Labels

Friday, August 14, 2015

තපස යනු කුමක්ද ?

 

ඉන්දීය සාහිත්‍යයේ රජුන් තුළ ඇති විශේෂ ගුණයක් ලෙස ආත්ම සංයමය දක්නට ලැබේ. රඝුවංශයේ දිලීප රජුගේ ස්වභාවය පිළිබඳව මෙසේ කියයි. “ ප්‍රජායෛ ගෘහමේධිනාම්” රජුට අග මෙහෙසියක් හා අන්තඞපුරයක් පැවැති නමුත් රජු අන්තඞපුරයට නොගිය අතර, ඔහුට අගමෙහෙසිය අවශ්‍ය වූයේ දරුවන් බිහි කිරීමටය. අන්තඞපුරයට රජකුට ආභරණයක් වෙත් රජෙක් එහි නිති ඇලීම දුර්වලකමකි. දිලීප රජුට සම්පත් තිබෙද්දී හැඟීම් පාලනය කරගත් සංයත වූ විශේෂ රජෙක් ලෙස රඝුවංශය ඔහු හඳුන්වයි. ක්ලේශ ධර්මයන්ට හුරු වූ අයකුට දන්දීම ( අත්හැරීම ) සිල් රැකීම අපහසු කාර්යයකි. සිල් රැකීමට, දන් දීමට, සෘජු වීමට, පරිත්‍යාගයට, මෘදු වීමට තපස අත්‍යවශ්‍ය කරුණක් වන අතර දසරාජ ධර්මය එකට බැඳුණු අවස්ථාවක් ලෙස තපස දැක්විය හැකිය.


තපස පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී දේශනා කොට තිබෙනවා. ඒ අතුරෙන් දස රාජ ධර්මයේ සඳහන් වන ‘තපස’ පිළිබඳවයි මෙහි කරුණු සඳහන් කරන්නේ. සමහරුන් බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලනයට උපදෙස් දුන් ශාස්තෘවරයෙක් ලෙස ද, සමහරුන් මහා සෞන්දර්යවාදියෙක් ලෙස ද, සමහරුන් පරිසරවේදියෙක් ලෙස ද, තවත් සමහරුන් ආර්ථික විද්‍යාඥයෙක් ලෙස ද අර්ථ දක්වති. පන්සාළිස් වසක් මුළුල්ලේ උන්වහන්සේ ධර්මය දේශනා කරන ලද්දේ සජීවී ලෝකයටය. උන්වහන්සේගේ දේශනා දෙවියනට, බඹුනට, රජවරුනට, සිටුවරුනට, ගොවියනට ආදී වශයෙන් විවිධ වර්ගයන්ට ඒ ඒ පුද්ගල විවිධත්වය පරිදි විවිධ විෂයයන් යටතේ ගැළපෙන පරිදි යොදා ගත්හ. එහෙත් උන්වහන්සේගේ අරමුණ වූයේ විවිධ විෂයයන් ඉගැන්වීම නොව සත්වයා සසරින් එතෙර කරවීමය.

අවසානයේ අප ලබන නිවන වෙතට යොමු කිරීම බුදු දහමේ පරමාර්ථය වුවද ඊට පෙර අප මෙලොව සමෘද්ධිය අපේක්‍ෂා කරන බැවින් එම යහපත උදා කර ගැනීම සඳහා බුද්ධ දේශනාව කෙතරම් උපයෝගී වේද යන්න සිතා බැලිය යුතු කරුණකි. දස රාජ ධර්මයට අනුව කටයුතු කරන රාජ්‍ය නායකයෙක්, දේශපාලකයෙක් තුළ තිබිය යුතු ලක්‍ෂණ උන්වහන්සේ පෙන්වා දුන් සේක. දසරාජ ධර්මය රජකුට පමණක් නොව හැම දෙනෙක් තුළම පැවතිය යුතු වටිනා සාරධර්ම සමුදායකි. රජකුට, පවුලකට, සමාජයක නායකයෙකුට, ආයතනයකට අවශ්‍ය වන වැදගත් කරුණු දහයක් මේ මගින් සාකච්ඡා කර ඇත. මෙහි අප කතා කරන්නේ එහි ඇතුළත් තපස යන ගුණය පිළිබඳවයි.
තපස යනු කුමක්ද ? බුදුන් වහන්සේ ඉන්දියාවේ පහළවන කල්හි ප්‍රධාන ආගමික කණ්ඩායම් දෙකක් පැවතිණ. ශ්‍රමණ හා බ්‍රාහ්මණ යනු ඒ කොටස් දෙකයි. බ්‍රාහ්මණ පිරිස ඊශ්වර නිර්මාණවාදය පිළිගත්හ. බ්‍රහ්මයා විසින් ලොව මවන ලදී යන මතයේ පිහිටා, බ්‍රහ්මයා පුදමින් දෙවියන් යාගයෙන් පුදමින් ජීවිතය සඵල කර ගැනීමට ඒ පිරිස උත්සාහ කළහ. එයට විරුද්ධව පැමිණි කොටස ශ්‍රමණයෝ නම් වෙති. ශ්‍රමණයන් අතර ආජීවක, නිගණ්ඨ, අචේලක, පරිබ්‍රාජක හා තාපස යනුවෙන් කොටස් කිහිපයකි. මේ ශ්‍රමණ පිරිස ගිහි ජීවිතයක් ගතනොකොට ආගමික ජීවිතයක් ගත කරමින් තමන්ම විමුක්තිය සොයා ගැනීම කළ යුතුය යන මතයේ පිහිටා ක්‍රියාත්මක වූහ. බ්‍රාහ්මණ සමාජයේ ‘ තපස’ යන වචනය අර්ථ දක්වනුයේ තැවීම යන අර්ථයෙනි. තැවීම කිසිවක් පුච්චා දැමීම නැතහොත් රත් කර දැමීම යන අදහස මතු කරයි.
ශ්‍රමණ සමාජයේ දී තමන් තමන් වෙතට හැරී තමා තුළ පවතින විවිධ කෙලෙස් ධර්ම තැවීම අපේක්‍ෂාව විය. මේ අදහස් එක් එක් ශ්‍රමණයාගෙන් ශ්‍රමණයාට වෙනස් විය. එදා තාපසවරු පඤ්චතාපයෙන් තැවුණාහ. පඤ්චතාපය යනු හතරවටේ ගිනි ගොඩවල් හතරක් ගසා සූර්යාලෝකය ඇති අවස්ථාවේ පස් ගින්නෙන් තැවීමයි. මෙසේ කෙලෙස් මර්දනයට ගින්නෙන් තැවීම එක් තාපස ක්‍රමයකි. තවත් සමහර තාපස පිරිස් හිමිදිරියේ සීතලේ ගැහෙමින් ගංගා නදියේ තොටුපළවලට බැස පව් සෝදා දැමීමට උත්සාහ කළහ. අදටත් එම සම්ප්‍රදාය භාරතීය තාපසයින් අතර දක්නට ඇත.

බුදුජාණන් වහන්සේ මේ අය පිළිබඳව සාකච්ඡා කර විවේචනයට බඳුන් කර ඇත. ගිනි තැපීමෙන් කෙලෙස් තැවිය හැකි නම් වැඩියෙන්ම කෙළෙස් තවන්නේ ගඩොල් පෝරණුවල හා බේකරිවල සේවක පිරිස වෙති. ඒ ගිනි රශ්මියට වැඩිපුර ශරීරය නිරාවරණය කර සිටිනුයේ ඔවුන් වන බැවිනි. තවද වතුරෙන් පව් සෝදා හැරිය හැකි නම් වැඩිපුර පව් සේදෙන්නේ දියේ සිටින මාළුවන්ගේ ය, ජලජ සත්ත්වයන්ගේ ය. මේ ආකාරයට ශාරීරිකව ලබන පීඩාව තුළින් පව් නැති කිරීම බුදු දහම අනුමත නොකරයි.
බුදු දහම තපසට සමගාමීව ඉදිරිපත් කරනු ලබන සංකල්පය ධ්‍යාන නමින් හැඳින්වේ. ධ්‍යාන යනු කෙලෙස් දැවීමයි. කෙළෙස් පුච්චනවා යන අදහසයි. මෙම පිච්චීම සිදු වන්නේ ගින්දරෙන් නොව තමන් තමන්ගේ ඇතුළතට ගොස් ඇතුළත ඇති ලෝභ, ද්වේශ, මෝහ නැති කිරීමට ඇති කරගනු ලබන මානසික ක්‍රියාවලියකිනි.

1. දානං - දන්දීම
2. සීලං - සිල්වත් බව
3. පරිච්චාගං - අත්හැරීම
4. අජ්ජවං - සෘජු බව
5. මජ්ජවං - මෘදු බව
6. තපං - තපස
7. අක්කොධො - ක්‍රෝධ නොකිරීම
8. අවිහිංසා - හිංසා නොකිරීම
9. ඛන්ති – ඉවසීම
10. අවිරෝධතා - විරුද්ධ නොවීම

යන මේවා දසරාජ ධර්ම නම් වේ. මින් දානය හා පරිත්‍යාගය හැර සෙසු කාරණා සියල්ල අභ්‍යන්තරයට සම්බන්ධ වේ. දානයට අභ්‍යන්තරික සම්බන්ධයක් නැතැයි මින් අදහස් නොකෙරේ. මෙහිදී තාපස පිළිබඳව කරුණු දැක්වීමට ජාතක පාළියට අයත් මෙම ගාථාව විමසමු.

කිං තෙ ජටාහි දුම්මේධ – කිං තෙ අජිනසාටියා
අබ්භන්තරං තෙ ගහනං - බාහිරං පරිමජ්ජසි’


“ මෝඩය, නුඹ ඔය පැලැඳ ඉන්න ජටාව කුමකට ද? නුඹ ඔය ඇඳගෙන ඉන්න අඳුන් දිවි සම කුමකට ද ? ඇතුළත අපිරිසුදු වී සිටින ඔබ බාහිරව සෝබමානව සිටින්නේ නොවේද? යනු එහි අර්ථය යි. බුදු දහම අගය කරනුයේ පිටතින් ශෝභමාන වූ ඔපවත් වූ තවුස් දිවිය නොව ඇතුළතින් සංවර්ධිත පුද්ගලයා ය.

චරන්ති බාලා දුම්මේධා - අමිත්තේනේව අත්තනා”

මෙලොව මෝඩ අනුවණ පුද්ගලයින් තමන්ට හතුරන් වී ජීවත්වන බව ඉන් ප්‍රකාශිතය. මක්නිසාද ඔවුහු පව්කම් කරමින් මෙලොව සමෘද්ධිය අපේක්‍ෂා කළත් සැබවින්ම හිමිකර ගන්නේ සසර දුකම බැවිනි.
බොරුවට තපස් රකින්නට හැකිය. බොරුවට දන්දෙන්නට ද හැකිය. බොරුවට ඉගෙන ගන්නට ද හැකිය. එසේ වෙතත් එවන් ව්‍යාජ පැවැත්ම නොව ඇතුළත සංවර්ධනය කිරීම බුදු දහමේ අපේක්‍ෂාවයි. බුද්ධ දේශනාවේ දැක්වෙන ආකාරයට “ සමහර කුණ්ඩලාභරණ අලංකාර වන නමුත් මැටියෙන් නිර්මිතය. එහි අගයක් නැත. රත්තරන් ගෑ හොර කාසි තිබෙන මුත් ඒවා අගයෙන් තොරය. එමෙන්ම සමහරු බාලයෝ මැටියෙන් හැදූ කුණ්ඩලාභරණ මෙන් පිටතින් සෝබමාන ඇතුළතින් අගයක් නොමැති අය සේ දිවි ගෙවති. හොර තවුස් දිවියක් ගත කරති.”
එහෙත් මෙහි කිසියම් යහපත් පැත්තක් ද වෙයි. මෙම කථා පුවත එයට නිදසුනකි. එක් කලෙක කන්දක් මත එක් තවුසෙක් වාසය කළ අතර රටේ රජු මොහු ගැන දැන ඔහු බැහැ දැකීමට සිතා එහි ගියේය. රජුට පෙර රජුගේ ඇමැතිවරු එහි ගිය අතර, ඇමැතිවරුන් එහි යනවිට තවුසා පොකුණක මාළු බිලී බාමින් සිටියේය. ඇමැතිවරු දුටු ඔහු බිලි පිත්ත විසිකර තවුස්දම් රකින්නට විය. කන්ද උඩට පැමිණි රජුට ඇමැතිවරු මේ වග දැනුම් දුන්විට රජු කීවේ එසේ වුවත් අපි ඔහුට දන් දිය යුතු බවයි. එසේ කීමට හේතුව ලෙස රජු ඉදිරිපත් කළේ එම තවුසාට තවුස්දම් නැති වුවත් ලජ්ජාවක් හෝ ඇති බවයි. සමාජයට ඇති ලජ්ජාවෙන් හෝ යමෙක් සංවරවන්නේ නම් එය ඉතා හොඳය. නමුත් මෙම ව්‍යාජ තවුස්දම් බුදුදහම අගය නොකරන්නකි. ප්‍රත්‍යලාභය වෙනුවෙන් අන්‍යයන් රැවටීම පාපයකි.
‘තපස’ යනු කුමක්දැයි අපි නිරවුල්ව හඳුනාගත යුතුය. ‘තප’ යන වචනය විවිධ තන්හි විවිධ ලෙස පර්යායන්හි භාවිත වෙයි.
“අත්තන්තප” තමන් තවන පුද්ගලයා, “පරන්තප” අනුන් තවන පුද්ගලයා ආදී තන්හි පීඩාවට පත් කරන්නා යන අර්ථය යෙදෙයි. එහෙත් බුදු දහමේ තප වචනයෙන් අදහස් කරන්නේ ක්ලේශයන් දුරු කිරීමට ඇති කරගන්නා මානසික ව්‍යායාමයයි. විවිධ දේ පාදක කොටගෙන අපට හැඟීම් ඇති වන අතර මේ හැඟීම් පාලනය, කළමනාකාරණය කර ගැනීමට නොහැකි උදවිය නොහික්මුණු පිරිසක් ලෙස හඳුන්වමු. රජවරුන්ට සම්පත්, පිළිගැනීම් අධික නිසා ඔවුන් වැඩි වශයෙන් තපස හුරු කළ යුතු පුද්ගලයෝ වෙති. ආත්ම පාලනය, කළමනාකරණය නොවූ හැගීම් ඇති සම්පත් බහුල රජවරු සිය රජකම පවා අහිමි කරගන්නවා පමණක් නොව රට ද රටවැසියා ද විනාශයට පත් කරති.
ඉන්දීය සාහිත්‍යයේ රජුන් තුළ ඇති විශේෂ ගුණයක් ලෙස ආත්ම සංයමය දක්නට ලැබේ. රඝුවංශයේ දිලීප රජුගේ ස්වභාවය පිළිබඳව මෙසේ කියයි. “ ප්‍රජායෛ ගෘහමේධිනාම්” රජුට අග මෙහෙසියක් හා අන්තඞපුරයක් පැවැති නමුත් රජු අන්තඞපුරයට නොගිය අතර, ඔහුට අගමෙහෙසිය අවශ්‍ය වූයේ දරුවන් බිහි කිරීමටය. අන්තඞපුරයට රජකුට ආභරණයක් වෙත් රජෙක් එහි නිති ඇලීම දුර්වලකමකි. දිලීප රජුට සම්පත් තිබෙද්දී හැඟීම් පාලනය කරගත් සංයත වූ විශේෂ රජෙක් ලෙස රඝුවංශය ඔහු හඳුන්වයි. ක්ලේශ ධර්මයන්ට හුරු වූ අයකුට දන්දීම ( අත්හැරීම ) සිල් රැකීම අපහසු කාර්යයකි. සිල් රැකීමට, දන් දීමට, සෘජු වීමට, පරිත්‍යාගයට, මෘදු වීමට තපස අත්‍යවශ්‍ය කරුණක් වන අතර දසරාජ ධර්මය එකට බැඳුණු අවස්ථාවක් ලෙස තපස දැක්විය හැකිය.
මජ්ඣිම නිකායේ ඉන්ද්‍රිය + භාවනා සූත්‍රයේ දැක්වෙන ආකාරයට පාරාසරිය බමුණාගේ ගෝලයා වූ උත්තර මානවක තෙම බුදුන් හමුවට පැමිණි විට “ ඔබ අදහන්නේ කාගේ දහමක්ද? යනුවෙන් බුදුන් වහන්සේ විචාල සේක. එවිට තමන් පාරාසරිය බමුණාගේ ඉන්ද්‍රිය භාවනාව ඉගෙන ගන්නා බවත් බුදුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව උගන්වන බව අසා මෙහි පැමිණි බවත් කීවේය. මම ඔබට ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නම් එයට පෙර ඔබ ඔබගේ ගුරුවරයාගේ ඉන්ද්‍රිය භාවනාව පැහැදිලි කරන්නැයි බුදුරජාණන් වහන්සේ ඔහුට වදාළ සේක. තම ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව ලෙස ඇහෙන් රූප නොබලා කනෙන් ශබ්ද නොඅසා ඉන්ද්‍රියයන් වසාගෙන සිටින්නැයි උගන්වන බව උත්තර මානවක පිළිතුරු දුන්නේය. එවිට “ මානවකය, ඉන්ද්‍රිය භාවනාව යනු ඉන්ද්‍රිය වහගෙන සිටීම නම් මෙලොව ඉන්ද්‍රයි වැඩූ අය ලෙස ගොළුවන්, බිහිරන්, අන්ධයන් ගිණිය හැක. ඉන්ද්‍රිය භාවනාව යනු රූප නොබලා, ශබ්ද නො අසා ඉන්ද්‍රිය වැසීම නොව, රූප පෙනි පෙනී ශබ්ද අසමින් ඒ රූපයන්ගේ නිමිති අනු නිමිති නොගැනීමයි” යනුවෙන් වදාළ සේක.
ඇහෙන් රූප දැක නිමිති නොගත යුතුය. අනුනිමිති නොගත යුතුය. ඒ ආකාරයට සංවරයට යායුතු වේ. බුදුදහමට අනුව ඉන්ද්‍රියයන් මොට නොකරගෙන ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගෙන අරමුණුවලට නතු නොවී නොගැලී සිටීම මගින් අභ්‍යන්තරික සංවරයට යොමු කිරීම සිදුවේ. අභ්‍යන්තරික සංවරය නොමැති පුද්ගලයන්ගේ බාහිර සංවරය බුදු දහම අගය නොකරයි.
මේ තත්ත්වයට බුදුන්වහන්සේ දුන් හොඳම අර්ථකථනයක් ලෙස ථේර, ස්ථවිර යන්නට දුන් නිර්වචනය පෙන්වා දිය හැකිය. මෙහිදී උන්වහන්සේ දේශනා කරන්නේ කෙස් පැහුණාට ස්ථවිර නොවන බවයි. “ න භාවනා ධම්මධරො යාවතා බහු භාසති” බොහෝ කථා කළාට ධර්මධරයෙක් ද නොවේ. “ඛේමී අවෙරී අභයෝ පණ්ඩිතොති පවුච්චති” කිසියම කෙනෙක් තුළ ක්‍ෂේම බව තිබේ ද අවෛරය තිබේද නිර්භය වේද ඒ අනුව ඔහු පණ්ඩිතයෙක් වෙයි. මෙසේ කායික, වාචසික සංවරය තුළින් මතුවූ සංවර්ධනය විනා හොර තපස බුදු දහම පිළි නොගනී. උදර පූරණය පිණිස ආදී පටු ලාභ ලෝභ නිසා රකින හොර තපස බුදු දහමෙන් ප්‍රතික්‍ෂේප වේ.
සසුනට බොහෝ අනුග්‍රහ දැක්වූ අශෝක රජු කල බොහෝ කොට තීර්ථකයෝ විසූහ. රජු සසුනට කළ අනුග්‍රහ හේතුවෙන් මේ අයට කෑමට ඇඳීමට පවා නැතිවූ එක් අවස්ථාවක ඔවුහු කෙස් රැවුල් කපාගෙන ලාභ ප්‍රයෝජන තකා ශාසනයට ඇතුල් වූහ.
ඇතැම්හු ජීවිකාව සඳහා හොඳම ක්‍රමයක් ලෙස තවුස් බව යොදාගත් සැටි පෙන්වීමට ඕනෑ තරම් නිදසුන් තිබේ.
ධම්මපදයේ දැක්වෙන ආකාරයට සමහරු ඇඳුම් නැතුව නග්න චර්යාවෙන් සිටියහ. සමහරු ජටාධරව සිටියහ. සමහරු ඇග හැමතැනම මඩ ගාගෙන සිටියහ. තවත් සමහරු දණ්ඩක් වගේ වැතිර නිදා ගත්හ. සමහරු දූවිලි ඇගේ ගාගෙන සිටියහ.
අද ද ඇතැම් අය තපස මගින් තම පෞද්ගලික අපේක්‍ෂාවන් ඉටු කර ගනිති. පර්වත ගිරි ගුහා වනාන්තර වැනි ස්ථානවල ඇති නිහඬ බව ජීවිතයේ විමුක්තිය පහසුවෙන් සලසා ගැනීමට උපකාරී වන බව සැබෑය.
එහෙත් මේ ජීවිතය ක්‍රමානුකූලව ජීවත්වෙමින් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරමින් කෙලෙස් අඩු කරගෙන කටයුතු කිරීමට අපට ශක්තිය ඇත.
ඒ නිසා පැවිදි වීමද ගිහිවීම ද යන කරුණු දෙකට වඩා වැදගත් වන්නේ තමන් තමන්ගේ අභ්‍යන්තර ගුණධර්ම කොතෙක් දුරට සංවර්ධනය කර ඇද්ද යන්නයි.
කාමුක බව හා නිදිබර ගතිය ඇතිවන්නේ ක්ලේශ වැඩි හෙයිනි. ළමයින්ට තපස අවශ්‍ය මෙන්ම රජකුට ප්‍රජා පාලකයෙකුට තපස විශේෂයෙන් තිබිය යුතු දෙයකි. රජුන්ට, ප්‍රජා පාලකයන්ට ලැබෙන සම්පත් බහුළය. එම සම්පත් පාලනයක් ඇතිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
විපතේදී ධෛර්යයෙන් යුතුව කටයුතු කළයුතු වේ. තමන්ට හැකියාව ඇතිවිට ඉවසීමෙන් ක්‍රියාත්මක විය යුතුය. විපතේ දි ධෛර්යමත්වීමත්, සම්පත්තියේ දී ඉවසීමත් නිසි හික්මීමක් ඇති විදග්ධ පාලන තන්ත්‍රයක ලක්‍ෂණය වේ.
තපස ධ්‍යානයට සම්බන්ධ වී සිත සංවර්ධනය කරයි. පඨම, දුතිය, තුතිය, චතුත්ථ ආදී වශයෙන් ධ්‍යාන තුළින් සිදුවනුයේ මනස පිවිතුරු කර ක්ලේශ ධර්ම අඩු කිරීමයි. ක්ලේශ ධර්ම අඩු කිරීම තුළින් මිනිස් සිත සැහැල්ලු වේ. ධ්‍යානවලදී ක්ලේශ ධර්මයන්ගෙන් මුළුමනින්ම ඈත් වීමක් සිදු නොවේ. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියයන් ඉල්ලන දේ නොදී පසිඳුරන්ට අවශ්‍ය දේ පමණක් දිය යුතුය. සිතේ ඇතිවන හැඟීම් පාලනය නොකිරීමෙන් මිනිසා තිරිසනෙක් බවට පත්වේ.
මිනිසා මිනිසත් බව තුළ රඳවා තැබීමටත් පාලකයාට තමන්ගේ සියලු ශක්තිය ඒකාග්‍රව තබා ගැනීමටත්, තපස අවශ්‍ය ගුණයක් බව ධර්මයේ සඳහන් වේ. එදා භාරතීය සමාජය තුළ තිබී බුදුන් වහන්සේ විසින් සංවර්ධනය කර ඉදිරිපත් කළ දෙයකි, දසරාජ ධර්මය. ලංකාවේ පස්වන මිහිඳු රජුගේ කාමුක සල්ලාල, බීමත්කම නිසා රජු පමණක් නොව රට ද වැනසිණ. සමහර පැරණි රජ බිසෝවරුන් ද සිය තපසේ දුර්වලත්වය නිසා වැනසිණ.
බලය සදා නොනැසී පවතින්නේ ය යන මිථ්‍යාව මත ඇතැම් අය අන්තවාදීව කටයුතු කරති. ස්වකීය ජීවන ප්‍රතිපදා වෙනස් කර ගනිමින් කාමභෝගී ජීවිතයට හුරුවූ පාලකයන් පිළිබඳ ඓතිහාසික තොරතුරු සුලබය. මෙම ජීවන පැවැත්ම තුළ හුරුවූ චර්යාවන් අගය කරමින් එහිම ගැලෙමින් කටයුතු කිරීම නිසා ස්වකීය වගකීම් ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් සොයා ගැනීමට නොලැබේ. පාලකයන් ආදර්ශයට ගන්නා රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනයා ද මෙවැනි ජීවන ප්‍රතිපදාවකට නැඹුරුවීම මගින් රට තුළ ධනය අධ¢ සුඛවිහරණය සඳහා වැය කිරීමට පසුබිම සැකසේ. සෑම කාර්යයකදීම තමාගේ සැප පහසුකම් පිළිබඳ ප්‍රමුඛතාව යොදා ගනිමින් සාඩම්බර ජීවිත අනවශ්‍ය ආකාරයෙන් ගොඩනගා ගැනීමට දරන උත්සාහය නිසා අනේක විධ ගැටලු නිර්මාණය වීම නතර කළ නොහැකිය. මෙය රාජ්‍යයන් පවා බිඳ වැටීමට සාධකයක් වන අතර අපරාධ වර්ධනය වී හිංසාකාරී සමාජ පසුබිමක් ඒ ඔස්සේ ඇති කිරීමට ද හේතු වේ.
භාවනානුයෝගී තාපසයකුගේ අල්පේච්ඡ ජීවිතයක් පාලකයන් විසින් ගත කළ යුතුය යන්න මෙහි අදහස නොවේ. චාම් බව සරල බව මෙන්ම පිරිසුදු බව පාලකයකුගේ ක්‍රියා කලාපයෙහි අන්තර්ගතවිය යුතුය. තම ජීවිත පැවැත්ම තමන්ට යාදෙන ආකාරය සකස් කරගැනීම තපස තුළ අපේක්‍ෂිත කරුණකි. එය ආදර්ශවත් ලෙස සමාජය කෙරෙහි බලපාන බැවින් සමාජයේ වර්ධනයට හේතුවේ. සැහැල්ලු ගති පැවතුම් වලින් යුක්තවීම පාලකයෙකුගෙන් අපේක්‍ෂිත කරුණකි. අනවශ්‍ය සාටෝප ජීවිත කරා යොමු වන්නේ මේ උදාර ගුණය තමා තුළ වර්ධනය කර නොගැනීම නිසාය. මෑත කාලයේදී ඇතැම් පාලකයන් ආත්ම සංයමය නොමැති කමින් විවිධාකාර අන්දමින් වැනසී ගිය පුවත් බහුලය. තපස තුළින් ලෞකික දිවියේ දියුණුව සලසා ගත හැකිය. අපට තවත් ඉදිරියට යාමෙන් ධුතාංග බවට පත් කොට ගෙන සසර දුක් නිවා ගැනීම පිණිස ද උපයෝගී කරගත හැකිය.

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි














 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ බිනර පුර අටවක  පොහෝ දින රාජ්‍ය වර්ෂ 2011 ක් වූ සැප්තැම්බර්  මස 04 වන  ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment