Labels

Sunday, September 6, 2015

කට පරිස්සම් කරගන්න!


 වචී සංවරය පිළිබඳ ඉතා වැදගත් කරුණු කිහිපයක් තමාට හුරු-පුරුදු සැහැල්ලු සෝපහාසවත් භාෂා විලාශයෙන් යුතුව පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියෝ මෙහිලා ඉදිරිපත් කරති


ඔබට යමෙක් රහසක් කිව්වාම, ඔහු තැබූ විශ්වාසය රකින්න. ඔබට කිව් රහස තවත් තැනක කියක-එක හොඳ නැහැ. බෞද්ධ භික්ෂුවක් විදිහට මා සිටින තත්ත්වයේදී මට නිතරම මෙය අත්දකින්න ලැබෙනවා. මා දරන තානාන්තරය අනුව මිනිසුන් මට නිතරම ඔවුන්ගේ රහස් කියනවා. දසවධ දුන්නත් මට කිව් රහසක් මා හෙළි කරන්නේ නැති විත්තිය මිනිසුන් ඒ්ත්තු අරන් තිබෙනවා
.

මනුස්සයන් වශයෙනුත්, නුවණක්කාර හා සංවේදී මනුස්සයන් වශයෙන් අපට අපේ කට පරිස්සම කරගන්න වෙනවා. ඔබට ඔබේ කට පාවිච්චි කරන්න සිදු වුණොත්, යමක් කියන්නම සිදු වුණොත් හැමවිටම යහපත් දෙයක්ම කියන්න. කට පාවිච්චි කිරීම ගැන මේ ඔවදන ඔබේ බිත්තියේ නැත් නම් මේසයේ සටහන් කර ගන්න.
“ඔබට කට පරිස්සම් කරගන්න අමාරු නම් ඔබේ පාඩුවේ නිසලව ඉන්න.”
හැකි හැමවිටම අනෙක් අයට ප්‍රශංසා කරන්න. යහපත් දේවල් ගැන කතා කරන්න. ඔබට ඕපාදූප කතා කිරීමෙන් වැළකීමට ඉගෙනගැනීමට, ඒ ගැන පුුහුණු වීමට ඕනෑ නම් කළ යුත්තේ එයයි. එය ඔබට කළ හැකි නම් අද සමාජයේ ඇති බොහෝ ගැටලුවලට විසඳීම් ලැබෙනවායි මා සිතනවා.

ස්වාමිපුරුෂයා හා බිරිය ඔවුනොවුන් අමතන ආකාරය වර්තමානයේ ගැටලුවක් බව මම දන්නවා. දෙන්න-දෙමහල්ලෝ ඔවුනොවුන් අමතා කතා කරන ආකාරය අනුව ඔවුන් විවාහ වී කොයි තරම් කාලයක් ගත වීදැයි කියන්න පුළුවන්.
ඇයි මේ විදියට දෙන්නා එකිනෙකා පහත් කොට සලකමින් කතා කරන්නේ? එකිනෙකා විවේචනය කරන්නේ? එකිනෙකාට නින්දා-අපහාස කරන්නේ? අනිත් එක්කෙනාට වඩා ඉස්මතු වී ලකුණු ගන්න හදන්නේ? ඇත්තටම මේක නම් සැබෑවටම නස්පැත්තියක්.
මේ සෑම කෙනකුටම සහකාරයෙක් නැත් නම් සහකාරියක් ඉන්නවා. කවදාවත් ඔහු හෝ ඇය විවේචනය කරන්නේ නැතුව සිටින්නට, පහත් කොට නොසලකා සිටින්නට ඔබට හික්මීමක් ලබන්න පුළුවන්ද? මොනවා හරි යහපත් දෙයක් කියන්න හුරු වෙන්න බැරිද? ඔබට එය ඉතාම පහසුවෙන් කළ හැකි දෙයක්. මෙය භාවනාව පුහුණු වීමෙන් කළ හැකි දෙයක්.
භාවනාවෙන් කරන්නේ ඔබේ මනස පුුහුණු කිරීමයි. භාවනාවේ මේ කොටස මම හඳුන්වන්නේ Programming your mindfulness නැත් නම් ඔබේ සතිය, ඔබේ සිහිකල්පනාව ප්‍රෝග්රෑමිංකිරීම කියායි.
තවත් විදිහකින් කිව්වොත් ඔබේ මනසට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි. මෙමඟින් මෝඩ කතා කීමෙන් වැළකී සිටින්නේ කොහොමද කියන-එක ගැන මනසට පුහුණුවක් ලැබෙනවා. ඔබේ සතිය නැත් නම් සිහි කල්පනාව හුරු-පුරුදු වෙනවා.
අනුවණ කතා කීමෙන් වැළකීම, ඔබේ සබඳතා සන්සුන් කිරීමට, ඔබේ සැමියා හෝ ඔබේ බිරිය සමඟ ගැටුමක් ඇති වූ විට අසුභ දෙයවක් නැත් නම් නිෂේධාත්මක දෙයක් කිව් විට ඔබේ ප්‍රතික්‍රියාව නිරායාසයෙන්ම මෙන්න මෙසේ විය යුතුයි. එමගින් ඔබ ඔබේ මනසට පුහුණුවක් ලබාදෙනවා.
ඒ සඳහා කිහිපසැරයක් ඔබ ඔබටම මෙසේ කියන්න:
“ඊළඟ සැරේ මගේ බිරිය / මගේ සැමියා මගේ හිත රිදෙන දෙයක්, නිෂේධාත්මක දෙයක්, මා අවුස්සන දෙයක් කිව්වොත් මම ආපසු හිත රිදෙන දෙයක්, නිෂේධාත්මක දෙයක්, ඔහු / ඇය අවුස්සන දෙයක් කියන්නේ නෑ. මා ඒ වෙනුවට යහපත් දෙයක් කියනවා.”

 මේ විදිහට කිහිප සැරයක්ම ඔබටම කියාගන්න:
මෙසේ ප්‍රෝග්රෑම් කළ විට මොකද සිදු වන්නේ? ඔබේ සහකාරයා යම් නරක දෙයක්, නිෂේධාත්මක දෙයක්, හිත අවුස්සන දෙයක් කියූ විට ඉස්සර විදිහටම ඔබ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පරණ වැඩසටහන වෙනස් වී දැන් අලුත් වැඩසටහනක් අනුව ඔබේ මනස සකස් වී තිබේ. නරක දෙයක්, හිත රිදෙන කිව්වත් යහපත් දෙයක්. සිත පිනවන දෙයක් කිරීමට ඔබ හුරු වී තිබේ. මේ විදිහට ඔබේ පුරුද්ද, ගති සෝබාව වෙනස් කරයි.
ඔබේ භාර්යාවට නැත් නම් ඔබේ ස්වාමිපුරුෂයාට යහපත් දෙයක් කියන්නට හැකි වීම කොයි තරම් සුන්දරද? ඔහු හෝ ඇය ආපහු ඔබ ගැන හොඳක් කියාවි. ඔබ වෙනස් වූ විට ඔබට සම්බන්ධ අයද වෙනස් වේවි. මෙය කරන්නට අමාරු දෙයක් නොවේ. මෙහෙම වුණොත් ඔබ වෙනත් අය සමඟ පවත්නා සබඳතා වැඩි වේවි. ඒ සබඳතා වඩාත් සතුටුදායක පැත්තට හැරේවි. සුභදායක වේවි. එකට එක්කාසු වී වැඩ කිරීමේ හැකියාව වැඩි වේවි. තවත් විදිහකින් කිව්වොත් සහයෝගයෙන් යුතුව තරගකාරීව වැඩ කරන්නට හැකි වේවි.
ඒ විතරක් නොවෙයි, හැම දෙයකම නරකම සොයන, අසුභවාදී කතාව වෙනස් වේවි. එමඟින් ඕපාදූප කීමද නතර වේවි. තවත් විදිහකින් කිව්වොත් ඔබට යමෙක් ගැන නරකක් කියන්නට ඕන වූ විට, ඔබ දැන් ඔබේ මනස පුහුණු කරගෙන ඇති නිසා, ඔබේ සිහින ප්‍රෝග්රෑම් කරගෙන ඇති නිසා “මම කිසිවෙකු ගැන නරකක් කියන්නේ නැහැ. ඒ වෙනුවට මම හොඳ සුබදායක යමක් කියමි” යි ඔබේ මනස ඔබට කියාවි.
මෙමඟින් අදට වඩා යහපත් සමාජයක් බිහි වේවි. මිනිස්සු වඩාත් යහපත් මිනිසුන් වේවි. ආගම් ගැන ගත්තොත් අපි ආගම් ගැන ධනාත්මකව කතා කරන නායකයන් වන්නෙමු. එවිට එක ආගමක් අනිත් ආගම පහත් කොට සලකමින් නිෂේධාත්මකව කතා කරන්නේ නැතුවා සේම, ආගම් තුළ තිබෙන වෙනත් නිකායන් අතර නිෂේධාත්මක කතා හෙළා දැකීිම් නැති වේවි.
කිසිම දවසක අනිත් ආගම් හෙළා නොදැකීමට මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඒ වගේම බුද්ධාගමට සම්බන්ධ අනිත් නිකායන්, අනිත් ඇදහිලි පහත් කොට නොසලකන්න මම තරයේ අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. එය ඕනෑ කෙනෙකුට කරන්නට පුළුවන් පහසු කටයුත්තක්. “අපි තමයි හොඳම කට්ටිය. අනිත් කට්ටිය ගැන කතා කරන්න එපා” යැයි හෙළාදැකීම, මුදුනා වීම නොකරනවායැයි මම තරයේම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා.
කවරදා වත් අන් කිසිවකු විවේචනය කරන්න එපා. පහත් කොට සලකන්න එපා.
මේ ගැන මා මීට ඉස්සරත් කියා ඇති පුංචි කතාවක් නැවත සිහිපත් කරන්නම්.

සුපිරි වෙළෙඳසලක බඩු-මුට්ටු එළියට අරගෙන එන විට පරීක්ෂා කරන තැනකදී අම්මා කෙනෙකු සමඟ ආ ළමයෙකු අතේ තිබුණු පැණි බරණිය බිම වැටී, පොළොව පුරා විසිරුණා.
“ඔයා නම් හරිම මෝඩයෙක්” ළමයාගේ අම්මා කෑගැසුවා.
තවත් අම්මා කෙනෙකුත් එක්ක ආ ඊළඟ ළමයා අතේ තිබුණු කිරි බෝතලය බිමට වැටී හැම තැනම කිරි විසිරුණා.
“ඔයා හරි මෝඩ වැඩක් කළා” ඒ ළමයාගේ අම්මා කිව්වා. ඔබ මේ දෙකේ වෙනස දන්නවාද? එක් අයෙක් පුද්ගලයා විවේචනය කරයි. අනිත් අය පුද්ගලයා නොව ක්‍රියාව විවේචනය කරයි.
මෝඩ ළමයාද? ළමයා කළ මෝඩ වැඩේද?
මේ දෙක අතර විශාල වෙනසක් තිබෙන බව ඔබට පේනවා නේද?
මීට පසු ඔබට යමෙකු ගැන විවේචනය කරන්න ඕන වුණාම ඔයා මෝඩ ස්වාමිපුරුෂයෙක්, ඔයා හරිම කම්මැළි ළමයෙක්, ඔයා හරිම පිස්සු හාමුදුරු කෙනෙක් කියා විවේචනය කරන්න එපා.
“මම සමහර වේලාවට පිස්සු වැඩ කළත්, පිස්සු හාමුදුරු කෙනෙක් නොවෙයි!
ඕපාදූප කියන විට සැලකිලිමත් වෙන්න ඕන මෙන්න මේ කාරණය ගැනයි. මිනිස්සු සමහර වේලාවට මෝඩ වැඩ කරන-එක ඇත්ත වුණත්, මෝඩ මිනිස්සු කියා කට්ටියක් නැහැ. පුද්ගලයන් ගැන විවේචනය කළාම එයින් සහජීවනය නැති වෙනවා. සහයෝගය නැති වෙනවා. අපි මෝඩ ක්‍රියා, පිස්සු වැඩ ගැන පමණක් අපේ අවධානය යොමු කළාට අපි මිනිසුන් විනාශ කර දමන්නේ නැහැ. ඕපාදූපවලින් සිදු වන්නේ මිනිසුන් කරන ක්‍රියාවන් නොව මිනිසුන් විනාශ කිරීමයි. ඕපාදූප ඉතා වේදනාකාරී හා පීඩාකාරී මේ නිසයි.
ඒත් ඔබට යමක් ගැන යමෙක් ගැන විවේචනය කරන්නම ඕන වෙන අවස්ථා තිබෙන්න පුළුවන්. එහෙම අවස්ථා තිබීම සාධාරණ්‍යයි. එසේ රජය, සමාජය, ආගම් හෝ පුද්ගලයන් විවේචනය කිරීම අවශ්‍යම නම් මේ සඳහාද භාවිත කළ හැකි ශිල්පීය ක්‍රමයක් නැත් නම් උපාය මාර්ගයක් තිබෙනවා.
මේ ශිල්පීය ක්‍රමය සැන්ඩ්විච් ශිල්පී ක්‍රමය ඉචදඤඹඪජඩ ඊඥජඩදඪඳභඥ නමින් හඳුන්වන්න පුළුවන්. මෙම ක්‍රමය අනුව ඔබ කිසියම් කෙනෙකු ගැන ඔහුගේ ශරීරය ගැන හෝ වෙන යම් කිසි දෙයක් විවේචනය කරන්නේ නම් මෙන්න මේ පියවර තුන අනුගමනය කරන්න. මුලින්ම හොඳක් කතා කරන්න. ප්‍රශංසාත්මක දෙයක් කියන්න. ඊළඟට විවේචනය කරන්න. තුන්වන පියවරේදී නැවතත් ප්‍රශංසා කරන්න. හොඳක් කියන්න.
ඔබ ඔබේ ළමයින් ගැන මෙය අත්හදා බලන්න. ළමයින් විවේචනය කිරීමට ගිහින් කොයි තරම් ළමයින්ට ගැටලු ඇති කරනවාද? විශේෂයෙන්ම ඔවුන්ගේ ගැටවර වියේදී ඔවුන් විවේචනය කිරීම නිසා කොයි තරම් ගැටලු ඇති වෙනවාද? එයට මුල්ම හේතුව අපි සැන්ඩ්විච් ශිල්පී ක්‍රමය භාවිත නොකිරීමයි.
මේ ශිල්පීය ක්‍රමය පුළුවන් නම් ඔබේ පුතා ගැන අත්හදා බලන්න. ඔහු ගැන ප්‍රශංසාත්මක යමක් කියන්න.
“මම කොයි තරම් ඔයාට ආදරේද? ඔයා නම් හරිම පුදුමාකාර ළමයෙක්. මෙහෙම ළමයෙකුට අම්මා වෙන්න ලැබිච්ච එක කොයිතරම් දෙයක්ද? ඒ වුණාට ඔයා ටිකක් කම්මැළියි.”
ඊට පසු ආයෙත් සැරයක් ප්‍රශංසා මුඛයෙන් කතා කරන්න.

ඔබේ දරුවාට ඔහුගේ දෙමාපියන් ප්‍රශංසා කරනවා ඇසෙන විට, ඔහු අගය කරන විට, ඔහුට ආදරය කරන බව දැනගත් විට ඔබ ඔහු ගැන විවේචනය කළත් ඔහු එම විවේචනවලට ඇහුංකන් දෙනවා.
මෙය ළමයින් සම්බන්ධව පමණක් නොව, වෙනත් අය සම්බන්ධවද අනුගමනය කළ හැකියි. වැරදියට සිදු වූ යමක් ගැන ඔබ ඕපාදූපයක් කියන්න යනවා ඔබ මෙම සැන්ඩ්විච් ශිල්පී ක්‍රමය අනුගමනය කරන්න.
යම් කිසිවෙකු කෝප නොකොට ඔහු ගැන මේ විදිහට විවේචනයක් කරන්න පුළුවන්. ඒ මඟින් සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. හොඳහිතත් ආරක්ෂා කරගන්න පුළුවන්. ඔබේ හැකියාවන් වැඩිදියුණු කරගන්න, අන් අය සමඟ පවත්නා සබඳතා යහතින් පවත්වාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විටින් විට ඇති වන ගැටලුවලට සාර්ථකව විසඳුම් සොයාගන්නත් ඔබට හැකි වෙනවා. ඔබේ මූලික අරමුණ විය යුත්තේ ඔබත් වැඩි දියුණු වී, අනෙක් අයත් වැඩි දියුණු කර සමාජය තුළ සහජීවනය, සමාදානය ගොඩනැඟීමයි. ඒත් බොහෝ ඕපාදූපවලින් සිදු වන්නේ පහතට ඇදදැමීිමයි; හැමදෙයක් දිහාම වපර ඇසින් බලන ගොරෝසු සමාජයක් ඇති කිරීමයි.

නිතරම නරක කියන විට නරක මිනිසුන්ටත් ගොඩ එන්න අමාරුයි.

ඔබට බොහෝ දේශපාලනඥයන් මුණගැසී ඇති. මම මේ දේශපාලනඥයන් ගැන බෙහෙවින්ම ශෝක වෙනවා. පත්තරකාරයන් ඔවුන් ගැන දරදඬු ලෙස විවේචනය කරනවා. බොහෝ ඕපාදූප පතුරවනවා. නිතරම වැරදි-ඇද-කුද සොයනවා. ඉතින් ඔබ දේශපාලනඥයෙක් වෙන්න කැමැතිද? ඔබේ පෞද්ගලික ජීවිතයේ හැම අස්සක් මුල්ලක් හාරා අවුස්සමින් පත්තර පිටු පුරා නරක ඕපාදූප පතුරවනවාට කැමැතිද?
යහපත් මිනිසුන් නායකයන් වීමට ආකර්ෂණයක් ඇති වීම මේ නිසා වැළකෙනවා. දේශපාලනයේ යෙදීම අමිහිරි කටයුත්තක් බවට පත් වෙනවා. අපේ සමාජය මෙහෙයවීමට නායකත්වය දීමට අපට හොඳ තැනැත්තන් සොයාගන්න බැරි වේවි. විවේචනවලින්, වැරදි සෙවීමෙන්, හැම දෙයකම නරක පැත්ත පමණක් බලන සමාජයක් වෙනුවට අපට වඩා යහපත් සමාජයක් තිබුණොත් වඩා හොඳයි.
යහපත් විවාහයක්, සතුටෙන් සිටින මිතුරන්, සහයෝගයෙන් හා සාමදානයෙන් වැඩකටයුතු කැරෙන සමාජයක් තිබුණොත් අපට වඩා හොඳයි නේද? ඒ සඳහා හැම දෙයකම නරක පැත්ත සොයා ඕපාදූප පතුරවනවා වෙනුවට මිනිසුන් කරන යහපත් දේවල් ගැන ඕපාදූප පැතිරවීම වඩා හොඳයි නේද?
මගේ වන අරණට මහණ වීම සඳහා බොහෝ දෙනා එනවා. සමහරු තවත් මහණදම් පුරනවා. සමහරු මහණ ජීවිතය අත්හැර යනවා. ඔවුන්ගෙන් අසන්න: මම වන අරණේ වෙසෙන භික්ෂූන්ගේ නායකයා වුණත් මම ඔවුන් ගැන ඕපාදූප පතුරවන්නේ නැහැ; ඔවුන් පහත් කොට සැලකීම හෝ විවේචනය කිරීම කරන්නේ නැහැ. එසේ කිරීමෙන් ඔබ සමඟ ජීවත් වන අයගෙන් වඩා යහපත්ම දේ ලබාගන්න බැරි වෙනවා.
කිසි විටක අප අතර අඬදබර කලකෝලාහල නැත. සමහර විට සුළු සුළු ප්‍රශ්න ඇති නොවෙනවා නොවෙයි. එවිට අපි එකට එක්කාසු වී ඒවා විසඳාගන්නවා.
ඕපාදූප ගැන පරිස්සම් වෙන්න. යම් කිසිවකු ඔබ ගැන ඕපාදූප කියූ වගක් ඔබට ආරංචි වුණොත් එය ඔබෙන්ම අවසන් කරන්න. ඔබ ගැන වැරදි යමක් තවත් කෙනෙක් කිව්වොත් ඔබ එය සතුටෙන් සිනාවෙන් බාරගන්නවා නම් කිසිවෙකුට ඔබට පීඩා කරන්න බැහැ. ඕපාදූප මඟින් ඔබ පහතට හෙළන්න, ඔබ අවුල් කරන්න හැදුවොත් ඔබ කළ යුත්තේ මෙයයි.

ඔබට මෝඩයෙක්, තකතීරුවෙක්, මොට්ටයෙක් කියා කිව්ව වේලාවකත් සිනා සෙමින් සතුටෙන් ඉන්න. ඔවුන් මොනවා කළත්, මොනවා කිව්වත් ඔබේ සතුට පාලනය කරන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා.
මෙමඟින් වඩාත් යහපත්, වඩාත් සහයෝගයෙන්, සාමදානයෙන් සහජීවනයෙන් වැඩ කරන සමාජයක් ගොඩනැඟීමට ඔබටත් දායක වන්න පුළුවන්.
විවිධ ආගම්, විවිධ ඇදහිලි ගැන ආරවුල් ඇති කරගන්න තරම් මේ ලෝකය ලොකු නැහැ. අපට එකට එකතු වී වැඩ කරන්න පුළුවන්. එකට එකතු වී වැඩ කිරීමට අපට බාධා කරන මූලික දෙයක් තමයි ඕපාදූප කීම: අනුන්ගේ වැරදි සෙවීම. අපි මෙය වෙනස් කරමු. යහපත් ලෝකයක් උදා කරමු.

 පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි

2015 මාර්තු  මස නමස්කාර  පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment