* නිවන්
සුවය සඳහා මෙන් ම ලෞකික ජීවිතය සුවපත් කරගැනීම සඳහා ද අවශ්‍ය මග පෙන්වීම බෞද්ධ
දර්ශනයෙන් නොමඳ ව ලැබෙන බව ඔබේ අදහස යි. ඒ අදහස ඔබ තවදුරටත් පැහැදිලි කරන්නේ කෙසේ
ද?
නිර්වාණය කෙරෙහි මෙන් ම විවිධ සමාජ විද්‍යාත්මක
වුවමනාවන් කෙරෙහි ද දැඩි අවධානය
යොමු කළ දහමක් ලෙස බුදු දහම හැඳින්වීම
අතිශයෝක්තියක් නො වේ. ලොව කිසිදු උපදේශකයකු හෝ මනෝරෝග
චිකිත්සකයකු අවධානයට යොමු නොකළ තරම් ගිහි ජීවිතයේ ඉතාමත් සුළු කරුණු ගැන පවා
බුදුන් වහන්සේගේ අවධානය යොමු වූ අවස්ථා රැසක් ත්‍රිපිටකයෙහි නොයෙක් සූත්‍රාන්ත දේශනාවලින්
අනාවරණය වෙනවා.
සාමාන්‍ය ගිහි ජීවිතයෙහි පදනම වන්නේ
පවුල් සංස්ථාව බැවින් එහි සාර්ථකත්වය සඳහා බුදුන් වහන්සේ මග
පෙන්වීම් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ස්ත්‍රිය හා පුරුෂයා අතර
තිබිය යුතු අන්‍යෝන්‍ය අවබෝධය කෙරෙහි බුදුන් වහන්සේගේ දැඩි අවධානය යොමු වී ඇති අයුරු
දකින්න පුළුවන්. ස්වාමි පුරුෂයාට තම බිරිඳ තේරුම් ගැනීමට ඉවහල් වන වර්ගීකරණයක්
සප්ත භරියා සූත්‍රයේදී ඉදිරිපත් කර තිබීම මීට එක උදාහරණයක්. වධකසමා, චෝරසමා, අය්‍යසමා, මාතුසමා, භගිනිසමා, සඛිසමා සහ දාසිසමා
යනුවෙන් බිරිඳගේ භූමිකාව
මෙහිදී කොටස් හතකට වර්ගීකරණය කර
තිබෙනවා.
බිරිඳ හා සැමියා අතර
අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගැනීමටත් ඒ අනුව එදිනෙදා ජීවිතය සැලසුම් කරගැනීමටත් එය එක්තරා මග
පෙන්වීමක්. එම අවබෝධය අනුව කටයුතු කිරීම මගින් බොහෝ ප්‍රශ්න නිරාකරණය කරගත හැකි යි.
බටහිර සම්ප්‍රදායේ එන ප්‍රශ්න ඇති වූ පසු විසඳීමේ ක්‍රමවේදයට වඩා ප්‍රශ්න ඇති වීම
වළක්වාගැනීමේ හැකියාවක් මේ අන්‍යෝන්‍ය අවබෝධය නිසා ලැබෙනවා.* මෙහිදී කාන්තාව සම්බන්ධයෙන් පමණක් මෙබඳු වර්ගීකරණයක් ඉදිරිපත් කර තිබීම පිළිබඳ ව ඔබේ අදහස කුමක් ද? ඒ මගින් ඔබ කියන අවබෝධය සම්පූර්ණ නොවීමේ ගැටලුවක් පැනනගින්නේ නැද්ද? අනෙක් අතින් මෙහිදී ස්ත්‍රියට යම් අසාධාරණයක් සිදු වී නැද්ද?
බුද්ධකාලීන සමාජ සැකැස්ම අමතක කර එම ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට බැහැ. බුදුන් වහන්සේ මෙම කරුණු පැහැදිලි කළේ එකල පැවති සමාජයට යි. පවතින සමාජයට ගැළපෙන පරිදි ඒ දැනුම යොදාගැනීමට අප සමත් විය යුතු යි.
අනෙක් අතින් ඕනෑම සමාජයක ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකාවන්හි යම් වෙනස්කම් දකින්නට පුළුවන්. බුදුන් වහන්සේගේ දේශනා ඉදිරිපත් කර ඇත්තේ ඊට අනුකූලව යි. ඒ අනුව බිරිඳට මෙන් ම, සැමියාට, දූදරුවන්ට, සේවකසේවිකාවන්ට යනාදි වශයෙන් එකල පැවති සියලු සමාජ භූමිකාවන් සතු වගකීම් හා යුතුකම් බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී පෙන්වා දී තිබෙනවා.
මේ අනුව පවුල තුළ සෑම භූමිකාවකට ම වගකීම් හා යුතුකම් තිබුණා. ඒ වගකීම් හා යුතුකම් ඉටු කිරීම මගින් සාර්ථක පවුලක් ගොඩනැගුණා.
* සියලු උපදේශන සම්ප්‍රදායන් තුළ ‘පවුල’ නමැති ඒකකයට මෙතරම් වැදගත් තැනක් ලැබීමට හේතුව කුමක් ද?
පවුල් ජීවිතය මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික ශක්තිය උරගා බලන ජීව විද්‍යාත්මක උරගලකට සමාන කළ හැකි ය. එකිනෙකාගේ ආධ්‍යාත්මික ගුණ වර්ධනය හෝ මර්දනය සිදු වන ආකාරය රඳා පවතින්නේ ඔවුන් තම පවුල් ජීවිතයේ මතු වන අත්දැකීම්වලට මුහුණ දෙන ආකාරය අනුව යි. ගේදොර පිරිසිදු කිරීම, අඬන දරුවකු නැළවීම වැනි ඉතා සුළු දෙයක් පවා කෙනකුට ආධ්‍යාත්මික ගුණවගාව ඇති වන පරිදි සතුටින් හා මෙත් සිතින් කළ හැකි යි. එහි සාර්ථකත්වය පවුලට සීමා වන දෙයක් නො වේ.
අමෙරිකානු ජනාධිපතිවරයකු වූ ජිමි කාටර් “ස්ත්‍රී-පුරුෂයන්ට ජීවත් වීමට ඇති යහපත් ම මාර්ගයත්, දරුවන් සැදීමට ඇති යහපත් ම පරිසරයත්, බලවත් ජාතියක් ගොඩනැගීමට ඇති එකම ශක්තිමත් පදනමත් පවුල් ජීවිතය බව මානව ඉතිහාසය අපට උගන්වයි” යන ප්‍රකාශය මගින් පැහැදිලි කළේ ඒ අදහස යි. පවුල ශක්තිමත් වූ විට ගමත්, ගම ශක්තිමත් වූ විට නගරයත්, නගරය ශක්තිමත් වූ විට පළාතත්, පළාත ශක්තිමත් වූ විට මුළු රටත් ශක්තිමත් වන බව එහි අරුත යි
‘පවුල’ නමැති සමාජ ඒකකයට හිමි ව තිබූ මේ ප්‍රමුඛත්වය අදත් එලෙස ම පවතින බව ඔබට කිව හැකි ද? එහි වටිනාකම් පිළිබඳ කිසියම් පරිවර්තනයක් සිදු වී නැද්ද?
පවතින සමාජ සංකීර්ණත්වය තුළ පවුල නමැති සමාජ ඒකකය කිසියම් අර්බුදයකට මුහුණ දී සිටින බව පිළිගැනීමට සිදු වෙනවා. එහෙත් ඒ සියලු අර්බුද අතර වෙනස් නොවූ ඇත්තකුත් තිබෙනවා. එනම්: පවුල වූකලි සමාජයේ සෑම සාමාජිකයකු ම උපත ලබන්නා වූත් මූලික ම සමාජානුයෝජනයක් ලබන්නා වූත් (Basic Socialization) ස්ථානය යි.
ඒ හැරුණු විට ජීවිතයෙහි මුල, මැද, අග යන අවධි තුනෙහිදී ම පුද්ගලයාට පිහිට පිණිස පවතින්නේ පවුල් සංස්ථාව යි. බාල කාලයෙහිදී තම දෙමාපියන්ගේ රැකවරණය, ආරක්ෂාව ආදි සියලු මූලික අවශ්‍යතා ද, තරුණ වියේදී ආචාරශීලී ලිංගික තෘප්තිය, දරු සුරතල් බැලීම ආදිය ද, මහලු වියේ නැත හොත් ජීවිතයේ දෙවැනි ළමා කාලයේදී අවශ්‍ය ඇප උපකාර ලබාගැනීම සඳහා ද ‘පවුල’ නමැති ඒකකය අවශ්‍ය වෙනවා.
අද ලොව පුරා බොහෝ රටවල පවුල් උපදේශන සේවාවන්ගේ සිට රාජ්‍ය මට්ටමෙන් පවුල් සංවර්ධන අමාත්‍යාංශ පවා පිහිටුවා තිබෙන්නේ එ නිසයි.
ඒ සියල්ල එසේ තිබියදීත් ඔබ ඇසූ පරිදි අද ‘පවුල’ නමැති සමාජ ඒකකය කිසියම් අභියෝගයකට මුහුණ දී තිබෙන බව ඇත්තක්. මේ පිළිබඳ බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා පැවසූ පරිදි වර්තමානයෙහි අපට අතීතයෙන් ලැබී ඇති ආයතනයන්ගෙන් පවුල තරම් අවුල් වූත් අසංවිධානාත්මක වූත් අන් කිසිවක් නැහැ. දරුවන් කෙරෙහි මවුපියන් තුළ ඇති ආදරයත්, මව්පියන් කෙරෙහි දරුවන් තුළ ඇති ආදරයත් සතුටෙහි උල්පතක් විය යුතුව තිබියදී, පවතින තත්ත්වය තුළ මව්පියන් හා දරුවන් අතර පවතින සම්බන්ධය දරුණු ලෙස පිරිහෙමින් තිබෙනවා. බැලූබැල්මට මෙය පවුල් අර්බුදයක් ලෙස පෙනුණත් ගැඹුරින් විමසා බලන විට මෙය සමාජ අර්බුදයක් බවට පත් වෙමින් තිබෙනවා.
*පවුල් ජීවිතයෙහි මතුවෙමින් තිබෙන මෙම අර්බුදයට හේතු ලෙස ඔබ දකින්නේ මොනවා ද?
හේතු ගණනාවක් ඉදිරිපත් කළ හැකි යි. එහෙත් මෙම අවස්ථාවට ගැළපෙන පරිදි එක් හේතුවක් පැහැදිලි කරනවා නම්: විවාහයට පූර්ව සූදානමක් නොතිබීම ප්‍රධාන හේතුවක් බව කිව හැකි යි. ජීවිතයේ තීරණාත්මක කඩඉමක් වන විවාහ ජීවිතයට එළඹීමේදී ඊට අවශ්‍ය පූර්ව සූදානමක් නොතිබීම හා නිසි මග පෙන්වීමක් නොලැබීම මේ අර්බුදයට බලපාන ප්‍රධාන හේතුවක්.
* මේ ප්‍රශ්නයට ඔබ යෝජනා කරන විසඳුම කුමක් ද?
පූර්ව විවාහ උපදේශනය (Pre-Mariage Counseling) මීට එක් විසඳුමක් ලෙස ඉදිරිපත් කළ හැකි යි. බොහෝ බටහිර රටවල එය අනිවාර්ය සාධකයක් බවට පත් කර තිබෙනවා. සාර්ථක විවාහ ජීවිතයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සමාජ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක හා ලිංගික විද්‍යාත්මක කරුණු ඇතුළු අවශ්‍ය දැනුමත් මග පෙන්වීමත් ලබාදීම මෙහිදී සිදු කෙරෙනවා.
*එහෙත් බෞද්ධ සම්ප්‍රදාය තුළ එවැනි පූර්ව විවාහ උපදේශන ක්‍රමයක් පැවතුණු බවට සාධක නැහැ නේද?
නූතන සහ බටහිර අර්ථයේ උපදේශන ක්‍රමයක් භාවිත නොවුණු බව ඇත්ත. එහෙත් පන්සල හා ගම අතර ඉතිහාසය පුරා පැවති සම්බන්ධය අනුව වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ උපදේශනය ක්‍රියාත්මක වූ බව අපට පිළිගැනීමට සිදු වෙනවා. ඒ හැරුණු විට මිගසාල සූත්‍රය වැනි සූත්‍ර දේශනා රැසකින් විවාහයට පෙර දැනුවත් විය යුතු කරුණු ගණනාවක් පැහැදිලි කර තිබෙනවා.
මහාතණ්හාසංඛ සූත්‍රයෙහි දරුවකු ගැබ්ගැනීමේ සිට වර්ධනය වීම දක්වා මවක සිදු කරන කාර්යභාරය විස්තර සහිතව පැහැදිලි කර තිබෙනවා. එම සූත්‍රය විග්‍රහ කර බැලීමේදී එය ද එක්තරා පූර්ව විවාහ උපදේශනයක් බව පැහැදිලි වෙනවා.
මේ හැරුණු විට පූර්ව විවාහ උපදේශනය සම්බන්ධව සාකච්ඡා කිරීමේදී වැදගත් වන සූත්‍ර කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ හැකියි. සංයුක්ත නිකායේ ආවේණික දුක්ඛ සූත්‍රය මේ අතරින් ප්‍රධාන යි.
මෙහි දක්වා ඇත්තේ පුරුෂයා විසින් නිරන්තර අවධානය යොමු කළ යුතු කරුණු පහකි.
ස්ත්‍රිය තුරුණු කල්හි සැමි කුලයට යයි; නෑයන්ගෙන් වෙන් වෙයි. මෙය ඇයට උරුම වූ පළමුවන දුක යි.
ස්ත්‍රිය ඔසප් ඇත්තී වෙයි. මෙය ඇයට උරුම වූ දෙවන දුක යි.
ස්ත්‍රිය ගැබිනි වෙයි. මෙය ඇයට උරුම වූ තෙවන දුක යි.
ස්ත්‍රිය දරුවන් වදයි. මෙය ඇයට උරුම වූ සිව්වන දුක යි.
ස්ත්‍රිය පුරුෂයාගේ පරිචරියාවට එළඹෙයි. මෙය ඇයට උරුම වූ පස්වන දුක යි.
ස්ත්‍රිය මුහුණ දෙන මෙම විශේෂ ගැටලු හඳුනාගනිමින්, එම අවස්ථාවන්ට පිහිට වීම පුරුෂයාගේ යුතුකමයි. ඒ පිළිබඳ සානුකම්පාවක් පුරුෂයා තුළ තිබිය යුතුයි.
තම භාර්යාවගේ දුකක් තමාගේ දුකක් මෙන් සලකා කටයුතු කිරීමෙන් ඔවුන් අතර සුහදතාව, සාමය, අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් දියුණු කරගනිමින් විවාහ ජීවිතයේ නියම තෘප්තිය ලැබිය හැකි යි. එනිසා මෙය පූර්ව විවාහ උපදේශනය සඳහා ගැළපෙන වටිනා සූත්‍රයක්.
කෙසේ වෙතත් බෞද්ධ පූර්ව විවාහ උපදේශන ක්‍රමය පිළිබඳ මෙතෙක් ප්‍රාමාණික පර්යේෂණ සිදු වී නැති බව ද අපි අවබෝධ කරගත යුතු යි. එනිසා බෞද්ධ පූර්වවිවාහ උපදේශනය නමැති පැරණි ම උපදේශන අංගය නව්‍යකරණයකින් යුතුව නැවත සමාජයට දායාද කිරීමට අපට සිදු වී තිබෙනවා. ද
මනෝරෝග චිකිත්සක සරත් චන්ද්‍රසේකර
2011 දෙසැම්බර් නමස්කාර
පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment