තරුණ පිරිස් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනා ගැන අප අවබෝධයෙන් සොයා බැලීමේදී අපට පළමුවෙන්ම හමුවන්නේ යෞවන වයසේ තරුණයන් 500 ක් එකවර පැවිදිවීමේ සිද්ධියයි. සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස පැමිණි ඔවුන් භාවනා කිරීමේදී විවිධ ගැටලු මතු වුණා. මේ පිරිස උදෙසා තමයි කරණීයමෙත්ත සූත්‍රය දේශනා කළේ. නොමඟට යන්න ඉඩ තිබුණු සිත් ඒ අනුව භාවනාව මගින් යහමඟට යොමු කළා. මෙහිදී බුදුහිමියන් ඉතා වටිනා කමටහනක් මේ පිරිසට ලබා දුන්නා.ඒ අනුවයි සිත් එකඟ කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ.
යෞවනත්වය යනු කුමක්ද? යෞවන සිත ආරක්‍ෂා කර ගන්නේ කෙසේද යන්න ගැන ධම්මපදයේ දැක්වෙනවා.
’කුම්භූපමං කායම්මං විදිත්වා
නාගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යො ඨෙථමාරං පඤ්ඤාවුධෙන
ජිතං ච රක්ඛෙ අනිවෙසනොසියා
මේ කය මැටි බඳුනක් යැයි දැන,මේ සිත නගරයක් මෙන් ස්ථාවරය තබා ගෙන නුවණ නමැති ආයුධයෙන් මාරයාට පහර දිය යුතු බවත් එසේ දිනා ගන්නා ලද තරුණ විදර්ශනාවද රැක ගත යුතු බවත් මෙයින් පැවසෙනවා. එමෙන්ම එපමණින් වුවද සෑහීමට පත් නොවිය යුතු බවත් මෙහිදී පැවසෙනවා.
තරුණ සිත සැම විටම අත්හදා බැලීම් සඳහා යොමු වෙනවා. තරුණයා තුළ නිරන්තරයෙන් ඇත්තේ කුතුහලයක්. එම කුතුහලය නිසා ඔහු යහපත් දේ අත්හදා බලන්නට මෙන්ම අයහපත්දේ අත්හදා බලන්නටත් යොමු වෙනවා.මේ නිසා යෞවනයා නිරන්තර බැනුම් අහන තත්ත්වයට පත්වෙනවා. කුතුහලය තුළ හිරවී සිටින යෞවනයාට නිසි පරිදි යහමග යොමුනොකරන ඇසුරක් නොලැබුණහොත් කල්‍යාණ මිතුරු ඇසුරක් නිසි පරදි නොලැබුණහොත් සිදු වන්නේ ඔහු අඳුර කරා යාමයි. ස්වභාවික ධර්ම නියාමය තමයි යෞවන හිත නිරතුරුවම කුතුහලය කරා යොමුවීම
එවිට සිදු වන්නේ සිතැඟි පරිදි කටයුතු කරන්න යාමයි. කුතුහලයෙන් පිරිච්ච හිත නොමනා දේට ඇදෙන්නේ දැනගෙන නෙමෙයි නොදැනයි. නොදැන ඇබ්බැහි වෙලා ඔහු විනාශයට පත් වෙනවා. විනාශයට පත් වෙනකොට තමයි බාහිර සමාජයට එය දර්ශනය වනවා. යෞවනත්වය තුළ අතරමං වුණාට පසුවයි සියල්ල පෙනීම ඇරැඹෙන්නේ. නමුත් එවිට ප්‍රමාද වැඩියි. ඒ වෙනකොට හදන්න බැහැ. ඔවුන් නොමගට යන්න බලපාන හිත අප ඔවුන්ට පෙන්වා දිය යුතුයි.
මේ සඳහා බුදුරජාණන් වහන්සේ ලබා දුන් උපදේශය වූයේ අනුන්ගේ හිත් දෙස බලාගෙන තමන්ට හැදෙන්න නොහැකි බවත් තමන් හැම විටම තමන්ගේ සිත දෙස බලාගෙනම කටයුතු කළ යුතු බවත්ය. එවිට තමන්ට දියුණුව කරා යාමට හැකි වන බවත් තමන්ගේ හිත දෙස බලනකොට තමන්ටම පැහැදිලි අවබෝධයක් ඇති වන බවත් බුදුරජාණන් වහන්සේගේ දේශනයයි.
මේ නිසයි බුදුරජාණන් වහන්සේ තරුණ සිත මැටි කළයකට උපමා කර තිබෙන්නේ. මැටි කළය නූලකින් එල්ලා තැබුවහොත් එය දෙපැත්තට පැද්දෙනවා. හැප්පෙන්නේ කොතනද එතැන ඉරි තැළෙනවා. බොහෝ විටම පුපුරා යළි තිබුණු තත්ත්වයට පත් කිරීමට අපහසු වෙනවා. යෞවන සිත් මේ වගේමයි.
බුදුහිමියන්ගේ දේශනාව මැටි කළය ආරක්ෂා කර ගැනීම, කළය සතු පුද්ගලයාගේ වගකීමක් බවයි. මැටි කළයක් වන් මේ සිත හැප්පෙන්නේ බාහිර පුද්ගලයන් සමඟයි. එම නිසා හැප්පුනොත් බිඳෙන්නේ තමන්ගේ කළයයි. එම නිසා කළය ආරක්ෂා කර ගන්න,තමන්ගේ කළය බිඳුණොත් ජලය නොමැති වන්නේ තමන්ටයි. ජලය නොමැති වුවහොත් පිපාසිත වන්නේ තමන්මයි. පිපාසිත වුවහොත් විජලනයට පත් වන්නේ තමන්මයි. විජලනයට පත් වුවහොත් ජීවිතක්ෂයට පත් වන්නෙත් තමන්මයි.
යෞවන කාලේ සිතට ධම්ම පදයේ ගාථාවට අනුව සිත යොමු කළ යුතුයි. සිත නගරයකට උපමා කර ගෙන කටයුතු කරන්නේ නම් ගැටලු බොහෝ දුරට අඩු වෙනවා. නගරයක ගති ලක්‍ෂණ මොනවාද? විවිධ පිරිස් නගරයට එනවා. තම තමන්ගේ කටයුතු කරගෙන ආපසු යනවා. සපත්තු මහන තැනැත්තා පැමිණ තමන්ගේ අඩුම කුඩුම තබා ගෙන තම රැකියාව කර හවසට ආපසු යනවා. රැකියාවට පැමිණෙන පිරිස්ද එසේමයි.මේ ආකාරයටම විවිධ වු නොකටයුතුකම් සඳහාත් පිරිස් නගරයට එනවා. ඔවුන්ද නගරයට එනවා යනවා. මේ ආකාරයට සිතටත් විවිධාකාර අදහස් සිතිවිලි පැමිණෙනවා. සිත නිතර සැළෙන සුළුයි.
ආවේගශීලි සිතිවිලි එනවා. දුක්ඛිත සිතිවිලි එනවා. රාගාදී සිතිවිලි එනවා. නමුත් මේ සිතිවිලිවලට එහි පදිංචිවීමට ඉඩනොදිය යුතුයි. නගරයක මෙන් පැමිණි අයට ආපසු යාමට සැලැස්විය යුතුයි. විරහව යෞවනත්වය තරුණ සිතෙහි හට ගැනීම වැඩියි.
අවබෝධයක් නොමැති යෞවනයා සැම විටම පැමිණි සිතිවිලි එහි ස්ථාපිත කර ගන්නවා. ආවේගශීලි සිතිවිලි රාගාදි සිතිවිලි ආදියත් එහි ස්ථාපිත වනවා. එහිදී ගැටලුවලට මුහුණ පෑමට සිදුවනවා. පෙම්වතා නිසා, පෙම්වතිය නිසා,මව නිසා හිත හප්පා ගන්නවා. එයින් සිත බිඳීමට ලක් වෙනවා. එමෙන්ම නගරයට එන අපිරිසුදු පුද්ගලයන් මෙන් අපිරිසුදු සිතිවිලි සිත තුළ තබා ගන්නවා. මෙසේ වන්නේ යෞවනත්වයේ කුතුහලය මෙන්ම ආවේගශීලි තත්ත්වය නිසයි. යෞවනත්වයේ දී සිතට එන සිතිවිලි වැඩියි. හිත දිහා බලන් ඉන්න තැනැත්තා මේ සිතිවිලි දෙස විමසුම් ඇසින් බලනවා. පැමිණි ආකාරයෙන්ම සිතිවිලි ආපසු යාමට සලස්වනවා.
යෞවනයාට වයස්ගත පුද්ගලයාට වඩා විපස්සනාව ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ නිසා තරුණ සිත යහමඟට හැරුණොත් තරුණ ජවයෙන්ම සිතට එන යහපත් හා අයහපත් සිතිවිලි අඳුනා ගන්න පුළුවන්කම ඔහු සතුවනවා. එහෙත් අද මේ පාඩම තරුණ පරපුරට නිවැරැදිව ලැබෙන්නේ නැහැ. අද ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම තරුණ පිරිස් සඳහා විවිධ අවවාද අනුශාසනා මෙන්ම වැඩසටහන් ක්‍රියාත්මක වනවා. එහෙත් කනගාටුවට කරුණ වී තිබෙන්නේ මේ අවවාද අනුශාසනා සියල්ල එම තරුණ පිරිසගේ හිසට ඉහළින් ගමන් කිරීමයි. තරුණ පිරිසගේ ඔළුවට යන ලේඛන කලාවකුත් අද දක්නට නැහැ. දේශනකලාවකුත් අද දක්නට නැහැ. මේ නිසා බොහෝ තරුණ පිරිස් අද පොත පතෙන් ඇත්වෙලා. රූපවාහිනිය මෙන්ම පරිගණකය හරහා ඔවුන්ගේ ඔළුවට වැටෙන්නෙ කාමුක දර්ශනයි. මේ නිසා ඔවුන්ගේ චර්යාධර්ම මෙන්ම සිතුම් පැතුම් සියල්ල හැම විටම සිතේ තෙරපීමෙන් තිබෙන්නේ.
අමරදේව මහතාගේ සුනිල් එදිරිසිංහ මහතාගේ ගීතයක් අසා රස විඳින්නට තරම් සංවර මානසිකත්වයක් අද තරුණ පරපුරට නැහැ. ඔවුන්ට අවශ්‍ය කටෝර සංගීතයක්. ඔවුන්ගේ සිත සංවේදි වන්නේ, අවදි වන්නේ ‘දඩ ...දඩ’ සංගීතයත් එක්ක. සිත් ඇතුළේ කැකෑරෙන ආවේගයන් එක්ක. සාමාන්‍යයෙන් ගීතයක කාලය විනාඩි තුනක්. නමුත් අද විනාඩි තුනක කාලයක් මේ තරුණයන්ගේ සිත් එකඟතාවයෙන් තබාගන්න ගායකයාට හැකියාවක් නැත්තේ ගායකයාගේ වරදින් නෙමෙයි. තරුණ සිත් ආවේගශීලි නිසයි. මේ නිසා සිදුව ඇත්තේ ඔවුන්ගේ සිත් තවත් ප්‍රපාතයට ඇද දමමින් අඩ නිරුවත් ලෙසින් තරුණියන් පිරිසකගේ රැගුම් ඉදිරිපත් කිරීමයි.
මෙයින් තරුණ සිත් තවත් දූෂණය වනවා. ඔවුන් රස විඳින්නේ ගීත රසය නෙමෙයි. අර තරුණියන්ගේ ගත සෙළවෙන ආකාරයයි. කාමුක දර්ශනයක් මගින් තරුණ සිත් සොරා ගැනීමක් මෙහිදී සිදු වන්නේ,යෞවන සිත් සොරා ගැනීමේ ප්‍රශ්නයක් අද තියෙන්නේ. ළමා මනසේ කුතුහලය අවුස්සා ඊට නිසි මඟ ගමන් කිරීමට ඉඩ ඇහිරීමක් සිදු වන්නේ.මේ නිසා ළදරු කාලයේ සිටම සිදු කරනු ලබන ළමා මනසම සොරා ගැනීම නැවැත්වීමට පියවර ගත යුතුයි. සාහිත්‍ය රසය අද තරුණ පරපුර හඳුනන්නේ නැහැ. දරුවන්ට දැනුමක් නැහැ. දරුවන්ට සොබා දහම මගින් ලබා දී තිබෙන කිසිවක් විඳ දරා ගැනීමට හැකියාවක් නැහැ.මේ නිසා යොවුන් සිතට දහම ඇතුළු කළ යුතු නිවැරැදි ක්‍රමවේදයක් අප සකස් කළ යුතුයි.
ඒ සඳහා නිසි මාර්ගයක් සැකසීමට ගිහි පැවිදි සියලු දෙනා එකතු වීමට දැනටමත් ප්‍රමාද වැඩි බව අප සිහි තබා ගත යුතුයි. ප්‍රමාද වී හෝ මේ සඳහා ඉදිරිපත් විය යුතුයි.
දෙල්ගොඩ, උඩුපිල, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
යොවුන් සිතට දහම් සිසිල දහම් මැදුරේ
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ පෙබරවාරි 28 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment