සුපසන් වූ ජීවිතයකට ‘සතිය’ හෙවත් ‘සිහිය පිළිබඳව අපි කතා කරමු. අප ලද දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් මනා වූ දියුණුවක් ලැබීමට නම් ‘සතිය’ හෙවත් ‘සිහිය’ මනා කොට පිහිටුවා ගැනීම අවශ්‍යමයි. සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පවසන අන්දමට, සිහියෙන් වැඩක් කරන්නට නොහැකි කිසිදු පුද්ගලයෙකුට ජීවිතයේ කිසිදු දියුණුවක් ලබන්නට අපහසුයි.
බෞද්ධ දර්ශනයට අනුව සතිය හෙවත් සිහිය ප්‍රධානම ස්ථානයක් ලෙස ධර්ම මාර්ගයේ දී හඳුන්වන්නට පුළුවනි. සසරගත පටන් අප හා පැමිණුනු රාගාධි කෙලෙස් සංසිඳවීම හා මුළුමනින් ම බැහැර කිරීම පිණිසත්, මේ ජීවිතයේ ඉන්ද්‍රියන් පවත්වන විට අලුතින් සකස්වෙන සංස්කාර හෙවත්, කර්ම හැකිතාක් දුරට අඩු කිරීමට හා නැතිකර ගැනීමට හැකියාව ලැබෙන්නෙ දහමේ උගන්වන සිහිය මනා කොට පිහිටුවාගැනීමෙනුයි.
සතිය හෙවත් සිහිය පිළිබඳව සඳහන් කරන විට අපට ප්‍රධාන වශයෙන් ම මතකයට නැගෙන්නෙ; "මහා සතිපට්ඨාන" සූත්‍රයෙහි පෙන්වා දෙන ‘සතර සතිපට්ඨානය’ පිළිබඳවයි. සතර සතිපට්ඨානය ආරම්භ කරන්නට භාග්‍යවතුන් වහන්සේ, එම සූත්‍ර දේශනාවේ දී මනා වූ හැඳින්වීමක් කොට තිබෙනවා. එනම්,
ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ
සත්තානං විසුද්ධියා
සෝක පරිද්ධවානං සමතික්කමාය
දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය
ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යනුවෙනුයි.
මහණනි, සත්වයන්ගේ විසුද්ධිය හෙවත් සිතේ පිරිසුදු බව පිණිස එකම මාර්ගයක් මම දේශනා කරනවා. ශෝක හා හැඬීම්, වැළපීම් සංසිදවීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයන්ගෙන් බැහැරවීම පිණිසත්, නුවණ පහළ කර ගැනීම පිණිසත්, මුළුමනින් ම කෙලෙසුන්ගේ මිදීම නම් වූ නිවන පිණිසත්, මේ එකම මාර්ගය හේතු වෙනවා. එම මාර්ගයය නම් සතර ආකාරයකින් දක්වන "සතර සතිපට්ඨානයයි". එනම් සතර ආකාරයකට අනුව සිහිය පිහිටුවා ගැනීමයි.
මෙතැන් සිට ඉතාම කෙටියෙන් "සුපසන් ජීවිතයකට" මේ සතර ආකාරයෙන් ඇතිකර ගැනීමට යෝජනා කරන සිහි නුවණ කෙසේ ඇතිකර ගත යුතුදැයි, දියුණුකර ගත යුතු යැයි ද, ඒ වගේ ම එය භාවිත සිතක් හා සමගින් කෙසේ පවත්වාගත යුතු දැයි අපි සාකච්ඡා කොට බලමු.
"සතිය" යන වචනය සිහිය යන තේරුමෙන් සඳහන් කළත් ඉන් ගම්‍යවන්නේ මනාකොට සිහිය පිහිටුවා ගැනීම කියන අදහසයි. ත්‍රිපිටකයට අනුව මේ හා සමගින් අනුගමනය කරන වචන කීපයක් දකින්නට ලැබෙනවා. සතිය එනම් සිහිය, යෝනිසෝමනසිකාරය, එනම් ඒ ඒ මොහොතෙහි සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම. අනුපස්සනා තමා සිතූ කළ කී දෑ දෙස නැවත බලමින් වැරැදි හදාගෙන, නිවැරැදි මාර්ගය හෙවත් කුසල් මාර්ගය අනුගමනය කරන්නට සිහිය සකස් කිරීම, සම්පජඤ්ඤය. එනම් පරීක්ෂාකාරී නුවණින් යුතුව කටයුතු කිරීම හා සම්පජානකාරී වීම යනුවෙන් ය. සම්පජානකාරී යනුවෙන් අදහස් කළේ සෑම අවස්ථාවකදීම සිතත් සිතිවිලිත් අකුසලයෙන් බැහැර කරගෙන කුසල් මාර්ගයට යොමු කරමින්, වචන පිටකිරීමේ දී හා ක්‍රියාවන් පැවැත්වීමේ දී කටයුතු කිරීමයි.
මේ ආකාරයෙන් යම් කෙනෙක් තමාගේ සිත සිහියෙන් යුක්තව හසුරුවන්නට අභ්‍යාස කිරීමේ දී, එම පුද්ගලයා තමාට මෙන් ම අන් අයටත් බාහිර පරිසරයටත් වැරැද්දක් හෙවත් පාපයක් නොකරන යහපත් වූ කෙනෙක් බවට පත්වෙනවා. එවැනි අයෙක් ධර්ම කතාවේ හඳුන්වන්නේ සතිමන්ත කෙනෙක් හැටියටයි. එනම් මනා වූ සිහිය පවත්වන අයෙක්, සතිමතෝ මනා වූ සිහියෙන් යුක්ත වූ අයෙක් ලෙසයි.
මුලින් ම අපි කෙලෙසුන්ගෙන් මිදීම අරමුණු කරගත් ධර්මචාරී ජීවිතයකට මේ සිහිය කෙසේ බලපාන්නේ දැයි කෙටියෙන් සාකච්ඡාකොට බලමු. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ සිහිය පිළිබඳව මුල් ම අභ්‍යාසය අපට හඳුන්වා දෙන්නේ ආනාපාන සතියෙනුයි. මෙය කෙටියෙන් සඳහන් කළොත්,
සෝ සතෝව අස්ස සති
සතෝව පස්ස සති මනා වූ සිහියෙන් යුක්තව හෙවත් සිහිය පිහිටුවාගෙන ආශ්වාස කරන්නේ වෙයි, ප්‍රශ්වාස කරන්නේ වෙයි.
ආශ්වාසය, ප්‍රශ්වාසය නම් මනුෂ්‍යයෙකුගේ ජීවත්වීම පිණිස උපකාර කරන්නා වූ ප්‍රධානම කාර්යයයි. අප සාමාන්‍යයෙන් කෙනෙක් මියදුනා යැයි සඳහන් කරන්නේත් ආශ්වාසය, ප්‍රශ්වාසය නතරවීම හා සමගිනුයි. එසේ නම් යම් කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි මනා වූ සිහිය පිහිටුවීම යනුවෙන් අදහස් කරන්නෙ එම පුද්ගලයා තමාගේ සර්වාංගය කෙරේම සිහිය පිහිටුවනවා කියන අදහසයි. නාස්කුහරයෙන් ඇතුළ්වන ආශ්වාසය නාස් කුහරයෙන් ම පිට වී උඩුතොලෙහි ස්පර්ශවන විට සතිය පවත්වන පුද්ගලයාට එය මනාකොට දැනෙන්නට පටන් ගනී. අපි අපේ ජීවිතවල එවැනි අවබෝධයෙන් කටයුතු කරන්නෙ මොනතරම් අඩුවෙන් ද? බොහෝ විටක ආශ්වාසය, ප්‍රශ්වාසය පිළිබඳව අපට දැනෙන්නෙ එක්කෝ මහන්සි වූ විටක, නැතිනම් බියක්, ත ද ආශාවක් හෝ බලවත් වූ හැඟීමක් ඇති වූ විටයි. එයට හේතුව වේගයෙන් ආශ්වාස, ප්‍රශ්වාස කිරීම හෝ තමාගේ සිතට බලවත් ලෙස සිහිය පිහිටුවාගන්නට උත්සාහ ගැනීම නිසාය. අවධියෙන් සිටින සෑම අවස්ථාවකදී ම දහසක් වැඩකටයුතුවල නිරතව සිටින්නේ ආශ්වාසය, ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පිහිටුවාගෙන නම් නොවෙයි. එසේ නම් සිහිය පිහිටුවා ගැනීමේ දී ආශ්වාසය, ප්‍රශ්වාසය කෙරෙහි සිහියෙන් යුතුව බලන්නට හෝ සිහිය පිහිටුවා ගන්නට යැයි පවසන්නේ කුමක් නිසාද?
ආශ්වාසය, ප්‍රශ්වාසය අපේ ජීවිතය ජීවත් කරවනවා සේ ම අපේ සිතට ආරම්මණයන් දැඩිව බලපාන සෑම අවස්ථාවකදී ම ආශ්වාසය ප්‍රශ්වාසය මනාකොට දැනෙන්නට වීමෙන් අප ඒ ආරම්මණයන් කෙරෙහි ඒකාග්‍රතාවයකට පත්කරවයි. එනම් ඒ අරමුණෙහි අපේ සිත ඇඳ බැද තබන්නට මූලික වන්නේ ආශ්වාස, ප්‍රශ්වාසයෙන් අප අවධිකරවා ආරම්මණයට රැගෙන යාමයි. මෙය තවත් පැහැදිලි කරනවා නම්, යමක් කෙරෙහි ඇලීමක් හෝ ආශාවක් ඇති වූ විටක හෝ පටිඝයක් හෙවත් ගැටීමක් ඇති වූ විටක අප ආශ්වාසය, ප්‍රශ්වාසය දීර්ඝව ගනිමින් එසේ නැතිනම් ඉක්මණින් හෝ කෙටියෙන් ආශ්වාස, ප්‍රශ්වාස කරමින් ආරම්මණයේ රැෙඳන්නට අපි උත්සාහ ගන්නා බව පැහැදිලියි. මෙහි දී එය සඳහන් කරන්නේ මෙම කරුණ පැහැදිලි කරන්නටයි. එනම් ආශ්වාසය, ප්‍රශ්වාසය කෙරෙහි යම් කෙනෙකුට බොහෝ වේලාවක් සිහිය පිහිටුවාගෙන එම ආශ්වාසයෙහි ප්‍රශ්වාසයෙහි පැවැත් ම කෙරෙහි මනසින් සිහිපත් කරමින් බලා සිටින්නට පුළුවනි නම් එම පුද්ගලයාගේ සිත දමනය කරගැනීමේ අවස්ථාවකට සමීපවෙයි.
මේ සඳහා ඔබට උදාහරණයක් කියන්නට කැමතියි. එනම් හීලෑ නැති වනයේ සිටින වන අලියෙකුගේ බලය හෝ ශක්තිය කොපමණ දැයි ඔබට සිතන්නට පුළුවනි ද? මේ හීලෑ නැති ඇතා හෝ අලියා නිසා බොහෝ විපත් සිදුවිය හැකියි. එම නිසා අලි, ඇතුන් හීලෑ කරන්නෙක් විසින් පළමුව කරන්නේ, මේ සතා ශක්තිමත් ගසකට හෝ කුළුණකට තබා බැඳගැනීමයි. ඉන් අනතුරුව හීලෑ කරන්නට පටන් ගනී. ඇතාට වඩා කුඩා වූ මනුෂ්‍යයාට, එම සතාගේ බලයෙන් හෝ ශක්තියෙන් ප්‍රයෝජන ගන්නට පුළුවනි. ඒ වගේ ම මිනිස් සිතක පවත්නා අප්‍රමාණ බලය හා ශක්තිය අයාලේ ගොස්, තමන්ටත්, අනුන්ටත් විපත් කිරීමේ හැකියාවක් පවතී. මේ නිසා, මිනිස් සිත එනම් මහා බලයකින් යුත් මිනිස් සිත දමනය කර ගැනීම හෙවත් සංවර කරගත යුතුය. ඒ සඳහා සිහිය දියුණු කර ගැනීම අවශ්‍යයයි. අප විසින් කරනු ලබන්නේ ආශ්වාස, ප්‍රශ්වාසය නමැති රැහැනින් හෙවත් ලණුවෙන් සිහිය හෙවත් මිනිස් සිතේ මහා බලය ඇඳ බැඳ තබාගැනීමයි. ආශ්වාස, ප්‍රශ්වාසය කෙරෙහි රැහැනින් සිහිය අපට ඕනෑ ආකාරයෙන් ඇඳ බැඳ තබාගත් විට මේ මහා බලයක් ඇති සිතට අයාලේ යන්නට නොදී මනා වූ ප්‍රයෝජනයක් අපේ ජීවිතයට ලංකර ගත හැකියි.
මේ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්නා දෙන පරිදි ආශ්වාස ප්‍රශ්වාසය නමැති රැහැන හෙවත් උපකරණයෙන් අපට සිතත් සිතිවිලිත්, සිහියත්, කුසල් මාර්ගයට හෙවත් යහපත් වූ මගකට යොමුකර ගැනීමට පුළුවනි. සිත පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කළොත් නිතැතින් ම සිතිවිලි පිළිබඳව එනම් සිතන දෑ පිළිබඳවත් අපට අවබෝධයක් නැතිව යනවා. සාමාන්‍ය ලෝකයා සඳහන් කරන ‘මගේ සිහිය හරි නෑ යන අදහසයි’. සිත නොගැළපෙන දේ කරන විට, සිතනකොට, ඒ නිසා ම නොගැළපෙන දේ හෙවත් පාප අකුසල් අරමුණට ගන්නා විට, ඒ අනුව කතා කරන විට, හැසිරෙන විට සාමාන්‍ය ලෝකයා පවසන්නේ "මගේ ඔළුව හරි නැහැ. සිත හරි නැහැ, සිහිය දැන් හොඳ නැහැ" කියන අදහ සයි.
එසේ නම් ආශ්වාස, ප්‍රශ්වාසයෙහි මනා කොට සිහිය පිහිටුවන විට අභාවිත සිත මහා බලයකින් යුතු රූප, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලිවල දැඩිව ඇලී, හොඳ, නරක හෝ පව, පින නොසලකා කටයුතු කරන්නට යන විට මනාකොට පුරුදු කරන ලද සිහිය නිසා ඒ සිතෙහි දමනයක් ඇතිකර ගැනීමට හැකියි. එපමණක් නොව මනා වූ සිහිය නිසා සිත යහපත් වූ මාර්ගයට පත්කරගැනීමට ද හැකිවේ.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම්
සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ
අගෝස්තු 22 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment