Labels

Monday, August 10, 2015

තිලොවම එකලු කළ සදහම් දෙසුම



ඇසින් රූප දකින කල්හි ඒවා සුබ වශයෙන් නොගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහාගෙන රූපයෙහි නොඇලී නොගැටී අනිත්‍යාදි වශයෙන් හඳුනා ගත යුතුවේ.

සම්බුදු සසුනේ ධර්ම රත්නය ලොවට දායාද කළ දුන් දිනය, ඇසළ පොහෝ දිනයයි. වර්ෂ 2604 කට පෙර කසීරට බැරණැස ඉසිපතනය මිගදායේදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන ලදී. ගයාවේ සිට යොදුන් දහ අටක් පමණ දුර ගෙවා ඉසිපතනය වඩින අතරතුරදි බුදුමුවින් සම්බුදු වදනක් ශ්‍රවණය කිරීමේ මුල්ම භාග්‍යවත් අවස්ථාව උදාකර ගැනීමට කුසල සම්පත්තිය ඇත්තාවූයේ උපක ආජීවක තෙමේය. ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම සඳහා මම කසීරට බරණැස නුවරට වඩිමි. අවිදු අන්ධකාරයෙන් වැසී ගිය දෙවියන් බඹුන් මිනිසුන් සහිත සත්වයන් උදෙසා අමාදම් බෙර වයමි.

උපක ආජීවක තෙමේ බුදුරදුන්ගෙන් ඔබ අනන්ත ජිනදැයි විමසූවිට ආස වක්‍රය නම් වූ නිවනට පත් මා ජින වෙමියි වදාළහ. සම්බුදු සසුනේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස සැලකිය හැකිය. දීපංකර පාද මුලයෙහි සම්බුද්ධත්වයට පත්වීම සඳහා නියත විවරණ ලැබුදා සිට සමතිස් පෙරුම් දම් සපුරා සුවාසු දහසක් වූ ධර්මස්ක-න්ධය දේශනා කිරීමට පස්වග මහණුන් තෝරාගන්නා ලද්දේ සම්මා සම්බුදුවරයෙකුගේ ප්‍රථම දම් දෙසුම ශ්‍රවණය කිරීමට භාග්‍යවන්ත වූ නිසාවෙනි. මේ සුන්දර ඉසිපතන මිගදාය නම් වූ පරිසරයේ මිනිස් ගණනින් පස්වග තවුසන්ය. දස දහසක් සක්වලින් එක් රැස්වූ දෙවි බඹුන් අපමණය. මුවන් ගෝනුන් වග වළසුන් සහිත තුරුලිය පරිසරය නිහඬයි. නිසලයි. දහම් අමාව බ්‍රහ්ම ස්වරය භවාග්‍රය තෙක් ඇති දස දහසක් ලෝක ධාතුවට හා අවීචි මහ නරකාදියට විහිදී ගිය අතර අටළොස්කෙළ බ්‍රහ්ම රජවරුද සියුම් අතට මවාගෙන බරණැස ඉසිපතනයට පැමිණ සිටියහ. 
ධම්මචක්ක පවත්තන සූත්‍රය සත්‍ය නම් වූ රෝදය භ්‍රමණය ආරම්භ කිරීම යන්න. එහි සරල අදහසයි. බුද්ධගයාවේ බෝමැඩදි සර්වඥතා ඥානය අවබෝධකරගත් තථාගතයන් වනහන්සේ කාමසුඛල්ලිකානුයෝගය නම් වූ අන්තය හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් අයට අධිපති වූ මතානුයෝගය බුද්ධිය මොට කරන බවත් වදාළහ.
මෙම උභයාන්තයට නොපැමිණ නිවන් පසක් කිරීමට හේතුවන නුවණැස ලබාදෙන කෙලෙස් තවාලන මධ්‍යම ප්‍රතිපදාව මෙහිදී සුවිශේෂිව අවබෝධ කර දෙන ලදී. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ හරය නම් සිවිසස් දහමයි. දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මගයි. දුක උරුමකර ගත් සත්වයාට දුක මත ලෝකය පවතින බව පැහැදිලි කර දුන්හ. මිනිසා චතුරාර්ය සත්‍ය දේශනාව අවබෝධ නොකරනතාක් දුක ඔහු හා පසුපස ලුහුබඳී. දුකට හේතුව වන්නේ තෘෂ්ණාවයි. සත්වයෙක් පුද්ගලයෙක් නැති භවයෙන් භවයට ගමන් කරන්නාවූ සිතිවිලි පරම්පරාව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හේතුපාදක වන අසිරිමත් ප්‍රතිපදාවකි.
දුකින් මිදීමේ මග හෙවත්, මැදුම් පිළිවෙත , අංග අටකින් යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ,සම්මා වාචා , සම්මා කම්මන්ත , සම්මා ආජීව, සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි නමි. ඒ අංග අට අනුගමනය කිරීම නිවන් මාවතයි. මේ අංග අට හා සාපේක්ෂකව මිත්‍යා අංග අටක්ද ඇත. එය අනුගමනය කරන්නා අකුසල් රැස් කරගනී. මැදුම් පිළිවෙත ධාර්මික පැවැත්මට එදිනෙදා ජීවිතයේ නිවන් මුහුණුවර පිණිස චය¸ාමය වෙනසක් ඇතිකි-රීමට මෙන්ම නිවන් සුවය සඳහා හේතු පාදක වේ. මැදුම් පිළිවෙත අනුගමනය කිරීම තුළ සැළසෙන විමුක්ති මග අනුපූර්ව වූ ප්‍රතිපදාවකි. සරලව ආරම්භවී ගැඹුරට ගමන් කරන්නකි.
සීලයෙන් ආරම්භව සමාධිය වඩා සීල සමාධි අංග දෙකම සම්පූර්ණවීම තුළ ප්‍රඥාව වෙත අවතීර්ණ වේ. සැම දෙයක්ම මධ්‍යස්ථව සිදු කිරීම මැදුම් පිළිවෙතින් අවධාරණය කර නොමැත. අත්හළ යුතු අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කරගත් මැද නොතැවරෙන නො ඇලෙන තැනැත්තා මහා පුරිසයා යැයි කියනු ලැබේ. හේ මේ පංචස්කන්ධයෙහි නොඇලී තෘෂ්ණාව ඉක්මවා යයි. ඇසින් රූප දකින කල්හි ඒවා සුබ වශයෙන් නොගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහාගෙන රූපයෙහි නොඇලී නොගැටී අනිත්‍යාදි වශයෙන් හඳුනා ගත යුතුවේ.
බුදුදහම අවධාරණය කරන ආකාරයට සැපත අගය කළ සත්‍යයේ දහමක් ලෙස සැප විඳීමට බාධාවක් නොමැත. එහෙත් සියලු කෙලෙස් දහම් හි ඇලී ගැලී නොසිටිය යුතු බව පෙන්වා දී ඇත. බුදුදහම සර්ව ශූභවාදි දහමක්ද සර්ව අශුභවාදී දහමක්ද නොවනු ඇත. කාමසුඛල්ලිකානු යෝගය ශරීරයට සැපදීම, අත්තකිලමතානු යෝගය ශරීරයට දුක්දීම මේ අන්ත දෙකම සත්වයාට අනර්ථය පිණිස පවතී. යා යුතු මග ලෙස මැදුම් පිළිවෙත, නිවනට පිවිසීමට ඇති එකම මගද වන්නාහ.
ප්‍රඥාව නමැති ඇස පිරිසුදු කරයි. නුවණැස ඇති කරයි. කෙලෙස් දාහය නැති කරයි. සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස ,නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස හේතු වනු ඇත.
පළමු දම් දෙසුමේ හරය වන සිව්සස් දහම ආකාර දොළසකින් තිපරිවට්ට ද්වාදසාකාර ඤාණය සිව්සස් දහම දැකීමේ නුවණ සුවිශේෂී වූවකි. දෙව් බඹුන් ඇතුළු ලොව කවර කෙනෙකුට වුවද අවබෝධ කරගත හැකි වූ සත්‍ය දහමකි. මේ දහමහ අරුත් සුන් එකක් බවට කිසිවකුටෙත් ප්‍රකාශ කළ නොැක. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ධර්ම විනය දෙක විවෘත වූ තරමට බැබළේ, සඟවන්න උත්සාහ කිරීමක් සිදුනොවේ.
මෙම සත්‍යයේ දහම එදිනෙදා ජීවිතයේ කවර ගැටලුවකදි වුවද භාවිතා කිරීමට පුළුවන. ගැටලුව, ගැටලුවට හේතුව ගැටලුවට හා ගැටලුව විසඳීමේ මග විමසුම යන කරුණු සිවි ආකාරයට අනුව බැලීම තුළ එදිනෙදා ජීවිතයේ ඕනෑම ගැටලුවක් මේ අයුරින් විසඳුම් සොයා ගැනීමට බොදුනුවන් උත්සාහ කළ යුතුවේ. බුදු දහම පෞද්ගලික දුක හා සමාජ ගත දුක ඇතිවන අයුරු පෙන්වා දී ඇත. එම දුක්ඛ දෝමනස්සයන් දුරු කර ගැනීමට ප්‍රායෝගික දහමක් බවට පත් කරගත හැක. එදිනෙදා ජීවිතයේ ඇතිවන අභියෝගවලට ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට භාවිතා කිරීමට සුදුසු දහමක් ලෙසද පළමු දම් දෙසුම අගය කළ හැකිය.

 දෙහිවල ශි‍්‍ර සුදර්ශන ධර්ම නිකේතනාධිපති,
කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය
ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 07 වනදා සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment