Labels

Friday, September 11, 2015

කාම ලෝකයත් රූප ලෝකයත් අතර වෙනස ...

 
චූළ වේදල්ල සූත්‍රය
(මජ්ක්‍ධිම නිකාය 1 – චූළ යමක වර්ගය)
චූටි දරුවන්ට ආශ්‍රව නැද්ද...?

 ආශ්‍රව කියලා කියන්නේ පොළොවේ තියෙන පොහොර වගේ දෙයක්. පොළොවේ පොහොර තිබෙන විට බීජයක් පොළොවට දාලා, ඒකට වතුර දැම්ම ගමන්ම බීජය පැළවෙනවා. පොහොර තියෙන්නේ පස පුරාම පැතිරිලා. ඒ වගේ තමයි අපේ පැවැත්ම තුළ ආශ්‍රව පැතිරිලා තියෙන්නේත්. චූටි දරුවෝ දැක්කම අපට හිතෙන්නේ ‘මේ අයට තරහක් නැහැ. ආශාවක් නැහැ. ක්‍රෝධයක් නැහැ. වෛරයක් නැහැ’ කියලායි. “අනේ... මේ චූටි හිත් මල් වගේ” කියලා කියනවා. නමුත් ඒ අය වැඩිමහලු වෙන්න වෙන්න ඒ නැති දේවල් ඔක්කොම මතුවෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒවා තිබුණේ හිතේ තැන්පත් වෙලයි. දරුවා වයසට යන්න යන්න, ඒ දරුවාට තේරෙන්න පටන් ගන්න ගන්න ඒ ආශ්‍රව මතුවෙනවා.
චූටි කාලේදී මේ ආශ්‍රව හිතේ නැතුවා නොවෙයි. චූටි කාලයේත් මේ ආශ්‍රව හිතේ තියෙනවා. ඔබ දැකලා ඇති පොඩි ළමයි පුටුවක හැපුණට පස්සේ අම්මලා ඒ පුටුවට ගහනවා. එතකොට අර චූටි ළමයා ‘පුටුවට රිදුණා’ කියලා හිතලා සතුටක් ලබනවා. ඒ විදිහට තමයි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ටිකෙන් ටික මේ හිතේ පෝෂණය වෙන්න පටන් ගන්නේ.

තණ්හාව අවිද්‍යාව නිසයි...

ඒ වගේම කෙනෙකුට කතා කරන්න බැරිවුණා කියලා තණ්හාව නැතුව යන්නේ නැහැ. කෙනෙකුට ඇස් දෙක පෙනෙන්නේ නැහැ කියලා, කන් ඇහෙන්නේ නැහැ කියලා තණ්හාව නැතුව යන්නේ නැහැ. කෙනෙකුට බඩගිනි නැතිවුණා කියලා තණ්හාව නැතුව යන්නේ නැහැ. කෙනෙකුට ගොරෝසු ශරීරය නැතිවුණා කියලා තණ්හාව නැතුව යන්නේ නැහැ. එහෙනම් තණ්හාව තියෙන්නත් හේතුවක් තියෙනවා. හේතුව තමයි අවිද්‍යාව, අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත ඒ ආකාරයෙන් නොදන්නාකම. ඒ නිසා තමයි තණ්හාව කියලා එකක් හිතේ ඇතිවෙලා තියෙන්නේ.
අපි තණ්හාවේ ලක්ෂණය කතා කළා. යළි භවයක් සකස් කරලා දෙනවා. ඒ ඒ දේ කෙරෙහි ආශ්වාදයෙන් ඇලෙනවා. ඒ ඒ දේ සතුටින් පිළිගන්නවා. අපට කාම තණ්හාව තියෙනවා. භව තණ්හාව තියෙනවා. විභව තණ්හාව තියෙනවා. (විභව තණ්හාව කියලා කියන්නේ ‘මොකවත් නෑ’ කියලා නැතිකර ගන්න තියෙන ආශාවටයි)
සමහර පිරිස් ‘රූපය දුකක්’ කියලා හිතනවා. ඒ උදවිය රූපය දුකක් කියලා හිතුවට දුකට හේතු හැටියට දකින්නෙත් රූපයමයි. එහෙම දැකලා ‘මේ රූප නැත්නම් කොච්චර හොඳද, මේ වේදනාව, සඤ්ඤාව, සංඛාර, නැත්නම්, මේ සිතත් නැත්නම් කොච්චර හොඳද?’ කියලා ඒ සඳහා හිත පුරුදු කරනවා. මේ ආකාරයට සිතට පුරුදු කරන කොට සිත ඊට අනුරූපව සකස් වෙනවා.

විඤ්ඤාණය මායාවක්...

බුදුරජාණන් වහන්සේ මේ හිතේ ස්වභාවය පෙන්වන්න හොඳ උපමාවක් දේශනා කළා. මේ විඤ්ඤාණය කියන්නේ මායාවක්(මායූපමඤ්ච විඤ්ඤාණං) මායාකාරයෙක් හතරමං හන්දියක මායා දක්වනවා වගේ දෙයක් තමයි මේ හිතේ තියෙන්නේ. මේ හිත තමන්ට ඕනේ ඕනේ පැත්තට හරවන්න පුළුවන් දෙයක්. අපි හිතන හිතන පිළිවෙලට අනුව, චේතනා පහළ කරන පිළිවෙලට අනුව කර්ම සකස් වෙනවා. පැවැත්ම සකස් වෙනවා. ඒ නිසාම තමයි අපට මේ පැවැත්ම නවත්වන්න පුළුවන් වෙලා තියෙන්නෙත්.
කායිකව පීඩා විඳින කොට ‘ අනේ මේ කය නැත්නම් කොච්චර හොඳ ද? කියලා හිතනවා. හිත නිසා දුක් විඳින කොට අනේ මට මේ හිතකුත් නැත්නම් කොච්චර හොඳද’ කියලා හිතනවා. දැන් මේ කෙනා මේකට හිත පුරුදු කරනවා. සමථ භාවනාවෙන් තමයි මෙයා මේ දේ කරන්නේ. සමහරු ඒ විදිහට සමථ භාවනාවෙන් අරූප ධ්‍යාන ලබනවා. එතකොට කය දැනෙන්නේ නැහැ. තවදුරටත් සිතත් දැනෙන්නේ නැති ස්වභාවයට පුරුදු කරනවා. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය දක්වාම සිත පුරුදු කරනවා. එතකොට මේ අයට වැඩෙන්නේ විභව තණ්හාව. විභව තණ්හාව තුළ සකස් වෙන්නේ අරූප භවය. එතකොට එයාට අරූප ලෝකය තුළ උපතක් සකස් වෙනවා.
අපට දැන් මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. ‘කාම ලෝකයේ රූපයත්, අරූප ලෝකයේ රූපයත් අතර වෙනසක් තියෙනවද?’ කියලා. පැහැදිලිවම වෙනසක් තියෙනවා. අපි හිතමු මනුෂ්‍යයෙකුට තදින් නින්ද යනවා. නිදාගෙන ඇහැරුණාට පස්සේ එයාගෙන් ඇහුවොත් “නිදාගත්තු වෙලාවේ කොහේද හිටියේ?” කියලා එයා කොහෙද හිටියේ, මොකද වුණේ කියලා දන්නේ නැහැ. නමුත් එයාගේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ප්‍රහාණය වෙලා නොවෙයි තිබුණේ. අරූප ලෝකයේ දීත් හරියට මේ වගේම පැවැත්මක් තමයි හිතේ සකස් වෙන්නේ. ඒ කෙනාට දැනෙන්නේ ‘හරියට හිත, කය නැහැ’ වගෙයි. නමුත් සතර මහා භූතයන්ගේ පැවැත්මෙන් සිත නිදහස් නැහැ. සිත හැම තිස්සේම සතර මහා භූතයන් සමඟ සම්බන්ධ වෙලා තමයි පවතින්නේ. ලෝවැඩ සඟරාවේ මේ විදිහේ කවියක් තියෙනවා.


සිත මිස කය නැති බඹලොව සතරකි
සිත නැතුවම කය ඇති බඹ තලයෙකි

නමුත් ඒ කවි පද දෙකේම ඇති ධර්මානුකූල හරය වැරදියි. සිත මිස කය නැති ලොවක් තියෙන්න බැහැ. සිත නැතුව කය විතරක් තියෙන ලෝකයක් තියෙන්නත් බැහැ. මොකද, විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ පිරිනිවන් පෑමෙන් පමණයි. වෙන කිසිම ක්‍රමයකට විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ නැහැ. අනෙක් කරුණ තමයි විඤ්ඤාණය පවතින්නේ රූපය, වේදනාව, සඤ්ඤාව, සංඛාර කියන ඉතිරි ස්කන්ධ තුළ බැසගෙනයි. ඒවා “අල්ලාගෙනයි, විඤ්ඤාණයට තනිවම පවතින්න පුළුවන්කමක් නැහැ. නමුත් සමහර අවස්ථාවල තමන්ට විඤ්ඤාණය නොදැනී තියෙන්න පුළුවන්. ශල්‍යකර්මවලදී එන්නත් දීලා සිහි නැති කරනවා. නමුත් විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ නැහැ. එන්නතේ බලපෑම අවසන් වුණ ගමන් සිහිය එනවා.


No comments:

Post a Comment