Labels

Thursday, August 20, 2015

ඉගෙනුම සඵල වන බුදු ඔවදන්


 මිනිස්සු උපතින් එක් එක් ආගම්වලට අයත් වෙති. නමුත් බුදුදහමේ ශ්‍රාවකත්වය ලැබෙන්නේ උපතින් නොවේ. ධර්මය අවබෝධය තුළිනි. ඇතැම් කෙනෙකු කේන්දරයට අනුව තමන් බෞද්ධයකු වේ යැයි සිතයි. එහෙත් සත්‍යය එය නොවේ. ධර්මය යනු කුමක්ද? ධර්මය නම් චතුරාර්ය සත්‍යයයි, හෙවෙත් උතුම් ඇත්ත හතරයි. එනම්



 01. දුක
02. දුක හටගැනීමට හේතුව
03. දුක නැති කිරීම
04. දුක නැති කිරීමේ මාර්ගය යනු ඒ සත්‍ය සතරයි.

මෙම සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අපට ගමන් කළ යුතු මාර්ගයක් ද පෙන්වා දී ඇත. එම මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙම අංග අට සිදුවකුගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ද උපයෝගී කර ගත හැකි ය.
පාසල තුළ සමාජ දෙකක් ඇත. එක් සමාජයක් නම් වැඩිහිටි සමාජයයි. එනම් සමාජයේ යහපැවැත්ම සඳහා මඟ පෙන්වන ගුරු මණ්ඩලයයි. අනෙක් පිරිස ළමා සමාජයයි. පාසල තුළ ළමයා යනු වචනය නිතර භාවිතා නොවන අතර “ශිෂ්‍ය” යනු යන වචනය භාවිතා කැරේ.
පෙරදිග අධ්‍යාපනයට අනුව ශිෂ්‍යයා යනු හික්මීම ඇති කරගත් කෙනෙකි. සිසුවකු තුළ එබැවින් කයේ හා වචනයේ සංවරය තිබිය යුතු ය. ගුරුවරයා හා සිසුවා අතර මනා සබැඳියාව ඇතිවීමට මෙය හේතුවකි.
නූතන අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ගුරු සිසු සබැඳියාව බෙහෙවින් දුරස් වී ඇත. ඒ සඳහා වර්තමාන සමාජයේ පවත්නා අධ්‍යාපන තරගකාරී පරිසරය ද හේතු වී ඇත. අධ්‍යාපනය ලබන සිසුවා තරගය සඳහා පුහුණ කරන “රොබෝවරයකු ගේ තත්ත්වයට පත් නොකළ යුතු ය.” අධ්‍යාපනය තුළින් ඔහුගේ ගුණය හා ඤාණය යන දෙකම දියුණු විය යුතු ය. අනුන්ට ගරු කිරීම, වැඩිහිටි උපස්ථානය, යහපත් වචන කතා කිරීම, පූජ්‍ය ස්ථානවලට ගරු කිරීම ආදී උසස් පිළිවෙත් සියලු ගුණ දහම් වැඩීමට පදනමකි.
සිසුවා තුළ එබඳු ගුණ ධර්ම දියුණුවන්නේ ගුරුවරයා තුළ ඒවා දක්නට ලැබෙතොත් පමණි. ගුරුවරයා සිසුවාට ආදර්ශවත් කෙනෙකු වීමේ වැදගත්කම, එයයි.
තමන් සිසුවා ඉදිරියේ ප්‍රායෝගිකව එම ගුණ ධර්ම සහිතව සිටීමට වෙහෙස ගත යුතු ය. ඒ සඳහා තමන්ගේ කැප වීම, සිසුන් ඉදිරියේ ප්‍රකට විය යුතු ය. එසේ නොකොට සිසුවා තුළ යහපත් සංකල්ප ගොඩනැඟිමට වෙහෙස අසීරු කාර්යයකි.
බුදු දහමට අනුව ශිල්ප ශාස්ත්‍ර ලබා දීම ඉතා ආදරයෙන් හා කරුණාවෙන් තමන්ගේ දරුවන්ට මෙන් සිදු කළ යුතු දෙයකි. ශිල්ප ඉගෙනීම සිසුවාට පි‍්‍රය ජනක ක්‍රියාවක් කළ යුතු ය. මනා ගුරු ගෝල සබැඳියාවක් සඳහා ඉවහල් වන කරුණු කිහිපයක් සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇත. ඇතැම් තැන්වල ගුරුගෝල සබැඳියාව නිසි පරිදි තිබෙන බවක් නොපෙනේ. අතිරේක අධ්‍යාපනය ලබා දෙන ඇතැම් ගුරුවරු සිසු ජීවිතයට නොගැලපෙන “ඕලාරික” වදන්, චිත්‍ර ආදිය යොදා ගනිමින් තම ආර්ථිකය ශක්තිමත් කරන අරමුණෙන් පමණක් එම කාර්යය සිදු කරගෙන යන බව පෙනෙයි. නමුත් එය බුදුදහමට අනුකූල නොවේ.
වර්තමානය තුළ සිසුවාට අමතර දැනුම ලබාගැනීමට අතිරේක පන්තිවලට යෑමට සිදු වී ඇත. එම අවස්ථාව වැළැක්විය හැකි වන්නේ ගුරුවරයාම ය. එසේ නම් ගුරුතුමා තම සිසුවාට කිසි අඩුවක් නොකොට ශිල්ප ශාස්ත්‍ර පි‍්‍රය ජනක ආකාරයට ලබාදිය යුතු ය. එලෙස යහපත් ගුරුවරයකු වන්නේ යැයි සිතමින් ක්‍රියා කරන තැනැත්තා සම්මා සංකල්ප දියුණු කරයි. කාම අදහස් ඈත් කරයි. හිංසනය දුරු කරයි. දැඩි ක්‍රෝධය ආදී තම සිතෙහි හට ගන්නා නරක සිතිවිලි දුරු කරමින් මෛත්‍රී සංකල්පනා ඇති කර ගනියි. තමන් නිවැරැදි හා පි‍්‍රයජනක ගුරුවරයකු වීමට ඔහු තුළ මනා පෞරුෂයක් තිබිය යුතු ය. ඔහු නිතරම යහපත් වචන කතා කළ යුතු ය. එනම්,

1. බොරු
2. කේලාම්
3. නරක වචන
4. හිස් වචන යන වැරැදි වචනවලින් ඔහු වැළකී සිටිය යුතු ය.

විහිළුවට හෝ තමන් බොරුවක්, කේලමක්, නරක වචනයක්, හිස් වචනයක් ප්‍රකාශ නොකළ යුතු ය. මෙම වැරැදි වචන භාවිතා කරන ගුරුවරයකු වේ නම්, ඒ දෙස බලා සිසුහු ද ඒවා අනුකරණය කරති. එවිට විවිධ අපරාධ වලට එය මුල පිරීමක් වෙයි. යහපත් වචන කතා කිරීම පාසලේ සමඟිය හා යහපැවැත්ම මෙන්ම සමාජයේ සමඟිය සඳහා ද උපකාරී වන්නේ ය.
මෙලෙස ක්‍රමානුකූලව අධ්‍යාපනය ලබන සිසුවා පර පණ නැසීම, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, යනාදියෙන් වැළකී සිටියි. එසේම සියලු සත්වයන්ට මෛත්‍රීය කරයි. අන්සතු වස්තුව ආරක්‍ෂා කිරීම, යහපත් සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට පුරුදු වීම, සම්මා කම්මන්ත මාර්ගාංගය වැඩීමකි.
සිසු දිවියේ පැවැත් ම නිවැරැදි විය යුතු ය. තමන් ළඟ නොමැති ගුණ පෙන්වීම වැනි කුහක ගතිවලින් වැළකී සිටිය යුතු ය. පාසලට හා සමාජයට යහපත් වන පැවැත්මක් ඇති කර ගත යුතු ය. තම අධ්‍යාපන කටයුතු අවංකව කළ යුතු ය. එදිනෙදා සිදු කරන අභ්‍යාස කටයුතු කැපවීමෙන් කළ යුතු ය. ගුරුවරයා රැවටීම හෝ මවුපියන් රැවටීමට ඔහු උත්සාහ නොකළ යුතු ය. ඇතැම් සිසු දරුවෝ ගුරුවරුන්, මවුපියන් නොමඟ යැවීමට උත්සාහ කරති.
ඇතැම් අය තම කායික නිරෝගීකම රැක ගැනීම සඳහා විවිධ යන්ත්‍ර භාවිත කිරීම ද සිදු කරති. නමුත් මේවා කයෙහි නිරෝගී කම රැකීමට පමණක් හේතු වෙයි. කය පමණක් නිරෝගී කර ගැනීමට උත්සාහ කිරීම නුවණට හුරු පිළිවෙතක් නොවේ. ශිෂ්‍ය ජීවිතය සාර්ථක වීම සඳහා මනස දියුණු කර ගැනීමට ද උත්සාහය තිබිය යුතු ය. මෙහිදී එම උත්සාහය කළ යුතු අයුරු පිළිවෙත් හතරකින් පෙන්වා දී ඇත. එනම්,

01. නූපන් කුසල් උපදවා ගැනීම
02. උපන් කුසල් වැඩි දියුණු කිරීම
03. නූපන් අකුසල් නූපදවීම
04. උපන් අකුසල් යටපත් කිරීම යනු ඒ පිළිවෙත් හතරයි.

‘කුසල්’ යනු කුසලතාව යි. සිසුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක වන්නේ කුසලතා හෙවත් තම හැකියා දියුණු කිරීමෙනි. මෙලෙස ක්‍රියා කිරීම ‘සම්මා වායාම’ ය වැඩීමකි. පාසල තුළ ගුරුවරුන්ගේ දඬුවම ඒ මොහොතේ දුක් සහගත වූවත් එයින් පෙන්වා දෙන යහපත, අනාගතය ජය ගැනීමට අවස්ථාවකි. ගුරුවරයා, යනු, සිසුවා හදන පුද්ගලයා ය. එම නිසා සිසුවාගේ වැරැදි පෙන්වා දීම ඔහුගේ වගකීමයි. සිසුන්ගේ වැරැදි පිළිබඳ අවවාද කිරීමක් හෝ නොකරන්නේ නම් එය නියම ගුරුවරයකුගේ ලක්‍ෂණයක් නොවේ. කෙසේ වෙතත් සිසුන්ට දෙන දඬුවම්, කෲර වද හිංසනයක් නොවිය යුතු ය.
සිසු දිවිය සාර්ථක කර ගැනීමට ඉවහල් වන තවත් අංගයක් වන්නේ සම්මා සතියයි. සම්මා සති යනු, යහපත් සිහිය යි. ඇතැම්විට පාසල්වල ඉගෙන ගන්නා සමහර සිසුන් සිහි විකෘති කරවන මත්ද්‍රව්‍ය භාවිත කිරීමද කනගාටුවට කරුණකි. අධ්‍යාපනය සාර්ථක වීම සඳහා ගුරුතුමා උගන්වන දේ සිතෙහි රඳවා ගත යුතු ය. එසේ රඳවා ගැනීම පිණිස නිවැරැදි සිහිය තිබීම, වැදගත් වෙයි. එසේම අනවශ්‍ය වාද කිරීම්, උසුළු විසුළු කිරීම් ආදිය පන්තිය තුළ සිදු කිරීම, අනිකුත් සිසුන්ට බාධාවක් වන අතර ගුරුවරයාට ද පාඩම සාර්ථක කර ගැනීමට බාධාවකි.
කුසල් දියුණු කිරීම කුඩා කාලයේ පටන් සිදු කළ හැකි ය. කුසලය වර්ධනය වීම, සිසු දිවිය සාර්ථක වීමට බොහෝ සෙයින් උපකාරී වන්නේ ය. සිත යහපත කරා යොමු කිරීම සඳහා සිසුවා තුළ යහපත් සිහිය හෙවත් සම්මා සතිය තිබිය යුතු ය. උගන්වන දේ මතකයේ තබා ගැනීම සඳහා සම්මා සතිය අවශ්‍ය ය.
මෙලෙස සාර්ථක ගුරුසිසු සබඳතාවක් පවත්වා ගැනීම ආර්යය අෂ්ටාංගික මාර්ගය ඉවහල් වන අතර, සාරධර්ම, සුරකින යුතුකම් දන්නා සමාජයක් ඒ තුළින් සකස් කර ගත හැකි ය.

 පී.ධම්මදස්සී හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ අප්‍රේල් මස 19 වැනි සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment