Labels

Sunday, September 6, 2015

දම්පෙම්හසුන



 තෙරුවන් සරණයි!

හිතාදර සාලිය,

සිතේ කම්පාවකින් තොරව ඔබ මා වෙත එවා තිබූ හසුන නිසා මගේ හිතටත් සතුටුයි. මා දන්වා එවූ පුවත අසා ඔබ කම්පා නොවීම ඉමහත් සතුටක්. ඇත්තෙන්ම අක්කා මේ ගැන දන්නේ නැහැ නේද?
මේ විස්තර මට දැන්වූයේ අන් කවරකු වත් නොවේ, සමනුයි. පසුගිය දිනෙක ඔහු මා සොයා පැමිණ මේ ගැන කිව්වා. අයියා ගැන තවත් විස්තර හුඟාක් ඔහු සොයාගෙන. අයියා කරගෙන යන ඒ කූට ව්‍යාපාරවලට සම්බන්ධ කාන්තාවක් සමඟත් අයියා සමීප ඇසුරක් පවත්වනවාලු. මේවා ගැන සමන් කරුණු කියන්නේ සාක්ෂි ඇතිවමයි. ඒ ඔබේ අයියාමයි කියා දැනගත් විට ඔහු මහත් සේ කම්පා වෙලා. ඍජුවම ඔබට පැවසීමට නොහැකි නිසයි මා සොයා පැමිණ ඇත්තේ.
අක්කාට මේ කිසිවක් දැනගැනීමට ඉඩක් නැහැ නේද? ඇයට තිබෙන ප්‍රශ්න මදිවාට මේවාත් දැනගත්තෝතින් ලොකු ගැටලුවක්නේ. මං සමන්ට කිව්වා තවත් තොරතුරු සොයා බලන ලෙස. ඔහු පොරොන්දු වුණා එසේ කරන බවට.
කෙසේ වෙතත් මේ ගැටලුවට අපට එක් වී ගත හැකි ක්‍රියාමාර්ගයක් තිබෙනවාද? ඔබ ඒ ගැන සිතා බලන්න ඉක්මනින්ම. මට නම් ඇත්තටම මුකුත්ම හිතාගන්න බැහැ.
ඒත් මට මෙතැනදී එක්තරා ගාථා රත්නයක් සිහියට නැඟෙනවා:

පමාදං අප්පමාදේන
යදා නුදති පණ්ඩිතෝ
පඤ්ඤා පාසාදමාරුය්හ
අසෝකෝ සෝකිනිං පජං
පබ්බතට්ඨෝව භුම්මට්ඨේ
ධීරෝ බාලේ අවෙක්ඛති
ප්‍රමාද බවකින් තොරවම
මෙලොව නුවණැති පින්වතා
අප්‍රමාදී බවෙන් යුතු වී
ප්‍රාසාදය මුදුනට නඟියි
ප්‍රඥාවෙන් තැනූ ඒ මත
සිටිනා ඒ මුනින්දා
සෝක නොකරන සිතින් යුතුවම
සෝක පිරි දන දෙස බලන්නේ
කඳු මුදුනක් නැග්ග කෙනා
බිම සිටිනා පිරිස් දෙස
බලනා ලෙසේ
ඒ මහා මුනිවරයා
බලන්නේ බාල වූ ජනයා දෙසේ
අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් ගාථා රත්නය දේශනා කොට වදාළේ මහා කස්සප මහා රහතන් වහන්සේ උදෙසායි.

මට ඔබේ සහෝදරයා සිහි වන හැම විටම සිතෙන්නේ පුද්ගලයකු මෙවැනි ක්‍රියාවන්ට යොමු වන්නේ ඇත්තටම කර්ම විපාක පිළිබඳ ඇති නොදැනුවත්කම නිසාම නේද කියායි. ඒත් කර්ම විපාක මැනවින් හඳුනාගෙන නුවණින් යුතුව දහමේ හික්මීමෙන් උත්තම බවට පත් වූවන් බුදු රජාණන් වහන්සේ කොතරම් අගය කළාද?
එවන් උත්තමයකු වූ මහා කස්සප මහරහතන් වහන්සේ උදෙසායි අප භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාරත්නය වදාළේත්.

ප්‍රඥාවෙන් තැනූ ප්‍රාසාදයට නඟින ඒ උත්තමයන් වහන්සේලා එකල මොන තරම් විස්මිත දේ සිදු කළාද? තමන් මෙන් සිය දහස් දෙනකු වුවත් මවා පෙන්වන්නට ඒ උත්තමයන්ට හැකි වුණා. ඒ අභිඥාලාභී රහතන් වහන්සේලා සිය දහස් දෙනකු මවා, යළිත් ක්ෂණයකින් එක් අයකු බවට පත් වෙනවා. ඊළඟ මොහොතේ නොපෙනීම යනවා; තාප්ප, කඳුපන්ති විනිවිද යනවා. ජලය මත ඇවිද යෑමටත්, පොළොවේ කිමිදී රිසි තැනකදී මතු වන්නටත්, අහසේ ගමන් කරන්නටත් ඉද්ධිවිධ ඤාණය ඇති උන් වහන්සේලාට හැකි වුණා.
ඒ වාගේ ම දිබ්බසෝත ඤාණය ලැබූ උත්තමයන් වහන්සේලා මෙලොව මිනිසුන්ගේ පමණක් නොවේ; දෙව්ලොව දෙවියන්ගේ කතාබහ පවා ඇසුවා. පරචිත්ත ඤාණය ලබාගන්නා උත්තමයන් කිසිදු ආයාසයකින් තොරවම ඕනෑම අයකුගේ සිත දැනගත්තා. ඒ වාගේම තවත් උත්තමයන් වහන්සේලාට තමන්ගේ පෙර ජීවිතත් දැකගත හැකි වුණා. සමහරුන් කල්ප ගණන් ආපස්සට තමන් ගෙවා ආ ජීවිත දෙස බැලුවා. තවත් උතුමන් සත්ත්වයන් කර්මානුරූපව චුත වී යළි උපදින ආකාරය විමසනවා. කන්දක් මත නැඟී පහළ සිටිනා සතුන් දෙස බලා සිටිනා අයකු මෙන් සත්ත්වයන් කර්මානුරූපව චුත වී කර්මානුරූපව උපදින ආකාරයත් මේ උත්තමයන් දකිනවා.

අප භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටි කාලයේ තමයි පෙර සඳහන් ගාථාරත්නය දේශනා කරන්නට යෙදුණේ. උන් වහන්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ තුළ වූ චුතූපපාත ඤාණයෙන් ලොව දෙස බැලීමේ හැකියාව මහත් සේ අගය කළා.
මේ සියලු හැකියාවන් මතු කරගන්නේත්, මතු කරගත්තේත් මනුෂ්‍යයන්මයි. එහෙත් අද බොහෝ අය කුමක්ද කරමින් සිටින්නේ? මෙවැනි හැකියාවන් උපදවාගැනීම තබා, මෙවැනි දේ තිබෙන බව වත් බොහෝ අය දන්නවාද? දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඔවුන් කරමින් සිටින්නේ මොනවාද?
අයියා යෙදී සිටින ව්‍යාපාර වැනි දේ ගැන සිතීම පවා බියජනකයි නේද? කර්ම විපාක නොදකින තුරාවටම මිනිසුන් ඕනෑ ම ක්‍රියාවකට යොමු වෙනවා නේ. ඒ අතින් අපට ධර්මය ලැබීමමයි අපට ඇති මහත් වූ රැකවරණය. මොන තරම් සම්පත් ලැබුණත් ධාර්මික රැකවරණයක් නැති ජීවිතයක් කුමකටද? ඒත් අපි මේවා අයියාට තේරුම් කරන්නේ කොහොමද? අපි මෙතැනදී අක්කාගේ උදව් ලබාගත යුතුද? අයියාට මේ භයානක ක්‍රියාවල දිගින් දිගටම නිරත වන්නට ඉඩ හැර නිහඬ වීම සුදුසුද? මා නම් සිතින් සිටින්නේ මහත් වූ පඹගාලක.
ඔබ කම්පා නොවීම ගැන සතුටුයි. ඒත් යමක් කළ යුතුයි. ඒ ගැන සිතන්න. අපි එක්ව යමක් කරමු. අයියා ගලවාගනිමු. දැනට නවතින්නම්.

දළදා සමිඳු පිහිටයි!

ඔබේ
මාලා
සකස් කළේ - ජේ.පී.ටී.එස්.වයි. ධර්මපාල



පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

2015 මාර්තු මස නමස්කාර  පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment