හැබෑ බෞද්ධයකුගේ ජීවිතය තුළ කිසිවක් අරබයා කිසිදු විටෙක බොරුවට වංචාවට තැනක් නොලැබේ. හෙවත් සත්‍යයම ජීවිතය වේ. සත්‍යවාදියකු වේ. සත්‍යවාදී නොවීම නැතිනම් බොරුකීම පස් පවට අයත් ප්‍රබල පාප කර්මයකි.
මුසාවාදය යන්න අදාළ වන්නේ කට වචනයට පමණක් නොවේ. වාචික බසට මෙන්ම ලිඛිත බසටද එකසේ අදාළ වෙයි. ලේඛනයටද බලපායි. බොරුකීම මෙන්ම බොරු ලිවීමද මේ පවට, දුසිල්වත් බවට ප්‍රධාන වෙයි. වචන භාවිතයට අදාළ අකුසල කර්ම හතරෙන්ද ප්‍රධානතම හා මුල්ම කාරණයද වේ.
ජීවිත කාර්යයන් අරබයා ලාභ ප්‍රයෝජන උදෙසා පමණක් නොව හුදෙක් විනෝදය සඳහාවත් විහිළුවටවත් බොරුවක් කීමේ - ලිවීමේ හැකියාවක් බෞද්ධයාට නොමැත. එසේ බොරු කියන්නෝ - ලියන්නෝ මෙන්ම බොරු කරන්නෝ ද හැබෑ බෞද්ධයන් ලෙස ගණන් ගන්නේද නැත.
සත්‍යවාදියෙකුගේ ජීවිතය සුවඳවත් ය. කීර්තිමත් ය. අවංක බව පිළිබඳව අන් අය අතරේ විශ්වසනීයත්වය ඉතා උසස් ය. පෞද්ගලික කටයුතුවලදී මෙන්ම පොදු සමාජ කටයුතුවලදී ද රැකියාවට අදාළ කටයුතුවලදී ද එය එකසේ අදාළ ය. ස්වයං රැකියාවක යෙදුණු අයෙකුට නම් ආදායම බහුල වීමට එයම ප්‍රධාන කාරණයක් වේ. බොරු නොකියන වංචා නොකරන කාගෙන් වුවද වැඩක් පිරිසුදුවට කර ගැනීමට කවුරුත් කැමති ය. එබඳු අය සොයා එන්නේ විශ්වාසයක්ද ඇති කරගෙන ය.
බොරුවෙන් අන් අයව නොරවටන අය කෙරෙහි කාගේත් සැලකිල්ල අවධානය යොමුවීම අනිවාර්ය ය. ඒ තරමට එය සමාජය තුළ දුර්ලභ දෙයක් වන හෙයිනි. මේ විශ්වාසවන්ත බවම කාගෙන්වත් සතුරු උපද්‍රවයකට ලක්වීමට, හානිකර තත්ත්වයකට පත් නොකෙරෙන බවට පෙරළා ලැබෙන විශ්වාසවන්ත බවකි. ධර්මය රකින්නා ධර්මයෙන් රැකේ. බොරුවට පැවැත්මක් නොමැති බවත්, තාවකාලික බවත්, දිගුකල් නොරැඳෙන බවත්, නොගිලී උඩට මතුවන බවත් දහම් නොදන්නා අයගේ පවා පිලිගැනීමයි. සත්‍යම ජය ගන්නා බවත්, කවදා නමුත් කොයි අවස්ථාවක නමුත් අසත්‍ය පරාජය වන බවත් සාමාන්‍ය සමාජයේ වුවද පොදු පිළිගැනීමයි. බොරුව - අසත්‍යය ඕනෑම සමාජයක් පිළිකුල් කරන දෙයකි.
බොරුවට බර ජීවිතය ද අන් අය අතර පිළිකුල්සහගත ය. ගඳගසන සුළුය. ;බාරුවෙන් රැවටීම පෞද්ගලිකව විපාක අත් විඳින්නට සිදුවන දෙයක් පමණක් නොව සමාජ අපරාධයක් සමාජ ද්‍රෝහී ක්‍රියාවක් ලෙසද සලකනු ලැබේ.
බොරු කාරයෙක් - වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසුණු චරිතයක් කෙරෙහි සමාජමය වටිනාකමක් පිළිගැනීමක්ද නැත. කිසිවෙක් කිනම් හෝ කටයුත්තකට අවස්ථාවකට සම්බන්ධ කර ගැනීමට කැමැත්තක් දක්වන්නේද නැත. යමක් බාර දෙන්නේද නැත. ඒ එතැනත් බොරුවක් වංචාවක් සිදුවෙතැයි සැකකරන බැවිනි. විශ්වාසයක් නැති හෙයිනි.
ඒ අනුව සත්‍යවාදී බව තුළ හෙවත් බොරු නොකියන, බොරු නොලියන, බොරු නොකරන සියල්ල තුළ ගැබ්වන විශ්වාසය ම එක්තරා ප්‍රබල ශක්තියකි. ධර්ම බලයකි. බුද්ධත්වයට පළමු බෝසත් කාලයන්හිදී කිසිම විටෙක පලුදු නොවුණු එකම පාරමිතා ධර්මයද සත්‍යවාදී බවයි.
මේ සත්‍යවාදී බව මෙනෙහි කොට ඒ සත්‍ය ක්‍රියා බලයෙන්ම යම් යම් ආපදාවන්ගෙන් ගැලවුණු ආකාරය විස්තර කෙරෙන ජාතක කතා මෙන්ම පසුකාලීන බණ කතාද අසන්නට දකින්නට තිබේ. ඒ අනුව මේ සත්‍ය බලය හැබෑ බෞද්ධයාගේ ජීවිත රැකවරණයටද අදාළ වන බලගතු ශක්තියක්මය. ධර්ම බලයක්ම ය.
එසේම බොරුකීමේ පාප කර්මයේ විපාකද දරුණු බව ත්‍රිපිටකයේ දක්නට ලැබෙන සූත්‍ර දේශනා වටහා ගත හැකිවනු ඇත. බොරුකීමේ ආදීනව මේ ජීවිතය තුළම අත්විඳින්නට පවා සිදුවේ. අලාභ, නින්දා, ගැරවුම් සැකයට ලක්වීම ආදිය ඇතිවේ.
හැබෑ බෞද්ධයෙක් අනිවාර්යයෙන් ම වැළකිය යුතු ප්‍රබලතම පාපකර්ම පහෙන් එකක් වන බොරුවෙන් වැළකීම සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හෙවත් ප්‍රඥාව දියුණු කරගෙන නිවන් දැකීමට ද ඉවහල් වෙයි. එබැවින් හැබෑ බෞද්ධයාගේ ජීවිතය බොරුවෙන් වංචාවෙන් අනුන් රැවටීමෙන් තොර සිල්වත් සුවඳවත් ජීවිතයකි.
මේ සිල් ගුණය ඔබ ළඟත් තිබේදැයි විමසා බලා නොමැති නම් ඇති කර ගැනීමත්, අඩු නම් වැඩිකර ගැනීමටත්, ඇතිනම් රැක ගැනීමටත් සැලකිලිමත් විය යුතුව ඇත.
2013 අප්‍රේල් මස 24 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment