මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Sunday, August 16, 2015
බෞද්ධ විවාහයෙන් පෝෂණය කළ යුතු යෞවනයේ ආදර කතාව
තමාගේ පැවැත්මට හා සැනසිල්ලට හේතුවන වස්තුන් කරා හඹා යාමත්, ආත්මාර්ථකාමී ලෙස එම වස්තූන් තමා සන්තක කර ගැනීම සහ ඒ සඳහා වෙහෙසීමත්, ආදරය යනුවෙන් ඇතැම්හු අර්ථ දක්වති. එමෙන්ම පුද්ගලයකු තුළ වෙනත් අයකු අරමුණු කොටගෙන ඇලීම් ස්වරූපයෙන් පහළ වන සිත් ගන්නා සුළු බවත්, තමාගේ බලාපොරොත්තු සපුරා ගැනීමට උපකාරීවන වස්තූන් ආරක්ෂා කර ගැනීම සඳහා සිත්හි පහළ වන චිත්ත ස්වභාවයත් ආදරය යනුවෙන් අර්ථ දැක්විය හැකිය. සෑම සත්ත්වයෙකුම තමා පිළිබඳ ආරක්ෂාවකින් පසුවන අතර එය තමාගේ ජීවත් වීමේ පරමාර්ථය මූලික වූ සැප ලැබීමේ ආශාවන් පිරිවරා ගත් බලාපොරොත්තු සමුදායක් ආරක්ෂා කර ගැනීමකි. එම අපේක්ෂාවන් සපුරා දෙන පැත්තට ඇදී යාමද, ‘ආදරය’ යනුවෙන් ඇතැම්හු අර්ථ දක්වති.
පක්ෂපාතී බව, කීකරුබව, දෙදෙනාගේ අරමුණුවල ජයග්‍රහණය, අධ්‍යාපනය ආදී උතුම් සංකල්පයන්ගෙන් පෝෂණය වූ ආදරය නැමැති අපූර්ව සංකල්පය මිනිසා මිනිසෙකු බවට පත් කරවන අඛණ්ඩ සජීවී ක්‍රියාවලියක් සේ නිර්වචනය කළ හැකිය. බුදු දහමෙහි ඉගැන්වෙන මෛත්‍රිය නම් වූ සංකල්පය ද ආදරය නම් වූ උතුම් සංකල්පයෙන් පොහොසත් වූවක් බව පෙනේ. ආදරය කිරීමත්, ආදරය ලැබීමත් ජීවිතයේ උතුම්ම සතුට බව විවරණය කරන බුදුදහම ආදරය තුළ සතුට භුක්තිවිඳිය හැකි වුවද ආශාව තුළ සතුට භුක්තිවිඳිය නොහැකි බව තරයේ අවධාරණය කර තිබේ. මිනිසා ආශාව සොයා නොනවතින ගමනක නිරතව සිටී. එහෙත් ලද දෙයින් ඔහු කිසිවිටෙක සෑහීමකට පත් නොවේ. මක් නිසාද යත්, ආශාව සුළු වේලාවකින් නිමවන නිසාය. නමුත් සැබෑ ආදරය යනු දියුණු කළ අධ්‍යාත්මික ශක්තියකින් බැඳුණු විශ්වසනීය මෙන්ම පුද්ගල අධ්‍යාත්මය හා වෙළී පවතින අවංක නිර්ව්‍යාජ ධර්මතාවයක් බව බුද්ධ දේශනාවේ සඳහන් වෙයි.
සැබෑ ආදරය ඉතා ගැඹුරුය. එය පුද්ගල ජීවිතාන්තය දක්වාම බැඳී පවතින්නකි. එය කාල දේශ සීමා මායිම් බන්ධන අභිබවා යන අපූර්ව සංකල්පයකි. විශ්වයේ ජීවය ආදරයයි. ලෝකයේ පැවැත්ම රඳාපවතින්නේද ආදරය මතයි. එයට හැඩයක් හෝ ඡායාවක් නැත. එය ස්පර්ශ කළ නොහැකිය. දෑසින් බැලිය නොහැකිය. එය මනසින්ම දැකිය හැකි මනසින්ම ස්පර්ශ කළ යුතු උතුම් සංකල්පයකි. සැබෑ ආදරය උපදින්නේ දියුණු කළ සිතකය. එහි වෛරය ක්‍රෝධය, මානය, අහංකාරය, දැඩි ආශාව,කෑදරකම, ආත්මාර්ථකාමීත්වය නැත. එහි ප්‍රේමය, දයාව,පරිත්‍යාගය,අවිහිංසාව පිරී පවතී.
අධ්‍යාත්මික,මානසික,ශාරීරික ගුණාංග වලින් පරිපූර්ණ වූ සුවිශේෂී ධර්මතාවයක් වන ‘ආදරය’ උපන් මිනිසා මිනිසෙකු ලෙස ජීවත් කරවන, නිරන්තරව සිත් සතුටු කරවන, ගතත් සිතත් ප්‍රමෝදමත් කරවන, යුතුකම් සහ වගකීම් ඉතා උනන්දුවෙන් ඉටුකරන බුද්ධිමය ක්‍රියාවලියකි. ආදරය යනු සරලව උපයාගත හැකි දෙයක් හෝ කෙනෙකුට හිතෙන විදියට ජීවිතයට ලබා ගත හැකි දෙයක් නොව ඉමහත් කැපවීමෙන් ධෛර්ය සම්පන්නව, පරිත්‍යාගශීලීව, සීල සමාධි ප්‍රඥා නම් වූ බුද්ධියේ ආලෝකය තුළින් හඳුනා ගැනීමෙන් අනතුරුව නිරායාසයෙන් ලැබෙන උත්තරීතර ධර්මතාවකි. නිකැළැල් දායාදයකි. අතිපාරිශුද්ධ වූ තිළිණයකි.
කලාත්මක නිර්මාණ බිහිකිරීමටත්, මානව චින්තන රටාව පුළුල් ලෙස විකසිත කිරීමටත් අපූර්ව හැකියාවක් ‘ආදරය’ නැමැති උතුම් සංකල්පය සතුවන බව මනෝවිද්යාඥවරු සඳහන් කරති. ලොවෙහි ඇති උතුම්ම ලාභය නම් වූ නිරෝගීකමද (The Greatest Profit is the health )ලොවෙහි ඇති උතුම්ම ධනය නම් වූ සතුටද (The greatest wealth is the pleasure) තමාගේ උතුම්ම ඥාතියා ලෙස විශ්වාසවන්තයකු සොයා ගත හැකි වන්නේද උත්තරීතර වූ සැබෑ ආදරය තුළ පමණක් බව බුදු දහම දැඩි සේ අවධාරණය කර සිටී.
මිනිසාගේ ආසාවන් අසීමිතය. ආසාවන් පසුපස හඹායන්නාට සතුටක් කිසි දිනක හමු නොවෙයි. පසිදුරන් (ඇස, කන, නාසය, දිව, ශරීරය) පිනවීමෙන් අප ලබන්නේ ආශාවක් මිස සතුටක් නොවේ. අසීමිත ආසාවන් පසු පස හඹා යන මිනිසා මොහොතකට නවතා ප්‍රභාස්වර මනසකින් බුද්ධියේ ආලෝකය තුළින් සැබෑ ආදරය, දයාව, කරුණාව දෙස හැරී බලන්නට බුදුරදුන් මිනිසා පෙළඹ වූ හැටි පුදුම සහතය. ස්ත්‍රීන් පුරුෂයන් අතර බැඳෙන ආදර බැම්ම ඉතා ප්රබලය. එබැවින් ඇතැම්හු ආදරය වෙනුවෙන් ගහමරා ගනිති. ඇනකොටා ගනිති. දිවි පුදති.
නාහං භික්ඛවේ අඤ්ඤං ඒකරූපම්හි සමනුපස්සාම් යං ඒවං පුරිසස්ස චිත්තං පසාදාය තිට්ඨති. යථ ඉදං භික්ඛවේ ඉÀථි රූපං, ඉÀථි රූපං පුරිසස්ස චිත්තං පසාදාය තිට්ඨති.
-අංගුත්තර නිකාය
“යම් ස්ත්‍රියකගේ රූපය, හඬ, සුවඳ,රස සහ ස්පර්ශය යම් පුරුෂයකුගේ සිත හාත් පසින් ඇද බැඳගෙන වෙළාගෙන සිටින්නේ යම් සේද, එසේම පුරුෂයාගේ රූපයද හඩද,සුවඳද, ස්පර්ශයද, රසයද ස්ත්‍රියගේ සිත හාත් පසින්ම ඇද බැඳගෙන වෙලාගෙන සිටින්නේ ය. මහණෙනි එතරම් බලවත් වූ වෙනත් කිසිදු බැඳීමක් මම නොදනිමි”.
පුරුෂයකුගේ සහ ස්ත්‍රියකගේ ආදර බැම්ම කොතරම්ද යන්න අංගුත්තර නිකායේ රූප වර්ගයේ සඳහන් මෙම සූත්‍ර දේශනාවෙන් මනාව පැහැදිලි වෙයි. මෙම අන්‍යෝන්‍ය බැඳීම හා දැඩි විශ්වාසය දැඩි මානසික ඒකාග්‍රතාවයකින් සමබරව ජීවිතාන්තය දක්වා සාර්ථකව ගෙන යාමට බුදු දහම නිරන්තරව උපදෙස් ලබාදී ඇත. එය එසේ දැඩි මානසික ඒකාග්‍රතාවයකින් සමබරතාවයකින් පවත්වාගෙන නොගිය හොත් මෙම බැඳීම පසු පස දුක, වේදනාව, ශෝකය, පසුතැවිල්ල නිරන්තරව ලුහුබඳින බව බුද්ධ දේශනාව පැහැදිලි කරයි.
2013 අප්‍රේල් මස 24 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment