Labels

Wednesday, September 2, 2015

තමාට තමාවත් නැතිනම්...



යොවුන් බව ජරාවට, දිරීමට පත්වීමෙන් එනම් වයස්ගත වීමෙන් අවසන් වේ. රැස් කරන ලද මහත් ධනය, වස්තුව විනාශවීමෙන් අවසන් වේ. එක්වීම වෙන්වීමෙන් කෙළවර වේ. ජීවිතය මරණයෙන් අවසාන වේ. මේ පිළිබඳ සිහිනුවණින් මෙනෙහි කරන අයට ජීවිතයට නොබියව නොපැකිළව මුහුණ දිය හැකිය.


නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
පුත්තාමත්ථී ධනම්මත්ථි
ඉති බාලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතෝ පුත්තා කුතෝ ධනං
(ධම්මපදය – බාල වග්ගය)


සැදැහැවතුනි,

අනුවණයා තමාට දූ පුතුන් ඇතැයි ධනය , වස්තුව ඇතැයි සිතා තණ්හාවෙන් දුකට පැමිණෙයි. තමාට තමාවත් නැතිකොට දූ පුතුන් කොයින් ද? ධනය කොයින් ද? තමනට දූ පුතුන් හෝ ධනය තබා තමාවත් නැති බව අනුවණයාට නොවැටහේ. ඒ නිසා ඔහු විනාශයට පත් වන්නේය. පඤ්චකාම සම්පත්වල ඇලෙන පුහුදුන් ජනතාව වෙත මහා කරුණාවෙන් අප බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ පස්කම් සැපෙහි ඇලි ගැලී සිටීමේ ආදිනවයයි. බුදුවදනට අනුව, තමාට තමාවත් නැති බව වටහාගත යුතුවේ.
චක්ඛු, සෝත,ඝාණ, ජිව්හා, කාය යන ඉඳුරන් පහෙන් ගන්නා රූප ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ යන අරමුණු සුබ යයි සලකා ඒ කෙරෙහි ඇලීමෙන් පසිඳුරන් අධිකව පිනවන්නට යෑම නිසා පුහුදුන් තැනැත්තා සසර දීර්ඝ කරගනී. ධර්මයට මනැස යොමු නොකිරීම නිසා තමා වෙළී සිටින මුළාවේ තරම ඔහුට නොවැටහෙයි. එබැවින් අතෘප්තිකර ආශාවන්හි ගැලීම නිසා සසර දුක් බහුලව විඳීමට සිදුවේ. මෙසේ පස්කම් සැපතෙහි ගිජුවන තැනැත්තා සසර කතරේ අතරමං වීම ඒකාන්තය. පඤ්චස්කන්‍ධ නමැති ලෝකය අවබෝධ කර ගැනීමේ නුවණ වඩවා ගැනීමට ඔහු උත්සාහවත් වන්නේ නැත. මේ ප්‍රමාදිබව විනාශයම ළඟා කරවයි.

තණ්හාය ජායති සෝකෝ
තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං
(ධම්මපදය – පිය වග්ගය)


තණ්හාව නිසා ශෝකයත් භයත් ඇතිවේ. තණ්හාව නැති කළ කල්හි ශෝකයක් කොයින්ද? භයක් කොයින්ද? එසේනම් තණ්හාව නැතිකොට සසර දුක්වලින් මිදී නිවන් පසක් කරගැනීමයි කළ යුත්තේ.
තෘෂ්ණාව නිසා පසිඳුරන් පිනවන්නට යෑමෙන් ජාති, ජරා, ව්‍යාධි මරණාදි දුක්ඛයන්ට මුහුණදීමට අපට සිදුවේ. ඉපදීම සිදුවන ආකාර කිහිපයකි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික යනු එම ආකාර සතරයි. මෙසේ අප සසරෙහි නැවත නැවත ඉපදීමට හේතුව තෘෂ්ණාවයි. තෘෂ්ණාව නැති කිරීමට නම් අතහැරිම පුරුදු කළ යුතුය.
අසීමිත ආශාව නිසා පඤ්චකාමයෙහි ඇලෙන අතර එසේ නොහැකි විට ද්වේශය ඇතිවේ. එනිසා ගැටීම් සිදුවේ. මේ ගැටීමට හේතුව මෝඩකමයි, මුළාවයි. ඒ පිළිබඳ නොවැටහෙන අනුවණයෝ දූ පුතුන් හා ධනය පිළිබඳ සිතමින් උදම් අනති. එසේ කරමින්ම මෝඩකම නිසා අහංකාර වෙති. එයින්ම වෙහෙසට පත්වෙති.
පුත්තා මේ අත්ථී – මට දූ පුතුන් ඇතැ’යි අඥානයා තෘෂ්ණාවෙන් සිතයි. දුක් මහන්සි වී දූ පුතුන් ඇති දැඩි කරන මවුපියවරු ඇතැම්විට ඔවුන්ගේ හව්හරණක් නැතිව දුකට, සන්තාපයට පැමිණෙති. තම කාලය, ධනය, ශ්‍රමය වැය කොට දූ දරුවන් උස්මහත් කළ පසු ඇතැම් දරුවෝ මවුපියන් නොසලකා හරිති. පේ‍්‍රම සම්බන්ධකම් ඇතිකරගෙන මවුපියන්ගේ බලාපොරොත්තු සුණු විසුණු කොට ඔවුන් අතහැර දමා යති. විවාහ දිවියට ඇතුළත් වූ පසු ද එලෙසම මවුපියන් නොසලකා හරිති. අතරමං කොට දමති.තම දූ දරුවන්ගේ හව්හරණක් නොමැති වූ මව්පියවරු දුකට, සන්තාපයට හා පසුතැවිල්ලට පත්වෙති. ඇතැම්හු තම දූ දරුවන්ට සාප කරති.

ධනං මේ අත්ථි - මට ධනය ඇතැයි සිතන අනුවණයා වැනැසේ. ධනය නිසා පස්කම් සැපතෙහි ගිජුව වාසය කරයි. වැරැදි ලෙස පස්කම් සැප විඳී. අධිසුඛෝපභෝගි දිවියට හුරුපුරුදු වීම නිසා අයථා ලෙස දිවි ගෙවීමටද උත්සාහ කරයි. ඇතැම්විට වංචාවෙන් දුරාචාරයෙන් අයථා ලෙස ධනය ඉපැයීමටද වෙර දරයි. සුරාව, සූදුව වැනි දුරාචාරයන්ට පෙළැඹෙනවා පමණක් නොව අන් අයද පොළඹවයි. ඇතැම්හු ධනය නිසා මිනිස් ඝාතන පවා සිදුකරති. මං පහරති. මුදලට නොයෙකුත් දුරාචාර සිදු කරති. මේ නිසා සමාජය දූෂණ, භීෂණ, ඝාතනවලින් පිරී පවතී. එබැවින් වැරැදියට යොදවන ධනය විනාශයම ඇතිකරවන බව සිහිනුවණින් යුතුව වටහාගැනීම අවැසිය. මිනිසුන්ගේ හදවත් තුළ වන ඊර්ෂ්‍යාව, කුහකකම, ගුණමකුකම, පළිගැනීමේ චේතනාව වැනි දුර්ගුණ නිසා ඉහත සඳහන් කළ අයථා ක්‍රියාවල යෙදේ. එබැවින් මිනිස් සිත් සතන් මෙත්තා, කරුණා, මුදිතා,උපෙක්‍ඛා, යන සිවු බඹ විහරණයන්ගෙන් පුරවා ගත යුතුවේ. එකිනෙකා කෙරෙහි මෛත්‍රී චින්තාවෙන් යුතුව පි‍්‍රයවාදිව ඔවුනොවුන් දෙස බැලීම අවශ්‍යම වේ. එවිට සාමකාමී, සහජීවනයෙන් යුත්, සදාචාරසම්පන්න, ගුණගරුක, දැහැමි සමාජයක් බිහිකළ හැකිය. දන්දීම, පරිත්‍යාගය වැනි යහපත් ගුණාංග දියුණු කිරීමෙන් සමෘද්ධිමත් සමාජයක් බිහිකළ හැකිය. පඤ්ච ශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීම සදාචාර සම්පන්න සමාජයකට හේතුපාදක වේ.

හා යොබ්බනා ජරා අන්තා
හා විනාසා මහද්ධනා
හා සංයෝගා වියෝගන්තා
හා මතන්තා සජීවකා 

 
යොවුන් බව ජරාවට, දිරීමට පත්වීමෙන් (වයස්ගත වීමෙන්) අවසන් වේ. රැස් කරන ලද මහත් ධනය, වස්තුව විනාශවීමෙන් අවසන් වේ. එක්වීම වෙන්වීමෙන් කෙළවර වේ. ජීවිතය මරණයෙන් අවසාන වේ.මේ පිළිබඳ සිහිනුවණින් මෙනෙහි කරන අයට ජීවිතයට නොබියව නොපැකිළව මුහුණ දිය හැකිය. එනිසාම ඇත්ත ඇති සැටියෙන් බැලීමට පුරුදු වේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය අවබෝධ කළ හැකිවේ. යථාර්ථය අවබෝධ කරගෙන සසර දුකෙන් මිදී තෘෂ්ණාව මුලිනුපුටා දමා, නැවත ඉපදීමක් නැති ජාති ජරා ව්‍යාධි මරණ නැත්තාවූ සදාකාලික නිර්වාණය අවබෝධ කළ හැකිවන්නේ එවිටයි.


 ශාස්ත්‍රවේදී, ත්‍රිපිටකාචාර්ය
රොලව මංගල හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මාර්තු 11 වනදා සඳුදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment