නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“ද්වේ මේ භික්ඛවේ අන්තා
පබ්බජිතෙන න සෙවි තබ්බා”
බුදු රජාණන් වහන්සේ ‘ඉසිපතන’ නම් වූ මිගදායෙහි පස්වග මහණන් සිටි තැනට
පැමිණියහ. උන් වහන්සේ ඈත එනු දුටු ඔව්හු ‘ඇවැත්නි, අර එන්නේ ශ්‍රමණ
භවත් ගෞතම තෙමේ ය. උග්‍ර තවුස් දම් හැර හොඳ හැටි කා බී තවුස් දමින්
පිරිහුණු ඔහුට වැඳීමට හෝ උවටැන් කිරීමට හෝ උන්වහන්සේගේ පා සිවුරු
ගැනීමට හෝ වුවමනාවක් නැත. කැමැතිනම් හිඳ ගැනීමට අසුනක් පමණක් තබමුයි
තීරණය කර ගත්හ.
කෙසේ වුවත් බුදුන් වහන්සේ පස්වග තවුසන් සිටි තැනට ළංවෙත්ම ඔවුන් ගේ
තීරණය පරිදි එසේ සිටීමට අපහසු විය. එක් තවුසෙක් පෙර ගමන් කොට බුදු
රදුන්ගේ පා සිවුරු පිළිගත්තේය. එක් තවුසෙක් පා සේදීමට දිය ද, පා පුටුවද
පා පිස්නා ද තැබීය. වෙනත් තවුසෙක් අසුනක් පැනවී ය. බුදුරජාණන් වහන්සේ
පැන වූ අසුනෙහි හිඳ පා සේදූහ. එහෙත් මේ තවුසන් බුදුන් වහන්සේ අමතන
ලද්දේ ඇවැත්නි, ගෝතමයෙනි යනුවෙනි. ඔවුන්ට තාපසයිනි, තථාගත යන් වහන්සේගේ
නමින් හෝ ඇවැත්නි යන ආමන්ත්‍රණයෙන් කථා කිරීම සුදුසු නොවේ. තථාගත තෙමේ
රහත් ය. මැනවින් බුද්ධත්වය ලබා ඇත. මගේ වචනය අසව්, මා විසින් නිවණ
අවබෝධ කරගෙන තිබේ. මම අනුශාසනා කරමි. දහම් දෙසමි. ඒ අනුශාසනාව පිළිපැද
කුල පුතුන් පැවිදිව බලාපොරොත්තු වන උතුම් රහත් බව ඉක්මනින් ලබාගත
මැනවි.බුදුන් වහන්සේ මෙසේ පැවසූ කල පස්වග තවුසෝ මෙසේ ඇසූහ. එසේ වුවත් ඇවැත්නි, ගෞතමයිනි, ඔබ දුෂ්කර ක්‍රියා කර ඒ උතුම් නිවන වටහා ගැනීමට නොහැකිව තවුස් දමින් පිරිහී, පසුව හොඳින් කා බී සැප විඳිමින් කෙසේ නිවන අවබෝධ කර ගත්තෙහිද? තාපසවරුනි, මම තවුස් දමින් පිරිහී සැප විඳීමට නොගියෙමි. මා විසින් නිවන අවබෝධ කරගෙන තිබේ. මම අනුශාසනා කරමි. දහම් දෙසමි. ඒ අනුශාසනා පිළිපැද, පැවිදිව කුල පුතුන් බලාපොරොත්තු වන උතුම් රහත් බව ඉක්මනින් ලබා ගත මැනවැයි බුදුන් වහන්සේ නැවතත් පැවසූහ. දෙවන වරටත්, තෙවන වරටත් පස්වග තවුසන් පළ කෙළේ එම මුල් අදහසම ය. එවිට බුදුන් වහන්සේ ඔවුන් අමතා, තාපසවරුනි, මීට පෙර මා විසින් තොපට මා රහත් බවක් හෝ බුදු වූ බවක් කියා තිබේදැයි ප්‍රශ්න කළහ.
“නැත ස්වාමීනි යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන්ට යළිත් පෙර සේ අමතා තමන් බුදු බව ලබා ඇති බව පෙන්වීමට සමත් වූහ. ඔවුහු එතැන් සිට බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසීමට සූදානම්ව වැඳ ගත්හ.
බුදු රජාණන් වහන්සේ පස්වග තවුසන්ට මෙසේ ප්‍රථම දම්සක් පැවතුම් සූත්‍රය දෙසන්නට වූහ.
දේව මෙ භික්ඛවේ අන්තා පබ්බජිතෙන
න සෙවිතබ්බා”
මහණෙනි, පැවිද්දහු විසින් අන්ත දෙකක් සේවනය නොකළ යුතුයි. සිදුහත්
බෝසතාණෝ විසි නව වසරක් විඳි පංචකාම සම්පත්තිය, ගිහි සැප හැර
අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් අනතුරුව වසර හයක් දුෂ්කර ක්‍රියාව කිරීමක් යන
අන්ත දෙකම නිවන් මග නොවන බව දෙසූ උන්වහන්සේ මී ළඟට ඒ අන්ත දෙකේ ස්වභාවය
විස්තර කරමින් මෙසේ පැවසූහ.කාමසුඛල්ලිකානු යෝගය ළාමක ක්‍රියාවකි. ග්‍රාම්‍ය ක්‍රියාවකි. අඥාන පෘථග්ජනයන් විසින් පුරුදු කරනු ලබන ස්වභාවයකි. ආය¸යන් අනුගමනය නොකරන දෙයකි. අනර්ථයෙන් යුක්තයි. මෙසේ කාමසුඛල්ලිකානු යෝගය ඉතා තදින් ප්‍රතික්‍ෂේප කළ උන් වහන්සේ එහි පහත් බව නිවනට ඇති හානිකර ස්වභාවය විශේෂ පද පහකින් පැවසූහ. කාමසුඛල්ලිකානු යෝගයට තරම් තදින් අත්තකිලමථානු යෝගයට පහර නොදුන් උන්වහන්සේ ඒ සඳහා යොදා ගත්තේ දුකෙඛා, අනරියො අත්ථ ඍහිතො යන වචන තුනයි. හීනො, ගමෙමා, පොථුජජනිකො, අනරියො, අනත්‍ථසංහිතො තද වචන පාවිච්චි කළේ නැත. බුදු රජාණන් වහන්සේ දැඩි ලෙසම ප්‍රතික්‍ෂේප කළේ කාමසුඛල්ලිකානු යෝගය බව මැනවින් පැහැදිළිය. අත්තකිලමථානු යෝගය ගැන කීවේ එය දුක් සහිතය. ආය්‍යයන් අනුගමනය නොකරන සුළුය. අනර්‍ථකාරීය.
මෙසේ අන්තගාමී මාර්ග දෙකක් නිර්වාණාවබෝධයට විරුද්ධ මාර්ග ලෙස ඉගැන්වූ බුදු රජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයෙන් ඉදිරිපත් කරන්නේ නිවණට විරුද්ධ වූ මුලින් සඳහන් කළ අන්ත දෙක හැර දමා ඒ අන්ත දෙකටම මැදි වූ සැපයට ගිජු නොවූ එහෙත් සැපය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප නොකළ ආත්ම මධය තදින් පිළිනොගත් එහෙත් එක්තරා ආත්ම සංයමයකින් යුත් මධ්‍යම ප්‍රතිපදාවයි.
මධ්‍යම ප්‍රතිපදා ව වූ අරි අටඟි මග බුදු රජාණන් වහන්සේ විසින් සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන්හි බෙදී යන සේ විග්‍රහ කරන ලද්දේ සීල සමාධි ප්‍රභූ යන බුද්ධ ධර්මයේ ප්‍රධාන මූල ධර්ම තුන බැවිනි. ප්‍රාණ ඝාතාදී ක්‍ෂුද්‍ර ශීලයෙහි ද ගුණවත් වූ තැනැත්තේ සිතින් කයින් සැප විඳිමින් ආය¸ ශීලය, ආය¸ ඉන්ද්‍රිය සංවරය, ආය¸ ස්මෘතිය හෙවත් සති සමම්පඡඤ්ඤය සහ ආය්‍ය සන්තුෂ්ටියෙහි පිහිටා විවේක සෙනසුනක හිද පංච නීවරණ දුරුකර විතර්ක විචාර පී‍්‍රති සුඛ එකඟතාවන් ගෙන් වෙන් වූ ධ්‍යාන ලැබ සමාධිගත වෙයි. මෙම සමාධියෙන් මුළු සිරුර ම ස්පර්ශ කෙරෙයි. මෙසේ සිත සමාධිගත වූ කල්හි ආය¸ ප්‍රඥාව සඳහා විදර්ශනා ඥානය ලබා ගැනීම පිණිස සිත යොමු කෙරෙයි.
මේ සිරුර රූප වත් ය. සතර මහා භූතයන් ගෙන් නිර්මිත ය. දෙමාපියන්ගෙන් උපනි. ස්වභාවයෙන් අනිත්‍යය. දුඞඛය, අනාත්මය යන ත්‍රිලක්ෂණ වශයෙන් බලා සමාහිත සිතැති මහණ තෙමේ සිරුරත් එය ඇසුරු කොට පවත්නා විදර්ශනා ඥානයෙන් දකියි. මෙසේ නුවණින් දැකීම, ආය¸ ප්‍රඥාව යි.
ඉහත කී පරිදි චිත්ත සමාධිය ලත් පැවිදි තෙමේ රූප එකක් දෙකක් මැවීම අහසේ ජලයේ ඇවිදීම ආදී ඍධි දැක්වීමට සමත් වෙයි. ඒ නුවණ ද ප්‍රඥාවකි. මෙලෙසින් ඍධි විධි ආදී ෂට් අභිඥා ලබයි. එහි ආසවක්‍යය ඥාණය නම් දුඞඛ සමුදය නිරෝධ මාර්ගයන් තත් වූ පරිදි දකියි. මෙම ආසවක්‍යය ඥානය ලබාගත් පැවිද්දාගේ සිත කාමාසව භවාස්ව අවිජ්ජාසවයන් කෙරෙන් මිදෙයි. සිතේ මිදීමත් සමගම භවොත් පත්තියෙන් මිදුනේ වේ. නිවන් දුටුවෙක් වේ. මෙය ආය ප්‍රඥාවයි.
ඉහත කී සේ ඉතා ගැඹුරෙන් බුද්ධ ධර්මයේ හරයන් දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළත් කොට දේශනා කළ බුදුරජාණන් වහන්සේ පස්වග තවුසෙන්ම මහණෙනි, නුවණැස පිරිසුදු කරන ඥානය ඇති කරන කෙලෙස් සංසිදුවන සත්‍යාවබෝධය කරන සම්‍යක් සමෙබාධිය පිණිස පවත්නා මධ්‍යම ප්‍රතිපදාව මා විසින් ප්‍රත්‍යක්ෂ කරන ලදැයි දේශනා කළ සේක.
මහණෙනි, මේ දුකම සත්‍යය මම අවබෝධ කර ගනිමි. ඉපදීම, මහලුවීම , ලෙඩ වීම, මිය යෑම , පමණක් නොව අපි‍්‍රයයන් හා එක්වීමත්, පි‍්‍රයයන් ගෙන් වෙන්වීමත් දුකකි. කැමති දේ නොලැබීමත් අකමැති දේ ලැබීමත් දුකකි. කොටින්ම කියතොත් රූප වේදනා සඤ්ඤ සංඛාර විඤ්ඤාණ යන උපාදාන ස්කන්ධ පහම දුකකි. මේ දුකම සත්‍යයි.
සසර නැවත නැවත උපත සිදු කරන්නා වූ උපනූපන් භවයෙහි ඇල්ම ඇති කරන කාම, භව, විභව යන තෘෂ්ණාව දුඞඛ සමුදායයි. දුකට හේතුව තෘෂ්ණාවය. දුකම නිරෝධ ආය්‍ය¡ සත්‍යය නම් තෘෂ්ණාවෙන් මිදුණු තෘෂ්ණා නිරෝධයට අරමුණු වී නිවණයි. මහණෙනි! දුඞඛ නිරෝධ ගාමිණී පටිපදා ආය¸ සත්‍යය නම් මේ අංග අටකින් යුත් ආය්‍ය¡ මාර්ගය මැදයි. අරිඅටගි මගයි.
එදා ඇසළපුර පසළොස්වක් පොහෝ දා පස්වග මහණුනට ධම්මමක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ බුදු රජාණන් වහන්සේ චතුරාය¸ සත්‍යය තව දුරටත් විස්තර කරමින් මහණෙනි, එක් එක් සත්‍යයක් සත්‍යඥාන, කෘත්‍යඥාන, කෘතඥාන වශයෙන් තුන් ආකාරයෙන් වූ සතර ස්‍යයන්හි දොළොස් ආකාර වු තත්ත්වඥාන වශයෙන් යම්තාක් කල් මා කෙරෙහි නොවීද? ඒතාක් මම උතුම් සම්‍යක් සම්බෝධිය ලැබීමියි ප්‍රතිඥා නොකෙළෙමි.
මහණෙනි, මට දොළොස් ආකාරවූ තත්ත්වඥානය පහළවූයේ ද, ඉන්පසු මම නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය ලැබීමයි. ප්‍රතිඥා කෙළෙමි. මට දර්ශනය උපන්නේ ය. මාගේ අර්හත් ඵලය නොසැලෙන සුළුය. මේ මාගේ අන්තිම උපත යි. මට පුනර්භවයක් නැත. යනුවෙන් එදා ඇසළ පුර පසළොස්වක් පොහෝදා සන්ධ්‍යාභාගයේ ධර්ම දේශනාව නිමවා වදාළ සේක.
දේශනාවසානයේ පස්වග භික්‍ෂූහු සතුටු වූහ. ආයුෂ්මන් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට රාගාදී රජස් රහිත වූ පහ වූ මල ඇති සත්‍යඥාන තක්‍ෂුස පහළ විය. යම් කිසිවක් සමුදය ස්වභාවකොට ඇත්තේද ඒ සියල්ල නිරෝධ ස්වභාව ඇත්තේ යයි නුවණ පහළ විය. එදා බුදුන් වහන්සේගේ ධර්මචක්‍ර දේශනාව අසා බූමාටු දෙවියෝද සාධුකාර දුන්හ. ඒ සාධුනාදය ඇසූ ලෝකයේ සියලු දෙව් බඹහු සාධුනාද පැවැත් වූහ.
බුද්ධත්වය ලැබීමෙන් පසු පළමුව දෙසූ මේ සූත්‍රයේ බුද්ධත්වය කුමක් දැයි ඉගැන්වූහ. බුද්ධ ධර්මයේ සම්පූර්ණ හරය මේ සූත්‍රයේ අන්තර්ගතවී තිබේ. චතුරාය¸ සත්‍යය කුළුගන්වා ධර්ම දේශනාව අවසන් කරණ බුදුරජාණන් වහන්සේ චක්‍ධුං උදපාදි, ඤාණ උදපාදි, පඤ්ඤා උදපාදි, විජජා උදපාදි, ආලොකෝ උදපාදි යන විසින් ප්‍රඥාව ක්‍රම පහකට සූත්‍රයේ දොළොස් පලකම දේසනා කළ සේක.
රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති,
ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක
රාජකීය පණ්ඩිත, සාහිත්‍ය සූරී, මහෝපාධ්‍යාය,
අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමි
අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ
ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment