ආශි‍්‍රත රෝග නිවාරණයට මහඟු උපදේශයක් වේ. එනම් දැහැටි කා දත් මැදීම ඇගට ගුණදායකය. මුඛයේ දුර්ගන්ධය නැති වේ. රසනහර පිරිසුදු වේ. පිත හා සෙම නිසා ආහාර දිරවීම වළකියි. ආහාර රුචිය වැඩි කරයි. ආදි වශයෙන් එහි ඵල විපාක දක්වා තිබීම ශාරීරික ස්වස්ථතාවය රැක ගැනීමේ දී වැදගත්ය.
පරිසරය තුළ ඇති අගනාම සම්පත ජලය වේ. ජල පරිභෝජනය කෙසේ කළ යුතු ද ජලයේ පවිත්‍රත්වය කෙසේ තබා ගත යුතු ද යන්න පිළිබඳව බුදුරදුන් විසින් කරුණු ගෙන හැර දක්වා තිබේ. පොළොවේ වෙසෙන සියලු සත්වයෝ වැස්ස නිසාම ජීවත් වෙති. තමා ජීවත්වන අවට පරිසරය පිරිසුදු බව නිතර ආරක්ෂා කළ යුතු බවට බුදුරදුන් විසින් උපදේශයන් ලබා දී තිබේ. සිය අසපුවේ හෝ නිවස්නයේ පිරිසුදු බව රැක ගැනීම අරබයා මකුළුදැල් කඩා, දුවිලි පිස, ගෙබිම ඇති දූවිලි ඉවත් කිරීම පිණිස වතුර ඉස එහි පවිත්‍රත්වය රැක ගත යුතුවන අතර මෙට්ට, කොට්ට, ඇතිරිලි ආදිය වේලා දූවිලි ඉවත් කළ යුතු බව ද එම ඉවත් කිරීම ද ජලය ඇති ස්ථානවල නොකළ යුතු බව ද දොර, ජනෙල් ඇර තබන ආකාරයත්, උපස්ථානශාලා, ගබඩා ශාලා, ගිනිහල් ගෙවල්, වැසිකිළි කැසිකිළි පිරිසුදු කරගත යුතු ආකාරයත් පැහැදිලිව චුල්ලවග්ගයේ දැක්වේ. එමෙන්ම වැසිකිළිය හා කැසිකිළිය ද රෝග කාරකයන් වර්ධනයට උපකාරීවන තැනකි. වැසිකිළියක් අප කෙසේ පාවිච්චි කළ යුතු ද යන්න ගැන විනයේ ඉතාමත් පැහැදිලිව තොරතුරු දක්වයි. එමෙන්ම තමා වෙසෙන පරිසරය විනාශයට පත් නොකොට ස්වභාව ධර්මය රැක ගැනීම ද කායික, මානසික සුවය සඳහා අදාළවන්නකි. පරිසරය සත්වයාගේ ආරම්භයට හා පැවැත්මට දායක වන්නේ යම් සේ ද සත්වයාගේ පැවැත්ම සම්පූර්ණයෙන් රදා පවතිනුයේ ද පරිසරයේ ඇති ක්‍රියාකාරිත්වය මත බව අමතක කළ යුතු නොවේ.
නිරෝගී සමාජයකට මඟ එළිකර උපදේශනයන් තුළ ගිලානෝපස්ථානය ද වැදගත් වේ. ගිලානෝපස්ථානය බුදුරදුන්ගේ පැසසුමට ලක් වූ ප්‍රතිපත්ති පූජාවකි. ගිලානෝපස්ථායකයෙකු විසින් අනුගමනය කළ යුතු වත් සමූහයක් ද බුදුදහම තුළින් අවධාරණය කෙරේ. ඒ අනුව ගිලානෝපස්ථායකයෙකු විසින් රෝගියාට අවශ්‍ය බෙහෙත් වර්ග පිළියෙළ කිරීමට දක්ෂයෙකු විය යුතුය, රෝගියාට දිය යුතු නොදිය යුතු ආහාර වර්ග ගැන දැන සිටිය යුතුය, නුසුදුසු ආහාර බැහැර කොට සුදුසු ආහාරදීමට උනන්දුවීම, ලාභාපේක්ෂාවෙන් තොරව මෛත්‍රි සහගතවීම, රෝගියාගේ මළ මුත්‍ර, කෙළ, වමනය ආදිය ගැන පිළිකුල් නොකොට බැහැර කරලීම, හැම විටම රෝගීයාට යහපත් ආකාරයෙන් කථා කිරීම හා රෝගියා ධෛර්යමත් කිරීම යන කරුණු මහාවග්ගයේ උපස්ථායක වත් ලෙසින් දක්වයි. එමෙන්ම රෝගියකු විසින් දැනගත යුතු හා පිරිය යුතු වත් කීපයක් පාචිත්තිය පාලියේ පෙන්වයි. රෝගයට අපත්‍යවන ආහාර ගැනීමෙන් වැළකීම, ගුණදායක ආහාරය වුව ද පමණ දැන වැළදීම, බෙහෙත් නිසි පරිදි ගැනීම, උපස්ථායකයාට තමාගේ රෝගී තත්ත්වයේ අඩු වැඩි බව නොවළහා පැවැසීම, රෝගී තත්ත්වයෙන් මතුවන දැඩිවේදනා සහගත බව ඉවසීමට පුරුදු වීම යන කරුණු රෝගියාගේ පාර්ශවයෙන් ඉටුවේ නම් රෝගී බවින් නිරෝගී දිවියකට පත්විය හැකි බව පෙන්වා දෙයි.
පරිසරය හා සබැඳි ජීවිතය උදාර පුරුෂාර්ථ සිය දිවියට ළඟා කරගන්නා අතර කායික, මානසික සුවය සදා ගන්නකු ද වේ. සිය නිරෝගී බව හා රෝගී බව තමා සතුවන්නාක් මෙන්ම ඉන් නිවාරණයක් ලබාගෙන කායික, මානසික වේදනාවන්ගෙන් මිදීමට කටයුතු කිරීම ද තමා සතුවන්නකි. අද්භුත බලවේගයන් මත යැපෙන නිරෝගී බවක් බුදුදහමින් අවධාරණය නොකරන අතර පුද්ගල පැවැත්ම හා සිතිවිලි පුද්ගල නිරෝගී බවට ප්‍රමුඛ හේතුවක් ලෙසින් අවධාරණය කර තිබේ.
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
අප්‍රේල් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment