Labels

Tuesday, August 25, 2015

ජීවිතය සුවපත් කරන සිල්වත්කම


පන්සිල් රැකීම දෙලොව දියුණුවට ඉවහල් වන අතර, තමන්ගේ අධ්‍යාත්මික විමුක්තියටද මඟ හෙළි කරයි. පන්සිල් රකින්නාගේ ගුණ සුවඳ සියලු දෙසට හමා යයි. කාගේත් ගෞරවයට ඔහු පාත්‍ර වෙයි. මෙලොව සැප ලබයි. පරලොව දී ද ඔහු ශ්‍රේෂ්ඨයෙක් වෙයි. නිවන් සුව ලැබීමට ද ඔහුගේ ශීලය හේතුවක් වෙයි. බුදුන්, දහම්, සඟුන් පිහිට කොටගත් උපාසකයා එබැවින් පන්සිල් පද උල්ලංඝනය නොකොට, නිති රැක ගැනීමෙහිලා උත්සුක වීම ඉතා වැදගත් වෙයි.


බෞද්ධයකු විසින් රැකිය යුතු මූලික ශීලය, නිත්‍ය ශීලය, පංච ශීලයයි. අපි උදේ සවස සහ දවසේ නොයෙක් අවස්ථාවලදී පංච ශීලය සමාදන් වෙමු. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරන කල්හි මහානාම ශාක්‍ය රජ දරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් ‘ස්වාමීනි, කෙනෙක් කොතෙකින් උපාසකයකු වන්නේ දැ’යි අසති.

‘ඒකමන්තං නිසින්නො ඛෝ මහානාමෝ සක්කෝ භගවන්තං එතදවෝච කිත්තාවතානු ඛෝ භන්තේ උපාසකෝ හොන්ති’ යනාදී ලෙසින් අසති.

උපාසක වන්නේ බුදුන්, දහම්, සඟුන් සරණ කොටගත් තැනැත්තේ යැයි, බුදු හිමියෝ පවසති ‘යතෝ ඛො මහානාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හෝතී ති යන පාඨයෙන් ද එය වදාරා ඇත. උපාසක යනු බෞද්ධයකු විසින් ලැබිය හැකි වැදගත් ගෞරව නාමයයි. අද එය සමාජයේ කොතරම් ගැරහීමට ලක්ව ඇතිද යන්න , වයස්ගත පුද්ගලයකුට පමණක් ‘උපාසක’ යන්න වහරන තත්ත්වයට පැමිණ තිබීමෙන් හෙළිවෙයි. තරුණ පහේ අයකුට උපාසක යැයි කිවහොත් තමන්ට අවඥාවෙන් කතා කළා යැයි ඔහු සිතනු ඇත. තවත් ඇතැම් අයගේ අදහස වන්නේ, එය අටසිල් සමාදන් වූ අයට භාවිතා කරන නමක් බවයි.
බුදුන් , දහම්, සඟුන් සරණ කොට, පිහිට කොට සිටින තැනැත්තා උපාසක නාමයෙන් දහමෙහි හැඳින්වෙන අතර, මහානාම ශාක්‍ය පුත්‍රයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, බුදු හිමියෝ, උපාසක තෙමේ ශීලවන්ත වන අයුරු පහදති.
යම් කලෙක උපාසක තෙමේ සතුන් මැරීමෙන් වැළකුණේ ද, සොරකම් කිරීමෙන් වැළකුණේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ ද, බොරු කීමෙන් වැළකුණේද, මත් පැනින් වැළකුණේ ද එවිට හේ ශීල සම්පන්නයකු වන්නේ යැයි වදාළහ.
මෙපරිදි කෙනෙකුගේ උපාසකකම රැඳෙන්නේ පංච ශීල ප්‍රතිපදාව මත බව පැහැදිලි ය. පංච ශීලය රැකීමේ අගය නොයෙක් තැන්හි දී වදාළහ. එසේ ම එය නොරක්නවුන් ලබන විපාක ද බුදුන් වහන්සේ පෙන්වා දෙති. සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදයේ දී සතුන් නොමැරීම, අනුන් ලවා නොමැරවීම , මරන්නන් අනුමත නොකිරීම යන කරුණු ඔස්සේ එම ශික්ෂා පදය රැකිය යුතු බව දහමෙහි සඳහන් වෙයි.
සොරකම් කිරීමෙන් වැළකීම සම්පූර්ණ වීමට නම්, සොරකම් නොකිරීම, අනුන් ලවා සොරකම් නොකරවීම, සොරකම් කරන්නවුන් අනුමත නොකිරීම යන කරුණු සම්පූර්ණ විය යුතුය.
අනෙකුත් සිල් පද ද මෙලෙස තුන් ආකාරයකින් රැකිය යුතු ය. ධම්මික සූත්‍රයේ මෙලෙස පංච ශීලය රැකිය යුතු ක්‍රම දැක්වෙයි.
වේළුද්වාර සූත්‍රයේදී ‘ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුව කැමැති, දුක පිළිකුල් කරන තමන් දිවියෙන් තොර කරන්නේ නම්, එය තමන්ට පි‍්‍රය නොවෙයි. මම ද එසේ ජීවත්වනු කැමැති, නොමැරෙන කැමැති, සුව කැමැති, දුක පිළිකුල් කරන අන් සතුන් දිවියෙන් තොර කරන්නේ නම්, අනුන් හට ද එය අපි‍්‍රය වෙයි. අමනාප වෙයි. යම් කරුණක් මට අපි‍්‍රය අමනාප නම්, කෙසේ මම අනුන් එම දෙයට ලක් කරන්නේ දැ’යි නුවණින් සලකා කෙනෙක් සතුන් මැරීමෙන් වළකියි. අනුන් ද සතුන් මැරීමෙන් වළක්වයි. සතුන් මැරීමෙන් වෙන් වීමේ ගුණ කියයි. මෙසේ ශික්ෂාපද පහ පිළිවෙළින් තුන් අයුරකින් පිරිසුදු කරයි, යනුවෙන් සඳහන් වෙයි.
උපාසක තෙමේ, මේ සිල් පද රැකිය යුතුය. එවිට, ඔහු උපාසක බවට යෝග්‍ය වෙයි. සිල් පද කඩ වීම ද අංග කිහිපයක් එක් වීමෙන් සිදු වෙයි.
සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය කඩවීමට, කරුණු පහක් ඉටුවිය යුතුය.

1.පණ ඇති සතකු වීම
2.පණ ඇති බව දැන සිටීම
3.මැරීමේ චේතනාව
4.මැරීමට යොදන උපක්‍රමය
5.එම උපක්‍රමයෙන් සත්වයා මරණයට පත් වීම

මේ කරුණු පහ සම්පූර්ණ වීම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය කඩ වීමට හේතුවෙයි.
සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය ගතහොත්, එය කඩ වීමට වස්තුවක් තිබීම, ඒ වස්තුව අනුන් අයත් බව දැන සිටීම, එය ගැනීමේ සොර සිත, ගැනීමට යොදන උපක්‍රමය එම උපක්‍රමය මගින් එය සොරෙන් ගැනීම යන කරුණු පහ සම්පූර්ණ විය යුතුය.
කාමයෙහි වරදවා හැසිරීම සම්බන්ධව බලන කල, නො යා යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම, සේවනය කිරීමේ සිත, ඊට උත්සාහ කිරීම, සේවනය ඉවසීම යන කරුණු හතර සඳහන් වෙයි.
මුසාවාදයෙන් වැළකීම නම් වූ සිවු වන ශික්ෂා පදය ගත් කල 1. කියන්නට යන දෙය ඇත්තක් නොවීම 2. රැවටීමේ සිත 3.බොරුව කීම 4. අසන්නා එය පිළිගැනීම යන කරුණු සම්පූර්ණ වීම එය කඩවීමට හේතුවෙයි.
මත්පැන් පානයෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය කඩවීමට 1. මත් වන දෙයක් වීම, 2. එය ගැනීමේ කැමැත්ත 3. ඊට යොදන උපක්‍රමය 4. එය ගැනීම යන කරුණු සම්පූර්ණ වීම අවශ්‍ය වෙයි.
පන්සිල් කඩ කිරීමේදී සිදු වන අකුසල්, අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය වශයෙන් ද්වි විධ ලෙස විග්‍රහ වෙයි. මරණයට ගොදුරු වන සත්වයාගේ ස්වභාවය අනුව, අකුසලයේ ස්වභාවය ද වෙනස් වෙයි. මරණයට ගොදුරු වන තැනැත්තා ගුණයෙන් මහත් නම්, එය මහා සාවද්‍ය අකුසලයක් වෙයි. මරණයට පත් වූයේ ගුණයෙන් හීන අයකු නම්, එය අල්ප සාවද්‍ය අකුසලයක් වෙයි. මහත් සිරුරක් ඇති සත්වයකු මැරීමේදී කුඩා සිරුරක් ඇති සත්වයකු මැරීමට වඩා උපක්‍රමය, උත්සාහය මහත් වන බැවින්, එබඳු සත්වයන් මැරීම (චේතනා මහත්වය අනුව) මහා සාවද්‍ය වෙයි. ගුණයෙන් හා සිරුරෙන් සම වුවත්, මැරීමේ දී ඇති වන ක්‍රෝධය මහත් වේ නම් , එය ද මහා සාවද්‍ය වෙයි.
මෙපරිදි ම වටිනාකමින් වැඩි වස්තුවක් සොරකම් කිරීම මහා සාවද්‍ය වෙයි. වටිනාකම අඩු නම් අල්ප සාවද්‍ය වෙයි.
ගුණවතකුගෙන් සොරා ගැනීම ගුණයෙන් අඩු අයගෙන් සොරා ගැනීමට වඩා සාවද්‍ය වෙයි. ගිහියකුගේ දෙයක් ගැනීම, භික්ෂුවකගේ දෙයක් ගැනීමට වඩා අල්ප සාවද්‍යය. තව ද උපක්‍රමය දුෂ්කර වීම, චේතනාවේ බලවත්කම ආදිය අනුව ද අකුසලයක් මහා සාවද්‍ය වීමේ ඉඩකඩ ඇති බව පෙනී යයි.
මෙපරිදි ම, කාම මිථ්‍යාචාරය , මුසාවාදය , සුරා පානය ආදියද මහා සාවද්‍ය හා අල්ප සාවද්‍ය වශයෙන් වෙන් කර දැක්විය හැකිවෙයි.
උපාසක තෙමේ පන්සිල් රැකීමෙහි මහත්සේ තත්පර වෙති.යම් ලෙසකින් පන්සිල් නොරකියි නම් එම අකුසල් විපාක මෙලොවදී මෙන්ම, පරලොවදී ඵල දෙන්නේය. එසේම පන්සිල් රැකීම දෙලොව දියුණුවට ඉවහල් වන අතර, තමන්ගේ අධ්‍යාත්මික විමුක්තියටද මඟ හෙළි කරයි. පන්සිල් රකින්නාගේ ගුණ සුවඳ සියලු දෙසට හමා යයි. කාගේත් ගෞරවයට ඔහු පාත්‍ර වෙයි. මෙලොව සැප ලබයි. පරලොව දී ද ඔහු ශ්‍රේෂ්ඨයෙක් වෙයි. නිවන් සුව ලැබීමටද ඔහුගේ ශීලය හේතුවක් වෙයි. බුදුන්, දහම්, සඟුන් පිහිට කොටගත් උපාසකයා එබැවින් පන්සිල් පද උල්ලංඝනය නොකොට, නිති රැක ගැනීමෙහිලා උත්සුක වීම ඉතා වැදගත් වෙයි. විවිධ සූත්‍ර දේශනාවන්හි දී බුදුන් වහන්සේ පන්සිල් රැකීමේ අනුසස් දේශනා කර ඇත.

 සිරිපාල මාදුවගේ


ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ දෙසැම්බර් මස 15 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment