ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස,ස්පර්ශ, යන පංච කාම වස්තුන් අතරින් වඩා බලවත් වන්නේ කුමන කාමයක් දැයි යන ප්‍රශ්නය ඔබගේ සිතෙහි කවදා හෝ පැන නැඟුනේ ද? එබඳු ප්‍රශ්නයක් කෙදිනක වත් පැන නැඟුනේ නැති වුවත් ඔබගෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් පිළිතුර කුමක් විය හැකි ද? අපේ බුදුරජාණන් වහන්සේ දවස ප්‍රාන්ත රජවරු පස් දෙනෙකු සාකච්ඡා කරමින් සිටියේ මෙම ප්‍රශ්නයයි. ඔවුන්ගේ පිළිතුර පස් වැදෑරුම් විය.
පළමුවැනි රජතුමාගේ මතය වූයේ ඇසින් දකින රූපය පිළිබඳ කාමය අන් කාමයන්ට වඩා ප්‍රබල බව යි. ඔහු ඒ සඳහා කරුණු දැක්වී ය. ඇසට රූපයක් නොපෙනේනම් අන් කාමයන් ගැන හැඟීමක් ඇතිවන්නේ නැහැ. ජීවි අජීවි වස්තුන්ගේ වර්ණයන් හැඩ තල හඳුනාගන්නේ ඇස්වලිනු යි. ඇස හා රූපය නිසා හටගන්නා වූ රූප කාමය හැම අතින්ම බැලුවොත් බලවත් එකක් බව ඔහු පෙන්වා දුන්නා.
දෙවෙනි රජු ශබ්ද කාමය අන් කාමයන්ට වඩා බළවත්වන හැටි පැහැදිලි කළා. ඔහු සමහරවිට මිහිරි ශබ්දයට කැමති සංගීතය පි‍්‍රය කරණ කෙනෙක් විය හැකි යි. සංගීත භාණ්ඩයන්ය, ඒවාගේ නාද රටා ගැන නිතර අධ්‍යායනය කරණ අත්විදින කෙනකුට ශබ්ද ක්‍රමය ප්‍රබල විය හැකි යි. අන් කාමයන් වඩා ශබ්ද කාමය බලවත් බව කෙනෙකුට හැගෙන්න පුළුවන්. තුන්වෙනි රජුගේ අදහස වූයේ නාසය හා බැඳුන ගන්ධය පිළිබඳ කාමය බලවත් බව යි. මිහිරි සුවඳ නිසා ස්වභාව ධර්මයේ බොහෝ දේ සිදුවෙනවා. බඹරුන් වද බඳින්නේ මල් සුවඳට වශීකෘතව යි. ස්ත්‍රී ගන්ධය පුරුෂයාටත් පුරුෂ ගන්ධය ස්ත්‍රියටත් ආකර්ෂණය වන දෙයක්. ස්ත්‍රී පුරුෂ සම්භෝගය වගේම සතුන්ගේ සම්භෝගයත් ඒ අනුව සිදුවෙනවා. ඒ හරහා ගන්ධය පිළිබඳ කාමය බලවත් බව ඔහු පෙන්වා දුන්නා.
රසය පිළිබඳ කාමය අන්කාමයන්ට වඩා ප්‍රබල බවට අනෙක් රජු කරුණු දැක්වූවා. ආහාරපානයන්ගේ රසය නොතිබුණා නම් කිසිවෙක් ආහාර ගන්නේ නැහැ. හැම කෙනෙක්ම ආහාරයට කෑදර යි. ඕනෑම කෙනෙක් ජීවත්වන්නේ ආහාර නිස යි. කුසට ආහාරයක් නොමැති නම් අනෙකුත් කෑම අඩපන යි. ඒ නිසා දිවට දැනෙන රසය හා රස කාමය ප්‍රබල යි. සිව්වැනි රජුගේ අදහස විය.
පස්වෙනි රජු කයෙන් ලබන ස්පර්ශ කාමය ප්‍රබල බව පැහැදිලි කළේ ය. මිනිසා අන් සතුන් අභිබවා ගේ දොර ඇතුළු සියලු නිර්මාණයන් කරන ලද්දේ සුඛ ස්පර්ශය සඳහා ය. ගෘහ වස්තු , ගෘහ භාණ්ඩ යාන වාහන සියල්ල කායික ස්පර්ශය පෙරදැරි කරගෙන නිර්මාණය කළ දේවල් ය. විශේෂයෙන් ලිංගික ස්පර්ශය කායික ස්පර්ශයකි. ඒ මත මුළු සත්ව ප්‍රජාවම බිහිවී ඇත. මේ නිසා පස්වෙනි රජුගේ මතය සමග ලෝකයේ බොහෝ දෙනා එකඟ වනු ඇත. එහෙත් බුදුදහමේ මතය, බුදුරදුන් මේ පිළිබඳව දැක්වූ අදහස අප හැමටම ඉතා වැදගත්වනු ඇත.අමනාපකර එකක් විය හැක. ඒ ඒ කාමයන් කෙනෙකුට උසස් ලෙසත් තව කෙනෙකුට පහත් ලෙසත් හැඟී යනු ඇත.
බුදුරජාණන් වහන්සේ කාම වස්තුන් අතරින් මනාපය ව ප්‍රබලවන බව කළ පැහැදිලි කිරීම මැනවින් අවබෝධ කරගත යුතු ඉතා වටිනා ධර්ම කරුණකි. නූතන වාණිජ ලෝකය වඩා ඉස්මතු කොට දක්වන්නේ ලිංගික කාමුකත්වය යි. පුරුෂාධිපති ලෝකයක කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත්කොට සිය ආත්මාර්ථකාමි වාණිජ අරමුණූ ඉටුකරගනී. නැටුම්, ගැයුම්, වැයුම් සියල්ල තුළින් ස්පර්ශ කාම ඉස්මතු කිරීම නිසා සමාජයෙහි කෘතිම මනාපයක් මවා ඇත. නූතන ශ්‍රව්‍ය දෘෂ්‍ය සියලු මාධ්‍යයන් මඟින් කෙරෙන්නේ මිනිසාගේ කාම වස්තූන් අතරින් වඩාත් ස්පර්ශකාමය ලිංගිකත්වය මතුකිරීම යි. ඒ අනුව සමාජයෙහි කාම අපරාධ ආදිය බහුල වී ඇත.
බුදුරජාණන් වහන්සේ අංගුත්තර ඒකක නිපාතයෙහි ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇති ලිංගික ආකර්ෂණය එකිනෙකාට බලපාන අයුරු පැහැදිලි කර ඇත. ස්ත්‍රියට පුරුෂ රූපය පුරුෂ ශබ්දය පුරුෂ සුවඳ පුරුෂ රසය, පුරුෂ ස්පර්ශය තරම් ආකර්ෂණය වන අන් කිසිවක් ලොව නැති බවත් එසේ පුරුෂයෙකුට ස්ත්‍රියගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය සමානවූ වෙනත් දෙයක් ලොව නැති බව පැහැදිලි කළහ.
බුදුරජාණන් වහන්සේ ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයාණෝ වෙති. ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා ද වෙයි. බුද්ධ යන වචනයේ අදහස ද අන් සියල්ලන්ට වඩා සත්‍ය අවබෝධ කර ගත් තැනැත්තායනු යි. එසේ නම් උන්වහන්සේගේ මතය කුමක්දැයි මේ රජවරු පස්දෙනා උන්වහන්සේ සමීපයට ගොස් තම මත පහ ඉදිරිපත් කළහ. “භාග්‍යවතුන් වහන්ස අප පස්දෙනා පංච කාමයන්ගෙන් වඩාත් බලවත් කාමය පිළිබඳව දක්වන මතයන් මෙසේ ය. අපගෙන් කවරෙක් නිවැරැදිදැයි විමසූහ.
රජවරු පස් දෙනාට බුදුන් වහන්සේ දුන් පිළිතුර අප කිසිවෙක් නොසිතූ දෙයකි. එහිදී බුදුරජුන් රජ දරුවනි, ඔබ පස්දෙනාගේ අදහස් වෙන් වෙන්ව ගෙන බැලූවිට සත්‍ය යි. එහෙත් මගේ අදහස වන්නේ මේ පංචකාමයන්ගේ බලවත් කම තීරණය වන්නේ ඒ පිළිබඳ පුද්ගලයා තුළ ඇති මනාපය යි. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ පංචරාජ සුත්‍රයෙහි එය මෙසේ දැක්වේ.
මනාප පරියන්තං ඛවාහං මහාරාජ පංචසු කාමගුණෙසු අගගංති වදාමි තෙව මහාරාජ රූපං එකවචසය මනාපා හොන්ති.තෙඛ රූපා එක චචස්‍ය අමනාපා හොන්ති”එකම රූපයක් වුවද මෙසේ කෙනෙක් බලවත් යයි ශ්‍රේෂ්ඨයැයි සිතන අතර තවත් කෙනෙක් එම රූපයට අකමැති වෙති. ඒ හැර රූපයට වඩා ශබ්දකාමය තව කෙනෙකුට අග්‍රයැයි සිතේ. එම ශබ්දයම තවත් කෙනෙකුට මෙහිදී ද සත්වයාගේ, විශේෂයෙන් මිනිසාගේ භින්න, රුචික විවිධත්වය අනුව එක් එක් පුද්ගලයාගේ මනාපයෙහි විශේෂතා ඇති බව ද පෙන්වා දිය හැක.
බුදුරජාණන් වහන්සේ මරඟනන් පැරදු අවස්ථාව මෙයට කදිම නිදර්ශනයකි. ලිංගික කාමය හෙවත් ස්පර්ෂ කාමයෙහි දී සත්වයාගේ මනාපයන් විවිධ වේ. මාර දියණිවරු, වරෙක නොමේරූ ස්ත්‍රි රූපයක් ද භද්‍ර යෞවන ස්ත්‍රී රූපයක් ද ආදි වශයෙන් විවිධ වයස්වල විවිධ දේහ විලාසයෙන් යුත් ස්ත්‍රී රූප මවමින් රඟ දැක්වූයේ සත්වයාගේ මනාපයන්හි විවිධත්වය නිසා යි.
රජදරුවන් පස්දෙනා පංචකාමයේ එක් එක් කාමාදීන් බලවත් යයි පැවසුයේ ඔවුන් පුරුදු ප්‍රගුණ කරගත් ඔවුන් මනාපය යි සැලකූ දේවල් ය. කෙනෙක් මත් පැන් වලට අන් සියල්ලට වඩා ගිජු වීමත් කෙනෙක් සංගීතය හෝ චිත්‍ර කලාවම පමණක් ජීවිතය කර ගනිමින් ආස්වාදය කිරීමත් තවත් කෙනෙක් අන් සියල්ලට වඩා ආහාරයට ගිජුකොට ගැනීමත් කෙනෙක් ලිංගික ආසාවන්ගෙන් වෙලී සිටිමින් එයම ජීවිතාසාව බවට පත්කර ගනිමින් ජීවත්වෙති. එසේ අපට සමාජයේ විවිධ චරිත දක්නට ලැබේ. කෙසේ නමුත් කාම වස්තුන්ට අති ඇල්ම තෘප්තිය කෙළවරක් නැති අතෘප්ති කර දේවල් ය. මේ සියල්ල සිදුවන්නේ ඒ කෙරෙහි ඇති පුද්ගල මනාපය අනුව ය. කාමය බුදුදහමට අනුව මර්ධනය කළ යුතු දෙයක් හෝ වර්ධනය කළ යුතු දෙයක් නොවේ. කාමය මර්ධනය කිරීමට යාම අනර්ථකර ය. කාමය වර්ධනය කිරීම ද අනර්ථකාරී අසහනකාරි දෙයකි. කළ යුත්තේ කාමය සංවර කරගැනීම යි. ඉන්ද්‍රිය සංවරය කාමයේ සංවර බව ඇති කිරීමට අනුබලයක් වෙයි. ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමේ ක්‍රමය විධිමත් එකක් . එය මෙසේ ය.
ආස්සාද, ආදිනව, සිස්සරණ යනු එම ක්‍රමයයි. කාම සම්පත්ති ආස්වාදය අසත්‍යයක් නොවේ. සැබවින්ම එහි ආස්වාදයක් ඇත. ලෝකයා විසින් කාම සම්පත් සොයාගන්නේත්, විඳින්නේත් එහි සැපක් ඇති නිසා ය. ආස්වාදය නොදැනෙන නොදකින තැනැත්තේ රෝගියකු විය හැක. කාම සංවරයේදී ආස්වාදය ආස්වාදය වශයෙන් දැන දැක එහි හික්මිය යුතු ය. දෙවෙනුව ඒ කාම වස්තුන්ගේ ආදිනව දත යුතු ය.
කාම වස්තුන් ගේ ආදීනව විශාල ය. මිනිසා කාම සැපත නිත්‍යයයි සුඛයයි. තමා සතු දෙය කැයි තදින් අල්ලා ගනිමින් එබදු නිත්‍ය බවක් එබඳු සදාතනික බවක්, එබදු තමා අයත් දෙයක් ලෙස නොපෙනෙන බැවින් අවසානයේ කම් සැපතින් දුකට පත් වෙයි. එහෙත් එය නොදැන යළි යළිත් දුකට වැටේ. කාම සම්පත් ලබා ගැනීමට මිනිසා අප්‍රමාණව දුක් විඳී. එහෙත් ඒ ආදීනව ඔහු නොදකින බැවින් තාවකාලික කම් සැපෙන් මිනිසා සදාකල් දුකෙහි ඇලී ගැලී සිටියි.
මීළඟට කාමයේ සංවරභාවය ඇති කළ හැක්කේ ආස්වාදය,ආදීනවය මැනවින් දැක එහි ‘නිස්සරණය’ තුළිනි සරණ යාම පිහිට යි. කාමවස්තුන්ගේ සරණ යන තැනැත්තා කාමයේ වහලෙකු බවට පත් වෙයි. කාමයේ වහලකු නොවී කාමය යටපත්කොට නැගී සිටීමෙන් පංචකාමය ජය ගැනීම මිනිසාගේ සදා සැනසීමට හේතු වේ. නිවන වශයෙන් සැලකෙන්නේ පංච කාම වස්තූන් අතික්‍රමණය කළ ඒවායෙහි ආස්වාද ආදිනව හා නිස්සරණ යන ත්‍රිවිධ ප්‍රතිපදාව ප්‍රගුණ කිරීමෙන් ලබන විමුක්තිය යි. කාමයෙන් වෙන්වීමේ සැබෑ අර්ථය එය යි.
තමා දකින විඳින, අසන, ගැටෙන ස්පර්ශ වන ලෝකය සමග නොගැටී නොඇලී විසීම සිදුවන්නේ එවිට යි. රහතන් වහන්සේ යනු පංචේන්ද්‍රියන්ට ගොදුරවන කාම වස්තුන් සමග දුටුදේ දුටු මතින් ඇසූ දේ ඇසු මතින් ස්පර්ශ වූ දෙය ස්පර්ශ මාත්‍රයෙන් ගෙන කටයුතු කිරීම යි. එය උපමාවක් මගින් මෙසේ දැක්වේ.
උදබින්‍දු යථාපි පොක්ඛරේ
පදුමෙ වාරියථාන නියති
එවං මුනි නොප නිසපති
යදිදං දිට්ඨි සුතං චුතෙසුවා
නෙළුම් පතට වැටුණූ වතුර බිඳුව නෙලුම් පත විසින් උරා නොගන්නාසේ මුනිවරයා දුටු දේ ඇසූ දේ, ස්පර්ශ වූ දේ උරා නොගනී. මනාප වූ නො අමනාප වු ආකල්පයක් උන්වහන්සේ නො දරති.
මහාචාර්ය
විලේගොඩ අරියදේව හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 25 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment