නිවන් මග අවුරවා-ලන අකුසල් සිතුම් අවුළුවන පාපි සිතිවිලි නොපිවිසෙන සේ ඉන්ද්‍රිය ද්වාරයන් අහුරා-ලීම කෙරෙහි මේ හිමිපාණෝ අප සිත් යොමු කරවති.
බුදු රජාණන් වහන්සේ විසින් නිරෝධය පිණිස දෙසූ ඒකායන මාර්ග ප්‍රතිපදාව ආර්යෂ්ටාංගික මාර්ගය වන්නේය. සත්ත්වයා පිළිබඳ පැවැත්ම තහවුරු වන්නේ විඤ්ඤාණය අරමුණක එල්බගැන්මෙන් පසු එය අභිවෘද්ධියට පත් වීමෙන් සිදු වන මිථ්‍යාක්‍රියාවලිය නිසා බව මෙයට කලින් විස්තර කරන ලදී. එම මිථ්‍යා ප්‍රතිපදාව අවිද්‍යාව මුල් කොට පවතියි. ආර්යෂ්ටාංගික මාර්ගය පිළිබඳ වටහාගැන්මත් සමගම ඔහු මිථ්‍යා ප්‍රතිපදාවෙන් මිදී සම්‍යක් ප්‍රතිපදාවට යොමු වීමේ පැහැදිලි පරිවර්තනයට භාජන වෙයි. එය විද්‍යාව පහළ කරගැන්ම හෙවත් සම්මාදිට්ඨීයට බැසගැන්ම වශයෙන් සැලකේ.
ආර්යමාර්ගය අනුගමනය කිරීම ආරම්භ වන්නේ මෙසේ සම්මාදිට්ඨීය පහළ කරගැනීමත් සමගය. එහිදී මිථ්‍යා හා සම්මා ප්‍රතිපදා ද්වය බුදුසමයට සුවිශේෂ වූ කුසල් සහ අකුසල් යන ආචාර ධර්මීය සංකල්පයකින් අර්ථවත්ව භාවිතයට යොමු වේ. මිථ්‍යා ප්‍රතිපදාවට අනුකූල ක්‍රියා අකුසල වශයෙන් හැඳින්වෙන අතර, සම්මාදිට්ඨියට එකඟව මිථ්‍යා ප්‍රතිපදාවෙන් වැළකී සිටීම කුසල වශයෙන් සලකනු ලැබේ. එහිදී සම්මාදිට්ඨීයට එකඟව කාය-වාග් ද්වාරයන් තුළින් මිථ්‍යා ප්‍රතිපදාවෙන් වැළකී සිටීම බුදුසමයේ ශීලය පිරීම ලෙස හඳුන්වා තිබේ. සම්මාදිට්ඨීයට අනුකූල අර්ථවත් විරමණ රැසක් තුළ ජීවිතය හසුරුවාගැන්ම හෙවත් මිථ්‍යාසහගතව විවිධාකාරයෙන් විසිර යන පුද්ගල ජීවිතය සම්‍යග් අරමුණු ඔස්සේ පැහැදිලි ක්ෂේත්‍රයක් තුළ රඳවාගැන්ම බෞද්ධ ශීල සමාදානයේ අභිප්‍රාය වන්නේය.
ආර්යෂ්ටාංගික මාර්ගය අනුගමනය සම්බන්ධ මෙම ක්‍රියා පද්ධතිය ජීවිතය කුසලයට යොමු කිරීමෙන් පමණක් නොනවතී. එය ඉදිරියටත් අකුසලයට ප්‍රතිපක්ෂ වූ කුසල සංකල්ප අභිවර්ධනයට පත් කරගනිමින් වැඩිය යුතු වන්නේය. කාමය අකුසල සංකල්පයකි. ආර්යමාර්ගයට අනුව ඉන් වැළකීම වූ නෙකඛම්ම සංකල්පයෙහි පිහිටුවනු ලැබේ. අනතුරුව නෙක්ඛම්මයට පරිවර්තනය වූ සිත තුළ කුසල පක්ෂයට අයත් විරාගය වර්ධනය කරගත යුතු වන්නේය. එසේම ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ වූ අව්‍යාපාද කුසල සංකල්පයෙහි පිහිටීමද, අනතුරුව එම කුසල සිත තුළ මෛත්‍රිය අභිවර්ධනයට පත් කිරීමද විහිංසාවෙන් වැළකෙන සිත අවිහිංසාවෙහි පිහිටි පසු කරුණාව වර්ධනය කරගැන්මද කළ යුතු වේ. මෙම ක්‍රියා පද්ධතිය සාර්ථක ලෙස ඉටු කරගත හැකි වන්නේ අවිද්‍යාවෙන් ඉවත් වන, සම්මාදිට්ඨීයෙහි පිහිටන සිත තුළ ප්‍රඥාව අභිවර්ධනයට පත් කරගැනීමෙනි.
මෙම කරුණු අවබෝධ කරගැන්මෙන් පසුව පුද්ගලයා තුළ මාර්ගඥානයත්, ප්‍රත්‍යවේක්ෂා ඥානයත් පිහිටන්නේය. එබඳු වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දර්ශන සම්පන්න වූ, ශේඛ වූ ඥානයෙන් සමන්විත වූ, සද්ධර්මයට පැමිණි, නිවන් දොරටුවෙහි හැපී සිටියකු ලෙස සංයුත්ත නිකාය හඳුන්වයි.
ආර්ය මාර්ගඥානයෙහි පිහිටන ඔහු ස්වකීය සිතෙහි ඉන්ද්‍රිය අරමුණු නිසා පහළ වන සිතිවිලි පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කොට බලන්නේය. එහිදී ඔහුට අරමුණු නිමිති වශයෙන් නොගෙන සිටීමට ශක්තිය ලැබෙන්නේය (චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති). එසේ හික්මෙන ඔහු තුළ තෘෂ්ණාව තුනි වීමෙන් සංස්කාර රැස් වීමක් සිදු නොවීම නිසා අනුක්‍රමයෙන් පැවැත්ම අවසන් වී යන්නේය. ආර්ය මාර්ගය තුළින් අභිප්‍රේත මූලික අපේක්ෂාව එය වේ. මේ සඳහා ආර්යෂ්ටාංගික මාර්ගයේ ඒ ඒ අංග අවස්ථාවෝචිත පරිදිඅනවරතයෙන් අනුගමනය කිරීම සිදු කළ යුතු වේ.
ආර්යෂ්ටාංගික මාර්ගය වැඩීම සම්බන්ධයෙන් පෙළ පොතෙහි සූත්‍ර රාශියකම කරුණු සඳහන් කොට තිබේ. එයින් මජ්ක්‍ධිම නිකාය මහාචත්තාරීසක සූත්‍රය විශේෂ වූ පැහැදිලි ධර්ම පර්යායක් ඉදිරිපත් කරයි. එයට අනුව ආර්යෂ්ටාංගික මාර්ගය (1) ආශ්‍රව සහිත කුසලයන්ට අයත් වූ විපාක දෙන ස්වාභාව ඇති (සසාවපුඤ්ඤභාගීය උපධි වේපක්ක මග්ග) මාර්ගය හා (2) ආර්ය වූ ආශ්‍රව රහිත ලෝකෝත්තර මාර්ගාංගය (අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා) යනුවෙන් කොටස් දෙකකට වෙන් කොට දක්වා තිබේ. ඇතැමකුගේ අදහසේ හැටියට මින් පළමු වැන්න ආචාර ධර්මීය පක්ෂය භජනය කරන ලෞකික ජීවිතයේ සුභ සිද්ධිය පිණිස වෙන් වූවකි. නිවන් පිණිස අනුගමනය කළ යුතු සේ සැලකෙන්නේ දෙවැන්නය.
බුදුදහම අනුව පාරභෞතික වූ විමුක්තිය පමණක් නොව, ලෞකික සුඛාන්වේෂණයෙහි යෙදී සිටින සත්ත්ව ප්‍රජාවගේ සන්තුෂ්ටිය පිණිස වූ භෞතික ක්‍රියාවලියේ සුභසිද්ධිය උදා කරන ප්‍රතිපදාවක් ඇති බව පැහැදිලි සත්‍යයකි. ඒ සඳහා මෙම පළමුවැනි ආර්යමාර්ගය යොදාගත හැකි බවද එවැනිම සත්‍යයකි. එසේ වුවත් බෞද්ධ ප්‍රතිපදාවේ මූලික අරමුණ කිසිවිටෙකත් භෞතික ජීවිතයෙන් පමණක් නොනවතී. එය පුද්ගලයා අධ්‍යාත්ම වශයෙන් අනුක්‍රමයෙන් උත්තරීතර භාවයට පත් කරමින් අවසාන ඵලය වූ විමුක්තිය කරාම ගමන් කරවයි. මේ නිසා මෙහි පළමුවැන්න ලෞකික ජීවිතයට පමණක් අදාළ වූ මාර්ගයක් ලෙස නොසැලකිය යුතු වන අතර, එය නිවන් මාවතෙහි ගමන් කරන්නා විසින් අනුගමනය කළ යුතු මූලික අවස්ථාව වශයෙන් සැලකීම වඩාත් උචිතය. එය අනුගමනය කරමින් ඉදිරියට යන ඔහුට දෙවැනි මාවතටද පිවිසී, එයද අවසන් කිරීමෙන් නිවන සාක්ෂාත් කරගන්නට හැකි වන බව පැහැදිලිය.
මෙම පළමු වන මාර්ගයේදී සම්මා දිට්ඨිය වශයෙන් හඳුන්වා ඇත්තේ හුදෙක් මිථ්‍යාදෘෂ්ටිය හා සම්මාදිට්ඨීය වෙසෙසා හඳුනාගැනීමේ හැකියාවයි. එය ලැබීමෙන් අනතුරුව ඔහු ‘කර්මයන්හි ඵල විපාක ඇත’ යන පැහැදිලි දැනීම මත පිහිටා ක්‍රියා කරයි. දෙවැනි මාර්ගයේදී සම්මා දිට්ඨීය වශයෙන් හඳුන්වා ඇත්තේ පඤ්ඤා, පඤ්ඤින්ද්‍රිය, පඤ්ඤාබල, ධම්මවිචය සම්බොජ්ඣංග ආදියෙන් යුක්ත වීමය. සම්මා දිට්ඨිය වැඩීමේදී සම්මා වායාම, සම්මා සති යන අංගයන්ගේ සහාය හා එකතුවද අවශ්‍ය බව දැක්වේ. සම්මා සංකල්පය පිළිබඳ විස්තරයේදී මෙම කරුණ වඩාත් පැහැදිලි වනු ඇත. කාම, ව්‍යාපාද, විහිංසා යන මිථ්‍යා සංකල්ප, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන ප්‍රතිවිරුද්ධ සංකල්පයෝ සම්මා සංකල්පයෝ නම් වෙති. එය ක්‍රියාත්මක වන ආකාරය මෙසේ විස්තර කොට තිබේ:
“සෝ මිච්ඡාසංකප්පස්ස පහානාය වායමති සම්මා සංකප්පස්ස උපසම්පදාය. සෝස්ස හෝති සම්මා වායාමෝ. සෝ සතෝ මිච්ඡාසංකප්පං පජහති සතෝ සම්මාසංකප්පං උපසම්පජ්ජ විහරති සාස්සහෝති සම්මාසති. ඉතිස්සිමේ තයෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිධාවන්ති. අනුපරිවත්තන්ති සෙය්‍යාථිදං සම්මා දිට්ඨි සම්මාවායාම සම්මා සති...”
“හෙතෙම මිථ්‍යාසංකල්පය පහ කිරීමටද සම්‍යක්සංකල්පයට පැමිණීමටද වෑයම් කෙරේද, ඔහුගේ මෙය සම්මා වායාමය වේ. හෙතෙම සිහියෙන් යුක්ත වූයේ මිථ්‍යා සංකල්පය දුරු කරයි. සිහියෙන් යුක්ත වූයේ සම්‍යක් සංකල්පයට පැමිණ වෙසේ. මෙය ඔහුගේ සම්‍යක් සතිය වන්නේය. මෙසේ ඔහුගේ මෙම ත්‍රිවිධ ධර්මයෝ සම්‍යක් සංකල්පයට පිරිවර වෙත්; අනුව පවතිත්. එනම්: සම්මා දිට්ඨී, සම්මා වායාම, සම්මා සති යන තුනයි.”
මෙහිදී සම්මා දිට්ඨීය පෙරටු වීමෙන් මිථ්‍යා හා සම්මා සංකල්ප වෙසෙසා හඳුනාගැනීමට ශක්තිය ලැබේ. ඔහුට කුසල අකුසල වෙසෙසා මැනවින් හඳුනාගත හැකි බැවින් වෑයමෙන් තම සිත කුසල් පක්ෂයට නැඹුරු කරගන්නට හැකි වේ. ඒ අනුව කාම, ව්‍යාපාද, විහිංසා යන සංකල්පවලින් ඈත්ව උත්සාහ කිරීමෙන් නෙකඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන සංකල්පවල පිහිටන්නට හැකියාව ලැබෙයි.
මෙකී සංකල්පනාවන් සංඥාවන් නිසා පහළ වන බව මජ්ක්‍ධිම නිකාය සමණ මණ්ඩිකා සූත්‍රයේ සඳහන් කොට තිබේ. කාමධාතුව නිසා කාමසංඥාවන් පහළ වන බව සංයුත්ත නිකාය සතිදාන සූත්‍රයේ විස්තර වේ. එහි මෙසේ සඳහන් කොට ඇත:
“කාම ධාතුං භික්ඛවේ පටිච්ච උපපජ්ජති කාම සංඥා, කාම සංඥං පටිච්ච උප්පජ්ජති කාම සංකප්පෝ, කාම සංකප්පං පටිච්ච උප්පජ්ජති කාමච්ඡන්දෝ, කාමච්ඡන්දං පටිච්ච උප්පජ්ජති කාම පරිලාහෝ, කාම පරිලාහං පටිච්ච උප්පජ්ජති කාම පරියේසනා, කාම පරියේසනං භික්ඛවේ පරියේසමාමෝ අස්සුතවා පුථුජ්ජමෝ තීහි ඨානේහි මිච්ඡා පටිපජ්ජති කායේන වාචාය මනසා.”
“මහණෙනි, කාම ධාතුව නිසා කාම සඥාව උපදී. කාම සංඥාව නිසා කාම සංකල්පය උපදී. කාම සංකල්පය නිසා කාමච්ඡන්දය උපදී. කාමච්ඡන්දය නිසා කාම පරිදාහය උපදී. කාම පරිදාහය නිසා කාම පර්යේෂණාව උපදී. මහණෙනි, කාම පර්යේෂණය කරන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් කරුණු වරදවා පිළිපදී.”
යන මෙම විස්තරයට අනුව කාම ධාතුව මුල් කොට පුද්ගලයා කාමයෙහි අපේක්ෂාවෙන් එය සොයා යන බව පැහැදිලිය. කාම සංකල්පනාවන් පහළ වන්නේ ඊට හේතු වන ඉන්ද්‍රිය අරමුණු (ෂඩේන්ද්‍රියයන් හා ෂඩාරම්මරණයන්) එක් වීමෙනි. සැබවින්ම කාමය යන්න ඉන්ද්‍රිය අරමුණු නිසා සිතෙහි පහළ වන මිථ්‍යා ප්‍රතිපදාවට අයත් සිතෙහි විකසිත අවස්ථාවකි. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ සළායතන සූත්‍රයේ සඳහන් වේ. ඒ අනුව කාමය අධ්‍යාත්ම හා බාහිර ආයතන වශයෙන්ද, චක්ඛු සම්ඵස්සාදි වශයෙන්ද කොටස් සය බැගින් වන අතර, එම බාහිර ආයතනාදිය ඉන්ද්‍රිය අරමුණු හා ගැටීමෙන් (ඪ) සෝමනස්ස, (ඪඪ) දෝමනස්ස, (ඪඪඪ) උපේක්ඛා යනුවෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදේ.
“කාමයෙහි ප්‍රතිවිරුද්ධ පක්ෂය නෙක්ඛම්මයයි. නෙක්ඛම්ම ධාතුව නිසා නෙක්ඛම්ම සංඥාවත්, නෙක්ඛම්ම සංඥාව නිසා නෙක්ඛම්ම සංකප්පයත්, නෙක්ඛම්ම සංකප්පය නිසා නෙක්ඛම්මඡන්දයත් නෙක්ඛම්මච්ඡන්දය නිසා නෙක්ඛම්ම පරිලාභයත් උපදින්නේ යයි සනිදාන සූත්‍රයේම විස්තර කර තිබේ.
මෙහිදී ආර්යශ්‍රාවකයා විසින් කාම ව්‍යාපාදාදි මිථ්‍යා සංකල්පයන් දුරු කොට, මෙම නෙක්ඛම්ම අව්‍යාපාදාදි සම්‍යක් සංකල්පනයන් ඇති කරගැන්ම පිණිස වැර දැරිය යුතු වේ. එම උත්සාහය සම්මා සංකල්පය වැඩීමට උපකාර වන සම්මා වායාමය යි. තම සිතට නැගෙන අනේකාකාර සිතිවිලි වෙසෙසා හඳුනාගත හැකි වන්නේ ආර්ය ශ්‍රාවකයා සෑම විටම සම්මාදිට්ඨීය පෙරටු කොට සිටින බැවිනි. ඉන්ද්‍රිය අරමුණු මුල් කොට කවර සිතිවිල්ලක් වුවද සිතෙහි උපදින විටම දැන් තමා තුළ මෙබඳු සිතිවිල්ලක් උපන්නේයයි වහා දැනගත හැකි වන්නේ එළඹ සිටි සිහියෙන් සිටිය හොත් පමණි. සම්මා සංකප්පය පිරිය හැක්කේ තම සිත තුළ උපදින සිතිවිලි පිළිබඳව අවදියෙන් සිටීමෙනි. සිහිය පිහිටුවා සිතිවිලි පිළිබඳව එසේ අවදියෙන් සිටීම මෙහිදී සම්මා සතිය වශයෙන් සලකනු ලැබේ. එය සම්මා සංකප්පය පිරීමට උපකාරී වන සම්මා සතිය වෙයි.
මේ අනුව සම්මාසංකප්පය සපුරාගනු වස් සම්මා දිට්ඨී සම්මා සති, සම්මා වායාම යන අංගයන්ගේද පූර්ණ සහාය අවශ්‍ය බව පැහැදිලිය. ආර්යෂ්ටාංගික මාර්ගය සම්බන්ධ ගතානුගතික විස්තර කථනවල මෙසේ එක් එක් අංග සම්පූර්ණ කරගැනීම පිණිස අනෙක් අංග කිහිපයක සහාය ලබාගත යුතු බවක් පැහැදිලි කොට ඇති බව දැකගන්නට නැත. ඒවායේ විස්තර වන්නේ ඒ ඒ අංග හුදෙකලාව වෙන වෙනම පුරමින් පිළිවෙළින් ඉදිරියට ගමන් කළ යුතු බවකි.
මෙම උපකාරක අංගයන් පිළිබඳව මෙහිදීම විස්තරයක් කිරීම සුදුසුයයි සිතමි. සම්මාදිට්ඨීය පිළිබඳව මුලින් දීර්ඝ ලෙස විස්තර කොට ඇත. එය සම්පූර්ණ කරගැනීමටද සම්මාසති හා සම්මා වායාම යන අංගද්වයයේ පිහිට ලබාගත යුතුමය. අනතුරුව එම මාර්ගය අනුගමනය කරන මුළු කාලය තුළම සම්මාදිට්ඨීය ප්‍රමුඛත්වයෙන් සිටිය යුතු වේ.
මෙහි දැක්වුණ සම්මා සතිය යන්න බොහෝ ග්‍රන්ථවල විස්තර කොට ඇත්තේ සතර සතිපට්ඨානය යන කෙටි හැඳින්වීමෙනි. සැබැවින්ම සම්මාසතිය නිසි ලෙස වටහා නොගත හොත් නිර්වාණ මාර්ග ප්‍රතිපදාව නිවැරදිව අනුගමනය කළ නොහැකි වන්නේය.
පෙළ පොතෙහි බොහෝ තැන්වල සතෝ සති යන යෙදුම් නැවත නැවතත් හමු වේ. එහෙත් එහි වචනාර්ථය ඉක්මවා ගැබ්ව ඇති ප්‍රායෝගික අර්ථය පිළිබඳව විමසා බලන උගත්තු අල්පයහ.
සූත්‍ර පිටකයේ නිවන්මග විස්තර කරන බොහෝ සූත්‍රවල සතෝ සම්පජානෝ යන යෙදුම නිතර නිතර දක්නා ලැබෙන අතර, සුත්තනිපාත පාරායන වර්ගයේ සූත්‍ර කිහිපයකම සතෝ යන්න අර්ථවත් ලෙස යෙදී තිබේ. එහි මෙත්තගුමානව පුච්ඡාවේහි සතෝවරං යනුවෙන්ද එහිම, 1060 ගාථාවේ “ඒවං විහාරී සතෝ අප්පමත්තෝ” යනුවෙන්ද ධෝධක සූත්‍රයේ තේනහාතප්පමකරෝහි – ඉධේච නිපකෝ සතෝ” කියාද යෙදී තිබේ.
මේ සෑම තැනකින්ම හමු වන සතෝ යන්නෙන් අදහස් කැරෙන්නේ ආර්යමාර්ගයට පිළිපන් තැනැත්තා ස්වකීය සිතිවිලි පිළිබඳව එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කිරීමය. නිවන අරමුණු කරගෙන ක්‍රියා කරන පුද්ගලයා සිහිය කෙබඳු ආකාර ප්‍රමුඛත්වයකින් පිහිටුවාගත යුතුද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ථේර-ථේරී ගාථාවන් ඇසුරෙන් ලැබිය හැකිය.
සිහිය මැනවින් පිහිටුවාගැනීමෙන් ස්වකීය සිත පාපය කෙරෙහි යා නොදී වළකාගන්නා ආකාරය පිළිබඳව විජිතසේන තෙරුණුවෝ මෙසේ පවසති:
“ඕලග්ගෙස්සාමි තේ විත්ත – ආණිද්වාරේව හත්ථිනා
නතං පාපේ නියෝජෙස්සං - කාම ජාල සරීරජ.”
“නගරයක පවුරෙහි වූ කුරුබිලියකින් ඇතකු යා නොදී රැකගන්නා සේ කාමජාලයක් වූ චිත්තය, තා පාපයෙහි යා නොදී වළකාගන්නෙමි.”
තවදුරටත් එය විස්තර කරන උන් වහන්සේ මෙසේ බලවත් වූ ඇතරුවකු අලුත අල්ලාගන්නා ලද නොදැමුණු ඇතකු හික්මවන්නා සේ, චිත්තය, මම තා දමනය කරමී” ද “සිත, තා මම සිහි නමැති යොතින් බඳිනෙමී” (සතියා තං නිබන්ධිස්සං) ද ප්‍රකාශ කරති.
විවිධ අරමුණු කරා දිව යන නොහික්මුණු සිත නොදැමුණු ඇතකු හෝ, නොදැමුණු ආජානීය අශ්වයකු බඳුය. දක්ෂ සාරථීයයෝ එබඳු ඇතුන් සහ අසුන් යොතින් බැඳ උත්සාහයෙන් දමනය කරති. විජිතසේන තෙරණුවෝ තමාගේ නොදැමුණු සිත සිහි නමැති යොතින් බැඳ එසේ දමනය කරගන්නා බව පවසති. චිත්ත දමනයෙහි ලා සිහිය පිහිටුවාගැනීම කොතෙක් දුරට ප්‍රමුඛත්වයෙන් සිටිය යුතුද යන්න උන් වහන්සේගේ මෙම ප්‍රකාශයෙන් මැනැවින් පැහැදිලි වේ.
අංගුත්තර නිකායේ අන්ධකවින්ද සූත්‍රය විමසීමෙන් මෙම කරුණ තවදුරටත් පැහැදිලි කරගත හැකිය. එහි මෙසේ දැක්වේ:
“ඒථ තුම්හේ ආවුසෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ විහරථ ආරක්ඛ සතිනෝ නිපක්ක සතිනෝ සාරක්ඛිත මනසා සතා රක්ඛේන චේතසා සමන්නා ගතෝති.”
“එව ඇවැත්නි, තෙපි ඉන්ද්‍රියයන්හි පියූ දොර ඇතිව වාසය කරව්. ද්වාරයන් ආරක්ෂා කරන සිහි ඇතිව, ද්වාරයන් රක්නා සිහි ඇතිව, මොනවට රක්නා ලද සිත් ඇතිව, සිහිය නමැති රැකවරණයෙන් සමන්විතව වාසය කරව්.”
ඉන්ද්‍රිය ද්වාරයන් රාගික අරමුණු කෙරෙහි වසා තබා, සිහිය එහි රැකවලකු වශයෙන් යොදවා වාසය කළ යුතු බව මෙම සූත්‍ර පාඨයේ මැනවින් විස්තර වේ.
(විශේෂ ස්තුතිය: පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන්ට)
පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක හිමි
2015 මාර්තු මස නමස්කාර පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:
Post a Comment