නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පූරිසස්සහි ජාතස්ස
කුඨාරි ජායතෙ මුඛෙ
යාය ජින්දති අත්තානං
බාලෝ දුබ්භාසිතං භණං
(සංයුත්ත නිකාය
කෝකාලික සූත්‍රය )
වාසනාවන්ත පින්වත්නි,
අද බුදුසරණ දම්දෙසුම මගින් වාචසික අසංවරයෙන් ලැබෙන නරක ප්‍රතිඵල පහදා දීමට අදහස් කරමි. ඒ සඳහා ඉහත දක්වා ඇති දහම් ගාථාව තථාගත බුදුරජාණන් වහන්සේ විසින් “ කෝකාලික “ නම් භික්‍ෂූන් වහන්සේ මුල්කරගෙන දේශනා කරන ලද්දකි.
අනුවණ පුද්ගලයා තමා මුවෙහි ඇති කෙටේරියක් වැනි අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් තමා විසින්ම තම ජීවිතය විපතට පත්කර ගන්නා බව එම ගාථාවේ සරල අදහස වේ.
“ කෝකාලික “ යනු දේවදත්ත හිමියෝ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ අගසව් සැරියුත්- මුගලන් මහරහත් දෙනම පිළිබඳ වෛරයෙන් පසුවූහ.
දිනක් බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණ “කෝකාලික “ හිමියන් සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේ දෙනමට නින්දා අපහාස කළහ. ඉතා පහත් ආශාවන්ට වසඟ වී ඉතා නරක ජීවිතයක් ගත කරන දෙනමක් ලෙස උන් වහන්සේලාට චෝදනා කළහ. රහතන් වහන්සේලාට එසේ නින්දා අපහාස නොකරන ලෙස තථාගතයන් වහන්සේ තුන්වරක්ම උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ.
එහෙත් එම හිමියෝ බුද්ධ අවවාදය නොපිළිගත්හ.
සැරියුත් - මුගලන් මහරහත් දෙනමට තව තවත් දොස් පවරා ජේතවනාරාමයෙන් පිටව ගිය කෝකාලික හිමියන්ගේ ශරීරය පුරා තුවාල මතු වී ඒවා පුපුරා ගොස් අපමණ වේදනාවට පත්ව එදින රැයේදීම අපවත් විය.
රෑ මැදියම බුදුරදුන් හමුවට පැමිණි “ සහම්පති” මහා බ්‍රහ්මයා “ කෝකාලික” හිමියන් මරණයට පත්ව පදුම නරකයේ උපන් බව දැන්වීය.
බුදුරජාණන් වහන්සේ පසු දින දම් සභාවේදී එම සිද්ධිය සිහි පත් කරමින් කෝකාලික සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ.
එම සූත්‍රයට අයත් ඉහත සඳහන් ගාථාවෙහි සර්වකාලීන අගයෙන් යුතු දහම් පණිවිඩයක් තිබේ. එය නම් වාචසික අසංවරයෙන් මුහුණ දීමට සිදුවන කටුක ප්‍රතිවිපාකයයි.
සමාජ සබඳතා පවත්වා ගෙන යාම සඳහා පුද්ගලයා විසින් වචනය ප්‍රධාන මාධ්‍යයක් ලෙස ප්‍රයෝජනයට ගනියි.
එසේ භාවිතා කරන වචන සුභාෂිත හා දුභාෂිත හෙවත් යහපත් වචන හා අයහපත් වචන නමින් කොටස් දෙකකට වෙන් කළ හැකිය. බුදු දහමට අනුව අයහපත් වචන යනු වචනයෙන් සිදුවන අකුසල්ය. ඒවා සතරාකාරවෙයි.
එනම්, බොරුකීම , කේළාම් කීම, අසභ්‍ය වචන කීම, හිස් වචන කීම යනුවෙනි.
මෙම වැරැදි වචන භාවිතයෙන් පුද්ගලයාට හා සමාජයට සිදුවන හානිය ඉතා විශාලය. අන්‍යෝන්‍ය විශ්වාසය හා සුහදතාවය බිඳ වැටීම, සමගිය සාමය නැතිවීම ගැටුම් ඇතිවීම හා වටිනා කාලය නිකරුණේ විනාශ වී යාම එමගින් සිදුවෙයි. අයහපත් වචන කතා කරන පුද්ගලයා මෙලොවදී විවිධ නින්දා අපහාස වලට ලක්ව මරණයෙන් පසු දුගතිගාමී වීමද වැලැක්විය නොහැකි දෙයකි.
පුද්ගලයාට සිදුවන මෙවැනි අයහපත් ප්‍රතිඵල නිසා ධර්මයේ දුර්භාෂිතය කෙටේරියකට උපමා කර ඇත. භාවිතා කරන වචන සුභාෂිත වචන වීම සඳහා සම්පූර්ණ විය යුතු අංග හතරක් සංයුක්ත නිකායේ සුභාෂිත සූත්‍රයේ පෙන්වා ඇත.
සභ්‍ය වචනයක් වීම
දැහැමි වචනයක් වීම
පි‍්‍රය වචනයක් වීම
සත්‍ය වචනයක් වීම
මෙවැනි සුභාෂිත වචන භාවිතා කිරීම , වාචසික කුසල් වර්ධනය කර ගැනිමකි.
එය සමාජයේ පි‍්‍රය මනාප පුද්ගලයකු වීමට පමණක් නොව සසර සුගතිගාමි වීමටද හේතුවකි. නිර්වාණගාමී මාර්ගයේ සම්මාවාචා අංගය සපුරා ගැනීම සඳහා ද යහපත් වචන කථා කිරීම ඉවහල් වේ.
එනිසා බුදුරදුන් වාචසික සංවරය බෙහෙවින් අගය කර ඇත.
පිරිසක් රැස් වූ විට දැහැමි දෙයක් පමණක් කතා කරන ලෙසත් නැතිනම් රහතුන් වහන්සේ සේ නිශ්ශබ්දව සිටින ලෙසත් අවධාරණය කර ඇත. “ ධම්මීවා කථා අරියොවා තුණ්හි භාවොති “ (අරිය පර්යේෂණ සූත්‍රය මඞන)
පින්වත, ඔබ ද මෙම දහම් කරුණු කෙරෙහි අවධානය යොමුකර තම වාචසික සංවරය තුළින් දෙලොව සැනසීම සලසා ගැනීමට උනන්දු වන්න .
තෙරුවන් සරණින්
ඔබට යහපතක්ම වේවා
වැලිගම කොක්මාදුව ශ්‍රී පූර්වාරාමවාසී කනංකේ රාජමහා විහාරාධිපති
ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ
මාර්තු මස 29 වැනි සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment