Labels

Thursday, September 3, 2015

බුදු දහම සුරැකිය යුත්තේ ඇයි?

  

සත්වයෝ උපදින්නේය. ඉපිද දිරන්නේය. දිරා මරෙන්නේය. එපමණක්‌ ද නොව නැවත නැවතද ඉපදෙමින් දිරමින් මැරෙමින් සසරෙහි ඇවිදින්නේය.එය සැමටම පොදුවූ ධර්මතාවයකි. එසේ නමුදු බොහෝ සත්වයනට ඒ දුක්‌ඛ සමුදාය පිළිබඳ අවබෝධයක්‌ද නැත්තේය. අවබෝධ කරගැනීමට උත්සහ කරන්නෝද ඉතා ස්‌වල්පය.

ජරා මරණයන් අවබෝධ කිරීමට උත්සහ කරන්නාවූ ඇතැම් සත්වයෙක්‌ 'මේ දුකින් තමා පමණක්‌ මිදිය යුතු නොවන්නේය, තව බොහෝ සත්වයන්ද දුකින් මිදෙන්නේ නම් ඉතා යහපත්ය' යනුවෙන් සිතා බොහෝ සත්වයන් පිළිබඳ අනුකම්පා පෙරදැරිව වීර්ය වඩන්නේ වෙයි. එසේ වීර්ය වඩන්නා වූ සත්පුරුෂයෝ සාමාන්‍ය පුද්ගලයකුට කළ හැකි සීමාව ඉක්‌මවූ කැපවීමකින් යුක්‌තව කුසල් දහම් දියණු තියුණු කොට ජරා මරණයන් අවබෝධ කරගනී. ජරා මරණයන්ගේ හේතුව සිඳ දමයි. ජරා මරණයන්ගෙන් මිදීම ප්‍රත්‍යක්‍ෂ කරයි. ඒ සඳහා කළ යුත්ත සිදුකර අවසන් කරයි. එසේ සියල්ල පිලිබඳ ප්‍රත්‍යක්‍ෂ අවබෝධයකින් සියල්ල අවසන් කර පතලා වූ මහා කරුණාව මූලික කොටගෙන සෙසු සත්වයන් දුකින් මුදවනු වස්‌ ධර්මය දේශනා කරනු ලබයි. එසේ දේශනා කරනු ලබන ධර්මය බුද්ධ දේශනාව නම් වේ. ඒ දේශනාව තුලින් බොහෝ සත්වයන්ට හිත සුව සැලසෙනු ඒකාන්තය.

ඒ දේශනාව තුලින් සත්වයින්ට හිත සුව සැලසෙන්නේ කෙසේද?

ඒ උතුම් බුද්ධ දේශනාව තුලින් සත්වයෝ විඳින්නාවූ දුක මනාව පෙන්වා දෙනු ලබයි. එනම් ඉපදීම දුකෙකි, දිරීම දුකෙකි, ව්‍යාධිය දුකෙකි, මරණය දුකෙකි, සෝක පරිදේව දුක්‌ඛ දෝමනස්‌ස උපායාසයෝ දුක්‌ඛයෝය, අප්‍රිය දේ සමග එක්‌වීම දුකෙකි, ප්‍රිය දෙයින් වෙන්වීම දුකෙකි, සැකෙවින්ම පවසතොත් පංචඋපාදානස්‌කන්ධයම දුකෙකි යනුවෙන් දුක මනාව පෙන්වා දෙනු ලබයි. ඒ එසේයි. ජරා මරණයෝ දුක්‌ඛයෝමය. ලැබුවා වූ දිවිය ජරාවෙන් දුබල කරන්නේය. අවසන සිඳ දමන්නේය. එසේම අතරෙහිදී දුක්‌ දොම්නස්‌ බොහෝකොට ගෙන දෙන්නේය. එබැවින් ඒවා දුක්‌ම වේ. ඒ සියලු දුක්‌වලට මූලික වන්නේ පංචඋපාදානස්‌කන්ධයම බැවින් පංචඋපාදානස්‌කන්ධයම දුකෙකි.

ඒ පංච උපාදානස්‌කන්ධය යනු අන් කිසිවක්‌ නොව ඔබගේම සිත හා කය වේ. සිත හා සබැඳි සිතිවිලි එක්‌ව ගත් කල වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්‌කන්ධ සතර ලැබේ. කයගත් කල රූප උපාදානස්‌කන්ධය ලැබේ. එවිට පංච උපාදානස්‌කන්ධයම ලැබී තිබේ. එබැවින් දුක යනු අන් කිසිවක්‌ නොව තමාගේම සිත හා සිතුවිලිත් තමාගේම ශරීරයත් බව අවබෝධකොට ගත යුතුය. එනම් ජරාවට පත්වන්නේ ඔබගේ කයයි. ව්‍යාධියට පත්වන්නේ ඔබගේ කයයි. මරණයට පත්වන්නේ ඔබගේ සිත හා කය යන දෙකයි. සෝක පරිදේව දුක්‌ඛ දෝමනස්‌ස උපායාස ගෙන දෙන්නේ සිතයි. ප්‍රිය අප්‍රියභාවය ගෙනදෙන්න සිතයි. එබැවින් සියලු දුක්‌ඛස්‌කන්ධයම ගෙනදෙන්නේ ඔබගේම සිතත් ඔබගේම කයත් හැර අන් කවරක්‌ද? එබැවින් පංචඋපාදානස්‌කන්ධ නම් වූ සිතහා කය යනු දුකක්‌මය. මෙලෙස බලන කල දුක මනාව වැටහෙනු නියතය.

දුක පමණක්‌ නොව දුකට හේතුවත් මනාව දක්‌වා තිබේමය. එනම් තෘෂ්ණාවයි. ඔබ යමකට තෘෂ්ණාවක්‌ ඇතිකර ගනීද, ඇල්මක්‌, ආශාවක්‌, ප්‍රියභාවයක්‌ ඇතිකර ගනීද එය ප්‍රත්‍ය කොටගෙන සසරෙහි ඇලීම් වශයෙන් බොහෝ කුසල් අකුසල් රැස්‌ කරනු ලබයි. ඒවායේ විපාක ලෙස නැවත නැවත උප්පත්තීන් ලබයි. එසේ නැවත නැවත ප්‍රිතිසන්ධි ගන්නා කල ඔබට හිමි වන්නේ එක්‌කෝ සිතකි, එක්‌කෝ කයකි, නොමැතිනම් දෙකෙහිම එකතුවකි. කුමන ලෝකයෙහි කුමන අයුරින් ප්‍රතිසන්ධි ලැබුවේද ඔබට හිමි වී ඇත්තේ සිතක්‌ හෝ කයක්‌ හෝ දෙකම හෝ නම් ඔබ දුකෙහි උරුම කරුවෙකි. ඒ දුක යනු සිත හා කයම බැවිනි.

එබැවින් ඔබ සතර අපායෙහි ගියේද සිත හා කය පවතින බැවින් එහි දුක පවතී. මනුලොව පැමිණියේද සිත හා කය පවතින බැවින් දුක පවතී. දෙව්ලොව ගියේද සිත හා කය පවතින බැවින් දුක පවතී. බඹ ලොව ගියේද සිත හා කය පවතින බැවින් දුක පවතී. අසඤ්ඤසත්තයෙහි ගියේද කය පමණක්‌ හෝ පවතින බැවින් දුක පවතී. අරූප තලයෙහි ගියේද සිත පමණක්‌ හෝ පවතින බැවින් දුක පවතී.මෙසේ තුන් ලෝක ධාතුවෙහි කොහේ හෝ සිතක්‌ හෝ කයක්‌ හෝ සහිතව උපදී නම් දුක උරුම වන්නේම වේ.

එබැවින් ඔබ තෘෂ්ණාව මුල්කොට කුමක්‌ හෝ කරනු ලැබේද ඒ හේතුවෙන් නැවත නැවත ප්‍රතිසන්ධි ලැබීම් වශයෙන් දුකම උරුම වේ. එබැවින් දුක නැවත නැවත ඇතිවීමට හේතුව තෘෂ්ණාව බව මනාව පෙන්වා දී තිබේ.

දුකට හේතුව පමණක්‌ නොව දුකින් මිදීමද මනාව පෙන්වා දී තිබේ. එයනම් නිවනයි. නිවන නම් නැවත නූපදිමයි. යම් ලෙසකින් උප්පත්තියක්‌ ගනීද එකල්හි සිත හෝ කය හෝ දෙකම හෝ ප්‍රතිසන්ධි ලෙස ලබයි. එවිට ජරා මරණයෝද පැමිණෙයි. එබැවින් යම් ලෙසකින් සිත හා කය ප්‍රතිසන්ධි ගැනීම වලක්‌වා ගත හැකි නම් ජරා මරණයන්ගේ පැමිණීමක්‌ද නැත. එසේ ජරා මරණ වලකනු වස්‌ ප්‍රතිසන්ධිය වැළැක්‌වීම නිවනයි. ඒනිවන නම් වූ ප්‍රතිසන්ධිය වැළැක්‌වීම පිණිස ප්‍රතිසන්ධියේ හේතුව වැළැක්‌විය යුතුය. කිමද යත් මුල ශක්‌තිමත් නම් කඳ කපා හෙලුවේද ගස ලියලන බැවිනි. එබැවින් ගස ලියලීම නම් වූ ප්‍රතිසන්ධිය වැළැක්‌වීම පණිස ශක්‌තිමත් මුල නම් වූ හේතුව නැතිකළ යුතුය. ඒ ප්‍රතිසන්ධියේ හේතුව නම් තෘෂ්ණාව බව දැක්‌වීමු. එබැවින් දුක නවතනු වස්‌ තෘෂ්ණාව නැවතීම කළ යුතුය.

එය සිදුකරන්නේ කෙසේද? එයද මනාව පෙන්වා තිබේ. එය නම් යමක්‌ කෙරෙහි තෘෂ්ණාව ඇති වේද එහි අනිත්‍යතාව, දුක්‌ඛතාව, අනාත්මතාව එතුළින්ම දැකීමයි. එනම් උපාදාන කරගන්නා වූ පංචස්‌කන්ධයෙහි අනිත්‍ය දුක්‌ඛ අනත්ත බව දැකීමයි. ඒ මෙසේයි.

පළමුකොටම සිත හා කය දුක ලෙස දැකීමෙන් අනතුරුව ඒ සිත හා කය ඇතිවීමටත් පැවතීමටත් නැතිවීමටත් හේතු විමසිය යුතුය. ඒවානම් අවිද්‍යාව තෘෂ්ණාව, කර්මය හා ආහාර වේ. ඒවා ප්‍රත්‍ය වීම මත සිත හා කය ඇතිවීමත්, පැවතීමත්, නැතිවීමත් සිදුවේ.

අනතුරුව ඒ සිත හා කය රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස්‌ පහට බෙදාගෙන එකක්‌ එකක්‌ ගෙන එය අනිත්‍ය වන්නේමද? එසේ නම් කෙසේද?, දුක්‌ඛ වන්නේමද? එසේනම් කෙසේද?, අනාත්ම වන්නේමද? එසේනම් කෙසේද? යනුවෙන් විමසා බැලිය යුතුය. (එසේ කළ යුත්තේ තමාගේම සිත හා කය බව සිහි තබාගන්න. තමා දෙස බැලීමෙන් අනතුරුව බාහිර දේ බැලිය යුතුය.) එසේ බලන කල ඒවා යේ අනිත්‍යබව, දුක්‌ඛබව අනාත්ම බව මැනවින් ප්‍රකට වේ. එසේ ප්‍රකටවන කල ඒවා කෙරෙහි තිබූ තෘෂ්ණාව ක්‍රම ක්‍රමයෙන් දුරුවේ. අවසාන තෘෂ්ණාව සදහටම නැතිවී යාමෙන් දුකෙහි නිධානය සදහටම නැතිවී යයි. එයින් සදාකාලික නිවන උරුම වීම සිදුවේ. ඒ නිවන ලැබීමද එසේ මනාව දක්‌වා තිබේ.

මෙසේ දුකද දුකට හේතුවද දුක නිවීමද දුක නිවන මගද මනාව දක්‌වමින් ඒ උතුම් වූ බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කර වදාළ සේක. ඒ ධර්මය ශ්‍රවණය කිරීමෙන් අපරිමාණ සත්වයෝ සදාකාලික සැනසීමට පත්වූ සේක. මෙකලද නිසි මඟ යන්නෝ දුකින් මිදෙන සේක. මත්තෙහිද නිසි මඟ යන්නෝ දුකින් මිදෙන සේක. එසේ යම් තාක්‌ කල් බුදු සසුන නිර්මලව පවතීද ඒතාක්‌ කල් සත්වයෝ මේ ලෝක පරලෝක නිර්වාණ වශයෙන් සැනසෙන්නේය. එබැවින්ම මේ සම්බුදු සසුන චිරස්‌ථායි විය යුතුමය. ඒ උදෙසා කැපවීමද හිත සුව පිsණිස වන්නේමය. එබැවින් සියලු සත්පුරුෂයෝ සම්බුදු සසුනේ චිරස්‌ථිතිය සැලසෙන සේ ධර්මානුකූලව දිවිපෙවෙත් ගත කෙරෙත්වා. ප්‍රතිපත්තිකාමීව ප්‍රතිපත්ති ගරුකව කුසල් දහම්හි හැසිරෙත්වා. ධර්මයෙන් පිට නොයත්වා. සම්බුදු සසුන සුරකිත්වා. අවසානයේ සියලු සත්ත්වයෝ නිවනින්ම සැනසෙත්වා...! 


 වැල්ලවායේ සුමනබෝධි හිමි

2015 නිකිණි මස 29 වැනිදා සෙනසුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment