Labels

Saturday, September 5, 2015

විවාහ වූ පසුත් බඹසර රකින හැටි



මෙය ලියූ ලේඛකයාට වැරැදිලා ද? යනුවෙන් ඔබට සිතෙන්නට පුළුවනි. නැත. වැරැදි නැත. විවාහ වූ පසුත් බඹසර රැකිය හැකි ය. මේ ඒ පිළිබඳ ව කැරෙන ධර්මානුකූල විවරණයකි

 “කෙනෙක් විවාහ වන තුරු තම බඹසර රැකගනිමින් පිරිසිදු දිවියක් ගත කළ යුතුª ය.” යන්න ඔබ දන්නා කරුණකි. එසේ නම් එතැනින් ලිපිය පටන් ගනිමු. තමන් ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය සමඟ අතිනත ගැනීමට පෙර තම ජීවිතය පිිරිසිදු ව නිකැළැල් ව තබාගත යුතු ය. මෙය ‘කුමරි බඹසර’ ‘කුමර බඹසර’ යනුවෙන් හැඳින්වේ.

වෙනත් පුරුෂයන්, ස්ත්‍රීන් සමඟ කාමුක වූ හැසිරීමකින් තොර ව රකින මේ පිරිසිදුකම ස්ත්‍රීන්ට මෙන් ම පුරුෂයන්ට ද වැදගත් වේ. නිකැළැල් චරිතයකින් යුතු ව තම සහකරුවා හෝ සහකාරිය සමඟ ජීවිතයේ පළමු ආදර මිහිරියාව විඳගැනීම උතුම් වූවකි. එසේ නොවී අයාලේ ගිය ජීවිතයක් ඇතිව යුග දිවියක් ඇරඹීම අනෙකාට කරන අසාධාරණයකි;
ඔහු, ඇය කිසිදින බලාපොරොත්තු නොවන්නකි. එය විවාහ ජීවිතයේ සුන්දරත්වය නැති වීමට ද හේතු වේ. මෙහිදී කුමර බඹසර, කුමරි බඹසර යන්නෙන් කිසිවකු සමඟ ලිංගික, කාමුක සබඳතා ඇති කර නොගැනීම අදහස් වේ.

නමුත් විවාහ වූ පසු තම සහකරුවා, සහකාරිය සමඟ තෘප්තිමත් වීමක් සිදු වේ. මෙහි “විවාහ වූ පසුත් බඹසර රකිමු” යන්නෙන් එම තෘප්තිමත් වීමට තහංචි දැමීමක් සිදු නො වේ. එසේ විවාහකයන්ගේ බඹසර රැකීම කුමක් ද? එය ‘සදාර සන්තෝෂය’ නම් වේ. මේ පිළිබඳ ව කරුණු මජ්ක්‍ධිමනිකාය අටුවාවේත්, මහාධම්මපාල ජාතකයේත් සඳහන් වේ.
”එහි බ්‍රහ්මචරියාව යනුවෙන් දානයත්, වත්පිළිවෙත් කිරීමත්, ශික්ෂාපදත්, බ්‍රහ්මවිහාරයත්, ධර්ම දේශනාවත්, මෛථුනයෙන් වැළකීමත්, සිය බිරිඳගෙන් සතුටු වීමත්, උපෝසථයත්, ආර්යමාර්ගයත්, සියලු සාසනයත්, අභිප්‍රායත්, වීර්යයත් කියනු ලැබේ.” (මජ්ක්‍ධිමනිකාය අටුවාව, ඪඪ හේවාවිතාරණ මුද්‍රණය, 34 පිටුව)

මේ අනුව මෛථුන සේවනයෙන් වැළකීමත් බඹසර රැකීමකි. ඒ බඹසර රැකීම සිය බිරිඳගෙන් සතුටු වීම නම් වූ බඹසරට වඩා උතුම් වේ; අතිඋතුම් වේ. එසේ නම් සදාර සන්තෝෂය නම් වූ සිය බිරිඳගෙන් සතුටු වීම බඹසර වාසයක් වන්නේ කෙසේ ද? මහා ධර්මපාල ජාතකයේ ඒ කරුණ මෙසේ දක්වා තිබේ:
“අපි ද භාර්යාවන් ඉක්මවා නොයමු. භාර්යාවෝ ද අප ඉක්මවා නොයති. අපි භාර්යාවන් හැර අනෙක් ස්ත්‍රීන් කෙරෙහි බඹසර හැසිරෙමු...”

එසේ නම් කෙනෙක් විවාහ වූ පසු තම බිරිඳගෙන්, සැමියාගෙන් පමණක් සතුටු විය යුතු ය; අන් ස්ත්‍රීන්, පුරුෂයන් නොපැතිය යුතු ය. නකුල අම්මා සහ නකුල අප්පච්චි දෙදෙනා විවාහ වූ දා පටන් කිසි විටෙක මනසින් වත් ඔවුනොවුන් ඉක්මවා නොගිය බව සඳහන් වේ. සසර මතු මතුවටත් ඔවුනොවුන්ට ඔවුනොවුන්ම එක් විය හැකි වන්නේ එවැනි පෙම්වතුනට ය. තම බිරිඳ, සැමියා මනසින් වත් ඉක්මවා නොසිටින්නට සෑහෙන දියුණු මනසක් තිබිය යුතු ය. එවැනි දියුණු මනසක් ඇත්තකුට තම විවාහ ජීවිතය සාර්ථක කරගැනීමටත්, ඉක්මනින් සසර ගමන නිමා කිරීමටත් පුළුවනි.

මෙහිදී අප විසින් වරදවා නොගත යුත්තක් ද ඇත. එනම් පොහොය අටසිල්, දසසිල් සමාදන් වන විට “අබ්‍රහ්මචරියා වේරමණී...” යනුවෙන් සමාදන් වන අඹුසැමි යුවළක් එම සිල් පදය සමාදන් වී මෛථුනයෙහි යෙදුණ හොත් සිල් බිඳේ. සාමණේර පැවිද්දාට ද මෛථුනයේ යෙදීමෙන් පැවිද්ද අහිමි වේ. උපසම්පදා භික්ෂුවක් මෛථුනයෙහි යෙදුණ හොත් නැවත ඒ ජීවිතයේ කිසිදු දිනක උපසම්පදාව ලැබිය නොහැකි වන සේ පරිජි වේ. උපසම්පදාව අහිමි වේ.

එසේ නම් මේ ‘සදාර සන්තෝෂය’ නම් වූ බඹසර අදාළ වන්නේ විවාහ වූ ගිහියන්ගේ සාමාන්‍ය ජීවිතයට ය. ‘බ්‍රහ්මචරියාව‘ යන්නෙහි ‘උතුම් හැසිරීම’ යන අරුත ද ඇත. තම සහකරුවා හෝ සහකාරියගෙන් පමණක් සතුටු වීම උතුම් හැසිරීමකි.

කරුණු මෙසේ ය. එසේ නම් ගිහි කාමභෝගී පින්වතුනි, ඔබට මෙම ආරාධනාව කර සිටිමි. ඔබත් ඔබේ පවුල් ජීවිතය පිරිසිදු ව රැකගන්න. මනසින් වත් වෙනත් අයකු සමඟ කම් සුව පතා සිත අපිරිසිදු කර නොගන්න. නකුල මවුපියන් මෙන් එක් ව ගුණදම් වඩා, සසර සුවපත් කරගන්න. ද
(මජ්ඣිමනිකාය අටුවාව, ජාතක පාළිය, සක්කනමස්සන සූත්‍රය ඇසුරු කැරිණි).


 එච්. ඩබ්. සමරසිංහ

 2012 මැයි මස නමස්කාර  පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment