Labels

Wednesday, August 19, 2015

ධන ඉපයීම



මජ්ක්‍ධිම නිකායේ ඒසුකාර සූත්‍රයේ ධන පරිහානියේදී ලැබෙන ආනිසංසයන් පිළිබඳවද,ආදීනවද දක්වා ඇත. හුදෙක් ධනය තිබීම හෝ නොතිබීම මත පුද්ගලයා ඇගයීමට ලක් කළ නොහැක. “මහත් සේ භෝග ඇති බව උසස්යැයි මම නොකියමි. එසේම බමුණ, මහත්සේ භෝග ඇති බව පහත්යැයිද මම නොකියමි. මහත් සේ භෝග ඇත්තෝ ද බමුණ, සොරකමෙන් ,කාමයේ වැරැදි ලෙස හැසිරෙමින් ,බොරුවෙන් ද්වේෂ සහගතව වැරැදි අදහස් ඇතිව හැසිරෙති. ඒ නිසා උදාර භෝගතාව උසස් යැයි නොකියමි. මහත් සේ භෝග ඇති ඇතැම් හූ හිංසාවෙන් තොරව නිවැරැදි අදහස් අනුව ක්‍රියා කරති. ඒ නිසා උදාර භෝගතාව පහත් යැයි නොකියමි”. මේ අනුව මිනිසා උසස් හෝ පහත් වන්නේ ධනය තිබීම හෝ නොතිබීම මත නොව ලද ධනය පරිභෝග කරන ආකාරය අනුව බව බුදුදහම අවධාරණය කරන කරුණයි.
ධනෝපාර්ජනය සම්බන්ධව බුදුදහම දක්වන අදහස ඉතා සුවිශේෂි වූවකි. “ධනයෙන් කළ නොහැකක් නැත එහෙයින් කෙලෙසින් හෝ ධනය උපයා ගනිව්” යන අදහස එකහෙළාම ප්‍රතික්ෂේප කරන බුදුසමය ධනය උපයාගත යුත්තේ දැහැමෙන් සෙමෙන් බව අවධාරණය කරයි. “භමරස්සේව ඉරියතේ” මීමැස්සෙක් රොන් රැස්කරන්නාක් මෙන් බව බුදුහු පෙන්වා වදාළහ. බඹරා මලින් රොන් ගන්නේ මලෙහි සුවදට, පැහැයට, පියකරු බවට කිසිදු හානියක් අවහිරයක් නොවන පරිද්දෙනි. ඌ මළ නොතළයි. නොපෙළයි. එපරිදදෙන්ම සමාජය නොතළා නොපෙළා ධනය ලැබිය යුතුය. ගෘහස්ථ ජීවිතය තුළ ඉතා වැදගත් අංශයක් වශයෙන් මෙම ධන පරිභෝජනය සැලකිය හැකිය.
එබැවින් පවුල් සංස්ථාව වඩාත් ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට මෙහි අවබෝධය ඉතා වැදගත් කොට සලකමි. පත්තකම්ම සූත්‍රය අවධාරණය කරන කරුණු අතර මිනිසා සතු විය යුතු ඉෂ්ට කාන්ත මනාප එහෙත් ලොව දුර්ලභ කරුණු සතරක් ගැන කීමේදි ඒ දුර්ලභ කරුණු වන්නේ ධනය ඇති බව නොවේ. ‘භෝගා මේ උප්පජ්ජන්තු සහධම්මේන” දහමට එකඟව මට භෝග ලැබේවා යන්නය. මෙහිදී භෝග ධාර්මිකව ලැබීම අවධාරණය කෙරෙයි. ඕනෑම ආකාරයකින් ධනය ලැබීම නොව අවශ්‍ය වන්නේ දැහැමෙන් ලබන ධනයයි.
යම්කිසි ධනයක් ධාර්මික වීම සඳහා අවශ්‍ය මූලික කාරණය වන්නේ බෞද්ධ සදාචාරයට එකඟව කටයුතු කිරීමයි. මේ බව අවධාරණය කෙරෙන සූත්‍රයක් ලෙස අනණ සූත්‍රය දැක්විය හැකිය. එහිදී අත්ථී සුඛය යනු කවරේද? උට්ඨාන වීර්යයෙන්ද දෑතේ මහන්සියෙන් දහදිය හෙළීමෙන් ධාර්මිකව දැහැමි මාර්ග අනුගමනයෙන් මා විසින් ලබන ලද භෝග ඇත යනුවෙන් සිතා සැපයට සොම්නසට පැමිණේද එය අත්ථී සුඛය නම් වන බවයි.

මෙයින් අවධාරණය කෙරෙන කාරණා අතර කිසියම් ධනයක් ධාර්මික වන්නේ එය උත්සාහයෙන් ලද්දක් නම්, දෑතේ මහන්සියෙන් ලැබුවක් නම්, දහදිය හෙළීමෙන් ලබන ලද්දක් නම් පමණි. මෙහි අවධාරණය කෙරෙන්නේ කායික ශ්‍රමය බව පැහැදිලිය. බෞද්ධ ඉගැන්වීමෙන් හුදෙක් අවධාරණය කෙරෙන්නේ කායික ශ්‍රමයම නොවේ’.
උට්ඨාන සම්පදාව විස්තර කරන ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ පුද්ගලයාට කළ හැකි රැකියාවන් ගණනාවක් පෙන්වා දී ඇත. ඒ වෘත්තින් අතර ගොවිතැන (කසී), වෙළෙඳාම (වණිජ්ජ) පශූ පාලනය (ගෝරක්ඛ), රාජ්‍ය සේවය (රාජ පෝරිස) සාධාරණ අර්ථ උපයන මාර්ගයන් ලෙස පෙන්වා දුන් බුදුරදුහු මෙයිනුත් ඉක්මනින් නොමඟට පෙළැඹියට හැකි වෙළෙදාම පිළිබඳව තවදුරටත් විවරණය කරමින් භයානක අවි ආයුධ වෙළෙඳාම සතුන් වෙළෙඳාම, මස් වෙළෙඳාම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, වස විෂ වෙළෙඳාම නොකටයුතු වෙළෙඳාම් බව පෙන්වා වදාළහ. මෙහි ආ මත්ද්‍රව්‍ය වෙළෙඳාම,අවි ආයුධ වෙළෙඳාම ආදිය අද ලොවට ඇතිකර ඇති අනර්තය සලකන කල බෞද්ධ ආර්ථික දර්ශනයෙහි දුරදක්නා අගය මැනවින් වටහා ගත හැකිය.
වස්තුව සැපයීමේදි එය ධාර්මිකව සපයාගත යුතු බව මුලදී අප සාකච්ඡා කළෙමු. යම් කිසිවෙකුට හානියක් පීඩාවක් නොකොට කූට ක්‍රියාවන්ගෙන් විනිර්මුක්තව සමාජ සාධාරණ ක්‍රියාවලියට අනුගතව ගොවිතැන් වෙළෙහෙළඳාම් වැනි කර්මාන්තයන්ගෙන් සපයන ධනය ස්වල්ප වුවද ලක්ෂ ගණන් මුදලට වඩා ශතසහශ්‍ර ගුණයකින් එය අගනා බව බුදුහිමියෝ පෙන්වා දුන්හ. මෙවැනි කර්මාන්තයෙහි යෙදෙන පුද්ගලයා ඉතා උසස් මනුෂ්‍යයෙකු වශයෙන් අගය කළ හැකි බව සොක්‍රටීස් නම් වූ ගී‍්‍රක පඬිවරයාගේ ප්‍රකාශයකින් තහවුරු වේ. ලෝවැඩ සඟරාව දක්වන අදහසක් පහත කාව්‍යයෙන් අනාවරණය වේ.


”අදමින් ජීවත් වෙනවා විතරට
දැහැමින් මියයනු සොඳමයි දනහට
මෙලෙසින් වදහළ මුනිබණ සිහිකොට
සැබවින් පින්කොට පැමිණෙව් නිවනට”


යමෙකු විසින් නොයෙක් වෙහෙස මහන්සියෙන් උපයන ධනය විනාශ වීමට හේතුවන කාරණා සයක් බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. ඒවා නම්,


1.සුරාපානය කිරිම
2. නොකල්හි වීථී සංචාරය කිරීම
3. නෘත්‍ය ගීතාදිය සඳහා යාම
4. දූ කෙළියෙහි යෙදීම
5. පාප මිත්‍රයන් හා එක්වීම
6. අලසකම යන මේ සයයි
මේ එකිනෙක මඟින් ධන විනාශය සිදුවන ආකරය කෙටියෙන් විමසා බලමු.


1. සුරාපනය –
සුරාපානය නිසා විවිධ දුරාචාර ක්‍රියාකාරකම් බොහෝමයක් සිදුවන බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. ඒ අතර ධන විනාශය කෝලාහල ඇතිවීම,නොයෙක් රෝග ඇතිවීම, මත්වීම හේතුකොටගෙන මව්පියට ගුරුවරාදින්ට නොයෙක් වධ හිංසා පැමිණ වීම, අපකීර්තිය ලැබීම, ලජ්ජා නැතිවීම,මෝඩකම, මරණින් මතු නරකයෙහි වැටී දුක් විඳීම යන මේ ආදිය ඉන් සමහරකි.


2.නොකල්හි විථි සංචාරය –
නොකල්හි හෙවත් අවේලාවන් හි රාත්‍රි කාලයෙහි වීථිවල ඇවිදීමෙන් තමා නොකළ හෝ තමාගේ කිසිම සම්බන්ධයක් නැති නොයෙක් අපරාධයන්ට අසුවීම, දිනපතාම රාත්‍රි ගෙදර නැති බව දැනගත් සොර සතුරන් ගෙට වැදි වස්තු පැහැර ගෙන යාමාදිය ඉන් සිදුවේ.


3.නෘත්‍ය ගීතාදිය සඳහා යාම –
නෘත්‍ය පවත්වන තැන්, විවිධ කාමුකාදි නාඩගම් පවත්වා තැන් සොයමින් විපරම් කරමින් ඒ ඒ තැන්වලට යාමෙන් තමන්ගේ වෙළෙහෙළඳාම් අතපසුවීම හා වස්තුව ද විනාශ වී යන බව බුද්ධ දේශනාවයි.

 මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනේ පරිවෙණාචාර්ය
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
කඹරව සුමනානන්ද හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 09 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment