මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Saturday, August 15, 2015
අපේ තරුණයන් යහපත් ලොවක් ගොඩනඟනු නියතයි
අප ජීවත් වන මේ යුගය අපේ රටේ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් යුගයක් ලෙස මා දකිනවා. ධර්මය පුළුල් ලෙස පැතිරී තිබෙනවා. ධර්ම ග්‍රන්ථ විශාල වශයෙන් මුද්‍රණය වෙනවා. නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සිංහල – ඉංග්‍රීසි දෙබසින් ධර්ම ග්‍රන්ථ පළ කරමින් සිදු කරන සේවාව ඉන් එකක්.
අපේ තරුණ පරපුර ධර්මයට යොමු වී ඇති සැටි ද මේ යුගයේ විශේෂත්වයක්. සුරාපානයෙන් ද, දුම්බීමෙන් ද, සූදුව ආදි දුරාචාරයෙන් ද වැළකුණු ලක්ෂ ගණන් තරුණයන් අද අපේ සමාජයේ සිටිනවා. ඒ අයගෙන් සෑහෙන පිරිසක් දහම් පොත් කියවා භාවනාවට යොමු වී ඇති ආකාරයක් ද පෙනෙනවා.
මේවා සිත සනසන පුවත්. එහෙත් අපේ මාධ්‍ය උලුප්පා දක්වන්නේ පියා විසින් කුඩා දියණියකට හදි කළ හැටි කියවෙන පුවත්. අපරාධ වැඩි වන අයුරින් අපරාධ ගැන ලියනවා. කවරකු හෝ කළ අධම කටයුත්තකට ඉහළ ප්‍රසිද්ධියක් දෙනවා. එහෙත් සදාචාරාත්මක ගුණගරුක ජීවිත ගත කරන අපේ තරුණයන් පිළිබඳ පුවත් සඟවනවා. මේ නිසා හොඳ දේ ගැන අසා මා ලබන සතුට බොහෝ අයට ලබන්නට ඉඩක් නැහැ.
මේ යුගයේ ඇති මේ යහපත් ලක්ෂණ ඇති වුණේ නිකම් ම නො වේ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ඕල්කොට් තුමා, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, පියදාස සිරිසේන මහතා, ජෝන් ද සිල්වා මහතා, සී. දොන් බස්තියන් මහතා, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා වැනි සැබෑ දේශප්‍රේමීන්, ජාතිප්‍රේමීන් ගෙනගිය ආගමික, ජාතික, සංස්කෘතික සටන් වර්තමාන ප්‍රබෝධයට හේතු වුණා.
ඒ උතුම් නායකයන්ට එසේ සටන් කිරීමට සිදු වූයේ බටහිර ජාතීන් විසින් අපේ රටේ ජනතාව වල්මත් කළ නිසා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන බටහිර පාලකයන් මේ රට ග්‍රහණයට ගන්නා තුරු පැවතියේ මිහිඳු මහ රහතන් වහන්සේ බිහි කළ සදාචාර සම්පන්න උත්තම සමාජයක්.
රටේ නායකයා දඩයක්කාරයකු වී පොසොන් පෝය දා සතුන් දඩයම් කරන උත්සව පවත්වන තරමට හිංසාකාරී සමාජයකටයි එදා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළේ. උන් වහන්සේගේ කටහඬ කනට වැටෙන විට ම රටේ නායකයාගේ අතේ තිබුණු දුන්න බිමට වැටුණා. දුන්න සමග ඝාතනය අගය කරන සංස්කෘතිය ද බිමට වැටුණා. සදාචාර සම්පන්න, සිල්වත්, ගුණවත් සමාජයක් ලක් පොළොවේ බිහි වුණා.
පොළොවේ සිටින කුඩා සතකුට හෝ හිංසාවක් වේ ය යන බියෙන් පෝයදාට උදැල්ලට නිවාඩු දීමට තරම් අපේ රටේ ගොවියා ඉන් පසු පෙලඹුණා. උසස් ආචාරධර්ම, උසස් ගෘහ නිර්මාණ ශිල්ප, උසස් කලාකෘති මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් සමග රට තුළ වැඩුණා.
එදා නූගත් ගැමි ගැහැනුන් වී කොටන විට පවා බුදු ගුණ ගැයීමට හුරු වී සිටි අයුරු අපේ අටුවා කතා හෙළි කරනවා. සෑම ගමක ම පන්සල් බිහි වුණා. ගමේ කටයුතුවල මුල් තැන ගත්තේ, මධ්‍යස්ථානය වුණේ පන්සල. ගමේ හැම පවුලක් ම පන්සලට සම්බන්ධ වුණා. මේ නිසා සමාජ විරෝධී කටයුතුවලට, පාපයට කිසිවකුට ඉඩක් ලැබුණේ නැහැ.
ලංකාවට පැමිණි රොබට් නොක්ස් වැනි විදේශිකයන් පවා මේ සදාචාරාත්මක සමාජය අගය කළා. ගමේ මිනිස්සු වැරදි දේ කරන්න බය යි; ලජ්ජ යි; නිකමට වත් බොරු කියන්නෙ නැහැ. ඔහු ජනතාවගේ සීලය පැසසුවා. 1501දී පෘතුගීසින් ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලාගත්තා. පසුව ලන්දේසීන්ට ඒ ප්‍රදේශවල බලය හිමි වුණා. ඉන් පසු ඉංග්‍රීසින්ට ඒ ප්‍රදේශ අයිති වුණා. මුළු රට ම යටත් කිරීමේ අපහසුව ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් යටත් විජිත බාර මහලේකම්ට ලියා දැන්නුවේ මෙහෙමයි:
“මුළු ලොව ම ඇල්ලුවත් ලංකාව සම්පූර්ණයෙන් යටත් කිරීමට අපට බැහැ. මේ රටේ ගිහි – පැවිදි සම්බන්ධය ඉතා ප්‍රබල යි. ජනතාව පන්සලෙන් වෙන් කරන තුරු අපට ජයක් ලබන්න බැහැ.”
උපායශීලී ලෙස සුද්දෝ අපේ ජනතාවත් පන්සලත් අතර පැවති සබඳතා බිඳහෙළීමට වෑයම් කළා. තනතුරු දී සුළු පිරිසක් මුලින් දිනාගත් සුද්දෝ පසුව අධ්‍යාපනය හා ආගම මගින් තවත් විශාල පිරිසක් දිනාගත්තා. දේශප්‍රේමය වෙනුවෙන් නිවට, නියාලුකමින් පිරුණු යටත්විජිත ගැති සමාජයක් ඉන් පසු ඇති වුණා; පන්සල් පාළු වුණා; භික්ෂු බලය පිරිහුණා.
ඒ නිසා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට, අනගාරික ධර්මපාල තුමාට, පියදාස සිරිසේන මහතාට, තවත් දේශපේ‍්‍රමී පිරිසකට මුල සිට ජාතිය ගොඩනැගීමට සිදු වුණා.
ඒ වෑයමේ පලයක් වශයෙනුයි 1956 වසරේ 2500 වැනි බුද්ධ ජයන්තිය මහා ප්‍රබෝධයක් සහිත ව සැමරිය හැකි වුණේ. එතැන් සිට රටේ බෞද්ධ කටයුතුවල නව ජීවනයක් ඇති වුණා. මහාබෝධි සමාගම, බෞද්ධ සම්මේලනය මෙහිදී කළ කැප කිරීම සදාකල්හි අගය කළ යුතු යි.
වර්තමාන තත්ත්වය ගැන මා සතුටින් කතා කළත් අද අප ඉතා කල්පනාකාරී ව, පරෙස්සමෙන් සිටිය යුතු යි. අප යළි ඇරඹූ ගමන කඩාකප්පල් කිරීමට සැරසෙන මහා බලවේග විවිධාකාර මුහුණුවරින් රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
වෙනත් ආගම්වල මූලධර්මවාදීන්, දුප්පත් බෞද්ධයන් බිළීබාගන්නවා වගේ ම, බුදු දහමේ මුවාවෙන් ද ජනතාව මුළා කරන පිරිස් අද සිටිනවා.
අප මුලදී කී පරිදි ධර්මය හදාරා, භාවනාවට පෙලඹුණු විශාල පිරිසක් අද සිටිනවා. මේ පෙලඹීම දුටු සමහරු ඒ අය මුළාකොට සතියෙන් දෙකෙන් මාර්ගඵල ලබා දෙන හැටි ද අපට අසන්නට ලැබෙනවා. තම තමාට අවශ්‍ය ලෙස බුද්ධ ධර්මය විකෘති කොට පවත්වන දේශන සහ ලියන පොතුත් අද ප්‍රචාරය වෙනවා.
සාම්ප්‍රදායික, ශාසනික කටයුතු හෙළාදකිමින් ජනප්‍රිය වීමට අලුත් අලුත් දේ කරන අයත් අද සිටිනවා. මෙය ශාසන පරිහානියට හේතුවක්.
ධර්මය විකෘති කොට පළ කරන දුර්මත ඉවත් කළ යුත්තේ ධර්මයෙන් ම යි. අපට පිරිසිදු ධර්මයක් පවතිනවා. වසර 2600ක් එය සුරක්ෂිත ව පැවතුණා. ඒ අපගේ ත්‍රිපිටකය යි. අර දුර්මත ඉවත් කිරීමට බුද්ධ දේශනා සමග ඒවා සැසඳිය යුතු යි. ඒ සඳහා අපේ පැවිදි උගතුන් ඉදිරිපත් වීම අවශ්‍යය යි.
වැරදි මාර්ග පසුපස ගමන් කරන පිරිස් නිවැරදි කළ හැකි යි. විශේෂයෙන් අපේ තරුණයන්ට යම් වරදක් පිළිගත හැකි අයුරින් පෙන්වා දුන්නොත් ඔවුන් නිවැරදි මගට වැටෙනවා. කුඩා උදාහරණයක් දෙන්නම්:
පසුගිය කාලේ මා පින්කම් ගෙදරකට ගියා. පා සෝදන්න සහ පය පිසදාන්න තරුණයන් දෙදෙනකු සිටියා. මට කලින් ගිය ස්වාමීන් වහන්සේලාගේ පා මත වතුර බිඳු කීපයක් හෙළන හැටිත්, තුවායේ කොනකින් පය තෙතමාත්තු කරන හැටිත් මා දුටුවා. මගේ පය සෝදන්නට මා ඉඩ දුන්නේ නැහැ. ඒ තරුණයාගෙන් මා කෝප්පය ඉල්ලාගෙන, මට පෙර වැඩම කළ හිමිවරුන් ආපසු කැඳවා එම උන් වහන්සේලාගේ පා ඉතා හොඳින් නහවා, මුළු තුවාය ම ගෙන පා ඉතා හොඳින් පිසදැම්මා. අන්න ඒ විදියට පා සෝදන්න කියා මා තරුණයන්ට කීවා. ඉන් පසු ඒ තරුණයන් මට පසුව ආ හිමිවරුන්ගේ පා හොඳින් සෝදා, පිසදැම්මා. මා හිතුවා ඒ තරුණයන් මහ පිරිසක් මැද ලජ්ජා වුණු නිසා මට පහර දෙන්නත් පුළුවන් කියා. එහෙත් සිදු වුණේ වෙන දෙයක්. ඒ තරුණයන් දින කිහිපයකට පසු මා සොයා ගෙන ආවා. මගේ පා වැඳ මට කීවා, ඔබ වහන්සේ අපට ඉතා වැදගත් දෙයක් ඉගැන්වූවා කියා; අපේ සාම්ප්‍රදායික සිරිත් රැකීමේ අගය ඉගැන්නුවා කියා. මා මෙයින් තේරුම් ගත්තේ අපේ තරුණ පරපුර හිතුවක්කාර නැති බව; ඔවුන් හදාගත හැකි බව.
අපට ඉතා හොඳ තරුණ පරපුරක් ඉන්නා බව නො වෙයි ද මෙයින් පෙනෙන්නේ? හොඳ මඟ පෙන්වීමක් කළ හොත් රටේ ජාතියේ අනාගතය ඉතා යහපත් වෙනවා.
සංක්‍රාන්තික යුගයක් වශයෙන් පෙනෙන මේ යුගයේ බුද්ධි සම්පන්න ව, ඉවසිල්ලෙන් යුතු ව පසු කරමු. උදා වන අලුත් යුගය වඩාත් ප්‍රභාසම්පන්න වනු ඇති. මගුල් ගෙදරට මත්පැන් නැති ව ම බැරි සුළු පිරිසක් තවමත් ජීවත් වන බව ඇත්ත. ඒ අයට ද සදාචාරය හුරු වන අයුරින් අපි ජනමාධ්‍ය ද යොදාගනිමින් මේ ගමන යමු. ද
විද්‍යාලංකාර මහපිරිවෙන්පති,
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුශලධම්ම නාහිමි
2011 දෙසැම්බර් නමස්කාර පුවත්පතෙහි පළ වූ ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment