Labels

Sunday, September 6, 2015

මළ සිරුරෙන් විමුක්තිය



නවසීවථික භාවනාව යෙදෙන හැටි මේ  කොටසෙන් දැක්වේ.

තමා ඇලුම් කරන ඥාතිමිත්‍රාදීන්, සහෝදරසහෝදරියන්, අඹුදරුවන් ආදි අය ඉන්නවා. මේ අය තමන්ගේ ශරීරය මේ විධියට මරණයට පත් වුණාට පස්සේ, කිසිම අපේක්ෂාවක් නැතිව නිරපේක්ෂක ව ම ගිහිල්ලා වළ දානවා. නැත් නම් පුලුස්සා අළු කරනවා. මේ තත්ත්වය හරිහැටි තේරෙනවා නම්, මොකක් ද මේ කයේ තිබෙන සාරවත් භාවය? මේක නිස්සාර එකක් නේද? කියන අවබෝධය තමාට ඇති වන්නට ඕනෑ
.
මේ සියල්ල සම්මා සංකල්ප – යහපත් කල්පනා, යහපත් දැකීම් - සම්මා දිට්ඨි; ඒ වගේ ම යෝනිසෝ මනසිකාර – නුවණින් මෙනෙහි කිරීම්. ඒ නිසා එසේ කටයුතු කරන විට පහළ වූ චිත්ත පරම්පරාවන්ගේ පුණ්‍ය ශක්තිය, නියත වශයෙන් ම කවර දා හෝ දවසක නිවන් ලබා දීමට හේතු උපනිශ්‍රය වෙනවා.
මළ මිනියක් දැක ඒ ගැන මේ විධියට සිහිපත් කරමින් කටයුතු කරනකොට, ලෝකේ මිනිසුන් කෑගහන ඒ මෝඩකම තමාට තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕනෑ.
ඊ ළඟට බුදු රජාණන් වහන්සේ වදාරන්නේ, “අත්ථි කායෝති වා පනස්ද සති පච්චුපට්ඨිතා හෝති, යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය, අනිස්සිතෝච විහරති, න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති” කියලා.
එහිදී පෙන්නුම් කරන්නේ මෙතන කයක් තිබෙනවා; රූප කයක්. එහෙත් මෙතන සත්ත්වයෙක් නැහැ; මගේ පුතෙක්, මගේ දුවෙක්, මගේ නෑදෑයෙක්, මගේ මිත්‍රයෙක් ආදි වශයෙන් ගැනීමට කිසිවෙක් නැහැ. මේ මිනිසුන් මළ මිනී බදාගෙන මගේ පුතා, මගේ දුව, මගේ අම්මා කියා කෑගහන්නේ එහෙම කෙනෙක් ඉන්නවා කියා ඒවාට ආරෝපණය කරගෙන. එහෙත් “අÀථි කායෝති වා” මෙතන කයක් පමණ යි තිබෙන්නේ.
මළ මිනී කපන හැටි සහ ශරීරය ඇතුළේ තිබෙන දේවල් මේ අය දැක්කා නම්, මිනියක් බදාගෙන අඬනවා තියා ඒ දෙස බලන්නටවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. මේක හරියට දන්නවා නම්, “අනේ මේක ඉක්මනට ම ගෙනිහිල්ලා වළ දමාපල්ලා!” කියා කෑගහයි. ඒ තරම් අපවිත්‍ර, ඒ තරම් ම දුගඳ හමන කොටස් තමයි මේ ශරීරයේ හමෙන් වැසී තිබෙන්නේ. මා දැක තිබෙනවා මිනී කපන අවස්ථා 10-12කට වැඩිය. ගැහැනුන්ගේ, මිනිසුන්ගේ, හැම කෙනකුගේම. මේ මිනිසුන්ගේ අවිද්‍යාව, මෝඩකම කොයි තරම් අරටු බැහැගෙන තිබෙනවා ද? කියා හිතෙනවා. මේවා නොදත්කම නිසා මේ මිනිසුන් මේවා අල්ලාගෙන, බදාගෙන, කෑගහගෙන, විලාපදීගෙන, සමහර විට අවුරුදු ගණන් වැලපෙනවා. එම නිසා මේ අය තේරුම් ගත යුතු යි, මේ මැරිලා තිබෙන්නේ “අත්ථි කායෝති වා” කයක් විතර යි, සත්ත්වයෙක්, නෑදෑයෙක්, මිත්‍රයෙක් නො වෙයි කියා.

 ළ මිනියක් දැක්කාට පස්සේ, එක්කෝ එය ධාතු වශයෙන් බලන්නට ඕනෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන්. නැත් නම් කුණප කොටසක් ලෙස දකින්නට ඕනෑ.
මේ හම ඇතුළේ තිබෙන සියල්ල දුගඳ හමනවා. මේ අය කල්පනා කර බලන්න මැරී දවසක්, දෙකක්, තුනක් ගියාට පස්සේ කොයි තරම් නම් දුගඳ හමනවාද කියා. එම්බාම් කළේ නැත් නම් කෙනකුට ළං වන්නට බැහැ. ඇස්, කන්, නාසා ආදි සිදුරුවලින් ඕජස් ගලනවා. පිට පැත්තෙනුත් ඒ තරම් ම අපවිත්‍ර යි, දුගඳ යි. ඇතුළු පැත්ත ඊටත් වඩා අතිශයින් ම දුගඳ යි. දුගඳ හමන දේවල්, බෙහෙත් ආලේප කර තාවකාලිකව යටපත් කළාට, ඒවා බදාගෙන කෑගහනවා නම් මගේ පුතා, මගේ බිරිය, මගේ අම්මා, තාත්තා ආදි වශයෙන්, එතැන තිබෙන්නේ මෝඩකම හැර වෙන කිසිවක් නො වෙයි. මෙතන සත්ත්වයෙක් නැහැ. මෙතන ගැහැනියක්, පිරිමියෙක් නැහැ. මමෙක්, මගේ කෙනෙක් හෝ මගේ දෙයක් නැහැ. සත්‍ය වශයෙන් ම මැරෙන්නට ඉස්සෙල්ලා තත්ත්වයත් ඕක ම යි. ඒ බව අවබෝධ කරගැනීමට බැහැ ප්‍රඥාව නැති කෙනකුට.

 ඒ නිසා, “මේක ඒකාන්ත වශයෙන් කයක් පමණයි” කියන අවබෝධය තමන්ගේ ශරීරය දෙසටත් යොමු කර බලන්න. “මේ මම, මගේ” කියලා හිතාගෙන හිටියාට, ආශා කළාට, මේ ශරීරයේ තත්ත්වයත් මේක ම තමයි. “මේක මගේ” කියන එක හිතේ තිබෙන හැඟීමක් විතරයි. ඒ නිසා මේක ශරීරයක් පමණයි; මම නො වෙයි; සත්ත්වයෙක්, පුද්ගලයෙක් නො වෙයි; ආත්මයක් නො වෙයි කියා දකින්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනෑ. මෙහෙම කරන කොට “යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය” නැවත නැවතත් සතිය, යෝනිසෝමනසිකාරය ඇති වීමට, නුවණ වැඩීමට ඒ ක්‍රියාවලිය හේතු වනවා.
එතකොට ඒ පුද්ගලයා “අනිස්සිතෝච විහරති” ලෝකයේ අජීව- සජීව සංස්කාර කිසිවක් අල්ලාගෙන, බදාගෙන, ඒවා හා නිශි‍්‍රත වී, බැඳී වාසය කරන්නේ නැහැ. තණ්හාවෙන් අල්ලන්නෙත් නැහැ. “මම, මගේ” ආදි දෘෂ්ටිවලින් අල්ලන්නෙත් නැහැ. නිශි‍්‍රත භාවයක් නැතිව, නොඇලී සිටීම මහත් සහනයක්. එහෙම කරනකොට “න ච කිඤ්චි ලෝකේ උපාදියති” - මේ ලෝකයේ කිසිවක් උපාදානය කරන්නට හිතෙන්නේ නැහැ.
මේ මැරී සිටින තැනැත්තා මරණයට පෙර, ලෝකයේ තිබෙන දේවල් අල්ලාගෙන ඉන්නට හැදුවා; තමන්ගේ ශරීරය අල්ලාගෙන දැඟලුවා. නමුත් එය අතහැර යන්නට සිදු වුණා. තමන්ගේ බිරිය, දරුවන්, නෑදෑ හිතමිත්‍රයන් ආදීන් අල්ලාගෙන දැඟලුවා. ඒ අය කෙරෙහි ආදරයෙන්, ආශාවෙන් බැඳී සිටියත් නොසිටියත් ඒ සියලු දෙනා අතහැරදමා යන්නට සිදු වුණා. ඉඩකඩම්, ගේදොර, යානවාහන, උගත්කම් ආදි යම් තාක් දේ තිබුණා නම්, නැත් නම් මගේ රට, මගේ ජාතිය, මගේ භාෂාව, මගේ ආගම ආදි බාහිර ලෝකයේ තිබෙන දේවල් අල්ලාගෙන එදා කටයුතු කළා නම්, ඒ සියල්ලමත් අතහැර ඒ මනුෂ්‍යයාට යන්නට සිදු වුණා. ඒ හැර ඔහුට කරන්නට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

මටත් මේ තත්ත්වයට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒකාන්තයෙන් ම මේ සියල්ල මට අතහරින්නට සිදු වෙනවා. ආදරයෙන්, ආශාවෙන් ඇලී බැඳී සිටියත් අතහරින්නට සිදු වෙනවා. එසේ නැතිව සිටියත් අතහරින්නට සිදු වෙනවා. මැරෙන විට ඇලීමක්, ආශාවක්, ආදරයක් ඇති වුණොත් ප්‍රේතයන් වී උපදින බවත්, ගැටීමක් ඇති වුණොත් මළයකුන් වැනි දුගතිගාමීව උපදින්නට සිදු වන බවත්, තේරුම් ගත යුතු යි. ඒ නිසා “න ච කිඤ්ඤි ලෝකේ උපාදියති” මේවා උපාදාන කරගෙන, අල්ලාගෙන, බදාගෙන කටයුතු කළ යුතු නැහැ. එසේ කටයුතුª කරන හැම වාරයක් පාසා ම, සංසාර ගමන නැවත නැවත දිග්ගැස්සෙමින් යනවා. ඒ නිසා සියල්ල සිතින් අතහරින්නට උත්සාහ ගත යුතු යි. ඒ කියන්නේ මේවා අතහැර දාලා පැත්තකට වෙනවා කියන එක නො වෙයි. කරන සියලු දේ වෙන දා වගේ ම කරනවා. තමන්ගේ ගේදොර ආදිය ආරක්ෂා කරගෙන නඩත්තු කිරීම, ස්වාමි පුරුෂයො, භාර්යාවන් ආදීන් සතුටු කිරීම, ඔවුන්ට ආදරයෙන් කථා බහ කිරීම, ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුකම්, වගකීම් සියල්ල නොපිරිහෙළා ඉටු කිරීම ආදිය කලින් වගේ ම කරනවා. එහෙත් අවබෝධයක් ඇතිව; “මේ සියල්ල ම, සියලු දෙනාම මට අතහරින්නට සිදු වෙනවා, මේවා උපාදාන කරගෙන සිටියත් අත හරින්නට සිදු වෙනවා, උපාදාන කර නොගෙන හිටියත් අතහරින්නට සිදු වෙනවා, උපාදාන කරගෙන සිටියොත් ඒකාන්ත වශයෙන් ම මගේ සසර ගමන දිග්ගැස්සෙනවා, සසර දුකට වැටෙනවා” කියන ඒ අවබෝධය ඇතිව. මේවා කෙරෙහි ඇති අනවශ්‍ය ආකාර බැඳීම් මේ විධියට මෙනෙහි කිරීමෙන් ටික ටික හෝ අඩු කරගන්නට පුළුවන්. මේවා කෙරෙහි සසර පුරා මේ දක්වා ම එසේ ඇලී බැඳී කටයුතු කිරීම නිසා, සංසාරයේ දිගින් දිගට ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි සසර දුක් විඳින්නට සිදු වූ බව තේරුම් අරගෙන, මෙයින් පසුවවත් එය නිම කරන්නට හෝ අඩු වශයෙන්, අඩු කරගන්නටවත් උත්සාහ ගැනීම සුදුසු යි.

 නවසීවථිකයේ පළමු වැනි කොටස යි, අප මේ කෙටියෙන්, සරලව විස්තර කළේ.

ඊළඟ කොටස්වලටත් මේ විධියට ම පිළිපදින්නට ඕනෑ. ඒවා ගැන විස්තර කියන්නේ නැහැ. ඒ කොටස් නවය පමණ යි දැන් අප ප්‍රකාශ කරන්නේ.

01. පළමු වැනි එක “ඒකාහමතංවා ද්විහමතංවා තීහමතංවා” දවසක් හෝ දෙකක් හෝ තුනක් ගිහින් “උද්ධුමාතකං විනීලකං” ඉදිමී, නිල් වෙලා තිබෙන “විපුබ්බකජාතං” ඕජස් ගලන මළ මිනියක්.

02. බුදු රජාණන් වහන්සේගේ කාලේ මළ මිනී වළලන්නේ, පුච්චන්නේ නැහැ. සොහොන් පිටියට විසි කරනවා. ඊට පස්සේ නොයෙක් සත්තු ඒක කඩාගෙන කනවා. කපුටන්, උකුස්සන්, බල්ලන්, හිවලුන් ආදි සතුන් කඩකඩා කා ඇති මළ මිනියක් දැකලා කල්පනා කරනවා, “මගේ ශරීරයත් මේ තත්ත්වයට පත් වෙනවා, මේ තත්ත්වය ඉක්මවා ගොස් නැහැ” ආදි වශයෙන්. කලින් කී මනසිකාර මෙහිදී තවත් ගැඹුරු ආකාරයෙන් සිතන්නට පුළුවන් වෙනවා. මෙය බුදුරදුන් දක්වන්නේ මේ විධියට. “පුනචපරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, කාකේහි වා ඛජ්ජමානං, කුලලේහි වා ඛජ්ජමානං, ගිජ්ඣෙහි වා ඛජ්ජමානං, සුපාණේහි වා ඛජ්ජමානං, සිඟාලේහි වා ඛජ්ජමානං, විවිධේහි වා පාණක ජාතේහි ඛජ්ජමානං.”විවිධ සත්ත්වයන් විසින් කා දමා ඇති මළ සිරුරේ තත්ත්වය යි දෙවන අවස්්ථාව.

03. තුන් වැනි අවස්ථාව “පුනචපරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, අට්ඨික සංඛලිකං සමංසලෝහිතං නහාරූ සම්බන්ධං.” මේ තත්ත්වයේදී මළ මිනියේ හම කුණු වී යනවා; ඉතා දුගඳ යි. ශරීරයෙන් ගලන ඕජස් නිසා වටේට ඇති තණ කොළ පවා අළු පැහැ ගැන්වී පළාත ම දුගඳ හමනවා.

04. ඊළඟ අවස්ථාව ”අට්ඨික සංඛලිඛං නිම්මංස ලෝහිතං නහාරූ සම්බන්ධං” මස් දිය වෙවී ගොස් මස් නැති, ලේ තැවරී ඇති, නහරවලින් සම්බන්ධ වී ඇති ඇට සැකිල්ල.

05. ඊළඟට “අපගත මංසලෝහිතං නහාරූ සම්බන්ධං” මස් ලේ කිසිවක් නැහැ. ඇට කෑලි ටික තිබෙනවා, නහරවලින් සම්බන්ධ වෙලා. එච්චරයි.

06. ඊට පසු අවස්ථාව “පුනචපරං භික්ඛවේ භික්ඛු සෙය්‍යතාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිත්තානි අඤ්ඥේන හෙක්‍ථට්ඨිකං, අඤ්ඥේන පාදට්ඨිකං, අඤ්ඥේන ජංගට්ඨිකං, අඤ්ඥේන ඌරට්ඨිකං, අඤ්ඥේන කටට්ඨිකං, අඤ්ඥේන පිට්ඨිකණ්ටකං, අඤ්ඥේන සීසකටාහං” ආදි වශයෙන් දැක්වෙනවා. දැන් මළ මිනියේ නහරත් කුණු වෙවී ගිහින්. ඇට කටු ටික එහාට මෙහාට විසි වෙලා.

07. ඊට පස්සෙ දක්වන්නේ, “පුනචපරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සේතානි සංකවණ්ණුපනිභානි.” හක් ගෙඩියක පාට වැනි අළු පාටට හුරු එවැනි ඇට ගොටක් දකිනවා.

08. ඊළඟට “අට්ඨිකානි පුඤ්ජකිතානි තේරෝවස්සිකානි” අවුරුදු ගණනක් යන විට වැසි වතුර ගලා යෑම ආදි විවිධ හේතු නිසා තැන් තැන්වල ගොඩගැසී ඇති ඇටකටු ගොඩ ගොඩවල්.


 09. ඊට පසු “අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි” ඒ ඇට කටු ටික දිරි දරා ගිහින් හුණු වගේ පස් වෙවී යන තත්ත්වයට පත් කළ හැකි අවස්ථාව.මේ විධියට සතිපට්ඨාන සූත්‍රයේ නවසීවථිත කොටසේ මළ මිනියක අවස්්ථා නවයක් දක්වා තිබෙනවා.

මේ කොටස් සමාධියෙන් දැකදැක භාවනා කළ හොත්, එහාට මෙහාට විසිරී යන ඇටකටු දකින විට, කලින් ශරීරයක් වශයෙන් දිස් වුණාට දැන් මෙතන කෝ ශරීරයක්? කියන අවබෝධය ඇති වන්නට පුළුවන්. එසේ වුව හොත් තමන්ගේ ශරීරය සිතට පෙනෙන එක නැති වී ගොස්, සිත ශූන්‍ය තත්ත්වයකට පත් වන්නටත් ඉඩ තිබෙනවා.
ඊ ළඟට දැන් මේ ඇට කටු ටික තැන් තැන්වල ගොඩගැහෙන ආකාරය දකිනවා. ඒක දකින විටත් “කලින් මනුෂ්‍යයෙක් වශයෙන් සිටියාට දැන් ඇට කටු ගොඩක් විතරයිනේ තියෙන්නේ! කෝ මමෙක්?” කියන අවබෝ්ධය සමාධි ප්‍රඥා දියුණු කෙනකුට ඇති විය හැකි යි.
අදියරෙන් අදියරට මේ විධියට පත් වන බව දකින්නට පුළුවන් නම්, “මෙතන කෝ මමෙක්? මෙතන කෝ සත්ත්වයෙක්? මෙතන කෝ ජීවියෙක්? ආත්මයක් කියලා හරි, ගැහැනියක් පිරිමියෙක් කියලා ගන්නට හරි මොකක් ද තිබෙන්නේ?” කියන අවබෝධයත් සහිත ව ම ඒ අත්දැකීම් හරියට දකින්නට පුළුවන් නම්, රූප කය නිවී යනවා. ‘නිවී යනවා” කියන එකෙන් අදහස් කරන්නේ, භාවනා කරන ඒ අවස්්ථාවේ තමන්ගේ ශරීරයේ රූප නිමිත්ත, රූපය සිතට වැටහෙන එක සම්පූර්ණයෙන් නැති වී ගොස් ඕලාරික හිස් භාවයකට සිත පත් වෙනවා කියන එක යි.

ඒ තත්ත්වයට පත් වුණාට පසුව, ඒ හිස් බවත්, ඒ දකින සිතත් පමණයි, මම හෝ මගේ ආත්මය කියා ගන්නට එවිට ඉතිරිව තිබෙන්නේ. ඒකත්, තව ටිකකින් නැති වී ගියාට පස්සේ, “මේකෙත් මම කියලා ගන්නට, මගේ කියලා ගන්නට, මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරි වන්නේ නැහැ නේ” කියන අවබෝ්ධයෙන් යුතුව, ඒ හිස් බව අනිත්‍ය හා අනාත්ම වශයෙන් දැකිය යුතු යි. නිවන් අවබෝධ කරගැනීමට සුදුසු මට්ටමට සිත දියුණු වී ඇති කෙනකුට මෙහිදී නිවන අත්දැකිය හැකි යි.
ඒ විධියට කටයුතු කරන්නට මේ අය උත්සාහ ගන්නට ඕනෑ. සමාධිමත් සිතකින් තමන් මරණයට පත් වුණාට පසු මේ විධියට ඕජස් ගලනවා, දුගඳ හමනවා, කෙනකුට කිට්ටු වෙන්නටත් බෑ. ඊට පස්සේ හම කුණු වෙවී, කුණු වෙවී යනවා. ඊට පස්සේ ඇට කටු තැන් තැන්වල විසිරෙනවා. ඊට පසුව ඒ ඇටකටු තැන් තැන්වල එකතු වෙනවා. ඒවායේ පාට වෙනස් වෙලා අළු පාට වෙනවා. ඒවා දිරදිරා පස් වෙවී යනවා. පොළොවට පස් වෙවී යන එක නුවණින් දකින්න බලන්න. එහෙම දකිනකොට මේ කය කෙරෙහි තිබෙන ඇලීම බැඳීම තරමක් දුරට අඩු කරගන්නට පුළුවන්. මේක සාරවත් එකක්, වටිනා දෙයක් කියා හිතාගෙන සිටින එක නැති කරගන්නට පුළුවන්.

ඊටත් අමතරව, ඇට සැකිල්ල දිස් වුණාට පසුව ඒ ඇට කටුත් ක්‍රමයෙන් දිරදිරා පොළොවට ම පස් වෙවී ගොස් නැත්තට ම නැති වී යෑම චක්කොත්, සිත ශූන්‍යතාවකට පත් කරගෙන, කලින් කියා ඇති හැටියට නිවන වුවත් අවබෝධ කළ හැකි යි.

නිවන් යන මාර්ගය යි, ලෞකික ජීවිතයේ ගමන් කරන මාර්ගය යි දෙකක්. මා කීවේ නිවන් යන මාර්ගය. එහෙම කරනකොට තමන්ගේ දරුවන්, අම්මා, තාත්තා, සහෝදරසහෝදරියන් ආදි සියලු දෙනා දෙස ඔය ඇසින් බලන්නට ඕනෑ. ලෝකයේ කිසිම තැනක කිසිම සත්ත්වයෙක් සිටිනවා කියා දකින්නට සුදුසු නැහැ. හැම තැන ම රූප තුළ දකින්නට පුළුවන් වන්නේ ඔය තත්ත්වය පමණයි. මා ඉස්සර වෙයි ද, බිරිය ඉස්සර වෙයි ද, පුතා ඉස්සර වෙයි ද කියන්නට කිසිවකු දන්නේ නැහැ. දැන් මේ අල්ලාගෙන, බදාගෙන දඟලන ඇඟවල්, ඒ තත්ත්වයට පත් වුණා ම, අල්ලනවා තබා බලන්නටවත් කිසිවකු කැමති වන්නේ නැහැ.
බුදු හාමුදුරුවන් වැඩ සිටින කාලේ සිරිමා කියා ඉතා රූමත් ගණිකාවක් හිටියා. හාමුදුරු නමක් ඇය දැකලා ඇති වූ රාගය නිසා ආහාර ගන්නේ වත් නැතිව පාත්‍රයත් පැත්තක තියලා පසෙකට වී නිදාගත්තා. “ඒ කාන්තාව නැති නම් මට ජීවිතෙන් වැඩක් නැහැ. මා මැරෙනවා” කියලා. කොයි තරම් පරිළාහයක් ද ඇති වුණේ කියා හිතන්න! ඒ සිරිමා ගණිකාව මළා. බුදු හාමුදුරුවෝ රජතුමාට නියම කළා, ඇගේ මළ මිනිය අමු සොහොනකට නොදමා දවස් කිහිපයක් තබාගන්නට ය කියා. දවස් කිහිපයකට පසු ශරීරය නිල් වෙලා, කුණු වෙලා ඕජස් ගලනවා. කලින් තිබුණු ලස්සන නැහැ. මැස්සොත් වහනවා. මිනිස්සු රැස් කරවන්න කියා බුදු හාමුදුරුවෝ රජ්ජුරුවන්ට නියම කළා. මිනිස්සු රැස් වුණා. මීට පෙර ඒ කාන්තාව සමඟ එක රැයක් ගත කිරීමට විශාල මුදලක් ගෙවන්නට සිදු වුණා. බුදු හාමුදුරුවෝ රජතුමාගෙන් ඉල්ලා සිටියා, කලින් එක රැයක් සඳහා දෙන ලද මුදල දී මෙය ගෙනියන්න කියා කියන්න කියලා. කවුරුත් නැහැ. ඊට පස්සේ ගණන අඩු කළා 10000, 5000, 500 ඔහොම අඩු කළා. මේ මළ මිනිය නිකං අරගෙන යන්න කියා කීවා. කිසි කෙනෙක් නිකං ගෙනියන්නටවත් කැමති වුණේ නැහැ.

මෙවැනි කයක් තමයි අපි මේ අගය කරන්නේ. මෙවැනි කයකට තමයි අපි මේ ඇලුම් කරන්නේ. එම නිසා මෙය හරි හැටි තේරුම් ගන්න බලන්න. ප්‍රාණය නිරුද්ධ වුණාට පස්සේ මේ ශරීරය කොපමණ නම් පිළිකුල් ද? මැරෙන්නට පෙරත් සම ඇතුළේ තිබෙන හැම කොටසක් ම පිළිකුල්. මේ පිළිකුල හරියට දැකීම අපේ ශරීරය කෙරෙහි තිබෙන ඡන්ද රාගය, විශේෂයෙන් ම කාම රාගය නැති කරගැනීමට හේතු උපනිශ්‍රය වෙනවා. එය නිර්වාණාවබෝධය සඳහාත් බෙහෙවින් උපකාර වෙනවා.
 



 2012 මැයි මස නමස්කාර  පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment