බුදුපියාණන් වහන්සේ මල්ල දනව්වේ උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගමක වැඩ වසන දවසක භද්‍රක ගාමිණී නමැත්තෙක් උන්වහන්සේ වෙත එළඹියේය. බුදුරදුන්ට වැඳ පසෙක හුන් හේ බුදුරදුන්ගෙන් මෙබඳු ඉල්ලීමක් කළේ ය. භාග්‍යවතුන් වහන්ස, මට දුක හටගැනීමත් දුකේ නැතිවීමත් දේශනා කරන සේක්වා. බුදුරජාණන් වහන්සේ මෙය ඉතා සරල දෙයකින් පැහැදිලි කළ සේක. ‘අහං චේ තේ ගාමිණි අතීතං අද්ධානං ආරබ්භ දුක්ඛස්ස සමුදයං ච අත්ථගමං ච දෙසෙය්‍යං, ඒවං අහෝසි අතීතමද්ධානංති. තත්‍ර තේ සියා ඛෝ කංඛා සියා විමති. අහං චේ තේ ගාමිණි අනාගතමද්ධානං......’
බුදුපියාණන් වහන්සේ මල්ල දනව්වේ උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගමක වැඩ වසන දවසක භද්‍රක ගාමිණී නමැත්තෙක් උන්වහන්සේ වෙත එළඹියේය. බුදුරදුන්ට වැඳ පසෙක හුන් හේ බුදුරදුන්ගෙන් මෙබඳු ඉල්ලීමක් කළේ ය. භාග්‍යවතුන් වහන්ස, මට දුක හටගැනීමත් දුකේ නැතිවීමත් දේශනා කරන සේක්වා. බුදුරජාණන් වහන්සේ මෙය ඉතා සරල දෙයකින් පැහැදිලි කළ සේක. ‘අහං චේ තේ ගාමිණි අතීතං අද්ධානං ආරබ්භ දුක්ඛස්ස සමුදයං ච අත්ථගමං ච දෙසෙය්‍යං, ඒවං අහෝසි අතීතමද්ධානංති.
තත්‍ර තේ සියා ඛෝ කංඛා සියා විමති. අහං චේ තේ ගාමිණි අනාගතමද්ධානං......’ මම ඔබට මෙසේ පවසමි. අතීතයේ දුක හට ගැනීම මෙලෙසයි. අතීතය අරභයා මා කතා කරන කළ ඔබට සැකයක් ඇතිවිය හැකිය. එසේ කීවද එය එසේ වීද දන්නේ කවරෙක්ද? එසේ ම භද්‍රක අනාගතයේ දුක හටගැනීම මෙසේ ය. අනාගතයේ දුක නැතිවීම මෙසේය යැයි පැවසුවහොත් ඔබට සැක සිතිය හැකිය. එහෙම කීවද එය එසේ වෙයිද? කවරෙක් දන්නේද? එහෙයින් අනාගතය අරභයා ඔබට දුක නොකියමි.
‘අපිචාහං ගාමණි ඉධේව නිසින්නෝ ඵත්ථ තේ නිසින්නස්ස දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච දේසිස්සාමි’ භද්‍රක ඔබ වාඩි වී සිටින ආසනයේ දී ම දුකේ හට ගැනීම අත්දකින අයුරු දුකේ නැතිවීම අත්දකින අයුරු මම දේශනා කරමි.
අනතුරුව බුදුරජාණන් වහන්සේ භද්‍රකගෙන් මෙසේ විමසීය. ‘තං කිං මඤ්ඤසි ගාමණී අත්ථි තේ උරුවේලකප්පේ මනුස්සා යෙසන්තේ වධේන වා ඛන්ධේන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසාති’. භද්‍රක ඔබට මේ උරුවේල ගමේ මිනිස්සු මළ කල්හි ඒ මිනිසුන්ට දුකක් විපතක් කරදරයක් වූ කල්හි ඒ ගැන දුකක් වැළපීමක් ශෝකයක් කනගාටුවක් ඇති වන්නේ ද? ස්වාමීනි, මේ ගමේ ඇතැම් මිනිසුන් මළහොත් මට දුකක් ශෝකයක් ඇති වන්නේමය.
‘අත්ථි පන තේ ගාමණි උරුවේලකප්පේ මනුස්සා යේසන්තේ වධේන වා ඛන්ධේන වා ජානියා වා ගරහාය වා නූප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසාති’. ගාමණි, ඔබට මේ ගමේ ඇතැම් මිනිසුන් මළ කල්හි දුකක් ඇතිවන්නේ නැතිද? විපතක් වූ කල දොම්නසක් ඇතිවන්නේ නැතිද? එබඳු මිනිසුන් සිටින්නෙහිද? භාග්‍යවතුන් වහන්ස, මේ ගමේ ඇතැම් මිනිසුන් මළ කල මට දුකක් ඇති නොවන්නේමය.
‘කෝනු ඛෝ හේතු ඛෝ පච්චයෝ යේන තේ ඒකච්චානං උරුවේළකප්පියානං මනුස්සානං වධේන වා......’ ගාමණි, එකම ගමේ ඇතැම් මිනිසුන් මළ කල ශෝක වන්නත් තව කොටසක් මළ කල ශෝක නොවන්නත් හේතු කවරේද? ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ගමේ මිනිසුන් අතරින් කොටසක් මළ කල අඬන්නත්, දුක්වන්නත්, භාග්‍යවතුන් වහන්ස, ගමේ මිනිස්සුන් අතරින් කොටසක් මළ කල අඬන්නත්, දුක්වන්නත්, ශෝකවන්නත් තව කොටසක් මළ කල එසේ නොවන්නත් හේතුව මා ළඟ ඡන්දරාගය තිබීම හා නොතිබීමය.
‘ඉමිනා ත්වං ගාමිණි ධම්මේන දිට්ඨේන විදිතේන අකාලිකේන පත්තේන පරියෝගාළ්හේන අතීතානාගතේ නයං නේහි, යං ඛෝ කිඤ්චි අවිතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති, සබ්බං තං ඡන්දමූලකං ඡන්දනිදානං, ඡන්දෝහි මූලං දුක්ඛස්ස යං හි කිඤ්චි අනාගතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජිස්සති, සබ්බං තං ඡන්දමූලකං......’ ගාමණී, ඔබ අත්දකින ධර්මය අතීතයට හා අනාගතයට ගළපන්න. අතීතයේ දී මට යම් දුකක් ඇති වූයේ නම් ඒ ඇති වූ සියලු දුක් හටගත්තේ කැමැති දෙයක් මුල් කරගෙන ය. කැමැති දෙයක් හේතු හැර ගෙනය. අනාගතයේ යම් දුකක් හට ගන්නේ නම් ඒ හටගන්නේද කැමැති දෙයක් මුල්කැර ගෙනම ය.
මේ අසුරින් අප ඉගෙන ගතයුතු එක් දෙයක් ඇත්තේ ය. එනම් ජිවිතය දෙස බැල්මට අපට සිහිය අවශ්‍ය වන්නේය යන්නයි. අප ජීවිත කාලය පුරාවට ම අපමණ දුකට කනගාටුවට වැළිපිල්ලට පත්වී ඇත්තෙමු. එසේ වන්නට හේතු වූයේ කවරක්ද යන්න අප නොසිතුවෙමු. අප වර්තමානයෙහි යම් දුකක් වේදනාවක් කනගාටුවක් විඳින්නේද, අතීතයෙහි ද ඒ අයුරින් ම දුක් විඳ ඇති බව බුද්ධ දේශනාවයි. අතීතයේ යම් දුකක් වූයේ නම් ඒ දුක හටගෙන ඇත්තේ කැමැත්ත මුල් කැර ගෙනය. අනාගතයේ ද එසේ ම ය. අප සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකු සත්‍යයට විවෘත වීමට අකැමැතිය. එහෙත් බුදු දහම ඇත්තේ සත්‍යය විවෘත කිරීමටය. සත්‍යයෙහි තිබූ විවෘත භාවය තේරුම් ගැනීමට ගාමණීට හැකිවිය. ගාමණී මෙසේ ප්‍රකාශ කළේ ය. ‘අත්ථි මේ භන්තේ චිරවාසී නාම කුමාරෝ, බහි ආවසථේ පටිවසති. සෝ ඛිවාහං භන්තේ කාලස්සේව වුට්ඨාය පුරිසං උය්‍යෝජේමි, ගච්ඡ භණේ චිරවාසං කුමාරං ජානාහීති.......’ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චිරවාසී කුමරු මගේ පුතා ය. නවතා ඇත්තේ බොහෝ දුර ඈත පළාතක ය. මම පහන්දොර ම කෙනෙකු එහි යවමි.
යම්තාක් ඒ පුරුෂයා නොඑයි ද ඒතාක් චිරවාසී කුමරුට කිසි පීඩාවක් නොවේයායි සිතන්නෙමි. ගාමණි ඒ ඇයි? චිරවාසී කුමරුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු දැයි. ස්වාමිනී, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ උපදනාහුම ය. ගාමනී, යම්කිසි දුකක් උපදී නම් ඒ සියල්ල ආශාව මුල් කොට ඇත්තේ ය. ආශාව නිදාන කොට ඇත්තේ ය.
බුදුරජාණන් වහන්සේ ගාමණිට හිතන්න තවත් කාරණයක් යොමු කළ සේක. ‘තං කිං මඤ්ඤසි ගාමණී යදා තේ චිරවාසිස්ස මාතා අදිට්ඨා ආසි අස්සුතා අහෝසි චිරවාසිස්ස මාතුයා ඡන්දෝ වා රාගෝ වා පේමංවාති.’ ගාමණී ඒ කැමැයි හඟිව් ද? යම් කලෙක නුඹ චිරවාසිගේ මව නොදක්නා ලද්දේ ද නො අසන ලද්දේ ද එකල්හි චිරවාසිගේ මව කෙරෙහි ඡන්දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ වීදැයි. ස්වාමීනි, නොවන්නේමය.
චිරවාසිගේ මව දැක්මෙන් හෝ ඇසීමෙන් තොපට ඡන්දයක් හෝ රාගයක් වීද? එසේය ස්වාමීනී, චිරවාසී මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ උපදනාහුදැයි. ස්වාමීනි, උපදනාහුමය. ගාමණී, යම්කිසි දුකක් උපදී ඒ සියල්ල ආශාව මුල් කොට ඇත්තේ ය. ආශාව නිදාන කොට ඇත්තේ ය. ආශාව දුකට මුල් වන්නේ ය. මේ දෙසුම තුළින් ඉපදීම දුකක් බව ඉපදීමට ආශාව මුල් වන බව පැහැදිලිය.
ඒ බව වටහා ගන්නට නම් යථාභූත ඤාණදර්ශනය අප ඇතිකර ගත යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. යථාභූත ඤාණදර්ශනය නිසා අවබෝධයෙන් යුතුව කලකිරීම ඇතිකර ගත හැකි වෙයි. නිබ්බින්දං විරජ්ජති යි දෙසූ ආකාරයට කලකිරීම නිසා නො ඇලෙයි. විරාගා විමුච්චති නො ඇලීම නිසා සියලු සාංසාරික දුකෙන් නිදහස් විය හැකි ය.
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ භික්ෂු අධ්‍යයනාංශයේ ප්‍රධානාචාර්ය
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහඔය අනුරුද්ධ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු
07 වනදා සිකුරාදා දින
බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment