Labels

Sunday, August 30, 2015

රාජදත්ත මහරහතන් වහන්සේ

 
අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ රාගය යනු සිත කෙළෙසන අකුසලයක් බවයි. රාගය විසින් සත්වයාගේ නුවණැස අන්ධ කරවයි (අන්ධකරණෝ) නුවණැස විනාශ කර දමයි (අචක්ඛුකරණෝ) සත්වයාව අඥානයෙක් බවට පත්කරවයි (අඥානකරණෝ) දුකට ඇද දමයි (විඝාතපක්ඛිකෝ) නිවන අහිමි කර දමයි (අනිබ්බාන සංවත්තනිකෝ)

ඒ උතුම් රහතන් වහන්සේලා බිහිවුණේ රාගය පමණක් නොව සිත කෙළෙසන සියලු අකුසල් ප්‍රහාණය කිරීමෙනුයි. සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට අමා මහ නිවන සාක්ෂාත් කළ රාජදත්ත නම් උතුම් මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.
ඒ මීට කල්ප දාහතරකට පෙර යුගය යි. අබුද්ධෝත්පාද යුගයක් වූ එකල පසේ බුදුරජාණන් වහන්සේලා ලොව වැඩ සිටියා. එකල රාජදත්ත ස්වාමින් වහන්සේ සිටු පුත්‍රයෙකු ලෙස ඉපදි සිටියා. දිනක් යම් කටයුත්තට වනයට පිවිසි මේ සිටු පුත්‍රයාට විරාගි සිතකින් යුක්ත සංසිඳී ගිය ඉඳුරන්ගෙන් යුක්ත පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක ගන්නට ලැබුණා. ගසක් මුල බවුන් වඩමින් සිටි ඒ පසේ බුුදුරජාණන් වහන්සේ උදෙසා මේ තරුණයා ඉතාමත්ම පහන් සිතින් එක් ඇඹරැල්ලා ගෙඩියක් පූජා කර ගන්නට යෙදුණා. පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා කළ ඒ පූජාව මහත්ඵල වුණා. කල්ප දාහතරක් පුරාවටම දෙව් මිනිස් දෙගතියේ සැප විඳින්නට ඒ පින හේතු වුණා.

මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි බුදුරජුන් ලෙස අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. දෙව් ලොවින් චුත වී හෙතෙමේ සැවැත්නුවර එක්තරා සත්තුවාහක (ගැල් වෙළෙඳාමෙන් මුදල් උපයන) කුලයක උපන්නා. වෛශ්‍රවණ දිව්‍ය රාජයාට භාර හාර වීමෙන් උපන් බැවින් ඔහු රාජදත්ත ලෙස හැඳින්වූවා.

රාජදත්ත තරුණ වියට එළඹෙත්ම ඔහුද ගැල් වෙළෙඳාම් පටන් ගත්තා. සිය මිතුරන් පන්සියක් ද සමඟින් ගැල් පන්සියක බඩු පුරවාගෙන් ඔවුන් සැවැත් නුවරින් රජගහනුවර බලා වෙළෙඳාමේ පිටත් වුණා.
ඒ දිනවල රජගහනුවර අභිරූපී වෙසඟනක් වාසය කළා. ඇය එක් රැයකට කහවනු දහසක් අය කළා. වෙසඟනගේ රූපයට වසඟ වූ රාජදත්ත දිනපතා කහවනු දහස බැගින් වියදම් කොට ඈ සමඟ සංවාසයේ යෙදුණා. නොබෝ කලකින්ම ඔහු රැගෙන ආ ධනයත්, වෙළෙඳාමෙන් ඉපයු ධනයත් අවසන් වුණා. කෑමට බීමට තරම්වත් මුදලක් ඔහුට නැතුව ගියා. ස්ත්‍රියකට ලොල් වීම නිසා තමන්ට සිදු වූ විනාශය ගැන සන්තාපයට පත් වෙමින් ඉබාගාතයේ යන රාජදත්ත තරුණයාට රජගහනුවර වේළුවනාරාමයට බණ ඇසීමට යන උපාසකවරු පිරිසක් මුණ ගැසුණා. වේළුවනාරාමයට පිවිසුණු ඔහුට මහත් වූ පිරිසක් පිරිවරාගෙන දම්සභා මණ්ඩපයේ දහම් දෙසන අයුරු දෙසිත් මහා පුරුෂ ලකුණින් සෝභමාන වූ ස්වර්ණ වර්ණ දේහ කාය ඇති අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ලැබුණා. හිත තුළ උපන් අප්‍රමාණ පැහැදීමෙන් යුක්තව ඔහු බුදුරජාණන් වහන්සේ වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය අසාගෙන සිටියා.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් වූ ශ්‍රද්ධා භක්තියක් රාජදත්ත තරුණයාට ඇතිවුණා.‘ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සමීපයේ මා පැවිදි කර ගන්නා සේක්වා’
යනුවෙන් උතුම් පැවිද්ද ඉල්ලා සිටියා. බුදු සසුනෙහි පැවිදි බව ලැබූ රාජදත්ත ස්වාමින් වහන්සේ මහත් වූ වීර්යයෙන් සසුන් බඹසර හැසිරුණා. දිවි ඇති තාක් සොහොනෙහිම වාසය කිරීමේ සීවථිකාංගය නම් වූ ධූතාංගය සමාදන් වූ උන්වහන්සේ සොහොන ඇසුරු කරගෙන වැඩ වාසය කළා. සොහොනෙහි ඇති මෘත දේහයන් අසුබ නිමිති ලෙස ගනිමින් උන්වහන්සේ බවුන් වැඩුවා.
ඒ දිනවලම රජගහනුවර වෙළෙඳාම පිණිස පැමිණි සත්තුවාහක වෙළෙඳ තරුණයෙක් දිනකට කහවනු දහස බැගින් වියදම් කරමින් අභිරූපී වෙසඟන සමඟ සංවාසයේ යෙදුණා. දිනක් මේ තරුණයාගේ අත පැළැදි ඉතා අනර්ඝ මැණික් පළඳනාව දැක වෙසඟනගේ සිතේ ලෝභයක් ඇති වුණා. තමන් ඇසුරු කරන අනෙක් පුරුෂයන් පොළඹවා ඈ මේ වෙළෙඳ තරුණයා ඝාතනය කොට මැණික් පළඳනාව සොරකම් කළා. මේ ගැන දැනගත් ඒ තරුණයාගේ මිතුරන් ඇයගෙන් පළිගැනීම පිණිස හොර රහසේම ඈ සිටි මැදුරට ඇතුල් වී ඇය ඝාතනය කළා. ඒ මෘත දේහය ගෙන ගොස් දැමුවේ රාජත්ත ස්වාමින් වහන්සේ වැඩ සිටි සොහොනට යි.
දින දෙක තුනකට පසු භාවනාව පිණිස අසුබ නිමිත්තක් සොයමින් පැමිණි රාජදත්ත ස්වාමින් වහන්සේට ඉදිමී, නිල් වී, ඕජා වැගිරෙමින් තිබෙන ඒ ගණිකාවගේ මළ සිරුර දැක ගන්නට ලැබුණා. ශරීර අවයව වලට සතුන්ගෙන් හානි නොවූ ඒ මළ සිරුර දෙස උන්වහන්සේ බලාගෙන සිටියා. හරිම පුදුමාකාරයි. උන්වහන්සේගේ සිතේ රාගය හට ගත්තා. මුළු සිරුර රාග ගින්නේ දැවෙන්නට ගත්තා. තමන් වහන්සේගේ සිත රාග අරමුණුවල වේගයෙන් හැසිරෙන අයුරු රාජදත්ත ස්වාමින් වහන්සේ හොඳ සිහියෙන් බලාගෙන සිටියා. විශාල සංවේගයක් උන්වහන්සේගේ සිතේ ඇතිවුණා. ‘අහෝ! මේ සා පිළිකුල් සහගත මළ සිරුරක් ගැනත් මේ සිත සරාගි වෙනවා. නොවේ ද? එහිම රාජදත්ත ස්වාමින්වහන්සේ පළඟක් බැඳගෙන වාඩිවුණා. සුබ නිමිති බැහැර කොට අසුබ නිමිත්ත සිතට ගත්තා. එය නුවණින් මෙනෙහි කොට ධ්‍යාන උපදවා ගනිමින් සුළු මොහොතකින් උන්වහන්සේ රාගය මුළුමණින්ම ප්‍රහාණය කළා. සියලු කෙලෙස් මුළුමනින්ම දුරුකළා. රාජදත්ත ස්වාමින් වහන්සේ උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වී වදාළා.
අමා නිවන් සැපයෙන් සිත, කය දෙකම සුවපත් වුණ උන්වහන්සේ සිත තුළ හට ගත් නිරාමිස පී‍්‍රතිය මේ උතුම් ගාථා වලින් ප්‍රකාශ කොට වදාළා.

භික්ඛු සීවථිකං ගන්ත්වා
අද්දසං ඉත්ථිමුජ්ඣිතං
අපවිද්ධං සුසානස්මිං
ඛජ්ජන්තිං කිමිහී ඵුටං


මම භික්ෂුවක්. ඉතින් එදා මං අමු සොහොනට ගියා. සොහොනේ අත්හැර දමා තිබුණේ් ස්ත්‍රියකගේ මළ සිරුරක්. ඒ මළ කුණ පුරා පණුවන් පිරී ඉතිරී තිබුණා. පණුවන් එය කා දමමින් තිබුණා.

යං හි ඒකේ ජිගුච්ඡන්ති
මතං දිස්වාන පාපකං
කාමරාගෝ පාතුරහූ
අන්ධෝව වසතී අහුං


මේ වගේ පාපී වූ මළ කුණක් දකින කොට සාමාන්‍යයෙන් ඇතිවන්නේ පිළිකුලක්. එහෙත් මට වුණේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. මට රාගය ඇතිවුණා. අසුචි වැගිරෙන ඒ මළ කුණ දිහා මම බලාගෙන සිටියේ අන්ධයෙක් වගේ.

ඕරං ඕදානපාකම්හා
තම්හා ඨානා අපක්කමිං
සතිමා සම්පජානෝහං
ඒකමන්තං උපාවිසිං


බතක් ඉදෙන කාලයටත් අඩු වෙලාවකට මම එතැනින් ඉවත් වුණා. ඉතා හොඳින් සිහියත් ,නුවණත් පිහිටුවා ගෙන පැත්තකින් වාඩි වුණා.

තතෝ මේ මනසීකාරෝ
යෝනියෝ උදපජ්ජථ
ආදීනවෝ පාතුරහු
නිබ්බිදා සමතිට්ඨථ


ඒ නිසා ම මා තුළ යෝනිසෝ මනසිකාරය ඇතිවුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීමෙහි සිත පිහිටියා.


තතෝ චිත්තං විමුච්චි මේ
පස්සධම්මසුධම්මතං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා
කතං බුද්ධස්ස සාසනං


එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශ්චර්යය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.
සාමාන්‍ය මනුස්සයාගේ සිත තුළ රාගය හට ගත් විට මුළුමණින්ම ඒ මනුස්සයා හසුරුවන්නේ ඒ සරාගී සිත විසිනු යි. එවිට ඔහුට යහපත අයහපත්, හොඳ, නරක, කුසලය, අකුසලයට කිසිවක් නො වැටහේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ රාගයෙන් සරාගී වූ පුද්ගලයා යථාර්ථය හඳුන්වන්නේ නැත (රත්තෝ අත්ථං න ජානාති) සරාගී පුද්ගලයා ධර්මය දකින්නේ ද නැත (රත්තී ධම්මං න පස්සති) ඔහු සැබැවින්ම අන්ධයෙකු යැයි කියමි (අන්ධන්තමං තදා හෝති) සරාගි බවින් හට ගත් අඳුර ඔහුගේ ජිවිතය වෙලාගෙන පවතී (යං රාගෝ සහතේ නරං) යනුවෙනි.

 පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජනවාරි 08 වන බදාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment