මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Friday, August 14, 2015
බුදු දහම ලොව පැතිරවීමේ නව මාවත අන්තර්ජාලයයි
බුද්ධාගම යනු කිසියම් ජාතියකට තනි අයිතියක් කිවහැකි දහමක් නොව එය විශ්ව ආගමකි. ලෝකයේ ප්‍රධාන ආගම් අතුරින් භූගෝලීය පිහිටීම, සංස්කෘතික හා භාෂාමය සීමාවන් බිඳදමමින් ලොවෙහි පැතිරුණ මුල්ම ආගම බුදුදහම යි. මට හැඟන පරිදි බුදු දහම පැතිර යාමට 1. ධාතු වන්දනාව, 2. ප්‍රතිමා නිර්මාණය, 3. බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය, 4. ආගමික ග්‍රන්ථ පදනම් වී ඇත.
1. ධාතු වන්දනාව - මරණය හා මළ සිරුර බොහෝ දෙනකුට බිය උපදවන දෙයකි. එසේ වුවත්, බෞද්ධයෝ මරණයට බිය නොවෙති. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ මරණය ගැන පැහැදිලි කර දී තිබේ. එමනිසා, පූජනීය උතුමකුගේ ආදාහනයෙන් පසු ධාතු තැන්පත් කොට ඒ ආශි‍්‍රතව ආගමික චාරිත්‍ර ද පැවැත්වීම බෞද්ධයන්ගේ සිරිතකි. ඒ සර්වඥ ධාතු නොයෙක් ප්‍රදේශවලට ගෙනගිය නිසා බුදුදහම පැතිර ගියේය. ආසියාවේ බෞද්ධ රටවලට ගිය විට එලෙස පූජනීය සර්වඥ ධාතු තැන්පත් කොට තැනූ ස්තූප හා කරඬු ඔබට දකින්නට පුළුවන.
2. ප්‍රතිමා වන්දනාව - බුද්ධාගම ආරම්භ වූ කාලයේ ප්‍රතිමා වන්දනාව තිබුණේ නැත. පර්සියානුවෝ ප්‍රතිමා නිර්මාණ කලාව බෞද්ධයන්ට දායාද කළහ. මම ඒ ගන්ධාර කලාව පි‍්‍රය කරමි. හින්දු සිද්ධස්ථානවල දේව ප්‍රතිමා තැන්පත් කර තිබෙන්නේ ස්ථිර වශයෙනි. ඒවායේ බලසම්පන්න භාවය රැඳී තිබෙන්නේ එම ස්ථානවල ය. එමනිසා, එම පිළිම වෙනත් තැනකට රැගෙන යන්නේ නැත. නමුත් බෞද්ධයන්ගේ සිරිත එයට වෙනස් ය. සර්වඥ ධාතු මෙන් ම ඔවුන්ගේ බුද්ධ ප්‍රතිමා ද ඕනෑම තැනකට රැගෙන යාමට පුළුවන. බුද්ධ ප්‍රතිමා තැනින් තැනට ගෙන ගොස් තැන්පත් කොට පන්සල් ඉදිකිරීමෙන් බුදුදහම පැතිරුණි.
3. බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය - බුද්ධාගම පැතිර යාමට එක් හේතුවක් නම් භික්ෂූන්ගේ සංචාරක ජීවන රටාව යි. භික්ෂූන් යනු හිස මුඬුකොට සිවුරක් පොරවාගෙන, විනයානුකූල ජීවිතයක් ගතකිරීමට කැපවුණ පිරිසකි. උන්වහන්සේලා සංස්කෘතිය හා භාෂාව පෝෂණය කළහ. ක්‍රිස්තියානි ආගමට බොහෝ කලකට පෙර ඇතිවුණ බෞද්ධ පැවිදි ජීවිතය හා ආරාම ක්‍රමය මගින් ක්‍රිස්තියානි ආගමට ද බොහෝ දේවල් උරුම කර දී තිබේ යනු මගේ අදහස යි. රෝමයේ දේවස්ථාන ආශි‍්‍රතව බිහිවුණ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය බෞද්ධයන්ගෙන් ලද දායාදයකි.
4. ආගමික ග්‍රන්ථ - කවර සමාජයකට, කවර ජන වර්ගයකට වුවත් කියවිය හැකි බසකින් ආගමික ග්‍රන්ථ සකස් කළයුතු යි. කුමන බසකින් ලියා තිබුණත් ධර්මය යනු එකම දෙයකි. බුදු දහම ප්‍රචාරය වීමට පොත්පත් ද උපකාර විය.
ලෝකය පිළිබඳ ඉගැන්වීම බුදුදහමේ එන වැදගත් කරුණකි. සත්‍යාවබෝධය කළහැකි වන්නේ ඒ ගැන තේරුම් ගැනීමෙනි. ඉන්ද්‍රියන්ගේ හා මනසෙහි ක්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීම විමුක්තිය ලබන්නට හේතුවන බව කියන්නේ බුදුදහම පමණි. එහි අන්තර්ගත විද්‍යාව වන්නේ ලෝකය පිළිබඳ අවබෝධ කරගැනීම යි. ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස බාහිර ලෝකය සම්බන්ධයෙන් ඉන්ද්‍රියන් මගින් ලබාගන්නා ප්‍රතිබිම්බ ඔස්සේ මනස තුළ ගොඩනැඟෙන දෙය සැබෑ වශයෙන් ම බාහිර ලෝකය යැයි අප තීරණය කරන්නේ කෙසේ ද? බාහිර ලෝකයක් පවතියි යන්න බුදුදහම කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නොකරන බව මම සහතිකව ම පවසමි.
එසේ නම් බුදුදහම කියන්නේ කුමක්ද? බාහිර ලෝකය පවතින ආකාරය හෙවත් එහි නියම ස්වරූපය ඔබ කෙලින් ම දකින්නේ නැත. රසායනික හා විද්‍යුත් ක්‍රියාකාරිත්වය මත තොරතුරු මොළයට ගලා ඒම මිනිසා අත්දකින සාමාන්‍ය දෙයකි. පසිඳුරන් හා කිසියම් අරමුණක් ගැටීමෙන් පසු ඇතිවන සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙස කිසියම් දෙයක් මනස මඟින් මවාපායි. ආලෝකය මගින් ඇසට යොමුකරන ඉදිරියේ තිබෙන අරමුණ පිළිබඳ සංඥාව විද්‍යුත් ක්‍රියාවලියක් තුළින් මනසට යයි. එවිට ඇතිවන ඉන්ද්‍රිය විඤ්ඤාණය අනුව “මම ඔබ දකිමි” යනුවෙන් පවසමි. නමුත් සැබැවින්ම මා “ඔබ” යැයි කියා කෙනකු දකින්නේ නැත. මනසෙහි මැවෙන්නේ මායාවකි.
බුදුදහම කියන අන්දමට ඔබත්, මමත් සිටින්නේ මනස තුළ ය. සිරුරෙහි රුධිරය හා රසායනික ද්‍රව්‍ය ගලන අන්දම විද්‍යාවෙන් දැකිය හැකි වුවත්, මනසෙහි ඇතිවන සිතිවිලි කෙබඳු දැ යි දකින්නට නොහැක. බෞද්ධයෝ මෙම ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය ගැන අවබෝධ කරගන්නට බොහෝ වෙහෙසෙති. කෙනකුට ඒ ගැන අවබෝධයක් නොමැති නම්, බාහිර ලෝකය පිළිබඳ යථාර්ථය තේරුම් ගත නොහැක. ඉතා මෑතක දී විද්‍යාඥ පිරිසක් භාවනානුයෝගීන්ගේ මනසේ ක්‍රියාකාරිත්වය ගැන පර්යේෂණයක් කිරීම සඳහා දලයිලාමා තුමාගේ සහයෝගය ඉල්ලූහ. එතුමා පැවැසුවේ ඒ පරීක්ෂණය කරන්නට නම්, ඔබ ද භාවනානුයෝගියකු වියයුතු බව යි. එහි තේරුම කෙනකුගේ හැකියාව පරීක්‍ෂා කරන්නාට එවැනි දැනුමක් තිබිය යුතු බවයි.
ඒ අනුව රහතන් වහන්සේලාගේ ස්වභාවය සාමාන්‍ය කෙනකුට තේරුම් ගත නොහැක. කෙසේ වුව ද, හාවඩ් විශ්වවිද්‍යාලය සිදුකළ එම පරීක්‍ෂණයෙන් භාවනාව මගින් ඇතිවන චිත්ත සමාධිය හේතුවෙන් කායික වෙනසක් සිදුවන බව පැහැදිලි වුණි. සියල්ල සිදුවන්නේ මනස මුල්කරගෙන යි. නිදසුනක් මගින් අපි ඒ ගැන තවත් විමසමු. ඇඟිල්ල කැපුන විට රිදෙනවා යැ යි අපි කෑගසමු. බෞද්ධයන් කියන හැටියට වේදනාවට පත්වන්නේ ඇඟිල්ල නොව ඔබගේ මනස යි. ස්නායු මගින් මනසට එම පණිවුඩය නොලැබුණොත් වේදනාව නොදැනෙයි. වෛද්‍ය ප්‍රතිකාරවලදී හිරිවැටීමෙන් මනසට පණිවුඩ දීම නතර කෙරේ. එවිට වේදනාවක් නොමැත.
ලෝකය පිළිබඳ විග්‍රහය සහ ලෝකය ඇතිවීමේ හේතු කාරණා සම්බන්ධයෙන් සමාජයේ විවිධ මතවාද තිබේ. ලෝකය නිර්මාණය කරන දෙවියකු ගැන බුදුදහම විශ්වාස නොකරයි. ලෝකය ඊශ්වරයා විසින් මවන ලද්දකි යන විශ්වාසය බුදුදහම පහළවන කාලයේ ඉන්දියාවේ පැතිර තිබුණි. එසේ නම් ඊශ්වරයා ඇතිවීමට හේතුව කුමක්ද? යනු බුදුදහම මතු කළ ප්‍රශ්නය යි. බුදුදහම කියන පරිදි, සියල්ල ඇතිවන්නේ හේතුඵල නියාමය අනුව යි. හෙවත් පටිච්ච සමුප්පාද ක්‍රමයට අනුව යි. හේතුව නිසා ඵලය හටගන්නා අතර එම ඵලය නැවත හේතුවක් බවට පත්වෙයි. එම න්‍යාය නොකඩවා ක්‍රියාත්මක වන්නකි. දම්වැලක පුරුක් ආකාරයට හේතුඵල නියාමය එකිනෙකට සම්බන්ධ වී ඇත. එහි ආරම්භයක් හෝ අවසානයක් දැක්විය නොහැක. පුරුකක් බිඳ දැමූ විට දම්වැල වෙන් වන්නාක් මෙන් හේතුව සිඳීමෙන් හටගැනීම නතර වෙයි. හේතුඵල නියාමය පහසුවෙන් තේරුම් ගැනීම අමාරුය.
සෑම බිත්තියක ම කැඩපත් සහිත ශාලාවකට පිවිසුන විට එම කැඩපත්වලින් ඔබගේ රූපයේ පිළිබිඹුව දර්ශනය වෙයි. එම පිළිබිඹුව කැඩපත් එකිනෙක මතට වැටී ගණිත ක්‍රමයකට මෙන් යළි යළිත් කෙළවරක් නොමැතිව පිළිබිඹු මැවෙයි. එහෙත් මුල්ම පිළිබිඹුව කුමක් දැ යි සොයාගත නොහැක. ලෝකය ද එබඳු වූ කෙළවරක් නොමැති ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ලොව සියල්ල පවතින්නේ එකිනෙකට සාපේක්ෂව ය. එක දෙයක් පවතින්නේ තවත් දෙයක මුල්කරගෙන යි. මේ මොහොතේ ඔබ මෙහි සිටින්නේ කුමන හේතුවක් නිසා ද? මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දෙවියන් වහන්සේගේ මැවීම නිසා ය. මහා පිපිරුමකින් ලෝකය නිර්මාණය වූ නිසා ය.
මව්පිය දෙදෙනා නිසා යැ යි ඔබ කියනු ඇත. ඔබ මෙවැනි උත්තර කීවත් ඒ සියල්ල අසම්පූර්ණ ය. සියවස් ගණනක අතීත විස්තර සටහන් කළත් ඒවා තහවුරු කළ නොහැකි සංකල්ප පමණි. කෙනකු ඔබට ඊතලයකින් විද්දොත් ඔබ කළයුත්තේ විද්ද තැනැත්තා කවුදැ යි සෙවීම නොව වහාම ඊතලය උදුරා දැමීම බව බුදු දහම පෙන්වා දෙයි. අතීතය කුමක් වුවත් එය සිදුවී අවසානයි. ඒ ගැන සෙවීම නිෂ්ඵල ය. ආරම්භය ගැන දැනීම හෝ නොදැනීම වැදගත් නොවේ. වැදගත් වන්නේ ඔබ ජීවත්වන මේ මොහොත පිළිබඳව මනා සිහියෙන් සිටීම යි. සතිපට්ඨානයෙන් යුක්තව ජීවත්වීම යි. කර්මය යනු බුදුදහමේ එන තවත් විශේෂ ඉගැන්වීමකි.
එය විශ්වයේ නීතිය යි. ඔබ සිදුකරන හොඳ නරක ක්‍රියාවන්ට ඔබට විපාක ලැබෙයි. එය නියාමයකට අනුව සිදුවන්නකි. කිසියම් නියාමයකට අනුකූලව ස්වයංකී‍්‍රයව කලු හා සුදු රූප මැවෙන හා මැකෙන සෙලියුලර් තාක්ෂණයක් පරිගණකයන්හි තිබේ. ගණිත ක්‍රමයකට අනුව මැවෙන හා මැකෙන එම රූප කුමන මොහොතක, කොතැනකින් මතුවේ දැ යි කිව නොහැක. එය හැඳින්වෙන්නේ ස්වයංසිද්ධ කැටිති ක්‍රමය ඒ ඊරනඥ ධට ජඥතතභතඥප ඒභබධථචබච යනුවෙනි. බුදුදහමේ සඳහන් කර්ම විපාකය ද කවර මොහොතක කවර අයුරකින් ක්‍රියාත්මක වේදැයි කිව නොහැකි නියාම ධර්මයකි.
ධාතු වන්දනාව, ප්‍රතිමා නිර්මාණය, භික්ෂු සම්ප්‍රදාය හා ආගමික ග්‍රන්ථ අතීතයේදී බුද්ධාගම ව්‍යාප්ත වීමට හේතුවූ බව පැහැදිලි ය. දැන් අප ජීවත්වන්නේ විද්‍යාවෙන් දියුණූ වූ තාක්ෂණික යුගයක යි. ආසියාවේ බුදුදහම වර්තමානයේ නව ජීවයක් ලබයි. බුද්ධාගම ලොව පුරා ප්‍රචාරය කරන්නට වර්තමානයේ තෝරාගත යුතු ක්‍රමවේදය කුමක් දැයි තෝරාගත යුතු ය. ධර්ම ග්‍රන්ථ සංයුක්ත තැටිවල යෙදීම හා ඒවා අන්තර් ජාලයට එක් කිරීම මගින් වර්තමාන ලෝකයේ බුද්ධාගම පැතිරවීම කළ හැක. මිලියන පනස් දෙකක් අක්ෂරවලින් සමන්විත කොරියානු ත්‍රිපිටකය දැන් සංයුක්ත තැටිවලට ආරෝපණය කර ඇත. එම නිසා, ඩිජිටල් තාක්ෂණය පවතින වත්මන් යුගයේ බුද්ධාගම අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා බෙදා හැරිය යුතු ය යනු මගේ නිගමනය යි.
2013 අගෝස්තු මස 07 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වූ ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment