Labels

Sunday, September 6, 2015

යහ-සමාජයක් උදෙසා



යහපත් සමාජයක් ගොඩනැඟීම උදෙසා වඩවාගත යුතු මානවීය ගුණ-දහම් රැසක් බුදු සමය තුළදී උත්කර්ෂයට නැංවී තිබේ. සිගාලෝවාද, වසල, පරාභව ආදි සූත්‍ර දේශනා මෙයට නිදසුන් සපයයි. මේ නාහිමියෝ එවන් කරුණු රැසක් පෙළගස්වති.

පවුල්වල මෙන් සමාජයේද සතුට-සාමය පවතින්න ඕනේ. මෙවන් යහපත් වාතාවරණයක් ඇති කිරීමට නම් පුද්ගලයා හා සමාජය මනාව සංකලනය වීම අවශ්‍යයි. පොදු සමාජ යහපත සඳහා පෞද්ගලික ලාභ-ප්‍රයෝජන, පෞද්ගලික ස්වාධීනත්වය එක්තරා ප්‍රමාණයකට කැප කිරීමට සූදානමින් සිටිය යුතුයි. පුද්ගල නිදහස භුක්ති වින්ද යුත්තේ සමාජයට බාධාවක් නොවන ලෙසයි. පුද්ගලයන් ඒකරාශි වුණු තැන සමාජයක් ගොඩනැගෙනවා. සෑම පුද්ගලයෙක්ම තමන් ජීවත් වන සමාජයේ සාමාජිකයෙක්. එක් එක් සාමාජිකයාගෙන් සමාජයට ඉටු විය යුතු යුතුකම් රාශියක් තිබෙනවා. ඒ සියල්ල නිසි ලෙස ඉටු කිරීමේ වගකීමට සෑම සාමාජිකයකුම උරදිය යුතුයි. මේ යුතුකම් ඉටු නොවුණොත් සමාජය දුර්වල වී බිඳවැටෙනවා.
මව්පිය-දූදරු සම්බන්ධය වාගේම ගුරු-ගෝල සම්බන්ධයත් ඉතා වැදගත්. ගුරු-ගෝල සම්බන්ධයත් බොහෝ දුරට මව්පිය-දූදරු සම්බන්ධයට සමානයි. ගුරුවරුන් හා ගෝලයන් අන්‍යෝන්‍ය වශයෙන් ඉටු කළ යුතු යුතුකම් රැසක් තිබෙනවා. ගුරුමුෂ්ටිය තබා නොගෙන ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම, ගුණ-යහපත්කම් කියා දීම, ධර්මානුකූල ජීවිතයකට යොමු කිරීම, යහපත් දිවිපෙවෙතක් ප්‍රගුණ කිරීමට මග පාදා දීම, ඔවුන් නොදත් දේ කියා දීමත්, දත් දේ තව තවත් පැහැදිලි කොට අවබෝධ කරවීම, උසස් අයගේ ඇසුර ලැබීමට අවකාශය සැලසීම ආදිය ගුරුවරුන් ගෝලයන් සඳහා ඉටු කළ යුතු විශාල යුතුකම් ප්‍රමාණයෙන් කිහිපයක් පමණයි. ගෝලයන්ද ගුරු භක්තියෙන් යුතුව හැසිරිය යුතුයි; ඉතා උනන්දුවෙන් ශිල්පශාස්ත්‍ර හැදෑරිය යුතුයි. අවශ්‍යයෙන්ම ගෝලයා සුවච-කීකරු අයකු විය යුතුයි, නිරන්තරයෙන් ඉතා ආචාරශීලීව ගුරුවරයාට ගෞරව-සත්කාර කළ යුතුයි. ගුරුසිත නොරිදවා ඉතා හොඳින් අකුරු ඉගෙනීම යහපත් ගෝලයන්ගේ යුතුකමයි.

ගුරු-දෙගුරුන් අපට ශික්ෂණය හා මග පෙන්වීම ලබා දෙන අතර, නෑදෑ-හිතමිතුරු අසල්වාසීන් අපේ එදිනෙදා ජීවිතයේ හැසිරීම් රටා හැඩගැස්සවීමට බොහෝ සේ බලපානවා. ඔවුන්ගෙන් ලැබෙන බලපෑම යහපත් නම් අපේ ජීවිතත් යහපත් අතට යොමු වෙනවා. යම් හෙයකින් ඒ පිරිසෙන් ලැබෙන බලපෑම අහිතකර වුණොත්, අපේ ජීවිත කනස්සල්ලෙන් දුක්-දොම්නසින් පිරී යන්නත් බැරි නෑ. එනිසා, අපේ සමීප වටපිටාව වශයෙන් පවතින නෑදෑ-හිතමිතුරු-අසල්වැසි පිරිස් කෙරෙන් එන බලපෑම ගැන විමසිලිමත් වීම වැදගත්. ඒ අයගේ ඇසුර තෝරා-බේරාගෙන, කල්පනාකාරිව කළ යුතුයි. පාපමිත්‍රයන්ගෙන් නම් වෙන් විය යුතුමයි. කල්‍යාණ මිත්‍ර ඇසුර සොයා යා යුතුමයි. ජීවත් වන වටපිටාව අමතක කළ යුතු නෑ. ප්‍රතිරූපදේශයක වාසය කරන්න ලැබීම වාසනාවක් වශයෙන් සැලකෙන්නේ එමගින් අපේ යහපතට ලැබෙන අනුබලය ඉතා වැදගත් නිසයි.
අප වටා ජීවත් වන මේ නෑදෑ-හිතමිතුරු අසල්වැසි පිරිස් සමග සහයෝගයෙන්, සුහදතාවෙන්, අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත් වීම ඉතා අවශ්‍යයි. අසල්වැසියකුට කරදරයක් පැමිණි විට ඒ ගැන නොදන්නවා වාගේ සිටිය යුතු නෑ. සමාජයක එලෙස ජීවත් වන්න පුළුවන්කමක් නෑ. එසේ සිටියොත් සිදු වන්නේ සමාජයෙන් කොන් වීමයි. තමන් ගැන පමණක් තැකීම අඩු කළ යුතු වන්නේ මේ හේතුවෙන්. දානය, ප්‍රියවචනය, සමානාත්මතාව, අර්ථචර්යාව යන සතර සංග්‍රහ වස්තූන් ප්‍රගුණ-පුහුණු කළ හොත්, සමාජ සම්බන්ධතා දියුණු කරගත හැකි වෙනවා.
සමාජ ජීවිතයට සමාජයේ පවතින ආර්ථික රටාවත් බොහෝ සේ බලපානවා. මේ ආර්ථික රටාව පවත්වාගෙන යන පිරිස මූලික වශයෙන් දෙකොටසකට වෙන් කර දක්වන්න පුළුවනි. ඒ කොටස් නම්, සේව්‍ය-සේවක පිරිසයි. ආර්ථිකය ශක්තිමත් වන්නේ, භාණ්ඩ නිෂ්පාදනය දියුණු වන්නේ මේ දෙපිරිස අතර පවතින සම්බන්ධතාවේ සාර්ථකත්වය අනුවයි. මේ නිසා සේව්‍ය-සේවක දෙපක්ෂය අතර අන්‍යෝන්‍ය සුහදතාව, අවබෝධය, විශ්වාසය දියුණු කිරීම ඉතා වැදගත් වෙනවා.
සේවායෝජකයන්ගේ යුතුකම් රැසක් සිගාලෝවාද සූත්‍රයේ ඉතා හොඳින් විස්තර කැරෙනවා. සේවායෝජකයා පන්සිල් රකින, යහපත් පුද්ගලයකු විය යුතුයි. එමෙන් ම ඔහු දයාවෙන් කරුණාවෙන් යුතු, අන් අයගේ දුක හඳුනන කෙනකු විය යුතුයි. යහපත් සේවායෝජකයකු කිසිදිනක සේවක ශ්‍රමය සූරාකෑමෙහි යෙදෙන්නේ නෑ. සේවකයන්ට වැඩකොටස් පැවරීමේ කාර්යය ඔහු ඉතා මැනැවින් ඉටු කරනවා. වැඩ නියම කිරීමේදී සේවකයාගේ ශක්තිය, හැකියාව, වයස, ස්ත්‍රී-පුරුෂ භාවය ඔහු විසින් සැලකිල්ලට ගනු ලැබෙනවා. සේවක සුභසාධනය සඳහා අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි ඔහු සැලකිලිමත් වෙනවා. හොඳ වැටුප් ගෙවීම, කලට වේලාවට සේවා මුරයන් අවසන් කරවීම, නිසි කලට නිවාඩු දීම, ලෙඩ රෝග වූ විට වෛද්‍ය පහසුකම් සැලසීම ආදිය යහපත් සේවා යෝජකයකු විසින් අවශ්‍යයෙන් ඉටු කළ යුතු වගකීම්ය. සේවකයකු වයස්ගත වීම නිසා හෝ රෝගී තත්ත්වයකට පත් වීම නිසා හෝ තවදුරටත් සේවය කිරීමට නොහැකි තත්ත්වයකට පත් වුව හොත් ඔහුගේ ඉදිරි ජීවිත කාලය සුරක්ෂිත කිරීම පිණිස සාධාරණ පියවර ගැනීමත් යහපත් සේවා යෝජකයකුගේ යුතුකමයි.

 විශේෂ අවස්ථාවකදී සේවායෝජකයකු විසින් සේවකයාට පාරිතෝෂික දීමනා, විශේෂ දීමනා ආදිය පිරිනැමිය යුතුයි. එපමණක් නොව සේවකයන් සමග රස ආහාර පවා බෙදාගෙන භුක්ති විඳීම යහපත් සේවායෝජකයකුගේ ලක්ෂණයක් බව සිගාලෝවාද සූත්‍රයේ සඳහන් කරනවා.
සේවකයාගේ යුතුකම් මාලාවක්ද මෙම සූත්‍රයේ සඳහන් වෙනවා. අලස නොවී උත්සාහයෙන් යුතුව අවංකව හා ඉතා ක්‍රමවත්ව තම වැඩ කොටස කිරීම හොඳ සේවකයකුගේ වගකීමයි. මිල-මුදල් වංචා කිරීම, සේවය පැහැරහැරීම, සේවා ස්ථානයේ ඇති පහසුකම් අයථා ලෙස පාවිච්චි කිරීම හොඳ සේවකයකුගේ ලක්ෂණ නොවේ. තමන් කරන සියලු කටයුතු තමා සේවය කරන ආයතනයේ හා තම සේවායෝජකයාගේ යහපත තකා කළ යුතුය. හොඳින් සේවය කිරීම යනු අවංකව, අනලස්ව, ක්‍රමවත්ව අරපරිස්සමින් යුතුව තම වැඩකොටස කිරීමයි.
බෞද්ධ සමාජය රෝද සතරකින් යුත් රථයක් වගේ. මෙයින් ඉදිරිපස රෝද දෙක භික්ෂු-භික්ෂුණී පිරිසයි. පසුපස රෝද දෙක උපාසක-උපාසිකා දෙපිරිසයි. බෞද්ධ සමාජයේ ක්‍රමවත් ඉදිරි ගමනක් ඇති වීමට නම් මේ රෝද සතර මනා සංයෝගයකින් ක්‍රියාකාරී විය යුතුය. මේ හොඳ සංයෝගය පැවතීම සඳහා භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා යන කොට්ඨාස සතර වෙත විශාල වගකීමක් පැවරෙනවා.
උපාසක-උපාසිකා පිරිස භික්ෂු-භික්ෂූණීන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලානපච්චය යන සිව්පසය ගැන ඉතා උනන්දුවෙන් සොයා බැලිය යුතුය. උන් වහන්සේලාගේ ධර්මඥානය දියුණු කරගැනීමට අවශ්‍ය වන පත-පොත වැනි දේ සපයා දීමටත්, උන් වහන්සේලාගේ ධාර්මික අධ්‍යාපනය වර්ධනය කරගැනීමට ඉවහල් වන වෙනත් අවශ්‍යතාවන් වෙතොත් ඒවාද සොයා බලා සැපයීමටත් උපාසක-උපාසිකා පිරිස උනන්දු විය යුතුය.

දාන-මාන ආදියෙන් උපාසක-උපාසිකාවන්ගෙන් පිදුම් ලබන භික්ෂු-භික්ෂුණී දෙපිරිස ධර්ම දානයෙන් ඔවුන්ට පෙරළා සංග්‍රහ කිරීම ඉතා වැදගත්. දහම් මග පෙන්වමින්, දහම් දැනුම වඩමින්, එලොව-මෙලොව දෙලොව ම සුබ-සෙත පිණිස කටයුතු කිරීම භික්ෂු-භික්ෂුණි දෙපිරිසේ වගකීමයි.
යහපත් සාමකාමී බෞද්ධ සමාජයක් ඇති කරගැනීමට බුදුදහමින් ලැබෙන අනුබලය ඉතා විශාලය. සිගාලෝවාද, වසල, පරාභව ආදි සූත්‍ර රැසක සමාජ දියුණුවට ඉතා ප්‍රායෝගිකව අදාළ කරගන්න පුළුවන් අවවාද-උවදෙස් රාශියක් අඩංගු වෙනවා. සමාජයේ විවිධ කොටස් අතර සුසංයෝගයක් ඇති කරගැනීමට මෙම සූත්‍රවල අඩංගු ඉගැන්වීම් මග පෙන්වනවා. පුද්ගලයන් තුළ මෙන් ම සමාජයේද පවතින ගැටලු, පටලැවිලි, තේරුම්-බේරුම් කරගැනීමටත් පුද්ගල හා සමාජ ස්ථාවරත්වය ඇති කරගැනීමටත් මේ සරල, ප්‍රායෝගික ඉගැන්වීම් උපයෝගී කොටගත හැකි බව ඒකාන්තයි. එසේ කළ විට පුද්ගල මෙන්ම සමාජ ප්‍රශ්නද බොහෝ දුරට තුනී වී යනවා ඇති.
සෑහීමකට පත් නොවීමේ ගතිය, ලජ්ජා-භය නැති බව පුද්ගලයන් මෙන්ම සමාජයද දූෂ්‍ය කිරීමට බොහෝ සේ බලපාන හේතු-සාධක දෙකක්. කොපමණ ඇතත් සෑහීමකට පත් නොවීම, නැත හොත් සන්තෘප්තියක් නොමැති වීම මිනිස් ස්වභාවයක්. සිත සෑම වේලේම කොඳුරන්නේ අසවල් දේ නැත, අසවල් දේ මදිය, තවතවත් තිබිය යුතුය කියාය. මෙය සිතට මහ වදයක්; හිසට මහ බරක්. මානසික පීඩනයට ප්‍රධාන හේතුවක්. අපට අපේ ආශාවන් පිළිබඳව කිසිමදාක සම්පූර්ණයෙන් සෑහීමකට පත්වන්න ලැබෙන්නේ නෑ. මේ ආශාවන් පත්ලක් නැති මහ වළක් වගේ.

මිනිසුන්ගේ මේ අසන්තෘප්තියත් සමාජ දියුණුවට අවශ්‍ය සාධකයක් කියා තර්ක කරන පිරිසකුත් ඉන්නවා. මිනිස්සු ඉතා පහසුවෙන් සෑහීමකට පත් වනවා නම්, කිසිම සමාජයක්, රටක් තිබෙන තත්ත්වයෙන් දියුණු නොවනු ඇතැයි ඒ අය කියනවා. ‘දියුණුව’ කියා මේ පිරිස් අදහස් කරන්නේ කුමක්ද? වර්තමාන ලෝකයේ දියුණුව මනින්නේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන්. ඒ කියන්නේ වසරක් තුළ රටක නිපදවන භාණ්ඩ හා සේවාවන්ගේ ප්‍රමාණයෙන්. දියුණුව මෙයද? සතුට මුදල්වලට ලබාගත හැකි දෙයක්ද? සෑහීමකට පත් නොවී සතුටක් ලැබිය හැකිද?
අපට ඉතා පැහැදිලිව පෙනෙන කරුණක් තමා, වැඩිපුර මිල-මුදල්, සැප-සම්පත් තියනවායයි කියන-එක සතුටින් සිටිනවාය කියන-එක හා සමාන නොවන බව. අපේ බොහෝ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ දියුණුව පිළිබඳව අප දරන මේ වැරදි අදහසයි. මේ වැරදි නිසා මිනිස්සු බොහෝ විට නොමගට මෙහෙයවෙනවා. මේ හේතුවෙන් මුළු මානව ශිෂ්ටාචාරයම දැන් පරිහානිය කරා යොමු වෙලා. ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වෙන්න බෑ. සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් අවස්ථා නෑ. බලපුළුවන්කාරයාට, අත-මිට මුදල්-හදල් සරුවට තිබෙන තැනැත්තාට විශේෂ වරප්‍රසාද, ලෝකයේ නිෂ්පාදනය, ධනය සෑම දෙනා අතරම බෙදී යන්නේ නෑ. බලය තියෙන අය ඒ සියල්ල එළිපිටම ගසාකෑම කරනවා. මේ තරම් දූෂණ, අසාධාරණ පවතිද්දී ලෝකය දියුණු බව කියන්න ඇස් වැසුම් බැඳගෙන ඉන්න අයට වත් පුළුවන්ද කියන-එක සැක සහිතයි.

බඩු-භාණ්ඩ බහුල වීම, මිල-මුදල් අතින් අත-මිට සරු වීම මිනිසාට කිසියම් තාවකාලික ලෞකික සතුටක්, සුළු තෘප්තියක් ලබා දෙන්න ඉවහල් වන්න පුළුවනි. ඒත්, ඒ තෘප්තිය පවතින්නේ සුළු කාලයකටයි. එයින් තෘප්තිය ලබන කොටම සිත වෙනත් ආශාවක් කරා දුව ගොස් අවසානයි. සන්තෘප්තියක් නැති විට මුදිතා ගුණය සිතෙහි පුබුදින්නේ නෑ. එවිට අන් අයගේ සතුට දැනෙන්නේ ඇහේ කටු ඇනෙනවා වගේ. අන් අයගේ දියුණුව, සතුට දකින විට තමන්ගේ සිතේ ඇති අසන්තෘප්තිය කැකෑරෙන්න පටන් ගන්නවා. මේ නිසා අකටයුතුකම්වලට පවා පෙලඹෙනවා. කෙසේ හෝ තම ආශාවන්, බලාපොරොත්තු සපුරාගන්නට පෙලඹෙනවා, තරගවැදීමකට උසිගැන්වෙනවා. උත්සාහය කෙසේ හෝ තරගයෙන් ජය ගෙන තම ආශාවන් තෘප්තිමත් කරගන්නයි. හරි-වැරදි නොසලකා, කූටෝපක්‍රම යොදා, වංක ලෙස ක්‍රියා කරමින්, ඒ අතරම තමන් ගන්නා එවන් පහත් ක්‍රියා මාර්ග ලජ්ජා-බය නැතුව හේතු යුක්ත කරමින් තමන්ගේ අභිලාෂ සපුරාගන්න උත්සාහ ගන්නවා. මෙය කවරදාවත් සන්තෘෂ්ටියෙන්, ඇති වීමකින් කෙළවර වන තරගයක් නොවේ. අවසාන ප්‍රතිඵලය වන්නේ දුකමයි. තෘප්තිමත්කම නැත හොත් සන්තුෂ්ටිය පරම ධනය ලෙස බුදු රජාණන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ මේ නිසයි.
පවට, අකුසලයට, නොකටයුතුකම්වලට ලජ්ජා-බය ඇති නොවීම අද සමාජයේ සුලභ ලක්ෂණයක්. සමාජයේ නොයෙකුත් දූෂණයන්ට මෙන්ම ඒ ඇසුරෙන් පැනනගින නොයෙකුත් ප්‍රශ්න හා ගැටීම්වලට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ මේ ලජ්ජා-බය නැතිකමයි. බුදුදහමෙහි ‘හිරි-ඔතප්’ වශයෙන් හැඳින්වෙන්නේ පවට ඇති ලජ්ජාව හා බයයි. ඇත්ත වශයෙන් සමාජයේ සදාචාරය පවතින්නේ හිරි-ඔතප් දෙක මත බවත් එනිසා ඒ ගුණාංග දෙක ලෝකපාලක ධර්මයන් බවත් බුදු රජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
මිනිසුන් අතර ලජ්ජා-බය අඩු වෙලාය කියා කියන්නේ සමාජයේ සදාචාරය හෝදාපාළු වෙලා ගිහිල්ල කියන-එකමයි. සදාචාරයෙන් පිරිහෙන විට පුද්ගලයන් දූෂ්‍ය වෙනවා. පවුල් භේද-භින්න වී යනවා, යහපත් සමාජ සබඳතා කැඩී-බිඳී යනවා, ගැටුම්, අසහන, බේබදුකම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම්, සමාජ රෝග පැතිරීම් ආදිය බහුලව සිදු වෙනවා. ලජ්ජා-බය නැති වීම මිනිස්කම නැති වීම හා සමානයි. තිරිසනුන්ගේ හැසිරීමේ හා මිනිසුන්ගේ හැසිරීමේ වෙනස පවතින්නේ ලජ්ජා-බය මතයි. ලජ්ජා-බය නැති මිනිසා හැසිරෙන්නේ තිරිසනකු වගේමයි. ලජ්ජා-බය නැතැයි යන්නේ එක් අදහසක් නම් අනුන්ගේ දුකෙහිදී තමන්ගේ සිතෙහි කම්පාවක් ඇති නොවීමයි. තමන්ගේ ක්‍රියාවක් හේතුකොටගෙන වෙනත් අයකු දුක්කරදරවලට පැමිණි බව අවබෝධ වන විට ලජ්ජා-බය ඇති පුද්ගලයාගේ සිත අනුකම්පාවෙන් උතුරන්නට පටන් ගන්නවා. තමන්ගේ නොහොබිනා ක්‍රියාව ගැන ඔහු තුළ ලජ්ජාවක් බයක් ඇති වෙනවා. ඉන් මතු එවන් ක්‍රියා නොකරන්නට ඔහු ඉටාගන්නවා.
කෙනකු තුළ හිරි-ඔතප් පවතිනවාය කියන්නේ සදාචාර ගුණ ධර්ම අනුව කටයුතු කිරීමට, දුරාචාරය නමැති මඩ ගොහොරුවේ නේරී සිටීමට ඔහු තුළ සූදානමක් හැකියාවක් පවතිනවාය කියන-එකයි. වෙනත් වචනවලින් කියනවා නම්, මඩෙහි හැදී-වැඩී, මඩෙන් ඉහළ නැග පවිත්‍රව පිපී පවතින සුන්දර නෙලුමක් වාගේ, දුරාචාරයෙන් පිරුණු ලොවක ඉපිද, හැදී-වැඩී ඉන් ඉහළට නැග පවිත්‍රව සිටීමට හැකියාව ඇති බවයි.
(විශේෂ ස්තුතිය: පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන්ට)


No comments:

Post a Comment