මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Sunday, August 16, 2015
සද්පුරුෂ මනුෂ්‍යයෙක් වෙමු
ගුණබර වූ අම්මා කෙනෙක්, අප්පච්චි කෙනෙක් දරුවන් වෙනුවෙන් කරන ලද කැපකිරීම අපට සිතා ගන්නට පුළුවනි. මෙහි කැප කිරීම යැයි අදහස් කරන්නෙ, දෙමව්පියන් විසින් දරුවන්ට දෙන හෝ දෙන්නට බලාපොරොත්තු වන ගේ - දොර, ඉඩකඩම්, ධන ධාන්‍ය, ලෞකික වස්තූන් පිළිබඳව නොවෙයි.
දරුවෙක් තම කුසේ දරාගෙන, මෙලොවට බිහිකළ දා සිට ඒ දරුවන් පවින් වළක්වන්න, යහපතේ පිහිටුවන්න, අකුරු ශාස්ත්‍රය කියා දෙන්න, අනාගත ජීවිතය සුදුසු ආකාරයට ආවාහ – විවාහයන් කර දෙන්න, අවසන දෙමාපියන් සතු යම් වූ ද වස්තුවක් නිසි ලෙස පවරා දෙන්න, දෙමාපියන් සිතන එක හා ක්‍රියා කරන ආකාරයම මොනතරම් වූ කැපකිරීමක් ද?
ධර්ම කතාවක් ඔබට පවසන්නම් ඒ සීවලී හාමුදුරුවන්ගේ මව වන ‘සුප්පවාසා දේවිය’ සංසාරගත කර්ම දෝෂයක් නිසා දෝ, මේ කුමරා තම කුසේ දරාගෙන සත් අවුරුදු සත් මාසයක් පුරා දුක්වින්දා දරුවා බිහි කරන්න දවස් හතක් පුරා ප්‍රසූත වේදනාව ලැබුවා. දරුවා බිහිවුණ දිනයෙහි බුදුරජාණන් වහන්සේ වඩමවලා භික්ෂු සංඝයාට දන් පිළිගැන්වූවා. දන් වළදා අවසානයේ බුදුරජාණන් වහන්සේ සුප්පවාසා දේවියගෙන් ප්‍රශ්නයක් අසනවා. ‘සුප්පවාසා දේවියනි, මේ දරුවා වෙනුවෙන් ඔබ දසමසක් නොව සත් අවුරුදු සත් මාසයක් දරුගැබ දරාගෙන දුක්වින්දා එහෙයින් ඔබ තවත් දරුවෙක් ලබන්නට කැමති ද? භාග්‍යවතුන් වහන්ස,මේ ආකාරයෙන් දුක්විඳ තව එක් දරුවෙක් නොව දරුවන් සත් දෙනෙක් නමුත් ලබන්නට කැමතියි.
ලෞකික ලෝකයක ඉහළම කැපකිරීම සුප්පවාසා දේවියගේ වදන්වලින් ඔබට වැටහෙනවාද? දරුවාගේ අනාගතය, මිල මුදල්, ලාභ ප්‍රයෝජන හෝ වෙනයම් කිසිදු යමකින් තොරව දරුවා වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන කැප කිරීම මොනතරම් දැයි වැටහෙනවා ඇති. බුදු පුතේ දාරක සෙනෙහස, දාරක ප්‍රේමය සම මස් සිවිය සිදුරු කරගෙන නහර, නහරවැල් ඔස්සේ ගලාගෙන ගොස් ඇට මිදුලුවල හැපී පත්ලෙම සැඟවී තිබෙන බව සුදොවුන් මහ රජතුමා බුදුරජාණන් වහන්සේට එක් අවස්ථාවක දී කැපකිරීම පිළිබඳව අදහසක් ප්‍රකාශ කළා.
කැපකිරීම තේරුම් ගන්නට පුළුවන් සුදුසුම තැන ගුණබර වූ අම්මා කෙනෙකුගේ පියාණන් කෙනෙකුගේ දරුවන් වෙනුවෙන් කරන ලද කැපකිරීමමයි. මෙම කැප කිරීමම ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක් තුළත් පැවතීමත්, පවත්වාගත යුතු බවත් බලාපොරොත්තු වෙනවා නොවේද? ඔබ මට අම්මා කෙනෙක් වගේ පිහිට වෙන්න මා ගැන බලන්න යැයි යම් ස්වාමිපුත්‍රයෙක් තම ස්වාමි දියණියට කියන්නට පුළුවනි. ‘සප්තභරියා සූත්‍රයේ’ දී 'මාතුභරියා' හැටියට දැක්වූයේ එම අදහසයි. මේ කියවන ඔබත් ස්වාමි පුත්‍රයෙක් නම් ඔබගෙ ස්වාමි දියණිය, ස්වාමි දියණියවගේ ම, මව් කෙනෙක්වගේ ම ඔබට පිහිට වෙනවා නම්, ඔබට සලකනවානම්, මෙලොව සුපසන් ජීවිතයකට ඔබත් උරුමකම් කියාවි.
යම් ස්වාමි දියණියක් තමන්ගේ ස්වාමියාගෙන් රැකවරණය වගේ ම යම් තැනක යම් විටෙක තාත්තා කෙනෙක්, අප්පච්චි කෙනෙක් වගේ ම සිතට දැනෙනවා නම් ඔබට කුමක් ද ? සිතෙන්නෙ. තාත්තා කෙනෙක් තම දරුවන් සමීපයට ගෙන හිස පිරි මැද, තාත්තාගේ ආදරය, රැකවරණය කැපකිරීම නුඹලා වෙනුවෙන්මයි යැයි පවසන වදන් පෙළ, ස්වාමි දියිණියක් ස්වාමි පුත්‍රයකුගෙන් ලෞකික වශයෙන් බලාපොරොත්තු වන්නේ නොවේද? තමන්ගේ මහත්තයා කියන අදහස, මුළු ලෝකයෙම එකම එක පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයට සිටිනවාය කියන අදහස ඇතිවෙයි. මව් කෙනෙක් මෙන්, පිය කෙනෙක් මෙන් පවුල් ජීවිතවල කැපකිරීම නම් වූ පරිත්‍යාගය, ජීවිතවල නිවීමක්, සුපසන් බවක්, සංසිදීමක් ඇති කරන බව පැහැදිලිය.
ඉංග්‍රීසි කියමනක් තියෙනවා Charity Begins at Home පරිත්‍යාගය, උපකාරය ආරම්භ කළ යුත්තේ නිවෙසෙනුයි. අපේ ජීවිතයේ මුල් ම තැන එතැනයි. නිවසේ දී පරිත්‍යාගය ආරම්භ කළා සේ ම ආයතනයක හෝ ගමක හෝ අසල්වැසියන් තුළින් හෝ කෙනෙකුට අපට පළමුව උපකාරයක් කරන්න පුළුවනි නම් ඒක සැබෑම පරිත්‍යාගයක් කුමක් ද? මේ සැබෑ පරිත්‍යාගය කොහොම ද ? එය ආරම්භ කරන්නෙ. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම පෙන්වා වදාරනවා, එනම් ‘පුබ්බහාසි’ පළමුව සිනා සෙනවා. ‘පුබ්භබාසී’ පළමුවෙන් ම කතා කරනවා. ‘පුබ්බකාරී’ පළමුව උදව් කරනවා. ක්‍රියා කරනවා.
අපිටත් පුළුවනි නම් පළමුවෙන් ම ප්‍රසන්න වූ මුහුණින් හෝ සිනහවකින් යම් කෙනෙක් දිහා බලන්න. පළමුවෙන් ම යම් කෙනෙක් සමඟ අවශ්‍ය පරිදි සුදුසු තැනක දී කතා කරන්න, අවශ්‍ය තැනකදී පළමුවෙන් ම උපකාරයක් කරන්න. ඒක මොනතරම් වටිනා පරිත්‍යාගයක් ද? කැපකිරීමක් ද? අප ජීවත්වන සමාජයේ බොහෝ අයෙක් බලාගෙන සිටින්නෙ යම් කෙනෙක් පළමුව සිනාසුණොත්, සිනාසෙනවා. බැලුවොත් බලනවා. කතා කළොත් මම කතා කරනවා. උදව්වක් කළොත් මාත් උදව් කරනවා. මට කළ උදව්වේ ප්‍රමාණයට තමයි මම උදව් කරන්නෙ. මේ සාමාන්‍ය ලෝකයේ පවත්නා චරිත ස්වභාවල හැටියි. සාමාන්‍ය සමාජය චරිත එසේ වුණත් අප තථාගත බුදුරජාණන් වහන්සේගේ කැපකිරීම ඔබගෙ ජීවිතවලටත් දැනෙනවා නම් ඒක මොනතරම් වටිනාකමක් බවට පත්වේදැයි ඔබ ම සිතා බලන්න.
ඔබට නිදසුනක් දැක්වුවොත් මේ වගේ, මම හඳුනන කෙනෙක් නෙමෙයි, නමුත් හරිම කරුණාවෙන් ලෙන්ගතුව මා සමඟ සිනාසුනා. මට සිතුණෙ කවදාවත් නැති ලෙන්ගතුකමක්, සමීපබවක් තියෙනවා කියා. කාලයක් ඉතා සමීපව දන්නා කියන අයෙක් මෙන් සිනාසුනේ, වැරැදි හැඟීමකින් නම් නෙමෙයි. අම්මා කෙනෙක්, අප්පච්චි කෙනෙක්, සහෝදරයෙක් සහෝදරියක් වගේ හැඟීමක් දැනුනෙ. ඒ සිනහව හැබෑවට ම ලොකු සුවයක්, සිතේ තිබූ බරක් නිදහස් වුණා වගේ දැනුණෙ. ඒ වගේ ම සද්පුරුෂ මනුෂ්‍යයෙකුගේ මුහුණ දකින විට සිනහව දකින විට, මේ නිදසුන හා සමගින් ඔබට කුමක් ද සිතෙන්නෙ. අපට එසේ දැනේ නම්, අවශ්‍ය තැනක දී සුදුසු තැනක දී අපටත් යම් කෙනෙකුගේ මුහුණ දෙස පිරිසුදු සිතින් ම සුපසන් විදිහට බලන්න පුළුවනි නම්, අවංකව සිනාසෙන්න පුළුවනි නම් අප කරන ඒ කැපකිරීමත් මනුෂ්‍යයෙකුට ජීවය දීම හා සමානයි. ජීවත් වෙන්නට උපකාර කිරීමක් හා සමානයි. ලෝකයේ මනුෂ්‍යයෝ ජීවත් වන්නේ සතුට සමඟ නම් ඔවුනොවුන්ගේ උපකාරය හා සමඟ නම් අපට සිනහවකින්, අවංක බැල්මකින් නමුත් මනුෂ්‍යයෙකුට මොහොතකට හෝ ජීවත්වන්න කැපකිරීමක් කරන්න පුළුවනි ද? ජීවිතයට මොනතරම් දුක් කරදර, ගැටලු ආවත් සැබෑ සතුටින් කතා කරන්න, සිනාමුසු මුහුණින් ජීවිතය පවත්වන්න. මේ ජීවත්වන කෙටි කාලය තුළ අමනාපයෙන් ඔවුනොවුන් දෙස බලමින් ඇයි ජීවත්වෙන්නෙ. යම් අයෙක් මුණගැසුණු විට ආයුබෝවන්, කොහොමද? කියා සිනාමුසුව අසනා ස්වභාවයක්, හිතවත්කමක් නැතත් සිනාසීමේ ස්වභාවයක් අපේ අතීත සමාජයේ පුරුද්දක් තිබුණා. එකම ගමේ, එකම විහාරයට යන, එකම භාෂාවක් කතා කරන, එකම සංස්කෘතියකට අනුව ජීවත්වන අපි ඇයි මේ නොහඳුනනවා වාගේ මුහුණට හමුවුණත් අහක බලාගෙන යන්නෙ.
පළමුව වචනයෙන් නමුත් උපකාරයක්, කැපකිරීමක් කරන්න අපට පුළුවනි නම් එවැනි පරිසරයක ජීවත්වීමත් මොනතරම් යහපතක් ද? භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවධියේ පටන් ගමන ආරම්භ කළේ තමන් පළමුව අනුන්ට උපකාර කිරීමෙනුයි. අපේ ජීවිතත් ඒ වගේ විය යුතුමයි. තමන්ට අන් අයෙක් වෙනුවෙන් කළ හැකි උපකාරයක් කිරීමත් මහත් වූ කැපකිරීමකි. බොහෝ කෙනෙක් වරදක් වූ තැන ‘මම නෙමෙයි කළේ’ කියා අන් අයට වරද පටවනවාට වඩා, අඩුවක්, පාඩුවක් දකින තැන තමාට ඒ දේ කරන්න පුළුවනි නම් එයත් යහපත් වූ ජීවිතයක මහත් වූ කැපකිරීමකි. පරිත්‍යාගයකි.
භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරිතෙන් පෙන්නා දුන්නු මේ කැපකිරීම අවසානයේ අපි දකින්නේ උන්වහන්සේ දානය හැටියට, මුළු ජීවිතය ම පවා පරිත්‍යාග කිරීමෙන් සියලු සත්ත්වයාට ම පිහිට වූ බව නොවේද? මේ අසිරිමත් වූ බුදු සිරිත සිහියට නගා ගෙන අපිට අපේ ජීවිතවල පරිත්‍යාගය හෙවත් කැපකිරීම ආරම්භ කරන්න පුළුවනි. සතුට, සංතෘෂ්ටිය, සැනසිල්ල, නිවීම සොයාගෙන ජීවත්වෙන මනුෂ්‍යයන්ට මෙතෙක් සරලව සිට ධර්මාවබෝධය දක්වා ම පැහැදිලි කළ මේ කැප කිරීම අපේ ජීවිතයේ කොතැනින් ආරම්භ කළ යුතු දැයි ඔබට සිතෙන්නට පුළුවනිද?
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව කැප කිරීම, පරිත්‍යාගය, දානය පුරුදු වූ සිත් මේ ආකාරයෙන් සකස් වෙනවා. මුත්ථචාග එනම් තෘෂ්ණාවෙන් මිදුණා කියන අදහසයි. පයතපානී පිරිසුදු අත්දෙකක්, එනම් සිත පිරිසුදු වීම නිසා අත් දෙකත් පිරිසුදු වෙනවා. වොස්සග්ගරතෝ දෙන්නට ම නැමුණු අත් දෙකක්, යාචයෝගෝ කෙනෙකුට ඉල්ලන්න සිතෙනවා. දානසංවිභාගරතෝ පරීක්ෂාකාරීව, අවශ්‍ය තැන අවශ්‍ය ආකාරයෙන් ම දීමට, බෙදන්නට පුරුදු වූ පුහුණු වූ කෙනෙක්, මෙවන් වූ සද්පුරුෂ මනුෂයෙක් තමා තමා ගැනම සිතා මොනතරම් සතුටු වෙනවා ඇද්ද? දෙන ඇත්තෝ සැමදා සතුටින් ම ජීවත්වෙනවා. මෙවන් පුද්ගලයන්ට අන් සැම දෙනාගේ ම ආදරය, ගෞරවය, රැකවරණය, ප්‍රියතාවය නිරන්තරයෙන් ලැබෙනවා පමණක් නොව දෙවියනුත් ගරු කරන බව ඔබ අප අසා ඇත.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ මැයි 14 වන දා බදාදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment