මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Wednesday, August 12, 2015
පක්‌ෂීන්ට ආහාර ජලය තැබීම වර්ගභේදයෙන් තොර සත්ව අභයදානය දීමකි
පක්‌ෂීන්ට, ලේනුන්ට පමණක් නොව කුඩා පෙනෙන නොපෙනෙන කෘමීන්ට වර්ග භේදයකින් තොරව ආහාර හා ජලය දානය දීම අති විශිෂ්ට ගණයේ කුසලයකි. ඒ සඳහා ඔබට වැඩිමනත් මුදල් වැයකිරීමක් සිදුනොවන අතර ආපසු ඔබ කරා එන කුසලය දිට්‌ඨධම්ම වේදනීය පමණක් නොව භවයක් පාසා ලැබෙන අපරාපරීය වේදනීය ප්‍රබල කුසල කර්මයක්‌ද වනු ඇත. උදාහරණ වශයෙන් සිවලී මහරහතන් වහන්සේ කළ සුළු කුසල කර්මය භවයක් භවයක් පාසා පිහිට ලැබෙමින් අවසන් රහත්ඵලයේදීද අන්‍ය භික්‌ෂුන්ට පවා පිහිටවූ කුසලයක් වූයේ කෙසේද යන්න සොයා දැනගන්න. කුහුඹුවන්ට, මීමැස්‌සන්ට උඩකින් ලෑල්ලක් තබා පොල් ටිකක් සමග සීනි ටිකක් කලවම් කර තබන්න. වතුර බේසමක්‌ද තබන්න. ඉඳුල් බත් නොව පිරිසිදු ආහාර ස්‌වල්පයක් උසකින් සවි කළ ලෑල්ලක තබන්න.
පසුවදා එය ජලයෙන් සෝදා පිරිසිදු කර නැවත පෙර සේම ආහාර ජලය තබන්න. ඔබගේ දර්ශන පථයට එක් නොවන තවත් විශාල කුසල කර්මයක් මේ මගින් සිදුවේ. එනම් මෙම ආහාර දානය හේතුකොටගෙන තම කුස් පිරෙන කුඩා පක්‌ෂීන් ලෙහෙනුන් හේතුකොටගෙන මහ පොළොවේ ජීවත්වන විශාල කෘමීන් සංඛ්‍යාවකටද අභයදානය ඉබේම සැලසේ. ඒ කෙසේද යත් සිය කුසට ඔබ තබන ආහාරවලින් සැනසෙන කුරුල්ලන් ආදීන් පොළවට බැස කුඩා කෘමීන් සිය ආහාරයට නොගන්නා නිසාය.
ඔබ පක්‌ෂීන් සඳහා තබන සුළු ආහාරය හේතුවෙන් දැන් බලන්න කුඩා කෘමීන්ගේ ජීවිතදානයද ඉබේම සැලසෙන අයුරු. 'දිට්‌ඨාවායේව අද්දිට්‌ඨා' දකින සතුන් නොදකින සතුන් සුවපත් වේවා යි තථාගතයන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය ඇසුරින් දේශනා කළේද එයයි. දරුවනි.
වර්තමානයේ සත්ව අභයදානයෙහි යෙදෙන්නේ සතුන් වර්ග කිරීමෙනි. මෙය අද සලසනුයේ බොහෝ විට එක් සත්ව කොට්‌ඨාසයකට පමණි. ඒ ගවයාය. විකෘති කර ලේඛනගත කර ඇති ත්‍රිපිටකයේ සඳහන්ව ඇති නොවැළඳිය යුතු සත්වයින් දස වර්ගයට ගවයා අයිති නැති වුවත් ගවයා පමණක් අභයදානයට සුදුසු එකම සතා බව බෞද්ධ සමාජයේ සහ හින්දු සමාජයේ ප්‍රචලිතය. සියලුම සත්වයින් ප්‍රාණීන් බව ඔවුන්ගේ ජීවිත සුරැකිය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ සරල තේරුම නොදන්නා වැඩිමනක් බොළඳ බෞද්ධ සමාජයකි අද බිහිව ඇත්තේ. සුදන සාධුනි, කරණීය මෙත්ත සූත්‍රයේ සරල තේරුම සියලුම දහම් පාසල් දරුවන්ට ශුද්ධ සිංහල භාෂාවෙන් තේරුම් කර දෙන්න. වචනයෙන් පැවසිය නොහැකි සංසාරගත කුසලයකි ඔබට ලැබෙනුයේ. කුඩා කල සිටම මේ නයින් බොදු දරුවන්ගේ හදවත් සියලු සතුන් කෙරෙහි මෛත්‍රියෙන් පුරවාලන්න.
තවත් අපගෙන් නිරතුරු අසන ප්‍රශ්නයක් නම් ආමිස පූජාවන්ගෙන් එතරම් නිවනට අදාළ ප්‍රතිඵලයක් තිබේද යන්නය. ආමිස පූජාවෙන් අප ගෙනහැර පාන්නේ තථාගත සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෞද්ධ සැදැහැති අප කරන කෘතෝපකාර කළගුණ සැලකීමයි. මෙම මුලුමහත් විශ්වයේ සැඟවී තිබූ උත්කෘෂ්ඨ රහසක් මුළු මහත් සමාජයට විදහා පෑ ඔබ වහන්සේට අප මේ මේ අයුරින් ගෞරව කරමු යන්නයි. එතෙකුදු වුවත් එම ආමිස පූජාවෙන් නොනැවතී උන්වහන්සේ දෙසා වදාළ මහානර්ඝ ධර්මය කුමක්‌දැයි, එම ධර්මස්‌කන්ධය හදාරා ඒ තුළින් අප සොයාගත යුතු සසරින් ගැලවීමේ මාර්ගය කුමක්‌දැයි එළිපෙහෙළි කරගත යුතුය. ඒ නිසාමයි අපට අති දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබී ඇත්තේ. සැදැහැවතුනි, සාධුනිෘ
මෙම කරුණ අරබයා කදිම උදාහරණයක් මෙසේ පෙන්වා දෙමු. පොතපත පාඩම් කරමින් ඒවායේ අන්තර්ගතය තර්ක විතර්ක කරමින් ප්‍රශ්නයට පිළිතුරු සපයමින් ප්‍රගුණ කරමින් විභාගයන් සමත්වනවා වෙනුවට පොත්පත් වලට සුවඳ දුම් අල්වමින් පිටකවර දමා ලස්‌සන කරමින් පොතට වැඳ වැඳ සිටින සමාජයක් විභාගවලින් සමත් වේද? බුද්ධිමතුනි, විභාග තරගකාරීත්වයෙන් නන්නත්තාරවී සිටින තරුණ ළමා සමාජයෙන්ම එහි සත්‍යතාවය අසා දැනගන්න.
එසේම පූර්ණකාලීනව ආමිස පූජාවන්ටම යෙදෙමින් උදාහරණ වශයෙන් නැටුම්, ගී ගැයුම්, වාදන, බෙර වාදන, විකාරරූපී දර්ශන, සුවඳ මල්මාලා, සුවÄති ආලේපන, සතුන් සහිත සත්ව හිංසා පෙරහැර, කඨින විනෝද මේලා, සැණකෙලි, බලිබිලි පූජා දානමය ආදියෙහිම යෙදෙමින් නොදැනුවත්වම සැහැදැවතුනි, ඔබගෙන් කෙරෙනුයේ භවය නැවත නැවත ගොඩනගා ගැනුමකි. එද මිනිස් භවයන් නම් නොවේමය. හොඳම උදාහරණය ඔබට ලබාගත හැක්‌කේ බුද්ධ චරිතය පිළිබඳව මනා පරිශීලනයක යෙදෙමිනි. සරලව කිවහොත් බුද්ධ චරිතය පොත් ලබාගෙන වචනයක් වචනයක් පාසා එහි යථා තේරුම හදවතට ළංකරගන්න. එවිට ඔබටම තේරුම් යාවි ඉහත සඳහන් විකාර දැ සම්බුදු චරිතාවලියට හලාහල විෂක් සේ පරස්‌පර බව.
සියල්ල අත්හැර උතුම් බුද්ධත්වයට පත්වූ බුද්ධගයාවේ සම්මා සම්බුදු බෝධිය වටා පවා පුද්ගලික කාරණා සඵල කර ගැනුමට වන්දනාකරුවන් කෙතරම් පඬුරු සංඛ්‍යාවක් එල්ලා තබයිද? බෞද්ධයන්, විශේෂයෙන් ලාංකික වන්දනාකරුවන් මෙතරම් බොළඳයන් වන්නේ කෙසේදැයි අපටද ප්‍රශ්නයකි. වර්තමානයේ ආමිස පූජාවන් වන්නේ මිත්‍යාදෘෂ්ටික දහම් සේ යාඥ කිරීම්ය. පුද්ගලික ඉල්ලීම්ය. හිඟන්නන් සේ යෑදීම්ය. අනාත්ම, අනිත්‍ය සියලු දේ ලාභාපේක්‌ෂාවෙන් ලබාගැනුමට කරන ඉල්ලීම්ය. බුදුපියාණන්ට මල් වට්‌ටි සුවඳ, කැවිලි, පස්‌ගෝ රස, බෝධි නෑවීම් (වැස්‌සේදී පවා) ආදී අල්ලස් ලබාදී ස්‌වකීය පෞද්ගලික පරමාර්ථයන් ඉටු කර ගැනීමේ වැඳ වැඳ කරන යාඥය. එතැන්හිදී අප දකින්නේ මෙවන් දැ බුදුන්වහන්සේට කෙරෙන ගෞරව කෘතගුණවේදී බව නොව තිරස්‌චීන ආත්මාර්ථකාමී කිසිදා ඉටුනොවන ඉල්ලීම් බවය. අන්‍ය ආගම් ඇදහීම්වලදී කෙරෙන්නේද එයමය.
බෝධීන්ට අරක්‌ගත් අල්පේශාක්‍ය දෙවි දේවතාවරුන්ට ඔවැනි ප්‍රාර්ථනා කෙසේ ඉටු කරදීමට හැකිද? ප්‍රශ්නයකි. ඔබේ සිතෙන් ඔබම අසාදැනගන්න. මෙවන් දැ තුළින් නිර්_වානය කරා පාතැබීමක් හෝ මාර්ගඵල ලැබුමක් කිසිසේත් සිදුනොවේ. යහමින් මුදල් වැය කරමින් නිවන් ලැබීමක් සිදුවේ නම් නූතන සූනීත සහ සෝපාකලාට යන කල දසාව කුමක් වේද?
සුපරීක්‌ෂාකාරීවන්න. විචාරශීලී වන්න. මහණෙනි, මාගේ දහම ප්‍රඥවන්තයාට පමණි - බුදුන්වහන්සේ.
පූජ්‍ය ආචාර්ය බුද්ධගයාවේ
සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
සභාපති - ශ්‍රී ලංකා අවිහිංසාවාදී භික්‌ෂු මහ සභාව
2015 ඇසල මස 31 වැනිදා සිකුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment