මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Saturday, August 15, 2015
යොවුන් වියේදී දහමට යොමු වෙමු
උසස් හෙට දවසක් සඳහා අද තරුණයා තමා තුළ ඇති කරගත යුතු ගුණාංග මේ ලිපියෙන් දැක්වේ
ජීවිතයේ සුන්දර වූ සමය තරුණ අවධිය යි. මෙම අවධිය චිත්ත ආවේගයන්ගෙන් සමන්විත නොසන්සුන් වයසක් ලෙස සමාජය හඳුන්වයි. මෙසමයෙහි තරුණ-තරුණියෝ සිත් ඇද-බැඳගන්නා දේවලට නිරායාසයෙන් ඇදී යති. තරුණ වයස ශාරීරික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද විවිධ වෙනස්කම්වලට ලක් වන අතර, නවමු සිතුම්-පැතුම් පිබිදී, නව අත්දැකීම් ලැබීමට පෙලඹෙන්නේ එම අවධියේ ය. ඇතැම් තරුණ-තරුණියෝ තම සිත් ගන්නා අරමුණුවලට පහසුවෙන් ඇදී යති. මේ නිසා බොහෝ විට නිවැරදි මාවතින් බැහැර යෑමෙන් ඇතැම් ජීවිත අකාලයේ විනාශ කරගනිති. ඔවුන් නිසි මගට ගත හැකි එක ම ක්‍රමය නම් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සදහම් මාවතෙහි ගමන් කරවීම යි. විනෝදකාමී සරාගී ජීවිත ගත කළ ‘භද්දවග්ගිය’ කුමාරවරුනට බුදු රදුන් දේශනා කළේ අනුන් ගැන සෙවීම පසෙක ලා, තම-තමන්ගේ විමුක්තිය උදෙසා කටයුතු කරන ලෙස යි. ආත්මාර්ථකාමීත්වය වැදගත් බවත් පරාර්ථකාමීත්වය නොසලකා-හැරිය යුතු බවත් මෙයින් අදහස් නොකැරේ. “අත්තාහි අත්ථනෝ නාථෝ” යි තමාට පිහිට වන්නේ තමා ම බව බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒ අනුව කටයුතු කළ භද්දවග්ගිය කුමාරවරු සදාකාලික විමුක්තිය උදා කරගැනීමට උත්සුක වූහ
තරුණ-තරුණියන්ගේ රූප සෝභාව මෙන් ම, තාරුණ්‍ය ද ආරක්ෂා කරගැනීම තම පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෙයකි. නීරෝගීකම උසස් ම ලාභයක් බව ‘ආරෝග්‍යමිච්ඡේ පරමංච ලාභං...’ යනුවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළහ. එසේ නම් තම ශරීරය පිළිබඳ ව තමන් ම අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. සෞඛ්‍යය පිරිහීමේ ආදීනව විඳවන්නේ තමන් විසින් ම බව තරුණ-තරුණියන් අමතක නොකළ යුතු ය. නිසි වයසට වඩා වැඩි මහලු පෙනුමක් ලබාගැනීමට තරුණ-තරුණියෝ අකැමැති වෙති.
ලේඛන කලාව, චිත්‍ර කලාව, සංගීතය වැනි සෞන්දර්ය විෂයයන් කෙරෙහි මෙන් ම, ක්‍රීඩා කටයුතු, සමාජ සේවා කටයුතුවලට ද නිතර සිත් යොමු කරන විට අසීමිත ලිංගික ආශාවන් මෙන් ම විවිධ හැඟීම් නිසි ලෙස පාලනය කරගැනීමට හැකි වෙයි. පාසල් අවධියේ සිට තරුණ-තරුණියන් එවැනි යහපත් බාහිර ක්‍රියා කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම් විවිධ අයහපත් ආවේග නිසා ඔවුනට සිදු වන අතවර – විපත් වළක්වාගත හැකි අතර, තරුණ ජීවිත නොමගට යෑමෙන් ද වළක්වාගත හැකි ය
එබැවින් සමාජය පිළිගත් හැසිරීම් රටා අනුවත්, පිළිගත් සාරධර්ම අනුවත් තම-තමන්ගේ චින්තනය හැඩ ගස්වාගැනීම සුදුසු වෙයි. ලිංගික හැඟීම් සිරුරෙහි අනෙකුත් ඉන්ද්රියයන් කෙරෙහි ද බලපායි. එම ආවේගයන් හිතට ප්‍රබල ව දැනුණොත්, එම පුද්ගලයාගේ හැසිරීම් රටාවේ පූර්ණ වෙනසක් ඇති වෙයි. මේ නිසා දැනෙන අසහනය මෙන් ම චිත්ත ආවේග හේතුවෙන් සිත පාලනය කරගැනීමට අපහසු වෙයි. එයින් සිත එකඟ කරගෙන කිසිදු කාර්යයක් කිරීම අපහසු වෙයි; එපමණක් නො ව, හෙතෙම විවිධ අපචාරවලට යොමු වෙයි. සිතෙහි ඇති වන අසහනකාරී තත්ත්වය දුරු කරගනු පිණිස විවිධ අනියම් කටයුතු කිරීමට ද පෙලඹෙයි; ඒ හේතුව නිසා ම තම දිවිය අඳුරු මාවතට යොමු කරගනියි. එබැවින් අහිතකර සිතිවිලි වළක්වාගැනීමට කිසියම් බාහිර ක්‍රියාවකට හිත යොමු කළ යුතු ය.
කරුණු මෙසේ හෙයින් පළමු කොට ම කළ යුත්තේ ශරීර සෞඛ්‍යයට මෙන් ම ශරීරයෙහි රූප ශෝභාවට ද හානි කරන බාහිර වැරදි ක්‍රියාකාරකම්වලින් ඉවත් වීම යි. ‘දුම් පානය ශරීර සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන’ යනුවෙන් දුම්වැටි පැකැට්ටුවෙහි සඳහන් කර ඇත්තේ අවිනිශ්චිත කියමනක් ලෙස ය. එහෙත් දුම් පානය නියත වශයෙන් ම ශරීරයට අහිතකර ය. වර්තමානයේ දුම් පානය කිරීමෙන් පෙණහලු පිලිකා වැලඳීම නිසා දින පතා මිය යන සංඛ්‍යාව අතිවිශාල ය. දුම් පානය කරන්නාට මෙන් ම අසල සිටින අනෙකුත් අයට ද එය තදබල ලෙස බලපායි. දුම් පානය කරන පුද්ගලයා ළඟින් හමන දුර්ගන්ධය ඉවසීම ද අපහසු ය. මේ නිසා බොහෝ විට දුම් පානය කරන පුද්ගලයන් සමාජයේ පිළිකුලට ලක් වන අයුරු දැකිය හැකි ය.
මත් වතුර, මත් ද්‍රව්‍ය ශරීර-සෞඛ්‍යයට අහිතකර වනවා මෙන් ම සමාජයේ නින්දා-අපහාසවලට හා අප්‍රසාදයට ගොදුරු වීමට ද කරුණකි. බීමත් පුද්ගලයාට තමා කරන කියන දෙය පිළිබඳ ව තමන්ට ම වැටහීමක් නැත. මත් වන දේවලට පුරුදු වුව හොත් ඒවා නැති ව එදිනෙදා කටයුතු කිරීමට අපහසු වනවා පමණක් නො ව, ශරීර ශක්තිය, ධෛර්යය, ආත්ම විශ්වාසය යන පුද්ගලයකු සතු උදාරත්වය ද අහිමි වී යයි. දුම් පානය හා මත් වන සියලු දේවල් ජීවිතයකට අත්‍යවශ්‍ය සාධක නො වේ. එබැවින් පළමු කොට ම එවැනි දේවලින් වැළකිය යුතු ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ ජීවිත දෙස බලන විට ඇති වන්නේ කණගාටුවකි. ඔවුන් තමන්ට කරගන්නා හානියත්, තම දෙමාපියන් ඇතුළු පවුලටත්, සමාජයටත් කරන හානියත් පිළිබඳ ව දිනපතා ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයන් ඔස්සේ කරුණු අසන්නට දකින්නට ලැබේ.
අනෙක් ප්‍රධාන කරුණ නම් අප දිනපතා ගන්නා ආහාර වේල යි. බොහෝ තරුණ-තරුණියන්ට එදිනෙදා ගත යුතු ආහාර රටාව පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක් නැති බව පෙනෙයි. බොහෝ විට ඔබ පි‍්‍රය කරන්නේ මිලෙන් වැඩි, අලංකාර දවටනවලින් යුතු, ජනමාධ්‍යයන් ඔස්සේ ප්‍රසිද්ධ කරනු ලබන, රස සහ වර්ණකාරකයන්ගෙන් සමන්විත සීමිත ආහාර වර්ග කිහිපයක් පමණක් විය හැකි ය. එනමුත් ඔබ රුචි නොකරන බොහෝ ආහාර වර්ග සිරුරට අත්‍යවශ්‍ය විටමින්, පෝෂ්‍ය පදාර්ථවලින්, ප්‍රෝටීනවලින් ගහන පෝෂ්‍යදායි ආහාර විය හැකි යි. කාර්ය බහුලත්වය, අවිවේකී බව, අලස බව වැනි කරුණු නිසා බොහෝ දෙනෙක් වෙළෙඳපොළේ තිබෙන සකස් කළ ආහාර මෙන් ම, ක්ෂණික ආහාර වර්ගවලට යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි. එවැනි ආහාර අධික ලෙස ගැනීම නිසා වර්තමාන ළමා පරපුරත්, තරුණ පරපුරත් ශීඝ්‍රයෙන් අධික තරබාරුව, අධිරුධිරපීඩනය, දියවැඩියාව, අධික මේදය වැනි ආබාධවලට ගොදුරු වෙමින් සිටීම ශෝචනීය තත්ත්වයකි.
ධාන්‍ය වර්ග, පලතුරු, අලුත් එළවළු, පලාවර්ග ආහාරයට ගැනීමට බොහෝ තරුණ-තරුණියෝ මැළිකමක් දක්වති. ඔවුන් වැඩි රුචියක් දක්වන්නේ ආනයනය කරන විවිධ ආහාර වර්ගවලට බව පෙනෙයි. අපේ දේශීය පලතුරු වර්ග කොතරම් ගුණදායක ද? එහෙත් ඒවා සොයාගැනීමට ද අද වන විට දුෂ්කර වී ඇත. බොහෝ විට මහත් රුචියෙන් මිලට ගන්නේ විදේශවලින් ආනයනය කරන ලද කල් තබාගැනීමට විවිධ රසායනික යෙදූ පලතුරු වර්ග ය. දේශීය වෙළෙඳපළේ ද ඇත්තේ බලහත්කාරයෙන් ඉදවන ලද පලතුරු ය. අපේ තරුණ-තරුණියෝ බෝතල් කරන ලද විවිධ පැණිබීම වර්ග මහත් අභිරුචියෙන් පානය කරති. ඒවා පානය කිරීම සමාජයේ කැපී පෙනෙන කරුණක් වශයෙන් සැලකීමට තරම් බොහෝ දෙනාගේ මානසිකත්වය පහත් තත්ත්වයට පත් ව ඇත. මිනිස් සිරුරට ගුණදායක, අහිතකර නොවන දේශීය බීම වර්ග කොතෙක් ඇත් ද? අපේ තැඹිලි ගෙඩියක රසය, ගුණය කොතෙක් ද? ඒ කිසිවක් නැතත් පිරිසිදු ඇල් දිය බඳුනක් පානය කිරීමෙන් ශරීරයට යහපතක් මිස අයහපතක් නො වේ.
මස්-මාළුවලට වඩා අපේ ගෙවත්තෙන් කඩාගත හැකි කොස්-පොලොස්, අල-බතල, පලා වර්ග වැනි ආහාර කොතරම් ගුණදායක ද? විවිධ හෝමෝන වර්ග එන්නත් කර ඉක්මනට වර්ධනය කර සකස් කර වෙළෙඳපළට එවන ඇතැම් මාංස වර්ග අනුභව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අධික තරබාරුව, ඉක්මනින් වියපත් වීම වැනි තත්ත්වයන්ට ගොදුරු වන බව පෝෂණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. අද බොහෝ තරුණ පිරිස් ශරීරයට ව්‍යායාමයක් ලැබෙන ක්‍රියාවක නිරත වීමට අකැමැත්තක් දක්වති; අධිසුඛෝපබෝගී ජීවිත ගත කිරීමට උත්සාහ කරති; අඩු තරමින් ටික දුරක් හෝ පයින් ගමන් කිරීමට මැළි වෙති; සිරුරට වෙහෙසක් ලබා දීමට උනන්දු නො වෙති. ඒ නිසා ම උද්යෝගයක් නැති, අක්‍රිය තරුණ සමාජයක් නිර්මාණය වෙමින් පවතියි.
ශාරීරික වශයෙන් එසේ සැලකිලිමත් විය යුතු අතර, මානසික වශයෙන් ද පරිණත බවට පත් විය යුතු අවස්ථාවකි තරුණ අවධිය. සමාජයේ ලිංගික අතවර, ළමා අපචාර වැනි දෙය ගැන අසන්නට නොලැබෙන දිනයක් නැති තරම් ය. එයට ප්රබලතම හේතුවක් නම් යෞවනත්වයත්, ලිංගිකත්වයත් පිළිබඳ තරුණ-තරුණියන්ට නිසි අවබෝධයක් නැතිකම විය හැකි ය. අසභ්‍ය ප්‍රකාශන, ඇතැම් රූපවාහිනී දර්ශන, වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් එන සිනමා දර්ශන, අසභ්‍ය වීඩියෝ පට නිසා තරුණ සිත්-සතන් විපරීත තත්ත්වයට පත් ව ඇත. කායික සම්බන්ධතා බුදු දහමින් තහනම් කර නැත. පවුලේ ගරුත්වය, මවුපියන්ගේ සමාජ තත්ත්වය, ආර්ථිකය වැනි සමාජ තත්ත්වයන් ගැන සොයා-බලා, ආවාහ-විවාහ කටයුතු සිදු කරන්නේ අත්වැරදීම්වලින් මිදී, තම යුගදිවියත්, තමන් නිසා ඇති වන පරපුරත් යහපත් පුරවැසියන් කිරීමට ය.
වර්තමාන ජීවිත මිල-මුදල්, සැප-සම්පත් සොයමින් කරන උග්‍ර සටනක් වශයෙන් සැලකිය හැකි ය. එහෙත් සතුට ලැබෙනවා වෙනුවට මෙම ජීවන රටාව ගෙන එන්නේ පීඩනයත්, අසහනයත් බව පෙනෙයි. ලෞකික දේවලින් මිදී ලැබිය හැකි මානසික සතුට සහනය ගැන බලන විට භෞතික සැප-සම්පත් නිෂ්ඵල වූත්, නිරර්ථක වූත් දේවල් බව දිස් වේ. ගෘහ ජීවිතයක් හොඳින් ගත කිරීමට නම්, ආර්ථිකය දියුණු වීම අත්‍යවශ්‍ය ය. කුසට ආහාර, සිරුරට වස්ත්‍ර, වාසය කිරීමට නිවෙස් නැති ව දුක් විඳිමින් සැපවත් ජීවිත ගත කළ නොහැකි ය. දුප්පත්කම, මුඩුක්කුවල, මාවත්වල ජීවිතය සතුටට බාධා ඇති කරයි. කුඩා පැල්පතක ලොකු පවුලකට වාසය කිරීම අපහසු ය.
අවට පරිසරය, අසල්වාසීන්ගේ දුක්ඛිත තත්ත්වය වැනි කරුණු කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව වැනි සිතිවිලි ජනිත වීමට මෙන් ම දූෂිත ක්‍රියාවන් සිදු කිරීමට ද අනුබල දෙයි. එහෙත් අප වටහාගත යුතු සත්‍යයක් ඇත. එනම් දිළිඳු වූ පමණින් දුකෙන් සිටින මිනිසුන් නැති බව මෙන් ම, පොහොසත් වූ පමණින් සතුටෙන් සිටින මිනිසුන් ද නොමැති බව යි. උතුම්, උදාර ගතිගුණවලින් යුතු පුද්ගලයා සතුටින් සිටියි. තමන් සමඟ සිටින අනෙක් අයගේ ජීවිත ආරක්ෂා කරන, පෝෂණය කරන පුද්ගලයා සතුටෙන් වාසය කරයි. අනෙකුත් අයට කැමැති සේ වාසය කිරීමට ඉඩ-හසර ලබා දෙන පුද්ගලයා සතුටෙන් වාසය කරයි. මෙම ලෝකය සත්ත්ව සන්තතියට ජීවත් වීමට තරම් සුදුසු ස්ථානයක් බවට පත් කිරීම සඳහා කිසියම් සමාජ මෙහෙවරක් කරන පුද්ගලයා සතුටෙන් වාසය කරයි. ඒ අනුව සතුට පවතින්නේ තමා තුළ ම ය, තම සිත තුළ ම ය යන කරුණ ස්ථිර වෙයි.
බුදු දහමෙහි උගන්වන්නේ සතුට ලබාගැනීම සඳහා ධාර්මික වූත්, අහිංසක වූත් ක්‍රියා මාර්ගයන් අනුගමනය කරන ලෙස යි. අනෙකුත් ප්‍රාණීන්ට වධහිංසා කර හෝ ඝාතනය කර හෝ ලබන සතුටෙහි ඵලයක් නැත. බොහෝ දෙනා සිතන්නේ සතුට රැඳී ඇත්තේ ධනය, බලය, කීර්තිය, ප්රසංසාව වැනි කරුණු මත බව යි. ජීවිත කාලය ම මහන්සි වී අවශ්‍ය ප්‍රමාණයට වඩා ධනය රැස් කරන බොහෝ පුද්ගලයන්ට එම ධනය සියල්ල ම වැය කර, අංශුමාත්‍රයක සතුටක් වුව ලබාගත නොහැකි ය. ආශාවන් සංසිඳුවාගැනීම මුදල් වැය කර කළ හැකි මුත්, සතුට මුදලට ලබාගත නොහැකි ය. සතුට වනාහි හුදු යහපත් බව, සිතෙහි නිරවද්‍යතාව, සිතෙහි පවිත්රත්වය වැනි කරුණු මත පදනම් වූ උසස් වින්දනයකි.
එක්තරා මනෝ විද්‍යාඥයෙක් මෙසේ පවසයි:
“සතුට වනාහි සුවඳ විලවුනකි. එය අන් අය මත ඉසිනු ලැබූ විට ඔබ මතත් බින්දු කිහිපයක් වැටෙනු ඇත. එබැවින් ඔබ සාමයෙන් සතුටෙන් වාසය කරන්නට කැමැති නම් අන් අයටත් සතුටෙන් සාමයෙන් වාසය කිරීමට ඉඩ හරින්න.”
පැසුණු බුද්ධියකින් යුතු පුද්ගලයා තමන් පිළිබඳ පූර්ණ විශ්වාසයකින් පසු වෙයි; තමන් තුළ තිබෙන දක්ෂතා සහ තමන්ට තිබිය යුතු සීමාවන් ගැන දැනුමකින් යුක්ත වෙයි. තරුණ ජීවිතයේ දක්ෂතා සහ සීමා ගැන අවබෝධයෙන් ක්‍රියා කරන විට යා යුතු ගමන් මග පිළිබඳ විශාල විශ්වාසයක් ඇති වේ. මෙය පුළුල් මනසකින් යුත් තරුණයකු සහ නොසන්සුන් සෙල්ලක්කාර තරුණයකු අතර තිබෙන වෙනස යි. නොසන්සුන් තරුණයා ජීවිතය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇත්තෙක් නො වේ; තමාගේ හැකියාව වටහාගෙන, සැබෑ දක්ෂතා හඳුනාගෙන, ඒ අනුව ජීවිතය හැඩගසාගැනීමට නො දනියි; තම මනස නොසන්සුන් අවස්ථාවල දී තමාට එම තත්ත්වය උදා කළ පුද්ගලයාගෙන් පළි ගැනීමට හෝ තමන්ගේ ජීවිතය විනාශ කරගැනීමට හෝ පෙලඹෙයි.
ජීවිතයේ ලබන පරාජයන් වඩාත් උපේක්ෂා සහගත ව පිළිගැනීමට පුරුදු විය යුතු ය. පරාජය ජයග්‍රහණයේ මාවත බවට පත් කරගැනීමට වැර දැරිය යුතු ය. අප කරන-කියන හැම දෙයකින් ම සතුටු දායක ප්‍රතිඵල උදා නොවනු ඇත. එබැවින් දුර්වලතා හඳුනාගෙන, පරාජය වීමට හේතු කාරක සිද්ධීන් හඳුනාගෙන, ජීවිතය ගොඩනගාගැනීමට නිතර උත්සාහ ගන්න. කිසි විටෙකත් පරාජයේ දී පසු නොබැසීමට තරුණ ඔබ තුළ විශ්වාසය සහ අධිෂ්ඨානය නිරන්තරයෙන් රැඳී තිබිය යුතු ය. ඉගෙනුම ලබන කාලයේ දී ඒ වෙනුවෙන් කැප විය යුතු ය. දැන-උගත් දෙය අනුව රැකී-රක්ෂා කරමින් ජීවිතය ගොඩනඟාගත යුතු ය. එසේ නොවුණ හොත් පසුතැවිලි වීමට සිදු වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment