එම්බා පේ‍්‍රතය, මේ විදිහට මොහු ඉතා දරුණු දුකට පත්වෙලා කොහොඹ උලක නග්ගවලා ඉන්නේ. එහෙම කෙනෙකුට ඔබ ඇයි ‘ජීවත් වෙන්න. ජීවත් වෙන්න ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ’ කියා කියන්නේ. මොන කරුණක් මතද? පින්වත් රජතුමනි, මේ පුරුෂයා මගේ ලේ ඥාතියෙක්. මට පෙර ආත්මභාව සිහි කරන්න පුළුවනි. එහෙම දැකලා මට මොහු ගැන කරුණාවක් ඇතිවුණා. පාපී ගති ඇති මේ පුද්ගලයා නිරයේ වැටෙන්න නම් එපා කියල
තථාගතයන් වහන්සේ ජේතවනාරාම විහාරයෙහි වැඩ වාසය කරන කාලයේ දී අම්බස්ඛර නම් ලිච්ජවි රජතුමා විශාලා නුවර රජ වී සිටියා. ඔහු මිත්‍යා දෘෂ්ඨිකයි. නාස්තිකවාදීයි.
ඒ කාලයේ ඒ නුවර එක්තරා වෙළෙන්දෙකුගේ වෙළෙඳපල ඉදිරිපිට මඩ වලින් ගැවසුනු බිම් පෙදෙසක් තිබුණා. බොහෝ මිනිසුන් එහි වැටී කරදරයට පත්වුණා. ක්ලාන්ත වුණා. සමහරු මඩ තැවරීමෙන් පීඩා වින්දා. එය දුටු එක් වෙළෙන්දෙක් මේ මිනිසුන් මඩ නො පාගාවා කරදරයට පත් නොවේවා යි සිතා දුගඳ නැති සුදු පැහැති මියගිය ගවයකුගේ් හිසේ ඇටකටු ගෙන මඩ මතුපිටට දැම්මා. ඔහු ස්වභාවයෙන්ම සිල්වත්. ක්‍රෝධ නො කළ තැනැත්තෙක්. මොලොක් වචන තිබුණා. අනුන්ගේ ගුණ කිව්වා.
එක් දිනක් මොහු තම යහලුවකු දිය නාමින් සිටින විට විහිලුවක් කරමියි සිතා ඔහුගේ ඒ ඇඳුම් සඟවා තැබුවා. දිය නා ගොඩ වූ යහලුවා ඇඳුම් සොයමින් බොහෝ අපහසුවට පත්වූ විට ඔහු සිනා සිසී නැවත ඒ ඇඳුම් දුන්නා.
ඒ වගේම ඔහුගේ් බැණෑ කෙනෙකු අනුන්ගේ් ගෙවල් වලින් බඩු සොරකම් කොට අර තැනැත්තා කරගෙන ආ වෙළෙඳ සැලේ තැබුවා. බඩු හිමියෝ බඩු සොයාගෙන ගොස් කඩේ තිබුණු බඩුත් සමඟ ඔහුත් බෑණාත් අල්ලාගෙන ගොස් රජුට බාර දුන්නා. රජතුමා මොහුගේ් හිස ගසා දමා බෑනා උල තබන්නට නියෝග කළා.
ඔහු කලුරිය කොට භූමාටු දෙවියන් අතර උපන්නා. ඔහු පෙර ජීවිතයේ දී ගව හිස් කටුවලින් මගතොට පිළියෙල කළ පිනෙන් සුදු පැහැති දිව්‍යමය මනෝ ජව සම්පන්න වූ අජානීය අශ්වයකු ලැබුණා. අනුනගේ ගුණ කීම නිසා ඔහුගේ ශරීරයෙන් දෙවි සුවඳ විහිදුණා. වස්ත්‍රය සඟවා තිබූ පවෙන් නග්නව උපන්නා. ඔහු තම පෙර කළ කර්මයේ බලයෙන් උල තබන ලද තමන්ගේ් බෑනා දැක කරුණාවෙන් යුතුව වේගයෙන් යන අසුපිට නැගී උල තබා ඇති තැනැත්තා ළඟට ගොස් “පින්වත ජීවත් වනු, ජීවත්වීමමයි ශ්‍රේෂ්ඨ’ කියා සැම දවසකම කියනවා.
ඒ කාලයේ අම්බසක්ඛර රජතුමා අසුපිටින් නගරය පුරා වීදි සංචාරය කළා. එවෙලෙහි එක්තරා නිවසක කවුලුවෙන් රජතුමාගේ සිරි නරඹමින් සිටි එක් ස්ත්‍රියක් දුටු රජතුමා ඇය කෙරෙහි ආල සිතක් ඇතිකරගෙන පසු අසුගේ සිටි රාජපුරුෂයාට මේ නිවස හා මේ කාන්තාව මතකයේ තබා ගන්නැයි කියා නගරය පුරා වීථි සංචාරය කොට නැවත මාලිගාවට ආවා.
පසුව අර පුරුෂයා කැඳවා ‘මා විසින් පෙන්වූ නිවසේ සිටි ස්ත්‍රිය විවාහදැයි දැනගෙන එව‘ කියා ඔහු පිටත් කොට යැව්වා. ඇය විවාහක බව රජු දැනගත්තා. ඇය ලබා ගැනීමට උපායක් සිතා ඒ කාන්තාවගේ් සැමියා කැඳවා ‘ එම්බල පුරුෂය ඔබ මට මෙතැන් පටන් උපස්ථාන කළයුතු යැයි’ රජ අණක් පැනවූවා. ඔහු ඉතාමත් අකැමැති වුවත් අණ පිළිගත්තා. රජතුමා ඔහුට බත් වැටුප ලබා දුන්නා. දින කිහිපයකට පසු රාජකාරියට පැමිණි පුරුෂයාට රජතුමා කියා සිටියා
’පුරුෂය අසවල් තැන එක් පොකුණක් තිබෙනවා. ඒ පොකුණේ් අරුණුවන් මැටි සහ රතු උපුල් තිබෙන එව. ඔබ අදම ඒවා රැගෙන නාවොත් තාගේ ජීවිතය ද මම නැති කරමි’ කියා ඔහු පිටට ගිය පසු දොරටුපල්ලා අමතා අද ඉර බසින්නට පෙරම නුවර සියලු දොරවල් වසා දමන්නැයි අණ කළා.
රජතුමා කියා සිටි ඒ පොකුණ විශාලා නුවර සිට තුන් යොදුනක් පමණ ඈතින් තිබුණත් ඔහු මරණ බිය නිසා ඉතා වේගයෙන් ගොස් උදය කාලයේ ම ඒ පොකුණ වෙතට ආවා. ඒ පොකුණ අමනුෂ්‍යයකු විසින් ආරක්ෂා කරන බව කලින් ඔහු දැන සිටි නිසා පොකුණට නො බැස පොකුණේ අනතුරු කිසිවක් ඇද්ද බලමින් වටේ ඇවිද්දා. පොකුණට අරක් ගත් අමනුෂ්‍යයා මොහු කෙරෙහි අනුකම්පාවෙන් මිනිස් වෙසින් පැමිණි ඔහුගෙන් සියලුම කරුණු විමසා “තොපට අවශ්‍ය දෙයක් ගෙන යන්නැයි” කිව්වා. අර පුරෂයා අරුණුවන් මැටි ද රත්උපුල් ද ගෙන හිරු බැස යාමට පෙරම නගරයේ දොරටුව වෙත පැමිණියා. ඔහු දුටු දොරටු පාලකයා කෑගසද්දී ම දොරටුව වසා දැමුවා.
දොර වසා දැමු නිසා නගරයට ඇතුලුවීමට අවස්ථාවක් නොමැති ව වටපිට බලද්දී, දොරටුව ළඟ උල තබා තිබෙන අර පුරුෂයා දුටුවා. ඔහු කියා සිටියා ‘මම අත වැරැද්දක් නැහැ. මම කෑ ගසද්දීම දොටුවට වසා දැමුවා. මම සවස් වීමට පෙර යි ආවේ’ නුඹ විසින් මෙය දැක්කානේ. නුඹ මට සාක්ෂිකරුවෙකු වේවායි’ කියා සිටියා. එය අසා උල උඩ සිටි පුරුෂයා කියනවා “ මම උල උඩ ඉන්න මරණයට කැප වූ අයෙක්. මා කෙසේනම් ඔබට සාක්ෂි දෙන්න ද? ඔබට මම යෝජනාවක් කරන්නම්. මා බැලීමට එක් ඉර්ධිමත් පේ‍්‍රතයෙක් සෑමදාම මෙතැනට එනවා. ඔබ ඒ පේ‍්‍රතයා සාක්ෂිකරු කරන්න යැයි කියා සිටියා. මැදියම් රෑ එතැනට පැමිණි පේ‍්‍රතයාට සියලු කරුණු කියා සිටියා.
පසුදා උදේ රජතුමා ‘තා විසින් මගේ අණ ඉටුකළේ නැහැ. නුඹට එනිසා රාජ දඬුවම් පමුණුවමියි’ කියා සිටියා. එවිට අර පුරුෂයා ‘’දේවයන් වහන්ස මා ඔබගේ අණ ඉටුකළා. සවස් වීමට පෙර මම මෙහි ආවා. “ඒ සඳහා තොට සාක්ෂි තිබේදැයි” රජතුමා අසා සිටියා.
එසේය. මේ උල උඩ සිටින මිනිසා ළ¼ඟට සැමදාම එක් ඉර්ධිමත් පේ‍්‍රතයෙක් පැමිණේ. ඒ පේ‍්‍රතයා මට සාක්ෂිකරුයි” ඒ සාක්ෂිය කෙසේ විමසිය යුතුදැයි රජු අසා සිටියා. “අද රාති‍්‍රයේ ඔබ වහන්සේ මා හා එනු මැනවයි” කියා සිටියා. රජතුමා මැදියම් රාත්‍රියේ දී එතැනට ගොස් සිටියා. එතැනට ආ පේ‍්‍රතයා ’පින්වත ජීවත් වව්. ජීවත්වීමමයි ශ්‍රේෂ්ඨ’ කියා සිටියා. එය ඇසූ රජු පේ‍්‍රතයාගෙන් ගාථාවකින් කරුණු අසා සිටියා.
මොහුට නින්දක්, වාඩිවෙලා සිටීමක් නැහැ. ඉදිරියට ඒමක් නැහැ. අපසු යාමක් නැහැ. ආහාරපාන රස විඳීමක් ඇඳුම් නැහැ.
එම්බා පේ‍්‍රතය, මේ විදිහට මොහු ඉතා දරුණු දුකට පත්වෙලා කොහොඹ උලක නග්ගවලා ඉන්නේ. එහෙම කෙනෙකුට ඔබ ඇයි ‘ජීවත් වෙන්න. ජීවත් වෙන්න ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ’ කියා කියන්නේ. මොන කරුණක් මතද?
පින්වත් රජතුමනි, මේ පුරුෂයා මගේ ලේ ඥාතීයෙක්. මට පෙර ආත්මභාව සිහි කරන්න පුළුවනි. එහෙම දැකලා මට මොහු ගැන කරුණාවක් ඇතිවුණා. පාපී ගති ඇති මේ පුද්ගලයා නිරයේ වැටෙන්න නම් එපා කියල.
ලිව්ඡවී රජතුමනි. මේ පුද්ගලයා මෙතැනින් චුුුත වෙලා යන්නේ අති භයානක සන්තුස්සද කියන නිරයට යි. එහෙ පවු කරපු උදවියට මහ භයානක කටුක දැවිලි, තැවිලිි ඇති දුක් උපදනවා.
එවිට රජතුමා කියනවා පේ‍්‍රතය, මම යම්කිසි දෙයක් ඇසින්ද දැක්කා නම් ඒ හැම දෙයක්ම මට විශ්වාස කරන්න පුළුවනි. ඉදින් ඇස් දෙකෙන්ම දැකලත් ඒක මම අදහන්නේ නැත්නම් එතකොට ඔබ මට නිග්‍රහ කරන්න.
පේ‍්‍රතය, ඔබ සුදු අශ්වයන් යෙදූ අලංකාර යානයකින් මේ හුල තිබෙන පුද්ගලයා ළඟට එන්නේ. මේක අද්භූත යානයක්. දර්ශනීය යි. මේ විපාකය මොන කර්මයකින් ලැබුණ දෙයක් ද?
විශාලා මහනුවර නගරය මැද්දේ මඩ සහිත මාර්ගයක නාර වලක් තිබුණා. මම යහපත් අදහසින් මියගිය ගවයකුගේ හිස් කබලකින් ඒ වළ වැහුවා. එයට පය තබා මිනිසුන් එතැනින් ගමන් කළා. මේක අද්භූත යහනාවක්. දර්ශනීය යි. මේ විපාකය ලැබුනේ අන්න ඒ කර්මයෙන් තමයි.
මහානුභාව ඇති යක්ෂය, ඔබේ සිරුර පැහැයේ හැම දිසාවක්ම බබලනවා. ඔබේ ශරීරයේ හමන සුවඳ හැම දිසාවේ ම පැතිරෙනවා. ඔබ දිව්‍ය ඉර්ධියට පත්වෙලයි ඉන්නේ. නමුත් ඔබේ ඇගේ නූල් පොටක්වත් නැහැ. මේ විපාකය ලැබුණේ ඇයි?
මම ක්‍රෝධ කළේ නැහැ. හැම තිස්සේම ගතකළේ පහන් සිතින්මයි. මිහිරි වචනයෙන් මම මිනිසුන්ට කතා කළේ. මගේ් දිව්‍ය වූ සිරුරෙන් පැහැය විහිදෙන්නේ ඒ කර්මයේ විපාක වශයෙන්. ධර්මය පිහිටි උදවිය ගේ යසස් කීර්තියත් ගැන දැකලමයි මම එය පහන් සිතින් වර්ණනා කරන්නේ. ඒ කර්මයේ විපාකය වශයෙන් ලැබුණේ් මෙයයි. මගේ ශරීරයෙන් දිව්‍ය සුවඳක් නිතර හමනවා. මගේ යහලුවන් නාන තොටේ නනා හිටියා. එතකොට මම ඔවුන්ගේ වස්ත්‍ර සඟවා තැබුවේ සෙල්ලටම යි. නපුරු අදහසින් නොවේ. ඒ විපාකය තමයි මම නිරුවත් කෙනෙක් වුණේ. ඒ නිසා මගේ ජීවිතය දුකයි.
යම් කෙනෙක් සෙල්ලමට හරි යම් පවක් කළොත් එයාට මේ විදිහේ කර්ම විපාකයකට මුහුණ දෙන්න සිදුවෙන බව සත්පුරුෂයන් කියල තියෙන්නේ. එනිසා සෙල්ලමකට හෝ නපුරු සිතින් හෝ යම් කෙනෙක් පවක් කරනවානම් එහි විපාකය මොන තරම් දරුණු වේවිද කියලත් අප දැනගන්න ඕන.
යම්කිසි මිනිසෙක් දූෂිත වූ අදහසින් යුක්තව කයින් වචනයෙන් අපිරිසුදු දේ කරනවානම් එයාට මරණින් මත්තේ නිරයේ උපදින්න වෙන්නේ. සුගතියේ උපත පතන අයත් ඉන්නවා. ඒ අය දන් දීමට ඇලෙනවා. අනිත් අයට උදව් උපකාර කරමින් ජීවිතය ගත කරනවා. එයාල කය බිඳී මැරුණට පස්සේ නිසැකවම උපදින්නේ් සුගතියේ.
යම් හෙයකින් මේ මිනිස් ලෝකයේ සත්ත්වයන් පින් කියන දෙයක් පව් කියන දෙයක් කරනවාද ඒ හේතුන් නිසාමයි සුගතියට ගිය සත්වයොත් දුගතියට ගිය සත්වයොත් ඉන්නේ. ඒ නිසාමයි මේ මනුස්ස ලෝකයේ උසස් පහත් අය ඉන්නෙත්. සැප විඳීමටත් දුක් විඳීමටත් හේතුවන කර්මවිපාක ගැන මම අද කිව්වා. පින් කරපු උදවිය දෙවියන් වෙලා ඉපදිලා සැප සම්පත්වලින් සතුටු වෙනවා. මේ පින්පව් වල වෙනස් දකින්නේ නැති අඥානයන් නිරයේ ගිහින් දුක් විඳිනවා.
තමන් විසින් කරගත්තු පින් කියලා දෙයක් මට නැහැ. ඒ වගේම රෙදිපිළි සේනාසන ආහාරපාන ආදිය දන් දීල මට පින් දෙනවානම් එවැනි කෙනෙක්වත් නැහැ. ඒ නිසා මම නූල් පොටක්වත් ඇඟේ නැතිව දුක්ඛිත ජීවිතයක් ගෙවනවා.
එම්බා පේ‍්‍රතය ඔබට යම්කිසි පිළිවෙලකින් අඳින්නට යමක් ලැබෙනවා නම් එබඳු දෙයක් තියෙනවානම් මට කියන්න. මම එය ඉටු කරනවා.
මේ ළඟ කප්පනක කියලා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ධ්‍යාන වඩනවා. ඉතාමත් සිල්වත් . කෙළෙස් දුකෙන් නිදහස් වුන රහතන් වහන්සේ නමක්. ඉදුරන් සංවරයි. උතුම් ශික්ෂා පදවලට හොඳට හික්මිලා තියෙනවා. සිහිල් වෙලා ඉන්නවා. උතුම් අවබෝධයට පත්වෙලා ඉන්නවා.
මොලොක් ගුණ තියෙනවා. යහපත දන් දෙනවා. සොඳුරු වචන තියෙනවා. සියුමැලියි. හොඳට බණ දහම් දකිනවා. අවබෝධයෙන්මයි කථාබහ කරන්නේ. පින් කෙතක්. නිකලෙස් විවරණයෙන් යුක්තයි. ත්‍රිවිද්‍යාවම ලබලයි ඉන්නේ. වජ්ජි දේශයේ උන්වහන්සේ ගැන කථා කරන්නේ මුනිවරයෙක් කියලයි.
ඔබ ඒ කප්පින්නක තෙරුන් වහන්සේට එක වස්ත්‍රයක් හරි වස්ත්‍ර දෙකක් හරි මා වෙනුවෙන් පූජා කරන්න. උන්වහන්සේ ඒ වස්ත්‍ර පිළිගන්නවා නම් ඔබටම දකින්නට ලැබේවි මම හොඳ ලස්සනට රෙදිපිළි ඇඳල ඉන්නවා.
’ඒ ශ්‍රමණයන් වහන්සේ වැඩ වාසය කරන්නේ කොයි පළාතේද
කපිනච්චනා කියන ප්‍රදේශයේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. බොහෝ දෙවිවරුන් පිරිවරාගෙනයි ඉන්නේ. සත්‍යය යන නම් ලද උන්වහන්සේ තමන්ගේ ආචාර්ය විනයෙහි අප්‍රමාදීව හික්මීමෙන් ධර්ම කතාව වදාරණවා.
ඉන් පසු සුදුසු වෙලාවක් බලා කටයුතු නිමවා දිය නා රජතුමා අර ප්‍රදේශයට ගියා. ගිහින් ශාන්ත සිත් ඇති ශ්‍රමණයන් වහන්සේ දැක ගත්තා. පිණ්ඩපාතයට පසු රුක් සෙවණක නිවී සැනසී වැඩ ඉන්නා උන්වහන්සේ දැක්කා.
රජතුමා උන්වහන්සේ වෙත ගියා. ‘ස්වාමිනි මම විශාලා මහනුවර ලිච්ඡවි රජ කෙනෙක්. මට කවුරුත් අම්බස්කාඛර ලිච්ඡවි රජ කියලයි කියන්නේ. ස්වාමිනි මේ පිළිසඟල පිළිගන්නා සේක්වා. මම ඔබවහන්සේට මේවා පූජා කරනවා.
එවිට රහතන්වහන්සේ අසනවා, පින්වත් රජතුමනි ඔබ ශ්‍රමණයන් වහන්සේට ඇසුර දුරින්ම දුරු කරල නෙව ඉන්නේ. ඔබේ නිවස අසල දී පාත්‍රත් බිඳ දැම්මානේ. සඟල සිවුරු කීති කීතු වලට ඉරු දැමුවා. ඔබ තණ අගින් වැගිරෙන දිය බිඳුවක තරම්වත් දන්දිලා නැහැනේ. ඉතින් ඔබ කුමන ගුණයක් නිසාද අපට මෙසේ දන් දීම කරන්නේ.
ස්වාමිනි, මම ඔබ කියාපු දේවල් පිළිගන්නවා. මම ශ්‍රමණයන් වහන්සේලා බෙහෙවින්ම වෙහෙසට පත්කළා. හැබැයි මම ඒවා කළේ නපුරු සිතිකින් නොවේ. සෙල්ලමටයි.
එක්තරා ප්‍රේතයෙක් සෙල්ලමට පව් රැස් කරලා දැන් දුක් විදිනවා. සැප සම්පත් සම්පූර්ණ නැහැ. හොඳ තරුණයෙක්. ඒ වුණාට විලි වසා ගන්න නූල් පොටක්වත් නැහැ. ස්වාමිනි මම ඒ පේ‍්‍රතයව දුටුවා. මට සංවේගයක් ඇතිවුණා. එනිසයි මේ වස්ත්‍ර ඔබ වහන්සේට පිළිගන්වන්නේ. මෙය පිළිගන්නවා සේක්වා. මෙයින් ලද පින ඒ පේ‍්‍රතයා වෙත පැමිණේවා.
ඒකාන්තයෙන්ම දන් දීම වනාහි බුද්ධා උතුමන් විසින් නොයෙක් විදීමට ප්‍රශංසා කර තිබෙනවා. දන් දෙන්නා වූ ඔබගේ ධනය ක්ෂය නොවන තත්ත්වයට පත්වේවා. ඔබගේ ඔය වස්ත්‍ර යුගල මම පිළිගන්නම් මේ පින පේ‍්‍රතයාට පැමිණේවා.
එවිටම රජු අර පේ‍්‍රතයා දුටුවා. උදාර රූප සම්පත්තියෙන් යුක්තයි. සඳුන් කල්ක තවරාගෙන ඉන්නවා. ලස්සනට වස්ත්‍ර ඇඳිලා අලංකාර වෙලා සිටියා. ඒ වගේම පිරිවර මැද අජානීය අශ්වයකුගේ පිට නැගලා ඉන්නවා. මහ සැප සම්පත් ලබලා.
රජතුමා පේ‍්‍රතයාව දැකලා සතුටට පත්වුනා. සුන්දර වූ ස්වරූප ඇති ඒ කර්මයේ විපාක දැක්කා. මෙලොවදීම තමන්ගේ ඇස්වලින් දැක ගත්තා.
රජු පේ‍්‍රතයා ළඟට ගිහින් කියනවා ‘මම ශ්‍රමණ බ්‍රාහ්මණවරු දැක ගත්තා. දැන් ඉතින් මට දෙන්න බැරි කිසිදෙයක් නැහැ. පේ‍්‍රතය නුඹ මට බොහෝ උපකාර කළා.
ලිච්ඡවි රජතුමනි, ඔබ මට ඔය දුන්නේ සිව්පසයෙන් එක කොටසක් වූ වස්ත්‍ර දානය යි. ඒ දානය හිස් දෙයක් නොවේ.
“පින්වත් පේ‍්‍රතය, ඔබ මම යන ගමන්ද මගේ ඥාතියාද මිත්‍රයාද බවට පත්වෙන්න. ඉටු දෙවියා වන්න. මම නැවතත් ඔබ දැක ගන්නට කැමැතියි” රජු කියා සිටියා.
රජතුමනි ඔබ දැකලා මම කතාබහ කරනවා. ඒ නිසා ඉක්මනට මේ පුද්ගලයාව මේ හුලෙන් නිදහස් කරන්න. යම් කරුණක් නිසා අපි මුණ ගැසුනේ මේ හුල මත සිටින පුද්ගලයා නිසයි. මොහු නිදහස් කළොත් පින්දහම් කරගෙන නිරයෙන් නිදහස් වේවි. ඔහුත් සමග ගිහින් කප්පින්න තෙරුන් වහන්සේ දැක දන්පැන් පූජා කර ගන්න. ඉන්පසු රජතුමා ඒ පුරුෂයා නිදහස් කොට ඔහු වෙද මහත්වරු ළඟට ගෙන ගියා. ඔහු සුව වූ පසු මේ රජු ඔහු සමග කප්පින්න තෙරුන් වහන්සේ වෙත ගියා. දන් පූජා කර ගත්තා.
උන්වන්සේගෙන් විමසනවා මොහු වැරැදි වැඩ කර හුල මත විසි රැයක් ගෙවූ කෙනෙක්. මොහු ජීවත් වුණෙත් නැහැ. මැරුණෙත් නැහැ. අර පේ‍්‍රතයාගේ කීම අසා මම මොහු නිදහස් කළා. ඔහුගේ් තවත් අකුසල ඇද්ද? මෙලොවදී කළ කර්මයන් විපාක නොවිඳ ගෙවිලා යාමක් නැද්ද?
තෙරුන් වහන්සේ වදාළා ඔබ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. එවිට නිරයෙන් නිදහස් වෙනවා. නමුත් ඒ කර්මය වෙන භවයක ඉපදිලා විඳින්නට සිදුවෙනවා.
ස්වාමිනි, මා කෙරෙහි ද අනුකම්පා කළ මැනවි. ප්‍රඥාවන්ත මුනිදුනි, මටත් අවවාද කරන සේක්වා. මමත් එවිට නිරයෙන් නිදහස් වේවි.
එසේනම් ඔබ අදම පහන් සිතින් බුදුරජාණන් වහන්සේත්, ධර්මයත්, ආර්ය සංඝ රත්නයත් සරණ යන්න. සිදුරු නැති පැල්ලම් නැති පන්සිල් පද පහ සමාදන් වන්න. එයින් සැප විපාක ලබා දෙනවා. සිවුරු පිණ්ඩපාත ගිලන්පස සේනාසන දන්පැන් ඇඳ පුටු ආදි සේනාසන සෘජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පූජා කරන්න.
රජතුමා ඉතාමත් ගෞරවයෙන් ඒ කරුණු පිළිගත්තා. අම්සක්ඛාර ලිච්ඡවි රජු විශාලා මහනුවර එක්තරා උපාසකයෙක් වුණා. ශ්‍රද්ධාවන්ත භික්ෂූන් මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා.
හුලමත හිටි පුද්ගලයා සනීප වුනා. උතුම් කප්පිනක ස්වාමින් වහන්සේ ළඟට ඇවිත් පැවිදි වුණා. ලිච්ඡවි රජුත් මේ පුද්ගලයාත් මාර්ගඵල අවබෝධ කළා.

පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර්
12 වන බදාදා දින හා උඳුවප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර් 20 වන බ්‍රහස්පතින්දා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපි දෙකකි
No comments:
Post a Comment