තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහ අටදහසක් ඉක්‌මවා ගිය සූත්‍ර දේශනා අතුරෙන් ලෝකාවබෝධ සූත්‍රය විශේෂ සූත්‍ර දේශනාවකි. තථාගතයන් වහන්සේ එහිදී දේශනා කරනු ලබන්නේ
යඤ්ච භික්‌ඛවේ රත්තිං තථාගතො අනුත්තරං සම්මා සම්බෝධිං අභිසංභූඡ්ජති. යංච රත්තිං අනුපාදිසේසාය නිබ්බාන ධාතුයං පරිනිබ්බායන්ති. ඒතස්‌මිං අන්තරේ භාසති, ලපතී, නිද්දීසතී සබ්බං තං තථේව හෝති. නෝ අඤ්ඤතා තස්‌මා තථාගතෝති වුච්චති' යනුවෙනි.
පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුන්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්‌ද, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක්‌ද,ඒ අතර කාලය තුළදී තථාගතයන් වහන්සේ යමක් ප්‍රකාශ කරන්නේද, පනවන්නේද, නිර්දේශ කරන්නේද, ඒ සියලු දෙය ඒ අයුරින්ම වන බවත්, වෙනත් අයුරකින් සිදු නොවන බවත්, ඒ නිසා 'තථාගත යෑයි කියනු ලබන බවයි. ධර්මයේ එසේ සඳහන් වුවද වර්තමාන ඇතැම් බෞද්ධ පිරිස මෙකී බුදු වදනට පිටුපා සසරින් මිදීමට යෑයි කියා දන්දෙති. සිල්ආරක්‌ෂා කරති. භාවනා කරති. පුද පූජා කරති. ධර්මය ශ්‍රවනය කරති.
තථාගත දේශනාවට අනුව මහා සතිපට්‌ඨාන සූත්‍රයෙන් මග හෙළිවන්නේ සත්වයාගේ විසුද්ධිය පිණිසත් පිරිසිදුවීම පිණිසත්, ශෝක පරිදේව ඉක්‌මවීමටත්, කායික මානසික දුක් දොම්නස්, අතුරුදන් කිරීමටත්, නිවන් මග අවබෝධයටත් ඒකායන මාර්ගය සතර සතිපට්‌ඨානය වැඩීම කළ යුතු බවයි.
එහෙත් වර්තමාන බොදුනුවන් එවන් දහමකට යොමුවී බුද්ධ දේශනාවට, බුද්ධ මතයට යොමුවී ඇත්දැයි සැක සහිතය. ඊට හේතුව ශ්‍රද්ධාව වනගත කොට ප්‍රඥව පසෙක ලා භක්‌තිය හිසමත තබා නිවන් මග සෙවීමයි. ශ්‍රද්ධාව වෙනුවට භක්‌තියද, ප්‍රඥව වෙනුවට මෝහයද සිත් තුළ උපදවා දහම් මඟ සෙවීමයි. අන්ධකාරයේ අතගත ගෑමයි. එයට කදිම උදාහරණයක් නම් අනාගත භය සූත්‍රයයි. තථාගත දහමින් අප්‍රකාශිත, තථාගත දහම අනුමත නොකරන කාව්‍යමය බණ හෙවත්, කවි බණ කීමයි. එම සූත්‍රයට අනුව බුදු සසුන විනාශවීමේ ප්‍රධාන කරුණු පහෙන් සිව්වන කරුණ වන කවියෙන් බණ කීමයි. ඊටම නාට්‍යානුසාරයෙන්, චිත්‍රමගින් හා වෙනත් ක්‍රම උපයෝගී කරගෙන ධර්මය දේශනා කිරීමෙන් අනාගතයේ ශාසනය විනාශ වනවා මෙන්ම කවියෙන් බණ කීමෙන් සිදුවන විපාක පහක් පිළිබඳවද එම විපාක විඳීමට සිදුවන බවත් විනය පිටකයේ කුද්දක චත්තුක්‌කන්ධයේදී දේශනා කරනු ලබයි.
එහෙත් අද දවසේ මෙම මනස්‌කාන්ත බුදු දහමින් බෞද්ධ ජනයා මෝහයෙන් මුලාවී ද්වේෂයෙන් අගපැමිණ සිටී.ඉන් මිදී නානාවිධ පුද පූජාකිරීමටත් අකාලික දහම කාලීන ධර්මයක් බවට පෙරලා කවි බණ දේශනා ආදියට මුල් තැන දීමටත්, ඒවා ශ්‍රවනය කිරීමටත් කටයුතු කරනඅතර අනාගත භය සූත්‍රය නොදත්, විනය පිටකය සූත්‍ර පිටකය පරිහරණය නොකරන ඇතැම් දේශක උතුමන් කවියෙන් බණ කීම හා ඒවා සංයුක්‌ත තැටි කැසට් පටි ආදියඋපයෝගී කරගෙන ආර්ථික වාසි ලැබීමට කටයුතු කරනු ලබයි. එහෙත් එහි බරපතළ කම වන්නේ ඉහතකී සතර සතිපට්‌ඨානය, අරි අටමඟ ආදිය රඳවන තැනලා බුදු දහමින් අප්‍රකාශිත කවිබණ ආදිය පළමු තැනට ගෙන ඒමටත්, අඳබාල ජනයා ඊට අවනත කර ගැනීමයි.
තථාගත දහමට අනුව කවියෙන් බණ කීමෙන් ඇතිවන පළමු විපාකය වන්නේ තම දේශනය පිsබඳව දේශකයා උඩඟු වීමයි. හඬ පිළිබඳව, පබැඳුම පිළිබඳ, උච්චාරණ පිළිබඳ, දේශනා ශෛලිය පිළිබඳ, අර්ථය පිළිබඳව, කාලය රිද්මය පිළිබඳව, උඩඟු වීමයි. එසේ උඩඟුවීමෙන් තමා පිළිබඳව, මමත්වය ඇතිකරගෙන මම, මගේ හඬ මගේ හැකියාව පිළිබඳව බාහිර අයගෙන් පවා අසා උඩඟුවීම, මාන්නයක් ඇතිකර ගැනීමක්‌ද ඇතිවන අවස්‌ථා එමටය. එනිසා අන්‍යයන් අභිබවා යැමටත්, විවේචනයටත් අනෙකාගේ අඩුපාඩුසෙවීමටත් පෙළඹෙන අවස්‌ථා ඇතිබව කිව යුතුය. එසේ උඩඟුවීම මාන්නය දක්‌වාම පරිවර්තනය වන බව දේශකයා නොදනී. එකී නොදැනීම නිසාම අකුසල විපාකයන් ගෙන දෙනු ලබයි.
දෙවන කරුණ වන්නේ අසන්නා තුළ ආශාව හා ලෝභය ඉපදවීමයි. හුදෙක් මේ කවි බණ සඳහා යොදාගනු ලබන්නේ ජාතක කතාවක් හෝ සමාජයේ පුද්ගලාබද්ධ කථාවකි. අඹුසැමි, නැන්දා-ලේලි, දූ-දරු ආදී චරිතවලින් තෝරාගත් චරිතයි. එසේ නැතිව බුද්ධ මතයක් කවියෙන් කීමට බැරි බව දන්නා දේශකතුමන්ලා තමාට රුචි පරිදි, හැකියාවට අනුව, පබැඳුමට පහසු දේ තෝරා අනිත්‍ය දහමක් නිත්‍ය බවටත්, දුක් වූ දෙයක් සැප ගෙන දෙයක් බවත්, අනාත්ම දෙය ආත්ම දෙයක් බවටත් කවියෙන් දේශනා කරයි. ඒ සංස්‌ද්ධි කෙරේ ශ්‍රාවකයා දැහැන්ගතවීමක් කරයි. එවිට අසන්නා තුළ ලෝභයත් ආශාවත් උපදී. එය දෙවන විපාක කර්මයයි.
තෙවන කර්මය වන්නේ දේශක ශ්‍රාවක සමාධිය බිඳී යාමයි. තථාගත දහම අට්‌ඨකත්වා අවධානය යොමුකරගෙන මානසිකත්වා මනස පිහිටුවා ගෙන සබ්බා ෙච්තසෝ සටන්නාහරිත්වා - මුළුමනින්ම සිත පිහිටුවාගෙන, ඕහිත ශෝකෝ හොඳින් කන් යොමාගෙන, ධම්මං සුතාති - ධර්මය ඇසිය යුතුය. එහෙත් කවියෙන් ධර්මය දේශනා කරන විට ශ්‍රාවකයාගේ චිත්ත සමාධිය බිඳී යයි. සිත විසිරීයාමක්, විපරීත වීමක් නොසන්සුන් බවක් ඇතිවෙයි. මානසික ඒකාග්‍රතාවය බිඳී යයි.
සිව්වන කරුණ වන්නේ දේශනා ශෛලි වාග් මාලාව, හඬ, පබැඳුම, එළිසමය, එළිවැට, ශබ්ද රසය, අර්ථ රසය ආදී දේ පිළිබඳ ඇති වන අඩුපාඩු පිළිබඳව දේශක උතුමන් කෙරේ ද්වේෂ සහගතව කතා කිරීමයි. දොස් පැවරීමයි. මේ සිව්වැනි විපාක යයි.
අවසන් විපාකය වන්නේ ශ්‍රාවකයා නොමග යාමයි. මේ කරුණ අද මේ බුද්ධ ශාසනය තුළ මාර්ගපලලාභීන්, සිල්වත් උතුමන් බිහිවීම අඩුවීමට බලපාන ප්‍රධාන හේතුවයි. බුද්ධ මතය වෙනුවට බුද්ධ ධර්මය, බුද්ධ දේශනාව වෙනුවට ඒ වාගේ දෙයක් දේශනා කිරීමයි. හුදෙක් එය තමාගේ අදහස් බව පෙනේ. යා යුතු මඟ තියා වෙනත් මගක යාමට දේශක උතුමන් බොහෝ දෙනෙක් ධර්මය විකෘති කර දේශනා කිරීම මහත් අඩුපාඩුවකි.
කාව්‍යමය ධර්ම දේශනාවකදී නිර්මල තථාගත දහම පිළිබඳව හා මූලික බුද්ධ දේශනා වන පටිච්ච සමුප්පාදය, සතර සතිපට්‌ටානය, පංච නීවරණ, දස සංයෝජන ආදිය ගැන කරුණු ගොනු කිරීම, පදමාලා ගෙතීම අසීරු බව දත් දේශක උතුමන් ආර්ථික ලාභය, ප්‍රසිද්ධිය, ලාබ සත්කාර ආදිය උදෙසා මෙවන් බුද්ධ මතයට විරුද්ධ දේ ඉදිරිපත් කිරීමට සමත්වී ඇත. එසේම ඒ බව ශ්‍රාවක පිරිස අවබෝධ කරගන්නා තෙක් මේ අධාර්මික ප්‍රචාරවලට හසුවීම වළක්‌වනු බැරිය. එසේ අවබෝධ වනතුරු මේ දේශන උතුමන්ගේ මෙම ව්‍යාපාරයට ආයුෂ ඇත. පැවැත්මක් ඇත. නිර්මල බුදුදහම වනගත වනු ඇත. එබැවින් ශ්‍රාවක පිරිස මේ කරුණු ප්‍රඥවෙන් අවබෝධ කරගනිත්වා. ධර්ම ඥනය පහළ වෙත්වා.
සැමට තෙරුවන් සරණයි
ආර්. අනුර පියතිස්‌ස, අංකුඹුර
2015 නිකිණි මස 29 වැනිදා සෙනසුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment