පොහෝ දින විහාරස්ථානයේදී සංවර වී නිවසට හෝ රැකියා ආයතනයට ගොස් කය වචනය සංවර කර නොගන්නේ නම් අප සමාදන් වූ සීලය කුමක්ද?
ආචාර් ධර්ම ජීවිතයකට ළං කර ගැනීමේදී එම ආචාර ධර්මයන්ගෙන් අත්කර ගත් සදාචාර ධර්ම පැහැදිලිව මෙන්ම නිවැරැදිව ළං කර ගැනීමට අප වග බලා ගත යුතුවනවා.
ආචාර ධර්ම ගැන කතා කිරීමේදී සීලයට වැදගත් ස්ථානයක් හිමිවනවා. අප ඒ සඳහා අවශ්‍ය කරුණ ඉදිරිපත් කරනවා. කයින් සිදුවන වැරැදි ගැනයි. ප්‍රාණඝාතය, අදත්තාදාන හා කාම මිථ්‍යාචාරයයි. වචනයෙන් සිදුවන වැරැදි හතරයි. බොරුව, කේලාම්කීම, ඵරුස වචන හා හිස් වචන කීමයි. මේ සියල්ලෙන් අත් මිදුණුවිට සීලය ආරක්ෂා වෙනවා. නමුත් ඔබ දැන් සිල් සමාදන්වීමට පැමිණෙන්නේ කොතැනටද? පන්සලට
ඉස්සර නම් අප හතර පෝයටම සිල් සමාදන් වුනා. දැනට අප හතරපෝය කෙසේ වෙතත් පසළොස්වක පොහෝ දිනකටවත් සිල් සමාදන් වනවාද? සිල් සමාදන්වීමට නැත්නම් පොදුවේ අප භාවිතා කරනු ලබන සිල් සමාදන්වීමට විහාරස්ථානයට යන අප කරනු ලබන දේ මොනවාද?
ප්‍රධානම කරුණ නම් අප දින 30 ක් පමණ අපගේ වචනය (කට) හෝ කය සංවර කර නොගෙන සිට මසකට එක් දවසක් පමණක් විහාරස්ථානයට ගොස් වචනයයි කයයි සංවර කරගෙන යනවා.
නමුත් විය යුත්තේ කුමක්ද? පන්සල කියන්නේ සිල් රකින්න එන්න ඕන තැනැක්ද කියා සිතා බැලිය යුතුවනවා.
සීලය සම්බන්ධ විස්තර ධර්ම කාරණා මේ සියල්ල දැන ගැනීමට, අවබෝධ කර ගැනීමට අප පැමිණිය යුතු තැනයි පන්සල . එසේ නම් සිල් රැකිය යුත්තේ කොතැනදී ද? ගෙදරදී, ගමේදී, ආයතනයේදී එතැනදී තමයි සීලය රැකිය යුතු යුත්තේ.
එසේනම් අප කරන්නේ සිල් රැක ගත යුතු තැනදී සීලය කඩා සීලය රැක දීමට උපදෙස්. අනුශාසනා ලබාදෙන ස්ථානයේදී සීලය රැක ගැනීමට උත්සාහ දරනවා. එය නිවැරැදි ද? මෙයින් විහාරස්ථානයට ගොස් සිල් සමාදන් නොවිය යුතුයැයි වැරැදි අවබෝධයක් කෙසේවත් ඇති කර නොගත යුතුය. විය යුත්තේ අප සත්‍යය තේරුම් ගැනීම හා වටහා ගැනීමයි.
පොහෝ දින විහාරස්ථානයේදී සංවර වී නිවසට හෝ රැකියා ආයතනයට ගොස් කය වචනය සංවර කර නොගන්නේ නම් අප සමාදන් වූ සීලය කුමක්ද?
සීලය නිසි අයුරින් සමාදන් වන්නේ අප රටේ සුළු පිරිසක් පමණක් විය හැකි නොවේද?
සිල් සමාදන්වීමට පෙර දිනයේවත් අප ස්නානය කර පිරිසුදු විය යුතුවනවා. පිරිසුදු වීම අත්‍යවශ්‍යයි. සැහැල්ලුව නැත්නම් සිල් සමාදන් වීම පිණිස රැගෙන යන කුඩා ගමන්මල්ල සකසා ගත යුතුවනවා. ඇයි එයට සැහැල්ලුව කියන්නෙ.
අනවශ්‍ය කිසිවක් එය තුළට දමා ගන්නේ නැහැ. ඉතා සරල විය යුතුයි. නමුත් අප සැහැල්ලුව නිසි පරිදි භාවිතා කරනවාද?
නිවසේදී නිසි වේලාවට තේ පානය කරන්නේ නැහැ. නමුත් විහාරස්ථානයට යාමේදී සිල් සමාදන්වීමට යාමේදී ඇතැමුන් උණුවතුර බෝතලයක් පවා රැගෙන යනවා. අමතරව ගත හැකි සැහැල්ලු ආහාරත් ඊට අඩංගු කර ගන්නවා. බුලත් විට නිසි පරිදි සකසාගෙන අප යන්නේ සිල් සමාදන් වීමටද?
අප මුල් තැන ලබා දී ඇත්තේ එම කරුණු සඳහායි. අසුන් ගැනීමට ඉටි කොළ, පැදුරු සමහර වේලාවට කුඩා පුටුවක් මේ සියලු පහසුකම් රැගෙන අප යන්නේ සිල් සමාදන් වීමටද?
අප පන්සලට යාමටත් පෙර අපගේ කය සන්තර්පනය කරනු ලබන ක්‍රම ගැන අප සිතා තිබෙනවා. එම නිසා අප මුල් තැන දිය යුත්තේ තමන්ගේ ශරීරය උදෙසා නොව කය සහ වචනය සංවර කර ගැනීමටයි.
අතීතයේ සිට සිල් සමාදන්වීමේදී කාන්තාවක් නම් රෙද්දය සහ හැට්ටයද ඇඳ ඊට උඩින් උතුරු සළුව දැම්මා. ලේන්සුවක් (පත්කඩයක්) භාවිතා කළා.අද අපේ කාන්තාවන්ගේ සිල් ඇඳුම කුමක්ද? සාරියද ඔසරියද කියා හිතාගන්න බැහැ. ඇතැමුන් සාරියේ හෝ ඔසරියේ එල්ලෙන පොට උතුරු සළුව ලෙස භාවිතා කරනවා. තවත් කෙනෙක් කලිසම් සහ කමිස ඇඳ සිල් සමාදන් වීමට පැමිණෙනවා. තවත් අය ගවුම් ඇඳ පැමිණෙනවා. වසර 2600 ක් ගත වී අපට තවම නිසි අයුරින් සිල් ඇඳුමක් නිර්මාණය කර ගැනීමට බැරිවෙලා තියෙනවා.මේ සඳහා කථිකාවතක් මාධ්‍ය මඟින් හෝ ඇති කළ යුතුයි. සිල් ඇඳුමින් බලාපොරොත්තු වන්නේ දුප්පත්,පොහොසත් සියලුම දෙනා විහාරස්ථානයේදී එක්ව සිල් සමාදන් විය යුතුබවයි. පිරිමි පුද්ගලයන් නම් සරම හා කමිසයයි. අප නැෂනල් එක නැත්නම් ජාතික ඇඳුමක් ලෙස හඳුන්වන්නේ පිරිමි අය අඳිනා ඇඳුමටයි. එහෙත් අද කලිසම් ටී ෂර්ට්ය ඇඳගෙන සිල් සමාදන් වීමට පැමිණීමට ඇතැම් අය පුරුදු වෙලා.
සිල් සමාදන් වූ උපාසක මහත්මයා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනයට වැඩම කරවීමට රථවාහන පදවනවා. දෛනික ජීවිතයේ අප විසින් සිදු කළ සියලුම කාර්යයන් ඒ අයුරින්ම කරනවා නම් මොකක්ද ලබපු සීලය. කුඩා දරුවන් නම් ළමාසාරිය හෝ ජාතික ඇඳුම ඇඳීම තවමත් දක්නට තියෙනවා.
එමෙන්ම වැඩිහිටි ස්ත්‍රි පුරුෂ දෙපක්‍ෂයම එක් ඇඳුමකට හුරුවිය යුතුවනවා. ජාතික ඇඳුම කියා හැඳින්වුවත් අප ඒ ජාතික ඇඳුමට නිසි ලෙස ගරු කරනවාද?
එමෙන්ම සිල් සමාදන් වූ කිසිදු අයෙකු පෝලිම්වල ගොස් දානය ලබානොගත යුතුයි. සිල් සමාදන් නොවූ ගිහි අයකු විසින් දානය පිළි ගන්වාවි. එසේ නොමැතිව එදින කුස ගින්නේ සිටියත් සිල් සමාදන් වූ අයකු කිසිවිටෙක පෝලිම්වල ගොස් අහාර ලබා නොගත යුතුයි. මේ ආචාර ධර්ම කඩා දමනවානම් එතැන කෝ සීලය.
එමෙන්ම ඇතැම් සීල සමාදාන සමිතිවල නිලධාරින් සිල් සමාදන් වූ දිනයේදී උපාසක සමිති ගාස්තු නැත්නම් වාර්ෂික ගාස්තු වන්දනා ගාස්තු එකතු කරනවා. මේ කටයුතු බුදු දහමට ගැළපෙනවාදැයි අප දැනගත යුතුයි. ඒ සඳහා පොහෝ දිනය කිසිසේත් යොදා නොගත යුතුවනවා.
එසේම ඇතැම් අය සිතන්නේ සිල් සමාදන්වූ විට විහාරස්ථානය අවට ඇමදීම, බෝමළුව ඇමදීම, පරමල් ඉවත් කිරීම, ධර්ම ශාලාව සකස් කිරීම නුසුදුසු යැයි ඇතැමුන් සිතනවා. එය සම්පූර්ණ වැරැදි මතයක්. 24 පැයක් අප සිල් සමාදන් වනවා නම් අපි රාත්‍රිය ගත කළ යුත්තේ මදුරු දඟර දල්වාගෙන නිදාගෙන නොවේ. රාත්‍රිය පුරාම උපාසක උපාසිකාවන් විසින් ජාතක පොත කියවීම නැත්නම් වෙනත් පොදු කටයුතු වල නියැළී සිටිය යුතුයි. එසේ නොමැතිව නිවසේදී මෙන් නිදා ගැනීමට නම් විහාරස්ථානයට යාම සුදුසු යැයි ඔබ සිතනවාද? සීලය නිසි පරිදි රැක ගැනීමට නම් අප අනුගමනය කළ යුතු පැවතුම් මොනවාදැයි මේ අනුව අප තේරුම් ගත යුතුය.
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජනවාරි 11 වනදා සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment