නමෝතස්‌ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්‌ස
'ඒවං හේතං කස්‌සප හෝති. සත්තේසු හායමානේසු, සද්ධම්මේ අන්තරධායමානෙ, බහුතරානි වෙව සික්‌ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්‌ඛු අඤ්ඤාය ඝණ්‌ඨහන්ති'.
'කස්‌සප, මෙය මෙසේම වෙයි. සත්වයන් පිරිහෙන කල්හි සදහම් අතුරුදන් වන කල්හි ශික්‌ෂාපදයෝත් බොහෝ වෙති. ඉතා මඳ වූ භික්‌ෂුහුත් රහත් බව්හි පිහිටත්'
ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ කස්‌සප සංයුත්තයේ සඳහන් සද්ධම්ම පතිරූපක සූත්‍රයට අයත් දහම් කොටසකි. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයෙහිවැඩ වෙසෙති. දිනක් මහා කාHශප තෙරණුවන් බුදුන් වහන්සේ වෙතට පැමිණ වන්දනාකොට මෙසේ ප්‍රකාශ කළහ. 'භාග්‍යවතුන් වහන්ස, යම් කරුණක් නිසා පෙර ශික්‌ෂාපදයෝත්, මඳ වූවාහු නම් ඉතා බොහෝ භික්‌ෂුහුත් රහත් බැව්හි පිහිටුයාහු නම් ඊට හේතුවකවරේද? භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. කාශ්‍යප, මෙය මෙසේම වෙයි. සත්වයන් පිරිහෙන කල්හි සදහම් අතුරුදන් වන කල්හි ශික්‌ෂාපදයෝ බොහෝ වෙති. ඉතා මඳ වූ භික්‌ෂුහු රහත් බව්හිපිහිටත්, යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ නැවතත් එම කරුණ උපමා සහිතව මෙසේ විස්‌තර වශයෙන් දේශනා කරති.
කාශ්‍යප, ලෝකයෙහි යම්තාක් සදහම් වැනි ප්‍රතිරූපයක් නූපදීද, ඒතාක් සද්ධර්මයේ අතුරුදන් වීමක් ඇති නොවේ. කාශ්‍යප ලෝකයේ යම් කලෙක සදහම් වැනි ප්‍රතිරූපයක් උපදීද, එකල්හි සද්ධර්මය අතුරුදන්වීම සිදුවෙයි. කාශ්‍යප ලෝකයේ යම්තාක් රන්බඳු දෙයක් හට නොගනී නම්, ඒ තාක් රන් අතුරුදන්වීමක් නොවේද, කාශ්‍යප ලෝකයේ යම් කලෙක රන් බඳු දෙයක් හටගනී නම්. එකල්හි රන් අතුරුදන්වීමක් වේද, කාශ්‍යප එලෙසින්ම ලොව යම්තාක් සද්ධර්ම ප්‍රතිරූපයක් නූපදීද ඒතාක් සදහම්වුගේ අතුරුදන්වීම නොවේ. යම් කලෙක ලෝකයේ සදහම් ප්‍රතිරූපයක් උපදීද, එකල්හි සද්ධර්මයේ අතුරුදන්වීමවේ.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන මෙම දහම් කරුණපිළිබඳව නුවණින් විමසා බලන්න. 'කාශ්‍යප පඨවි ධාතුව සදහම් අතුරුදන් නොකරයි. ආපෝ ධාතුව සදහම් අතුරුදන් නොකරයි. තේජෝ ධාතුව සදහම් අතුරුදන් නොකරයි. වායෝ ධාතුව සදහම් අතුරුදන් නොකරයි. යම් කෙනෙක් මේ සද්ධර්මය අතුරුදන් කෙරේ, ඒ හිස් පුරුෂයෝ මේ සසුනෙහිම උපදිති' කාශ්‍යප යම් සේ නැව අධික ලෙස බඩු ගැනීමෙන්ම ගිලේද, එහෙයින් පිලිවෙත් මගින් සදහම් අතුරුදන් නොවේ.
කාශ්‍යප, පිරිහීමට හේතුවන මේ පස්‌වැදැරුම් දහම් සද්ධර්මයේ නැසීම පිණිස අතුරුදන්වීම පිණිස පවතී. එනම්, මේ ශාසනයෙහි භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක උපාසිකාවෝ ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවැතුම් නැත්තාහු වෙසෙත් ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවැතුම් නැත්තාහු වෙසෙත්. සංඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ශික්‌ෂා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවැතුම් නැත්තාහු වෙසෙත්. සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. කාශ්‍යප පිරිහීමට හේතුවන මේ දහම් පස සද්ධර්මයේ නැසීම පිණිස අතුරුදන්වීම පිණිස පවතී.'
සද්ධර්මයේ අතුරුදන් නොවීම පිණිස හේතුවන හෙවත් පැවැත්ම පිණිස හේතුවන දහක් කරුණු පසක්‌ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. ඒ මෙසේයි. මේ සස්‌නෙහි භික්‌ෂු, භික්‌ෂුණිහු, උපාසක - උපාසිකාවෝ ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවැතුම් ඇත්තාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. සංඝයා කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ශික්‌ෂාව කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. සමාධිය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. කස්‌සප මේ දහම් පස සද්ධර්මයේ පැවැත්ම පිණිස නොනැසීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතී.
ඉහත සඳහන් කළ සූත්‍ර දේශනාව අපි විවරණය කර ගනිමු. කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් පළමුව ප්‍රශ්නකරනුලැබුවේ පෙර ශිකෂා පද අඩු වූ අතර රහත්හු වැඩිනම් එයට හේතු කවරේද යන්නය. එමෙන්ම දැන් ශික්‌ෂාපද බහුලවී ඇති අතර රහත්හු මඳවීමට හේතුව කුමක්‌ද යන්නය. භාග්‍යවතුන් වහන්සේ වදාළේ සත්වයන් පිරිහෙන කල්හි සහ සද්ධර්මය අතුරුදන්වන කල්හි ශික්‌ෂා පද බොහොවන බවත් රහත්හු මඳවන බවත්ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේ වඩාත් පැහැදිලි කළේ සදහම් ප්‍රතිරූපයක් උපමාවට ගෙන දක්‌වමිනි. යම් කලෙක සදහම් වැනි ප්‍රතිරූපයක් ඇති නොවේද?, ඒ තාක් සද්ධර්මය නොනැසේ. යම් කලෙක සදහම් වැනි පිළිරුවක් ඇතිවේද එවිට සද්ධර්මය නැසීමට පත්වෙයි. මේ සදහම් ප්‍රතිරූපය නම් පඨවි, ධාතුව හෝ ආපෝ ධාතුව හෝ තේජෝ ධාතුව හෝ වායෝ ධාතුව නම් නොවේ. එනම්. ශීල,සමාධි, ප්‍රඥ ගුණ නොවඩන මේ ශාසනයෙහිම පහළව හිස් පුරුෂයෝය. මෙම හිස් පුරුෂයන් කෙරේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ නම් වූ ත්‍රිවිධ ශාසනික ගුණ දක්‌නට නොලැබෙයි.
භාග්‍යවතුන් වහන්සේ එම කරුණ මෙසේ විස්‌තර කොට වදාළහ. මේ සසුන්හි භික්‌ෂුහු, භික්‌ෂුණීහු, උපාසක - උපාසිකාවෝ ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්‌ෂාව කෙරෙහි, සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු, යටත් පැවතුම් නැත්තාහු වෙසෙති. එම නිසාම සද්ධර්මයේ නැසීම සහ අතුරුදන්වීම සිදුවන බවය. වර්තමානයේ සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ නොසිටියද, ජීවමානව වැඩසිටින්නේය යන අදහසින්ම ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සහ ගෞරවය ඇතිකර ගැනීම අවශ්‍යය. යම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් යුතුව ශ්‍රද්ධා ගුණය ඇතිකරගන්නා විට, කිසි විටෙකත් ඒ පුද්ගලයා කෙරෙන් දුසිල්වත් බවක් පැන නොනගියි. ශ්‍රද්ධා ගුණය ඔස්‌සේ බුදුගුණ අවබෝධයෙන් දැකගන්නට උත්සාහ කරයි. එම පිළිවෙත් මාර්ගයේදී තමා කෙරේද රාග, දොaස, මෝහ ආදී කෙලෙස්‌වල පාලනයක්, යටපත් වීමක් හා සංසිඳීමක් ඇතිවෙන්නට පටන් ගනී. මෙහිදී පුද්ගලයා කායික, වාචසික සංවරයෙන් යුතු අයෙක් බවට පත්වන අතර, විරාගී මගෙහි ගමන් කරන ආර්ය ශ්‍රාවක මාර්ගය ඉලක්‌ක කර ගනී. ඔහු හෝ ඇය ධම්මානුසාරී බවට පත්වන්නේ එවිටය. ධර්මය කෙරේ ගෞරව ඇතිවනවා පමණක් නොව, ජීවිතය දෙවැනි කොට ධර්ම මාර්ගයට මුල්තැන දෙන්නෙක් බවට පත්වෙයි. සීල, සමාධි, ප්‍රඥ නම් ත්‍රිශික්‌ෂා මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් බවට පත්වෙයි.
එනමුත් මේ ශාසනයෙහි සිව් පිරිස අතරින් එක් අයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයා, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවය හෙවත් ශ්‍රද්ධාව නොමැත්තේ නම් ඔහුට හෝ ඇයට සද්ධර්ම මාර්ගය නියම ආකාරයෙන් නොවැටහේ. කෙලෙස්‌වලට යටවූ හෝ වසඟ වූ පුද්ගලයෙක් බවට පත්වෙයි. වර්තමානයේ ශ්‍රාවක ශ්‍රාවිකා නමින් පෙනී සිටින බොහෝ පිරිසක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි. ශීලය, සමාධිය කෙරෙහි ගෞරවය හා යටත්බව මනා ලෙස ඇතිකර නොගැනීම නිසා සීල, සමාධි, පඥ ගුණයන්ගෙන් හීනව වෙසෙති.
'අණුමත්තේසු වඡ්ඡේසු භයදස්‌සාවී' කුඩා අණු කුඩා වරදෙහි බිය දක්‌නා සුළු' යන අදහසින් බැහැරව රාගී මඟට පිළිsපන් අයම බවට පත්වෙති. සසර දුකෙන් නිදහස්‌වීමට උපකාරවන තෘෂ්ණාවෙන් බැහැරවීම නම්වූ අත්හැරීම වෙනුවට උපාදානයන්ට එනම් කෙලෙස් අරමුණුවලට දැඩිව හසුවෙති. සද්ධර්මයේ නමින් දරුණු වූ ලාභ, කීර්ති ප්‍රශංසාවලට යොමුවෙන මඟට වැටෙති. ඉන්ද්‍රියන් පිනවීමට මුල්තැනක් දෙති. මෙය සද්ධර්මය වැනි පිළිරුවෙහි ලක්‌ෂණ කීපයෙකි. මෙහිදී සිදුවන්නේ පිරිසිදු සද්ධර්මය යටපත්වී අසද්ධර්මය මතුවීමයි. බොහෝ දෙනා දැඩි ආශාවන්ගෙන්ද රාගී සිත් ඇතිවද, ද්වේෂයෙන්ද, මානයෙන්ද 'මමය, මාගේය' මුල් කරගත් මිථ්‍යා දෘෂ්ටියෙන් ද යුතුව දිවිගෙවති. බොහෝ විටෙක වැඳුම් පිදුම්වලට පමණක් මුල් තැන දෙන ආමිෂයටම නැඹුරුවෙති. සද්ධර්මය අතුරුදන් වෙන්නට පටන් ගනී.
එනමුත් තෙරුවන් කෙරේ ඉමහත් ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුවීමත් ශීල, සමාධි, ප්‍රඥ මගට පිළිපන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත්වීමෙන් සද්ධර්මය අතුරුදන් නොකොට අර්හත් සුවය ලැබිය හැකි බව මෙම සූත්‍ර දේශනාව පෙන්වා දෙයි. බෙහෙවින්ම ධ්‍යාන, මාර්ගඵලාවබෝධය පිණිස වීර්ය දැරීමය. එසේ නොමැතිව ගිහි හෝ පැවිදි හෝ වේවා සද්ධර්මයෙන් පෙන්වා දෙන සැබෑ මග අමතකොට රාගාදී කෙලෙස්‌වලින් පීඩිතව පස්‌පව්, දස අකුසල්වලටත් යොමුවීම සද්ධර්මය නැසීමකි. වර්තමානයේ මේ සද්ධර්මය පවතින්නේ සද්ධර්ම ප්‍රතිරූපකයන් නොවී ශෘස්‌තෘන් වහන්සේ වදාළ මඟ අනුගමනය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් නිසාය. සද්ධර්මය රැකගෙනද ඒ මඟ කරමින්ද නිවන පිණිසම අදිටන් කරමු.
ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි
2015 නිකිණි මස 29 වැනිදා සෙනසුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment