Labels

Tuesday, August 4, 2015

ඉඳුරන් පිනවූ පමණින් සතුටක් ලැබේ ද?


ලොව ඉපදෙන සත්වයන්ගේ වින්දනය විවිධාකාර වන්නේ ය. එකම පවුලේ සාමාජික සාමාජිකාවන් ගත්තත් ඒ අයගේ ද වින්දන ස්වභාවන්, ගති පැවැතුම්, ආකල්ප, ක්‍රියා පටිපාටිය, සසර වාසනා ගතිය, උගත් නූගත්කම්, වැටහීම් ආදිය එකිනෙකාට වෙනස් වන්නේ ය. ද්වාරයන්ගෙන් ලබන වින්දනය තුළින් සිතේ හටගන්නා ක්ලේෂ ධර්ම නිසා විවේකය හා නිදහස ද සීමා වන්නේ ය. එසේ විවේකය අහිමි කරගනිමින් භෞතික ලෝකයේ සතුට සොයා ගියත් සිත් තැවුල් ශෝක පරිදේවයන්ගෙන් අඩුවක් නැත.





විවේකය හා නිදහස ඇසුරු කරමින් ජීවිතය සාර්ථක කරගැනීමට අප කවුරුත් කැමැති වුවත් අසීමාන්තික ලෙස පස් කම් සැප භුක්ති විඳින්නට යෑමෙන් ඊට බාධා වන අයුරු පසුගිය සතියේදී අපි සාකච්ඡා කළෙමු. ඇලෙන ගැටෙන කලබලකාරි දිවි ගමනෙහිදී අප සැබෑ ලෙස විවේක සුවය භුක්ති විඳින්නේ ද යන්න ගැන වැඩිදුරටත් මෙවර අවධානය යොමු කරමු.

ඉපදී මැරී නැවත ඉපදී දුක් විඳිමින් යන සසර ගමන ඉතා දීර්ඝය. එහි මුලක් නොපෙනේ. පෙර සසරේ පුණ්‍ය මහිමයෙන් මිනිසත් බව ලැබුව ද එයින් අප සැබෑ ඵල ප්‍රයෝජනයක්, චිත්ත විවේකයක් ලබනවාද? භව කතරින් එතෙරවීමට විවේකය සහ නිදහස නිවැරැදිව භාවිත කරනවාද? ඒ සඳහා අවංක උත්සාහයක යෙදී තිබෙනවාද?

පස්කම් සැපතම සැනසිල්ල හා සතුට බවත් එයින් තොර සැපක් නැති බවත් පුහුදුන් ජනයා සිතති. එම නිසා බොහෝ වෙහෙස වී ද්වාරයන්ම සතුටු කරගැනීමට කටයුතු කරති. මෙහි බියකරු ස්වභාව නොපෙනෙන නිසා එහි මත්වීමට පත්වෙති. භවය සකස් කරති. එයින් යළි යළිත් ජාති, ජරා, ව්‍යාධි, මරණයම සකස් වෙයි.
ලොව ඉපදෙන සත්වයන්ගේ වින්දනය විවිධාකාර වන්නේය. එකම පවුලේ සාමාජික සාමාජිකාවන් ගත්තත් ඒ අයගේද වින්දන ස්වභාවන්, ගති පැවැතුම්, ආකල්ප, ක්‍රියා පටිපාටිය, සසර වාසනා ගතිය, උගත් නූගත්කම්, වැටහීම් ආදිය එකිනෙකාට වෙනස් වන්නේය. ද්වාරයන්ගෙන් ලබන වින්දනය තුළින් සිතේ හටගන්නා ක්ලේෂ ධර්ම නිසා විවේකය හා නිදහසද සීමා වන්නේය. එසේ විවේකය අහිමි කරගනිමින් භෞතික ලෝකයේ සතුට සොයා ගියත් සිත් තැවුල් ශෝක පරිදේවයන් ගෙන් අඩුවක් නැත.
ඇස මුල් කරගන විවිධ දර්ශන නරඹා බොහෝ කොට වින්දනය සොයන අය ජන සමාජයේ ජීවත්වෙති. ඒ පිරිස් ඇස සතුටු කරවීමට මහත් උත්සාහයක් දරති. ධනයද විය පැහැදම් කරති. ලොව ඇස මුළාවට පත් කරවන, මත්කරවන, අකුසල ඇතිකරන දර්ශන තිබුණද ඒවා පිළිබඳ නුවණින් විමසා බලා කටයුතු කිරීම අවැසිය. මේ පිළිබඳ උදාහරණයකින් වටහා ගනිමු. අලි ඇතුන් සහිත පෙරහරක් දෙස බලා සිටින කෙනෙකුට ඇතිවන චිත්ත සංස්කාර විමසුමට ගනිමු.අලියාට අන්දවා ඇති විචිත්‍ර ඇඳුම් දෙස බලා සතුටුවෙයි. යන ගමන් ලතාව පා සටහන්, හොඬවැල, ඇත්දළ, විශාලත්වය, වටිනාකම සහ වෙනත් නැටුම් ක්‍රීඩා බලා සතුටුවෙයි. අලි ඇතුන් ආදි සතුන් පත්වී සිටින ඉරණම, තිරිසන් ලෝකයේ දුක, පිළිබඳ සිහිපත් කරන්නේ නැත. වැස්සෙන් පින්නෙන් අව්වෙන් වන පීඩාව, ව්‍යාධි රෝග මෙන්ම ආහාර පානාදිය සඳහා දැරිය යුතු පිරිවැය ගැනද සිතන්නේ නැත. එම සතුන්ගෙන් දිවා රාත්‍රී ගන්නා වැඩ ප්‍රමාණය, සතුරු කරදර ඇතුළු දුක්ඛයන් හා වධ වේදනා, හිංසා ගැන සිතා ‘අහෝ ! මාත් සතර අපායට වැටී මෙවන් දුක් වේදනාවට කොපමණ වාරගණන් හසුවී දුක් විදින්න ඇතිද? තවමත් මේ සිත රාගාදී ක්ලේෂයන්ගෙන් පීඩා විඳිනවා. සසර කලකිරීම ඇති කරගෙන දුකෙන් මිදීමට වෑයම් කළ යුතුයි. ඒ සඳහා කුසල් දහම් වැඩිය යුතුයි.’ යනාදි වශයෙන් කල්පනා කරන පිරිස ස්වල්ප වන්නෝය. මෙසේ මිසදුටු පිරිස වන උද්‍යානවල සිර කර සිටින වන සිවුපාවුන්, පක්‍ෂීන්, සිංහ, ව්‍යාඝ්‍රයන් ද ආදි සතුන් දෙස බලා මහත් සතුටට පත්වෙති. එය පුහුදුන් සිතේ ස්වභාව වන්නේය. සරාගී සිතිවිලි ගොඩනගන බොළඳ චිත්‍ර පටිද ද්වේශය වර්ධනය වන ත්‍රාසජනක චිත්‍රපටද නරඹා මහත් ලෙස සිත ලෙඩ කරගත්තෝ බොහෝ වෙති. මෙසේ මත් වූවන්ගේ සිත මෙපරිදිය.

* හීන පැත්තට ම ඇදී යන්නේය
* ගැමි දහමට ම ඇදී යන්නේය
* උමතු භාවයට, විකාර භාවයට පත්වන්නේය
* ජීවිතවලට අනර්ථයන්ම කරගන්නේය.
* නැවත නැවැත ඉපදී මැරී සසරටම වැටෙන්නේය.
* සසර බියකරු බව දැක කාමයන්ගේ ආදීනව දැක කලකිරීමක් ඇති නොවන්නේය.
* කෙලෙස් සමනයක් නොවන්නේය
* ලොව පරම සත්‍යවන ත්‍රිලක්‍ෂණය (අනිච්ච, දුක්ඛ, අනත්ත) අවබෝධ නොකරන්නේය.
* විරාගය පිණිස නොවැටෙන්නේය
* ආර්ය සත්‍ය සතර අවබෝධ නොකර ගන්නේය.
* නිවන් අවබෝධය නොකර ගන්නේය.
* ශෝක, පරිදේව, දුක්ඛ දොමනස්සයන්ගෙන් නොමිදෙයි.

මෙසේ සාමිස සුවය අග්‍ර සැපය ලෙස සිතන්නෝ සාරය හා අසාරය තෝරා බේරා නොගනිති. තමාගේ අධ්‍යාත්මයේ පිරිසුදු අපිරිසුදු භාවය විනිවිද දකින්නේ නැත. කුසල අකුසල කර්මයන් හඳුනන්නේ නැත. විවේකය අවිවේකය කුමක්ද කියා තේරුම් කරගැනීමට උත්සාහයක් දරන්නේම නැත. තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් නැතිව කටයුතු කරති. සරණභාවයට පත් නොවෙති. මිථ්‍යාවට වැටී මිථ්‍යා දාර්ශනිකයන්ම අදහති. සම්මා දිට්ඨියට පත් නොවෙති. දර්ශන අතුරින් උත්තරීතර සුවයට පත් නොවෙති. මෙම විග්‍රහය ඇස පිළිබඳ සතුටුවන පිරිස පිළිබඳයි.
කාය චිත්ත විවේකය පිළිබඳ උනන්දුවක් නැති තැනැත්තා ඊළඟට කන සතුටු කරන්නේ කෙසේද? ඒ සඳහා සියලු දේ අත්හැර හරසුන් දේ පසුපසම යති. පුහුදුන් සත්වයා නිරතුරුව සංගීතයට නැටුමට වැයුමට ඇලෙන්නේය. ගීත ශබ්ද ස්වරයට ඇලෙන්නේය. එහි මත්වීමට පත්වන්නේය.මේ අනුව විසිතුරු නාද ඇසීමට කැමැත්තක් දක්වයි. ඒ සඳහා කාලය, ධනය, වැය කරයි. පරික්ෂණ පවත්වයි. ශබ්ද තරංග පිළිබඳ නීරික්‍ෂණ කටයුතු කරයි. ඒවා පටිගත කරගෙන නැවත නැවත ශ්‍රවණය කරයි. මෙකල බොහෝ පිරිස් රතිඤ්ඤා ශබ්ද ඇසීමට පි‍්‍රය කරති. එයින් පරිසරයට තමන්ට සෙසු සත්වයන්ට සිදුවෙන හානිය නොසිතයි. බොහෝ උත්සව සමයන්හි පිලිස්සුම් තුවාල ආදියට ලක්වී අනතුරුවලට පත්ව ඇතැම්විට මරණයට ද පත්වන පිරිස සංඛ්‍යාත්මක වර්ධනය වෙති. ඒ ආදිනවයන් පිළිබඳ නොසිතන නිසාය. මෙසේ ලොව කුදුමහත් ශබ්ද ඇසීමට සත්වයෝ පි‍්‍රයකරති. මනවඩති. නැවැත නැවත දෙසවන් යොමු කරති. තවද මිසදුටු ගණ වරදවා පිළිපන් වැරැදි ව්‍රත සමාදන් වන පිරිස් ගයන, වයන දෙසන අදැහැමි ආධාර්මික වූ දේ අසන්නට පි‍්‍රය කරති. නැවැත නැවත ශ්‍රවණයට කාලය වැය කරති. සොය සොයා ගමනේ යෙදෙති. මෙසේ නොඇසුදේ ප්‍රකාශ කරන්නේ යැයි ඒවා වර්ණනා කරති. මිථ්‍යා අදහස් ගරුකරති. එහි සමාදන් වෙති. ඒවා අනුකරණය කරති. මේ සියල්ල සිත හීන භාවයට පමුණුවයි. මත් කරවයි.විවේක සුවය නැති කරයි. ආර්ය භාවයට නොපමුණුවයි. අර්ථ සාධනයන් සිදු නොවෙයි. සසර කලකිරීමට පත්නොවෙයි. විරාගයට පත් නොකරයි. නිරෝධයට පත් නොකරයි. රාග ගිනි, ද්වේශ ගිනි මෝහ ගිනි වලින් සත්වයා අතිශය භයානක විපතට පත්කරවයි. මරණය ද පමුණුවයි. මෙම සාමිස ශ්‍රවණ වින්දනයද ඔබේ සැනසීම විවේකය නැති කරයි.

 වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ දෙසැම්බර් 02 වනදා සඳුදා 
 දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment